Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අනතුරෙන් අත්මිදෙමු ධර්මයෙන් දිවි ගෙවමු

දිවිමගේ සැනසුම සොයා යන අපහට ලොව්තුරා බුදුන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය තරම් වටිනා වූ අන් කිසිවක් නැත්තේය. එය වූ කලි රෝගී වූවෙකු සඳහා ඔසුවක් බඳුය. “ධම්මොසධ සමං නÀථි එතං පිවථ භික්ඛවෙ“ ධර්මය හා සමාන වෙනත් ඔසුවක් නැතැයි දේශනා කළේ එබැවිනි.

මිනිසුන් වැඩි අවධානයක් යොමු කරනුයේ කායික වශයෙන් ඇතිවන රෝගාබාධ දුරුකර ගැනීමට විනා මනස රෝගී කරවන ලෙඩ සුවපත් කරගැනීම සඳහා නොවේ. කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද මිනිසුන් රෝගී වෙති. කායික වශයෙන් ඇතිවන රෝගද බොහෝය. එබඳු රෝග වට්ටෝරුවක් ගිරිමානන්ද සූත්‍රයේ දී ද බුදුන් වහන්සේ පෙන්වා දී ඇත. මිනිසෙක් රෝගී වූ කල්හි එය ඔහුගේ දියුණුවටද බාධාවක් වන බව සැබෑය. එදිනෙදා කරනු ලබන ව්‍යාපාර ආදිය බිඳ වැටී ආර්ථිකය දුර්වල වීමට ද එය හේතුවක් වන්නේය. අධ්‍යාපනය ලබන දරුවෙක් නම් රෝගී වූයේ ඔහුගේ අධ්‍යාපන කටයුතු ද ටික කලකට හෝ අඩාල වී යන්නේය. මේ නිසාම නිරෝගී කම මිනිසෙකුට තිබිය යුතු උතුම්ම ලාභයක් බව “ආරෝග්‍ය පරමාලාභා....” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කළ දහමට අනුව පැහැදිලි වේ.

කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන්ද ඇතිවන රෝග සුවපත් කරගන්නට මිනිසුන් ධර්මය ඔසුවක් කරගන්නේ නම් බොහොමයක් අනතුරුවලින් අත්මිදී ජීවිතය ධර්මානුකූලව ගතකරන්නට හැකිවන්නේය. ඊෂ්‍යාව, ක්‍රෝධය, වෛරය,රාගය, තෘෂ්ණාව ආදිය සිත්වල පැල පදියම් වී හමාරය. මේ නිසාම මිනිසුන් නොමිනිසුන් වී ක්‍රියා කරනු පෙනේ. ඉඩමට, කුඹුරට මෙන්ම දෙල් ගහට, කොස් ගසට, පොල් ගහට පවා ඇන කොටා ගන්නා මරාගන්නා තත්වයට පත්ව ඇත. තම මව්පිය දෙපළට ඇතැම් දූදරුවන් සිත්කම්පා කරවන ඇතැම් සිද්ධීන් පිලිබඳ වරින්වර දිනපතා පුවත්පත් මගින් අසන්නට ලැබේ. මිනිසුන් ධර්මයෙන් ඈත්වී අධාර්මිකව කටයුතු කිරීම නිසා විවිධ අකටයුතු සිදුවෙති. බුදුන් වහන්සේගේ ධර්මයෙහි වටිනාකම තේරුම් ගනිමින්, ඒ ධර්ම මාර්ගයේ ගමන් කරමින් ජීවත්වන්නේ නම් අපගේ ජීවිත තව තවත් වාසනාවන්ත වනු ඇත. නිතර නිතර බුදුබණ ඇසුනත් එය ඇසීමට පමණක් සීමාවී පිළිපැදීමෙන් ඈත්වී ජීවත්වීම නොගැලපේ. අවැසි වන්නේ බණ ඇසීම පමණක් නොව ධර්මයෙන් දිවිමග සකසාගෙන යහපත්, ගුණගරුක පිරිසක් වීමය.

බුදුන් වහන්සේ දෙමව්පියන් පිළිබඳවද බොහෝ අවස්ථාවලදි දේශනා කළහ. මව්පියන්ට සැලකීම දරුවන් ගේ යුතුකම හා වගකීමද වේ. මහා බ්‍රහ්මයා තුළ තිබෙන මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා යන සිව්බඹ විහරණ දෙමාපියන්ද සතු බව බුදුන් වහන්සේ පෙන්වා දුන්හ.

කලාතුරකින් සමහර දෙමව්පියන් තම දරුවන්ට කරනු ලබන කුරිරු වධ හිංසා සිත් කම්පා කරවන සුළුය.

වර්තමානයේ සිදුවන අනතුරුද බොහෝය. රිය අනතුරු ආදිය බහුලව සිදුවෙති. මේ සියලු කරුණු හමුවේ පැහැදිලි වන්නේ මිනිසුන් ධර්මයෙන් ඈත්වීම ඊට හේතුවන බවයි. “ධම්මො හවෙ රක්ඛතී ධම්මචාරි” යනුවෙන් දහමට අනුව ජීවත්වන්නා (ධර්මය පිළිපදින්නා) ධර්ම ය විසින්ම ආරක්‍ෂා කරනු ලබන බව බුදුන් වහන්සේ දේශනා කර ඇත.

ඇස්, කන්, නාසා, අත්,පා ආදී අවයවයන්ගෙන් සම්පූර්ණව උපත ලැබීමත්, ලබාගත් ඒ මිනිස් ජීවිතය බුද්ධෝත්පාද කාලයක වීමත්, සද්ධර්මය අසන්නට ලැබීමත්, අතිශයින් දුර්ලභ කාරණාවන් බව බුදුන් වහන්සේ දේශනා කර ඇත. ඒ දුර්ලභ කාරණාවන් අප විසින් සපුරාගෙන ඇත. එසේනම් එවන් වටිනා මිනිස් ජීවිතයකට උරුමකම් කියනු ලබන මිනිසා ධර්මයෙන් ඈත්වී අධාර්මිකව ජීවත්වී තම ජීවිතය අනතුරුට පත් කරගන්නේ නම් එය මහා අභාග්‍යයකි. මිනිසත්කමේ වටිනාකම තේරුම් අරගෙන තමන් අතින් දැන හෝ නොදැන කරනු ලබන වැරැදි වලින් ඈත්වී ධර්මයටම නැඹුරුවී ජීවත්වන්නේ නම් ඔහු “අඳුරෙන් ආලෝකයට යන පුද්ගලයෙක් වන්නේය” “ආලෝකයෙන් අඳුරට නොයා යුතුය”

මෙකී සියලු දේ තේරුම්ගෙන හැකිතරම් දුරට වැරැදි වලින් ඈත්වී , මිනිස් කමට නොගැළපෙන අකටයුතුකම් වලින් මිදී ධර්මයෙන් ජීවිත ගොඩනගාගෙන, අනතුරු වලින් අත්මිදී ජීවත්වීම තමා තමාට මෙන්ම තමන්ගෙන් අන් අයටද සිදුවෙන උතුම්ම යහපතක් වන්නේය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.