Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වරද නිසි ලෙස පිළිගෙන නිවැරැදි වෙමු

කිසිවකුටවත් වැරැදි ශුද්ධ කිරීමට බැහැ. පව් සෝදා හරින්නට බැහැ. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? මව්පියන්ගේ වගකීම වන්නේ කුමක්ද? පාපය ශුද්ධ කිරීම නොව පවින් වළක්වා ගැනීම මෙහිලා වැදගත් වනවා.

වැරැදි පිළිගැනීම, වැරැදි නිවැරැදි කර ගැනීම සමාජ යහපතට ඉවහල් වන බව පෙන්වන බව අප පසුගිය සතියේ කතා කළා. කුමන නිර්වචන යොදාගෙන තිබුණත් වරද වරදම බව අප තේරුම් ගත යුතු වනවා. කිසිවකුට පව් සොදා හැරීමට හෝ වරද ශුද්ධ කිරීමට හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ,

ශුද්ධි අශුද්ධි පංචත්තං
නාඤව අඤඤො විසෝධයේ

කිසිවකුටවත් වැරැදි ශුද්ධ කිරීමට බැහැ. පව් සෝදා හරින්නට බැහැ. එසේ නම් අප කළ යුත්තේ කුමක්ද? මව්පියන්ගේ වගකීම වන්නේ කුමක්ද? පාපය ශුද්ධ කිරීම නොව පවින් වළක්වා ගැනීම මෙහිලා වැදගත් වනවා. සිඟාලෝවාද සූත්‍රයේ මව්පියන්ගේ ප්‍රධාන යුතුකම් ලෙසින් දක්වා ඇත්තේ මොනවාද?

1. පවින් වැළැක්වීම
2. යහපතෙහි යෙදවීම

මව්පියන් විසින් දරුවන් උදෙසා කළ යුතු යුතුකම් අතර මුල්තැනක් ගන්නේ එයයි. මව්පියන් තුළ සැමවිටම දරුවන් සුමඟට යොමු කිරීමේ ගුණාංගය ඉස්මතු විය යුතු වනවා. ‘සමාවෙන්න’ යන කාරුණික ඉල්ලීම මඟින් තමා අතින් වූ වරද අඩුපාඩුව නිවැරැදි කර ගත යුතු බව දැක්වෙනවා. අද ඇතැම් මව්පියන් තුළ සමාව ගැනීමේ ක්‍රමවේදයක් දක්නට නැහැ.

කොතරම් අඩුපාඩු පෙන්වා දුන්නත් භාර්යාව ඇතැම්විට ස්වාමිපුරුෂයා ඉදිරියේ වරද පිළිගන්නේ නැහැ. එය තමාට මදිකමක් වේයැයි සිතනවා. ඇතැම් ස්වාමිපුරුෂයන්ද එසේමයි. විශේෂයෙන්ම ණය ලබා ගැනීම් ආදී මුදල් ගනුදෙනුවලදී බොහෝ අවස්ථාවලදී ස්වාමිපුරුෂයා ඉක්මවා භාර්යාව කටයුතු කරන අවස්ථා තිබෙනවා. එවන් අවස්ථාවල පළමුව ගත් මුදලට වඩා වැඩි පොලියකට දෙන ණය මුදල් ලබා ගන්නේ එම පොලිය ගෙවීමටයි. එය ගෙවා ගත නොහැකි වූ තැන සිදුවන්නේ කුමක්ද? එවිට වරද පිළිගෙන කටයුතු කිරීමට උත්සාහ කළත් බොහෝ විට ප්‍රමාද වී වැඩියි.

වරද හා අඩුපාඩුව සම්බන්ධ අනුශාසනාව හා අවවාදය බෙහෙවින් වැදගත් වනවා. අනුශාසනාවෙන් සිදු කෙරෙන්නේ වරද සිදුවීමට පෙර එයින් වළක්වා ගැනීමයි. සොරකමට (අදත්තාදානය) යොමුවීමට පෙර භික්‍ෂූන් වහන්සේ හෝ දැන උගත් ඇති අය එයින් වළකා ගැනීමට උපදෙස් අනුශාසනා ලබා දෙනවා. ඒ වරදින් මුදා ගැනීමයි. ඒ අනුශාසනාව පිළිපදින්නා අතින් වැරැදි සිදුවන්නේ නැහැ. අවවාදය මඟින් සිදු කෙරෙන්නේ වරදක් සිදු වූ කල එය නිවැරැදි කර ගැනීමට මාර්ගය සකසා දීමයි.

සමාජයකට ධර්මානුශාසනා නීරස නොවන්නේ මඟ නිවැරැදිව පෙන්වා දෙන නිසයි. දහම ජනතාවගේ සිත් සතන් තුළට යොමු වී ඇත්තේ එහි නිවැරැදි ගමන් මඟ දැක්වෙන නිසා ය.

මේ නිසා සමාජයකට උසස් ලෙසින්ම අවශ්‍ය වන්නේ වැරැදි වැරැදි බව හඳුනා ගැනීමය. වැරැදි නිවැරැදි කර ගත හැක්කේ එවිටය. වර්තමාන සමාජයේ බොහෝ තරුණයන් වැරැද්ද හඳුනනවා. මත්පැන් පානය කර එන අය යළි පානය නොකරන බවට දිවුරුම් දෙනවා. ඒ වරද දන්නා බැවින්, එහෙත් පසු දිනත් යළිත් ඒ වරදම කරනවා. සමාජයට එවන් ආකාරයට වැරැදි හඳුනාගන්නා පුද්ගලයන් අවශ්‍ය නැහැ. වැරැදි කර කර සමාව ඉල්ලීම තරම් පහත් ක්‍රියාවක් සමාජයේ නැහැ. ඒ වගේම වැරැද්දට සමාවදීම තරම් උතුම් ක්‍රියාවක් ද සමාජයේ තවත් නොමැති වන්නට පුළුවන්. සමාව යදිමින් යළිත් වැරැදි කිරීම කිසිසේත් නොකළ යුත්තක්.

එමෙන්ම වැරැදුණු කළ වරද වටහා දී යහ මඟට හැරවීම ඉතා උසස් බවද අප සිහි තබා ගත යුතු වනවා. අහිංසක එදා ගෙදර පැමිණි වේලාවේ මවුපියන් ඔහු පිළිගත්තා නම් ඔහු අතින් මිනිසුන් ඝාතනය වන්නේ නැහැ. ඔහු අංගුලි මාල නොවන්නට ඉඩ තිබුණ. එම නිසා අනුන්ගේ කියමන් තුළ තීරණ නොකොට අපගේ බුද්ධියෙන්ම නිවැරැදි බව තේරුම් ගත යුතු වනවා. එසේ නොවුනහොත් අපගේ විනාශය අප විසින්ම ළඟා කර ගනු ලැබුවා වනවා.

අයසාව මලං සමුට්ඨිතාං
තදුට්ඨාය කමෙව චාදති
එවං අකිධොනචාරිණං
සක කම්මානි නයන්ති දුග්ගතිං

යකඩයෙහි ඇති වූ මලකඩ විසින් යකඩයම කා දමයි. යකඩය විනාශ වී යයි. එමෙන්ම නොසැලකිලිමත්ව ක්‍රියා කරන්නාගේ ක්‍රියාවන් නිසා ඔහු විනාශයට පත් වනවා. යකඩයෙහි මලකඩ ඇතිවීම වළක්වාලීමට අපට ගත හැකි පියවර රැසක් තිබෙනවා. එමෙන්ම අපගේ ජීවිතය අඩුපාඩු විනාශය කරා යන ක්‍රම වළක්වා ගැනීමට අඩුපාඩුව වරද නිවැරැදි කර ගත යුතුවනවා.

යහපත් දිවියක් කරා යෑමට අපට හැකිවන්නේ එලෙස වැරැද්ද නිසි පරිදි තේරුම් ගතහොත් පමණය.

සමාජයේ වැරැදි සිදුවීම මිනිස් ගතියක්, සමාව දීම දේව ගතියක් යන වහර භාවිතයට පැමිණ ඇත්තේ එහෙයිනි. එහෙත් සමාජය බොහෝ දුරට වරදට දඬුවම් මිස අවවාදය වරද පහදා දීම දක්නට අසීරුය. මේ නිසා කුඩා වුවද වරදට පෙළඹෙන්නා යළිත් වරද කරාම යොමුවන ස්වභාවයක් දක්නට තිබෙනවා. සැම විටම විමසුම් ඇසින් බලමින් අප කටයුතු කරන්නේ නම් වරදට දඬුවම් ලබාදීමෙන් පවා ගුණ ගරුක පුද්ගලයන් බිහි කළ හැකිය.

සිරිත් මල්දමේ මෙසේ දක්වා තිබෙනවා.

වැරැදි කළ අය හට
දඬුවම් දෙන්නෙ හැදුමට
හැදෙන අය එම විට
හොඳින් කීකරු වෙති නැමී සිට

වැරැදි කළ අයට දඬුවම් ලබා දෙන්නේ නිසි අයුරින් සමාජ ගතවීමට බව සිරිත් මල් දමේ මෙසේ දක්වා තිබෙනවා. එම දඬුවම් විඳ හෝ වරද නිවැරැදි කර ගැනීමයි මෙහිලා වැදගත් වන්නේ.

එමෙන්ම මවුපියන් හා ගුරුවරුන් (ගුරු දෙගුරු) සැමවිට අප යහපතෙහි යොමු කිරීමට කටයුතු කරන නිසා අපගෙන් ගුරු දෙගුරුන් වරදක් ගැන විමසූ විට නිවැරැදිව එය පවසා අවවාද ලබා ගැනීම මෙහි ලා වැදගත් වනවා. අපගේ අනාගතය නිවැරැදි මඟට යොමු කර ගත හැක්කේ එවිටය.

මව්පිය දෙදෙන වත්
තමන් ගුරුවරයෙක් වත්
නුඹෙ වරද ඇසුවොත්
නොසඟවා එය කියනු යහපත්

සිරිත් මල්දමේ එසේ දක්වා තිබෙනවා. බොහෝ දූ දරුවන් තුළ අද එවැනි ගුණාංග දකින්නට අසීරු තරම්, මව්පියන් විසින් එම ගුණ දහමින් දරුවන් පෝෂණය කළ යුතු වේ. වරද, වරද ලෙසින් පිළිගෙන නිවැරැදි කර ගතහොත් පමණක් අපට සමාජයේ යහපත් පුරවැසියන් ලෙස දිවි ගෙවීමට හැකි වේවි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.