UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දාන පාරමිතාව පුරුදු කිරීම

බුදුන්වහන්සේ බෝසත්වරයකු ලෙස පූරණය කළ පාරමිතාවන්ගෙන් ප්‍රථම පාරමිතාව වනුයේ දාන පාරමිතාවයි. දානය පුරුදු කිරීම තුළින් සිදු වනුයේ රාගය හෙවත් ආශාව තුනීවීමයි. මෙම පාරමිතාවේ අවස්ථා තුනක් ගැන සඳහන්ය. එනම් දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ථපාරමී යනුවෙනි. මෙම අවස්ථාවන්ගෙන් නිරූපණය වනුයේ ද තෘෂ්ණාව නිරවශේෂ වශයෙන් නැති කිරිම සඳහා ගන්නා වූ උත්සාහයන් වේ

බුදුසමයේ ඉගැන්වෙන මූලික සිද්ධාන්තයක් ලෙස දන්දීම දැක්විය හැකි ය. තමා සතු වස්තුව තවත් කෙනෙකුගේ ප්‍රයෝජනය සඳහා පරිත්‍යාග කිරීම පහසු කාර්යයක් නොවන අතර එය යුද්ධයක් කිරීමක් හා සමාන කටයුත්තක් බව බුදුරදුන් විසින් ම දේශනා කරන ලදී. ලෞකික ජීවිතයක් ගත කරන සෑම දෙනෙකුගේ ම ස්වභාවය වන්නේ එකතු කිරීමට හෙවත් රැස්කර ගැනීමට කැමැතිවීම යි.

එයට හේතුව වන්නේ අප සෑම දෙනාට ම ලැබී තිබෙන ඇස, කන, නාසය, ආදී ආයතනයන් පව් කිරීමට කැමැති වීමයි. එනම් පෘථග්ජන වූ පුද්ගලයන්ගේ සිත නිරන්තරයෙන්ම පවට නැඹුරු වනුයේ සිත තුළ නිතර ම අකුසල චෛතසික ඇති වන නිසාවෙනි. එසේ ඇති වන චෛතසික හෙවත් සිතිවිලිවලින් ප්‍රධාන වශයෙන් ම ඇති වනුයේ ලෝභ, දෝෂ, මෝහ යන අකුසල සිතිවිලිය. මෙම සිතිවිලිවලින් ද පුහුදුන් අය තුළ නිතර ම ඇති වනුයේ ලෝභය හා ඒ හා සමඟ ඇතිවන සිතිවිලි ය.

මේ නිසා මිනිසාගේ සිතේ ඇති වන රාගය තේරුම් නොගැනීම නිසා රාග ගින්නෙන් දැවී මහත් වූ ව්‍යසනයන්ට පත්වන ආකාරය බුදු දහමෙහි විස්තර කර ඇත. මේ නිසා බුදු දහමෙහි උගන්වනුයේ තෘෂ්ණාවෙන් වෙළී කටයුතු කිරීම නොව අත්හැරීම පුරුදු කිරීම යි. බුදුහිමියන් විසින් දේශනා කරන ලද සූත්‍ර දේශනාවක් වන මහා සතිපට්ඨාන සූත්‍රයෙහි මේ ගැන සඳහන්ය. ඒ අනුව බුදුහිමියන් පෙන්වා දී ඇත්තේ සිහිය පිහිටුවා ගන්නා ක්‍රම හතරකි. නිදසුනක් ලෙස කායානුපස්සනාව සලකා බලන්නේ නම් පැහැදිලි වනුයේ කයෙහි කය අනුව බලමින් කෙලෙස් තවන උත්සාහයෙන් යුතු ව සිහියෙන් යුතුව ලෝකයෙහි කරුණු දෙකක් ප්‍රහාණය කළයුතු බව යි. එම කරුණු දෙක වනුයේ අභිධ්‍යාව හා දෝමනස්සය යි.

අභිධ්‍යාව හෙවත් දැඩි ලෝභය යනු ලෝභයේ උච්චතම අවස්ථාවකි. එනම් ලෝභය මූලික වීමෙන් සියලු ක්ලේශ ධර්මයන් ඇතිවේ. මන්ද ලෝභයෙන් හෙවත් රාගයෙන් කැමැති වන දේ ලබා ගැනීමට නොහැකිවීම නිසා ද්වේෂය ඇති වේ. ඒ අනුව රාගය ඇති විට ද්වේෂය ඇති වන බව පැහැදිලි කරුණකි. එසේ නම් රාගය ඇති විම නිසා ඇති වන ප්‍රතිඵලයක් ලෙස මෝහය සැලකීම වරද නොවේ. මෙම තත්ත්වය නොදැනීම මෝහය යි. නිර්වාණාවබෝධවීමට නම් රාග, දෝෂ, මෝහ ප්‍රහාණය කළ යුතු බව බුදුසමයේ නිර්දේශිත ය. රාගක්ඛයො, දොසක්ඛයො, මොහක්ඛයො, නිබ්බානං. නමුත් සත්‍ය වශයෙන් ප්‍රහාණය කළයුතු වන්නේ රාගය හෙවත් ලෝභය පමණි. එනම් රාගය ක්‍ෂයවීමෙන් ම අනෙකුත් ක්ලේශ වන දෝෂය හා මෝහය නැති වේ.

මේ බව චතුරාර්ය සත්‍ය විවරණයේ එන දුක්ඛ නිරෝධාර්ය සත්‍යය පිළිබඳ දැක්වෙන අදහසින් පැහැදිලිය. එනම් දුක්ඛ නිරෝධය හෙවත් දුක නැතිකිරීම ලෙස දක්වා ඇත්තේ ඒ තෘෂ්ණාව නිරවශේෂ වශයෙන් නැති කිරීමයි. මිදීමයි. නොඇලීමයි. ඒ අනුව මුලින් සඳහන් කළ ආකාරයට ලෝභය ප්‍රහාණය කිරීම සඳහා යත්න දැරීම නිර්වාණාවබෝධය සඳහා උපනිශ්‍රය වන බව පැහැදිලිය.

මේ නිසා බෞද්ධ ප්‍රතිපදාවෙහි ශික්ෂණ මාර්ගය වශයෙන් සඳහන් වනුයේ ශීල, සමාධි ප්‍රඥා යනුවෙනි. ඒ අනුව ශීලය යනු කාය, වාග් සංවරය යි. එනම් ඉන්ද්‍රිය සංවරය යි. ඉන්ද්‍රිය සංවර යනුවෙන් අදහස් කරනුයේ කාම සම්පත් කෙරෙහි නො ඇලීමයි. එනම් කාම වස්තූන් කෙරෙහි නො ඇලීම යි. ඒ අනුව සිල්වත් බව ඇති වනුයේ ඉන්ද්‍රිය සංවරය මත ය.

ඉන්ද්‍රිය සංවරය ඇති වනුයේ ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රියන් බාහිර වස්තූන් සමඟ ස්පර්ශවීමේ දී අවබෝධයෙන් හෙවත් සිහියෙන් කටයුතු කිරීම යි. නිදසුන් වශයෙන් යම් කාම වස්තුවක් දුටු විට එය දුටුවා පමණක් බවත්, ශබ්දයක් ඇසුණු විට ඇසුණා පමණක් බවත් ආඝ්‍රාණය කළවිට ආඝ්‍රාණය කළා පමණක් බවත්, ස්පර්ශ වූ විට ස්පර්ශ වූවා පමණක් බවත් සිතමින් හික්මිය යුතුය. මේ බව බුදුන් වහන්සේ විසින් උදාන පාලියේ දී බාහිය දාරුචීරිය හිමියන්ට වදාරන ලදී.මීට අමතර ව එසේ ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව කටයුතු කළ භික්ෂූන් වහන්සේ නමක් පිළිබඳ ව විසුද්ධි මාර්ගයේ ද සඳහන් ය. එනම් අට්ඨික සඤ්ඤාව මෙනෙහි කළ හිමියන් ය.

එක්තරා කාන්තාවක් තම සැමියා සමඟ ඇති කරගත් ආරවුලක් නිසා තම සැමියා ප්‍රතික්ෂේප කළ ඇය තම මෑණියන්ගේ නිවසට යන අතරමඟදී මේ හිමියන් මුණ ගැසෙයි. මෙම භික්ෂූන් වහන්සේ දුටු එම කාන්තාව දසන් විදහා සිනාසුණාය. එය දුටු භික්ෂූන් වහන්සේ අට්ඨික සඤ්ඤාව මෙනෙහි කරමින් මැය ද ඇටසැකිල්ලක් කියා කල්පනා කළ සේක. එම කාන්තාව සොයා පැමිණි ඇගේ ස්වාමියා මෙම හිමියන් දැක විමසා සිටියේ මේ පැත්තෙන් කාන්තාවක් ගමන් කළේ ද කියා ය. එවිට උන්වහන්සේ ප්‍රකාශ කළේ කාන්තාවක් ද පිරිමියකු දැයි තමා නොදන්නා බවත් මේ මාර්ගයේ ඇටසැකිල්ලක් නම් ගමන් කළ බවත් ය.

තව ද බුදුන්වහන්සේ බෝසත්වරයකු ලෙස පූරණය කළ පාරමිතාවන්ගෙන් ප්‍රථම පාරමිතාව වනුයේ දාන පාරමිතාවයි. දානය පුරුදු කිරීම තුළින් සිදු වනුයේ රාගය හෙවත් ආශාව තුනීවීමයි. මෙම පාරමිතාවේ අවස්ථා තුනක් ගැන සඳහන්ය. එනම් දාන පාරමී, දාන උපපාරමී, දාන පරමත්ථපාරමී යනුවෙනි. මෙම අවස්ථාවන්ගෙන් නිරූපණය වනුයේ ද තෘෂ්ණාව නිරවශේෂ වශයෙන් නැති කිරිම සඳහා ගන්නා වූ උත්සාහයන් වේ. නිදසුන් ලෙස වෙස්සන්තර භවයේ දී බාහිර වස්තුව දන්දීම දාන පාරමිතාව වශයෙනුත්, සිවි ජාතකයේ දී අන්ධ බමුණාට ඇස් උදුරා දන්දීම දාන උපපාරමිතාව වශයෙනුත්, ව්‍යාඝ්‍රී ජාතකයේ දී බඩසයින් පෙළෙමින් පැටවු කෑමට යත්න දරන ව්‍යාඝ්‍ර දේනුවගේ කුසගිනි නිවාලීම සඳහා ඇගේ සමීපයට කඳු මුදුනේ සිට පැන්න බෝසතුන් විසින් කරන ලද ජීවිත පරිත්‍යාගය දානපරමත්ථ පාරමිතාවත් වශයෙනුත් මෙහි දී දැක්විය හැකි ය. ඒ අනුව නිර්වාණගාමී මාවත වළකාලන ප්‍රධානතම අකුසලය වන ආශාව දුරුකිරීම සඳහා කරන ලද ප්‍රයත්නයක් ලෙස දාන පාරමිතාව පුරුදු කිරීම දැක්විය හැකි ය.

නිර්වාණගාමී මාවත අහුරාලන කරුණු පහක් ලෙස පංචනීවරණ ධර්ම දක්වා ඇත. මෙම නීවරණ ධර්මවල පළමුවැනි නීවරණය කාමච්ඡන්දය වේ. කාමච්ඡන්දය යනු කාම වස්තූන්ට ඇති ආශාවයි. එනම් තෘෂ්ණාව නිසා මෙම තත්ත්වයන් ඇති වන බව පැහැදිලි කරුණකි. ඇස, කන, නාසය, දිව, කය, මනස පිනවීමට යාමෙන් මෙම කාමච්ඡන්දයට සත්ත්වයා ගොදුරු වනු බැවින් තම ඉන්ද්‍රිය මෙම පඤ්ච කාම වස්තූන් සමඟ ස්පර්ශ වීමේ දී සතිය පිහිටුවාගත යුතු ආකාරයත් බෞද්ධ ප්‍රතිපදාව තුළ ඉගැන්වේ.

සතියෙන් තොරව මෙම ඉන්ද්‍රියන් කාම වස්තූ®න් සමග ගැටුනේ නම් තේලපත්ත ජාතකයේ කුමාරයන් සේ කරදරයට ව්‍යසනයට පත්වන බව දැක්විය හැකි ය. මෙම තේලපත්ත ජාතකයේ සඳහන් වනුයේ කුමාරවරු හය දෙනකු ඈත ගමනක් යෑමට පිටත් වන අතර ඒ ඒ කුමාරයන් අතරමඟදී ඇස පිනවන දර්ශන දැකීම නිසා ද කන පිනවන ශබ්ද ඇසීම නිසා ද නාසය පිනවන ගන්ධයන් ආඝ්‍රානය ලැබීම නිසා ද, දිව පිනවන බොජුන් නිසා ද, ගත පිනවන ස්පර්ශ ලබා ගැනීමට යාම නිසා විනාශයට පත් වූ අයුරුත් බෝධි සත්ත්ව කුමාරයා සතියෙන් යුතු ව තමාගේ ස්වාමියා යැයි ලස්සන කාන්තාවක් නගර වාසීන්ට ප්‍රකාශ කරමින් ඇවිටිලි කරද්දී පවා ඒ ගැන කිසිදු තැකීමක් නැතිව කටයුතු කළ ආකාරය යි. කෙසේ වුවද මේ රාජ කුමාරයා තෙල් පාත්‍රයක් රැගෙන යන කෙනෙදු සේ චිත්ත සමාධිගතව ගමන් කළ බැවින් එම නගරයෙහි රාජ්‍යත්වයට පත් වු ආකාරය දක්වා ඇත.

බුදුන්වහන්සේගේ ශ්‍රාවකයකු බවට පත් වන රට්ඨපාල හිමියන්ගේ පුවත මෙම තෘෂ්ණාභරිත බවේ ආදීනව දැන ගැනීමට කදිම නිදසුනකි. ඒ අනුව බුදුන් වහන්සේ ථුල්ලකොට්ඨිත නම් ගමට වැඩම කළ අවස්ථාවේ දී ඒ ගම්වැසි බොහෝ බ්‍රාහ්මණ, ක්ෂත්‍රිය, ගෘහපති, යනාදී පිරිස් උන්වහන්සේ දැකීමටත් උන්වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කිරීමටත් පැමිණ ඇත. ඒ අයගෙන් සමහරෙක් බුදු හිමියන් සම¼ඟ කථා බස් කර එකත් පසක සිටි අතර තවත් සමහරෙක් නිශ්ශබ්දව ද තවත් සමහරෙක් නම්ගොත් විචාරා ද අසුන් ගෙන තිබේ. ඒ පිරිසට බුදුහිමියන් ධර්මය දේශනා කළ අතර ඒ අය බුදුන් වහන්සේගේ බණ අසා සතුටුවිය. කෙසේ වුව ද මේ අතර සිටි රට්ඨපාල නම් විශාල ධනස්කන්ධයකට හිමිකම් කියන තරුණ කුමාරයා ද ගෘහ ජීවිතය ගැන කළකිරී මහණ වීමට තීරණය කළේය. එම අදහස බුදුහිමියන්ට දැන්වු විට දෙමාපියන්ගෙන් අවසර රැගෙන එන ලෙස ඒ කුමාරයාට දන්වා ඇත.

රට්ඨපාල කුමාරයා දෙමාපියන්ගෙන් අවසර ඉල්ලූවිට එය කෙසේවත් කළ නොහැකි බවත් තමන්ට සිටින එකම පුත්‍රයා ඔහු බවත් දන්වා ඇත. නොකා නොබී සිට, දුෂ්කර ක්‍රියාවන්හි යෙදී මවුපියන්ගෙන් කෙසේ හෝ අවසර ලබාගෙන රට්ඨපාල කුමාරා ප්‍රජ්‍යාවට පත් වෙයි. එසේ පැවිදි වී භාවනා කර අර්හත්ව නම් වූ පැවිද්දෙහි උතුම් ඵලය ලබාගෙන දිනක් තමාගේ උපන් ගමට පිඬු සිඟා වඩියි. 24 වැනි පිටුවට

 

අධි බිනර පුර පසළොස්වක පෝය

අධි බිනර පුර පසළොස්වක පෝය අගෝස්තු 30 බ්‍රහස්පතින්දා අපර භාග 08.16 ට ලබයි.
31 වැනිදා සිකුරාදා අපර භාග 07.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 31 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]