Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරජාණන් වහන්සේ වදාළේ කුමක් ද?

ලෝභ, ද්වේෂ මෝහ කියා කියන්නේ ඔබ නිවනට ගෙනයන ධර්ම නොවේ. ඔබ බඹ ලොවට ගෙනයන ධර්මත් නොවේ. ඔබ සදෙව් ලොවට ගෙනියන ධර්මත් නොවේ. ලෝභ ද්වේෂ මෝහ කියන්නේ නැවත වතාවක් මිනිස් ලෝකයට එන ධර්මත් නොවේ. එහෙමනම් ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ ඔබ සතර අපායට ගෙනයන ධර්මයි

තුන් ලොවක් සනසා වදාළ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ මෙ ලොව පහළ වී සසර දුක දුරුවෙන, සංසාරගත සත්ත්වයාගේ සංසාර දුක් ගිනි නිවාලීම පිණිස ඇති ගමන් මග ලෝකයා ට දේශනා කොට වදාළා. ඒ දේශනා කළ ධර්මය තුළ බුදුරජාණන් වහන්සේ, අප ලබාගත් මිනිස් ආත්ම භාවය කෙතරම් දුර්ලභ ද කියන බවත්, ඒ සසර ගමන කෙතරම් බියකරු ද කියන කරුණත් ලෝකයට හෙළිකළා. විශේෂයෙන් අනමතග්ග සංයුක්තිය වගේ් දේශනාවල සඳහන් වෙනවා අප කවුරු කවුරුත් ආ ගමන් මඟ පිළිබඳව. “මම ත් නුඹලා ත් අවිද්‍යා නීවරණ වලින් බැඳිලා සංයෝජනයෙන් බැඳීලා මේ සසර බොහෝ කලක් ඇවිද ගියා” යැයි උන්වහන්සේ වදාළා.

එකම අම්මා වෙනුවෙන් හැඬූ කඳුළු මහ සයුරට වැඩි යි. පියා වෙනුවෙන් සහෝදරයා, සහෝදරිය වෙනුවෙන්, බිරිඳ ස්වාමියා වෙනුවෙන් , ඥාති ව්‍යසනයෙන්, බෝග ව්‍යසනයෙන් ඒ ඒ අවස්ථාවල හැඬූ කඳුළු මහ සයුරේ ජලයටත් වැඩි බවයි උන්වහන්සේගේ දේශනාවල සඳහන් වෙන්නේ.

බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා යම් යම් ආත්මභාව සත්ත්ව උත්පත්තිවල කුකුළු වෙලා , එළුවෝ වෙලා, ඌරෝ වෙලා හරක්වෙලා මේ වගේ උපන් වාරවල ගෙල කපා දැමූ වෙලාවේ ගැලූ රුධිරය මහ පොළොවේ එක්තැන් වුනා නම් එය මහ සයුර පුරවන්න තරම් ලේ කඳුළු වගුරුවා තිබෙන බව. කෙනෙකුට බුදුරජාණන් වහන්සේ පිළිබඳ විශ්වාසයක් නැත්නම් ඔහුට හිතෙන්න පුළුවන් මේ නම් බොරුවක්. මේ කියන්නේ අතිශෝක්තියක්. මෙතරම් ලේ කදුළු වගුරන්න පුළුවන් දෙයක් ද? එක ආත්මයකදී දෑසින් ගලන කදුළු මොන තරම් ස්වල්පයක් ද? මහ සයුරක් පුරවන්න කොතරම් හඬන්න ඕන ද? මහ සයුරක් පුරවන්න ලේ කොතරම් ඕනෑද? මෙය වෙන්න පුළුවන් දෙයක් ද කියලා. නමුත් තුරුණු වන් අදහන විශ්වාස කරන කෙනෙක් නම් ඒක විශ්වාස කරනවා.

පොත්පත්වල සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ දී නො කළ වරදක් තිබෙනවා. ඒ තමයි බොරු නොකියා සිටීම. ඒ නිසා අප බිය කරන්නට හෝ සනසන්නට හෝ උන්වහන්සේට ඒ සිල්පද කඩ කරන්නට වුවමනාවක් නැහැ. උන්වහන්සේ යමක් දේශනා කළානම් ඒක බුදු නුවණින් විමසල දේශනා කළේ. ඒ වගේම සසර ගමනේ දී සතර අපාය කියන තැනක් ගැන අපට පෙන්වා තිබෙනවා. ඒ සතර අපායේ කෙනෙක් උප්්පත්තිය ලැබුවොත් නැවත වතාවක් මනුස්ස ආත්මයට නො එන තරම්. නො එනවා නොවේ. එනවා නම් එන්නේ මොනවගේ් දුර්ලභ ව ලබන ප්‍රතිලාභයක් ද කියලා උන්වහන්සේ උපමා වලින් පැහැදිලි කර දුන්නා. ඒ තමයි කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ් කියලා. එක මේ වගේ දෙයක් නගුලක වියගසක් මහ මුහුදට ගසා ගෙන ආවොත් එහි එක සිදුරයි තිබෙන්නේ. ඊළඟට මහ මුහුද කියන්නේ නිහඬ නිසල තැනක් නොවේ. මහ මුහුදට වැටුන දේ ඒ අතට මේ අතට තල්ලුකරගෙන පාවෙවී යනවා. නිසලව එක තැනක තිබෙන්නේ නැහැ. කැස්බෑව ගේ උඩට මතුවීම අවුරුදු සියයකින්. ඊළඟට ඒ කැස්බෑවට තිබෙන්නේ එකම ඇසයි. අවුරුදු සියය වගේ් උඩට මතුවෙන එක ඇසක් තිබෙන කැස්බෑවගේ පෙනෙන ඇස අර එහාට මෙහාට පාවෙවී යන විය ගසේ සිදුරට ළංවෙලා අහස දකිනවා කියන එකයි. එය නොවන දෙයක් නොවේ. හැබැයි ඒක ඉතාමත්ම අහඹු ලෙස සිදුවන සිදුවීමක්. මෙන්න මේ වගේ මහණෙනි, සතර අපායට ගිය කෙනෙක් මිනිස් ආත්ම භාවයට පැමිණීම එතරම් දුර්ලභ යැයි” දේශනාවේ සඳහන්ව තිබෙන්නේ. ඒ අනුව අපට තේරෙනවා ඔබෙත් මගෙත් මිනිස් ජීවිතයේ වටිනාකම මැන බලන්න පුළුවන් වන්නේ මෙන්න මේ සංසාරික ස්වභාවය පිළිබඳ ව සතර අපාය පිළිබඳ ව හොඳට නිරීක්ෂණය කළ කෙනෙකුටයි. කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ් ඉතාමත් දුර්ලභ අවස්ථාවක් උදාවෙමිනුයි ඔබටත් මටත් මේ මිනිස් ආත්මය ලැබෙන්නේ. එනිසයි බුදුරජාණන් වහන්සේ දුල්ලභෝ මනුස්සත්ව පටිලාභෝ කියා දේශනා කළේ. අප හැමෝම ඒ දුර්ලභ මිනිස් ආත්මය ලබලා. නමුත් ඒ ලබාගත්ත මිනිස් ආත්මය තුළින් අපට සතුටු විය හැකි ද? අපි මේ ගැන විමසා බලමු. අප කාටද ලැබු මිනිස් ජීවිතය ගැන සතුටුවෙන්න පුළුවන්. උද්දාමයට පත්වෙන්න පුළුවන්. නුවණින් විමසන කොට නම් පෙනෙන්නේ නැවත වතාවක් අප කවුරු කවුරුත් ගෙදර යන්න සූදනමින් ඉන්න බව. බුදුරජාණන් වහන්සේ දේශනා කළා සතර අපාය අපට ගෙදර වගේ් කියලා. එහෙම දේශනා කළේ අපි ගෙදර ඉදල ඉඳහිට එළියට ආවත් පිට තැනකට ගියත් අප ඒ කටයුත්ත අවසන් වෙලා ගෙදර යනවා. අපේ මනස මැවිලා තියෙන්නේ, බරවෙලා තිබෙන්නේ නැවත ගෙදර යන්න. ඒ වගේ අපි සතර අපායෙන් මිදිලා මෙහාට ආවොත් අපේ මනස නැවත වතාවක් හැරිලා තියෙන්නේ සතර අපාය දෙසට. සතර අපායට හැරිලා සතර අපායට බරවෙලයි මේ ජීවිතය ගලාගෙන යන්නේ. ජීවිතය ගැන විමසා නො බැලූ කෙනෙක් මේ දෙයට එකඟ නො වෙන්නටත් පුළුවන්. නමුත් ඔබට පුළුවන් ඔබ තුළින් යමක් සිතන්න. අනුන් තුළින් නොවේ. තමන් තමා දෙස බලලයි හැම දහමක්ම තීරණය කරන්නේ.

ඔබට ඇසට රූප පෙනෙනවා. කනට ශබ්ද ඇසෙනවා. නාසයට ගඳ සුවඳ දැනෙනවා. දිවට රස දැනෙනවා. කයට පහස දැනෙනවා. විශේෂයෙන් මේ ආයතන පහට අරමුණු ලැබෙනවා. මේ අරමුණු ලැබෙන වෙලාවේ ඔබ තුළ මොනවද ඉපදෙන්නේ. පහළ වෙන්නේ. ඇසෙන් රූප දැකලා අපි සතුටු වෙනවා හොඳයි කියලා. එහෙම නැත්නම් අසතුටු වෙනවා කැතයි නරක යි කියලා. නාසයෙන් කනෙන්, දිවෙන්, කයෙන් අරමුණු ලැබෙන විටත් එහෙමයි. කැමැත්ත උපදවා ගන්නවා. එහෙම නැත්නම් අකැමැත්ත උපදවා ගන්නවා. කැමැත්ත අකැමැත්ත කියන දෙක යම් තැනකද එතැන තිබෙන්නේ ලෝභය හා ද්වේෂය යි. අරමුණුවල කැමැතිවන බව සතුටුවන බව යම් තැනකද එතැන ලෝභ මූලය තිබෙනවා. අකැමැත්ත තිබෙන තැන ද්වේෂ මූලය යෙදිලා තිබෙනවා. කැමැත්ත අකැමැත්ත සමඟ යෙදෙන ලෝභ ද්වේශය යෙදෙන්නේම අරමුණෙහි ඇති තතු නොදන්නා මෝහය නිසායි.

දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් සිහිනුවණින් නොසිටින හැම මොහොතකම අපට ලෝභ ද්වේශ මෝහ කියන ගතියයි සිත තුළ ඇති වෙන්නේ. ලෝභ, ද්වේෂ මෝහ කියා කියන්නේ ඔබ නිවනට ගෙනයන ධර්ම නොවේ. ඔබ බඹ ලොවට ගෙනයන ධර්මත් නොවේ. ඔබ සදෙව් ලොවට ගෙනියන ධර්මත් නොවේ. ලෝභ ද්වේෂ මෝහ කියන්නේ නැවත වතාවක් මිනිස් ලෝකයට එන ධර්මත් නොවේ. එහෙමනම් ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ ඔබ සතර අපායට ගෙනයන ධර්මයි. අප මේ මනුස්ස ලෝකයට දුර්ලභ ව ආවත් නැවත අපේ මනස චිත්ත දහරාව නැමිලා හැරිලා බරවෙලා ගලන්නේ සතර අපායටයි. හැබැයි මේක නියතයක් නියාමයක් නොවේ. මේ ගමන වෙනස් කරන්න ලෝකයට දුර්ලභ වූ උපතක් සිදුවුණා. ඒ නිසයි බුදු උපත සැපතක් කියලා කියන්නේ. බුදු උපත අපට සැපතක් වන්නේ. මේ ගමන් මඟ න්‍යාය ක්‍රමය ලෝකයට හෙළි පෙහෙළි කරලා දෙන්නේ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ පමණයි.

ලබන සතියේ
බුදු උපත සැපතක් වන්නේ ඇයි?


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.