ගුණ ගරුක බවට පදනම
යහපත්
සමාජ පසුබිමයි
රුහුණු විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය
කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි
සමාජය දෙස බැලූ විට අපට පැහැදිලිවම පෙනී යන්නේ අසහනකාරී
සමාජයක් නිර්මාණය වී ඇති බවයි. මේ
අසහනකාරිත්වයත් සමඟ අප ඉදිරියට ගමන් කළොත් අපට සදාචාර සංවර්ධනයක් කරා
යොමුවීම අසීරුයි.
ස්ථාවර ගුණදහම් අගයන
සමාජයක් නිර්මාණය කර ගන්නට අපහසුයි
විශාලා මහනුවර ඇති වූ තුන්බිය දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ රතන
සූත්‍රය දේශනා කළා. එමගින් තුන්බිය දුරු වී විශාලා මහනුවර සමෘද්ධිමත්
රාජ්‍යයක් බවට යළිත් පත් වුණා.
අප රටේද කාලාන්තරයක් තිස්සේ පැවැති යුද බිය අවසන් කර මේ වනවිට රට
සංවර්ධනය කරා ගමන් කරමින් සිටිනවා. රට පුරාම සංවර්ධන කටයුතු කඩිනමින්
සිදු කෙරෙනවා.
මෙහිදී අප තේරුම් ගත යුතු වැදගත්ම කරුණ වන්නේ තම ශක්ති ප්‍රමාණයෙන්
කටයුතු කළ යුතු බවයි. ධර්මයේ එය ‘යථා ඵල’ යනුවෙන් දක්වා තිබෙනවා. විවිධ
වූ අනාගත අපේක්‍ෂා වන්ගෙන් මෙම කටයුතු නිබඳවම සිදු කෙරෙනවා.
විශේෂයෙන්ම නවීන තාක්‍ෂණය භාවිතා කිරීමේදි අප වඩාත් කල්පනාකාරී විය
යුතුවෙනවා. එසේ නොවුණහොත් නවීන තාක්‍ෂණය අපගේ විනාශයට හේතුවෙන්නට
පුළුවන්. තම පෞද්ගලික අපේක්‍ෂාවෙන් මූලික කර ගැනීමේ අරමුණින් එසේත්
නැත්නම් තෘෂ්ණාව ලුහුබැඳීමට අප උත්සාහ කළොත් එයින් සාර්ථක ප්‍රතිඵල අත්
වන්නේ නැහැ. බුදු දහමේ ආසාව නැත්නම් තෘෂ්ණාවෙන් ඇලී ගැලී සිටීම අනුමත
කරන්නේ නැහැ. ආසාව, ඇල්ම දුරු කළ යුතු බවයි බුදු දහමේ දැක්වෙන්නේ.
‘ඌනෝ ලෝකෝ අතින්තෝ තණ්හා දාසෝ’
තණ්හාවට අප දාසයකු නොවිය යුතු බව. බුදු දහමෙහි දැක්වෙනවා. බුදු දහමේ
දක්වා ඇත්තේ ගිහි දිවිය ගත කරන්න ආසාව තුනී කර ගත යුතු බවයි. ආසාව
ලුහුබැඳීමෙන් ඇතිවන්නේ දුකක්ම පමණයි. මේ නිසා රටක සංවර්ධනය නැත්නම්
සෞභාග්‍යය කරා ගමන් කිරීමේදි එකිනෙකා අතර ගරු කිරීමක් අවශ්‍යයි.
අන්‍යෝන්‍ය වශයෙන් සැලකීමක් අවශ්‍යයි. එකිනෙකා අතර අවබෝධයක් තිබිය
යුතුයි.
සත් කරන්තො - ගරු කරන්තො
මානෙන්ති – පූජෙන්ති
ධර්මයේ දැක්වෙන්නේ අනෙක් තැනැත්තාට ගරු කරන සත්කාර කරන්නාට ඒ සියල්ල
පෙරළා ලැබෙන බවයි.
තමන් පමණක් නොව අනෙක් අයගේ බලාපොරොත්තු සම්පූර්ණ විය යුතු බව අප තේරුම්
ගත යුතුයි. එසේ නොවුණහොත් සමාජයක් කඩා වැටීමට ඉඩ තිබෙනවා. එමෙන්ම
මෙහිදී අපගේ ආදර්ශය අනාගත පරපුරට බලපානු ලබන බව අප තේරුම් ගත
යුතුවෙනවා.
ගුරුවරයා ශිෂ්‍යයාට ආදර්ශවත් ලෙස කටයුතු කළ යුතුයි. මවුපියන් දරුවන්ට
ආදර්ශවත් ලෙස කටයුතු කළ යුතුයි. ආයතනයක ප්‍රධානියා තමන් යටතේ සිටින
සේවක සේවිකාවන්ට ආදර්ශවත් විය යුතුයි. පාලකයන් රටවැසියන්ට ආදර්ශවත් විය
යුතුයි. මේ සියල්ලටම වඩා භික්‍ෂූන් වහන්සේ ගිහියාට ආදර්ශවත් විය
යුතුයි. එමඟින් ආදර්ශමත් සමාජ පසුබිමක් අප ඇති කිරීමට පියවර ගත යුතුයි.
එසේ ආදර්ශවත් චරිත මගින් පුද්ගලයන් තුළ ස්වයං විනයක් ඇතිවනවා. එම ස්වයං
විනය තුළින් සමාජයට වැඩදායි පුද්ගලයකු බිහිවනවා. එවන් පුද්ගලයන්ගෙන්
සැදුම්ලත් සමාජයක් තුළින් සැමටම හිතකාමී සමාජයක් උදාවෙනවා.
තමන්ගේ ජීවිතය තමන් ආරක්‍ෂා කර ගන්නා අතර අන්‍යයන්ගේ ජීවිතද ආරක්‍ෂා කර
දෙනවා.
එමෙන්ම තමන්ගේ දේපළ වස්තුව ආරක්‍ෂා කර ගන්නා අතර අනෙක් අයගේ වස්තුව
දේපළද ආරක්‍ෂා කරදෙනවා. ඊට හානි පැමිණීමට ඉඩ නොදෙන පරිසරයක් නිර්මාණය
කරනවා. මෙවන් සමාජයක සංවර්ධනය සෞභාග්‍යය උදාවනවා. මේ අයුරින් පංචශීල
ප්‍රතිපදාවම රැක දෙනවා නම් සමාජය ඉහළ ස්ථරයකට ගමන් කරනවා. විශේෂයෙන්
සන්නිවේදනය, නවීන තාක්‍ෂණය, අප යොදා ගත යුත්තේ ගුණධර්මවලට මූලික තැනක්
ලබාදීමෙන්ය. ව්‍යාපාරයකදී හෝ අප සැම විටම කල්පනා කළ යුත්තේ ලාභය නොව
එමඟින් සමාජයට වන යහපත හෝ අයහපතයි.මේ නිසා අප සෑම විටම ක්‍රියා කළ
යුත්තේ සමාජයටත් පුද්ගලයාටත් අභිවෘද්ධිය සලසා දෙන කරුණ උදෙසා පමණයි.
අද සමාජය දෙස බැලූ විට අපට පැහැදිලිවම පෙනී යන්නේ අසහනකාරී සමාජයක්
නිර්මාණය වී ඇති බවයි. මේ අසහනකාරිත්වයත් සමඟ අප ඉදිරියට ගමන් කළොත්
අපට සදාචාර සංවර්ධනයක් කරා යොමුවීම අසීරුයි. ස්ථාවර ගුණදහම් අගයන
සමාජයක් නිර්මාණය කර ගන්නට අපහසුයි.
විශේෂයෙන් ම අප සෑම විටම සත්පුරුෂ ඇසුරට යොමු විය යුතු වනවා.සත්පුරුෂ
ඇසුරින් අපට මෙලොව පරලොව දෙලොවටම හේතුවන කරුණු රැසක් දැක්වෙනවා.
සත්පුරුෂ ඇසුරින් අපගේ දියුණූව සැලසෙනවා. ප්‍රඥාව වැඩෙනවා. ශෝකය
නැතිවනවා. ඥාතීන් මැද බබළනවා. දීර්ඝායුෂ ලැබෙනවා. සුගතියට යොමුවෙනවා.
ඊට අමතරව සසර දුකින් මිදී නිවන් මඟට පිවිසීමේ මහඟු අවස්ථාව උදාවෙනවා.
එමෙන්ම අසත්පුරුෂ සේවනයෙන් වැළැකීමට අප කටයුතු කළ යුතු වෙනවා.
අසත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් කිසි විටක අපට දියුණුව සලසා ගන්නට බැහැ.
තමන්ගේ වස්තුව නැතිවීම අභූ®ත චෝදනාවලට ලක්වීම, සමාජය පිළි නොගැනීම
ඇතුළුව විශාල ගැටලු රැසකට එදිනෙදා ජීවිතයේ දී මුහුණ දීමට සිදුවනවා.
බුදුරජාණන් වහන්සේ පාප මිත්‍ර සේවනය හා කලණ මිතුරු ඇසුරේ වෙනස ඉතා
පැහැදිලිව දක්වා තිබෙනවා. සත්තිගුම්හ ජාතකයේ ඇසුර නිසා වෙනස් වන අයුරු
දක්වා තිබෙනවා සේම මෙලොව ජීවිතයට හේතුවන කරුණු යනුවෙන් ව්‍යග්ඝපජ්ජ
සූත්‍රයේ දක්වා ඇති කරුණු අතර කල්‍යාණමිත්‍ර සම්පත්තියද දක්වා තිබෙනවා.
මේ නිසා අප රට සමෘද්ධිමත් කිරීමට නම් උට්ඨාන සම්පදාවෙන් හා ආරක්ඛ
සම්පදාවෙන් ගොඩ නැගී ඇති සමාජය කල්‍යාණ මිත්තතා ගුණාංගයෙන් පෝෂණය කළ
යුතුවෙනවා. එමෙන්ම සමජීවිකතාවයක් මිථ්‍යා මතයන් පසු පස ඇදී නොයාමටත් අප
කටයුතු කළ යුතුවනවා.
අද ඇතැම් මාධ්‍යයෙන් පවා මිථ්‍යා මත වලට වැඩි ඉඩක් ලබාදී ඇති බව
පැහැදිලිය. මේ මගින් සමාජයට අවැඩක් මිස කිසි යහපතක් උදා වන්නේ නැහැ.
බුදුදහම පවා විකෘති කිරීමට ඇතැමුන් උත්සාහ දරන්නේ තම ලාභ ප්‍රායෝජන
තකායි. එහෙත් සත්පුරුෂයන් නම් කිසි විටෙක එවන් මිථ්‍යා මතවලට රැවටී
කටයුතු කරන්නේ නැහැ. එමෙන්ම අන්‍යයන්ද තම හිත මිතුරන්ද මිථ්‍යා මත වලට
යොමු වන්නට ඉඩ නොදී රැක ගන්නවා.
දුකේදීත්, සැපේදීත් අපට මධ්‍යස්ථව කටයුතු කිරීමට හැකිවන්නේ අප සමඟ
සමාජයට එක්ව සිටියහොත් පමණයි. එහෙත් ඒ සමාජය සෞභාග්‍යමත් ගුණ දහම් අගයන
සමාජයක් විය යුතුයි. එසේ නොවුවහොත් යාන වාහන, සන්නිවේදනය වැනි දේ
කෙතරම් ඉහළ තාක්‍ෂණයෙන් තිබුණෙත් සමාජය ගොඩ ගන්න බැහැ. සියලුම නවීන
විද්‍යාව අප යොදා ගත යුත්තේ ගුණදහමට මූලික තැන දීමෙන් අන්තර්ජාලය
උදාහරණයට ගන්න. එමඟින් අපට බොහෝ දේ දැනුම්දෙන සමාජය දියුණු කරන්න.
අනාගත පරපුර සුඛිත මුදිත කරන්න පුළුවන්.
එසේ වුවත් එම අන්තර්ජාලයටම අපගේ අනාගත පරපුර විනාශය කරා යොමු කරන්නත්
පුළුවන්. මේ වෙනස තේරුම් ගැනීමට අපට ශක්තිය, දැනුම තිබුණහොත් ගුණගරුක
සමාජයක් බිහි කිරීම අපහසු නැහැ.
සාකච්ඡා කළේ: තාරක වික්‍රමසේකර |