Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දහම් දැනුම ලබා ගන්නවා නම් ආකල්ප මීට වඩා වෙනස් වේවි

තමාගේ විමුක්තිය සාදා ගැනීමට හැකියාව ඇත්තේ තමන්ට පමණක් බව බුදුරජාණන් වහන්සේගේ දේශනාව වුණා.

මිනිසා නිවන් මඟට යොමු කරන අතර රස වින්දනයක් ද ඔහුට ලබා දීමට බුදු දහම කටයුතු කර තිබෙනවා.

හෙළ සාහිත්‍යකරුවාද ඒ මඟම යමින් සිංහල ගද්‍ය පද්‍ය සාහිත්‍ය පෝෂණය කළේ බුදු දහමේ ආභාසයෙන්.

අපේ පැරැන්නන් ඒ සාහිත්‍ය නිවැරැදිව රස වින්දා. ඒ රසාස්වාදය ඔවුන්ට මහඟු පිහිටක් වුණා. පවුලක සතුට සමාදානය රඳා පවත්වා ගැනීමට මෙන්ම නිවැරැදි දිවි පෙවෙතකට ජනයා යොමු කරවන්නට අපේ ගද්‍ය පද්‍ය ඉවහල් වුණා. අතීත ජනයා සාහිත්‍ය කලාව මනාව ගලපා ගැනීමට සමත් වුණා. දේශීයත්වය හා මුසු කර ගත්තා. චිත්‍රය, මූර්ති, කැටයම් මේ සියලුම නිර්මාණවලදී බුදුදහම හා මුහුකර කලා රසය ලබා ගැනීමට හෙළයාට හැකිවුණා.

බුද්ධාගම හා සාහිත්‍ය කලාව දෙකක් නොව එකක් වශයෙන් ඔවුන් හඳුනාගෙන කටයුතු කළා. මෙරට බිහිවූ ග්‍රන්ථ දෙස බැලීමේදී පෙනී යන්නේ සියල්ලම බෞද්ධ ආභාසයකින් පෝෂණය වී ඇති බවයි.

ලෝවැඩ සඟරාව දෙස බැලීමේදී මේ බව හොඳින් වටහා ගන්න පුළුවන්.

අද අද එයි මරු පින් කරගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ 
කුමටද කුසලට කම්මැලි වන්නේ

මාරයා අද වුවත් එන බව සලකා කුසල් කළයුතු බවත් හෙට මරු නොපැමිණෙන බව කෙසේ සිතන්නේද ? යන්නත් කුසලට මැලි නොවිය යුතු බවත් එහි දැක්වෙනවා.

අන්සතු සැපතක් දැක දළ ලොබිනේ
උන්ට නොවී මට වේවයි සිතිනේ
උන් කළ ඒ සිත අටගත් පවිනේ
උන් මතු නිරයේ දුක්මයි විඳිනේ

අනුන්ට අයත් සැපතක් දැක ඒ කෙරෙහි දැඩි ලෝභයෙන් ඒ සැපත ඔහුට නොලැබී මට ලැබේවායි සිතේ හටගත් පවට මරණින් මතු අපායේ උපත ලබන බව වීදාගම හිමියන් දක්වා තිබෙනවා. වීදාගම හිමියන් බුදු දහමට අනුව මෙසේ ලෝවැඩ සඟරාව රචනා කර ඇත්තේ ජනයා යහමඟට යොමු කිරීම ලෝ වැසියන්ට සෙත සලසනු පිණිසයි.

වීදාගම මහා මෛත්‍රය හිමියන් ඒ බව දක්වා ඇත්තේ ලෝ වැසියන්ට සෙත සලසනු පිණිස යනුවෙන් ලෝවැඩ සඟරාව යනුවෙන් එය හඳුන්වා ඇත්තේ එහෙයිනි. බුදුරජාණන් වහන්සේ ගද්‍යයෙන් ප්‍රකාශ කළ දේ වීදාගම හිමියන් පද්‍යයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ධර්මසේන හිමියන්, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් වැනි වියත් ගැදි පැදි හිමිවරුන් වස්තු බීජ සපයා ගෙන ඇත්තේ බුදු දහමින් බව අපට පැහැදිලිව පෙනෙනවා.

මේ සිංහල බෞද්ධ සාහිත්‍ය බිඳ වැටුණේ අධිරාජ්‍යවාදී යුගයෙන් පසුවයි.

අධිරාජ්‍යවාදීන්ගේ සාහිත්‍ය ආගම දහමින් වෙන් වූවක්. බටහිර කලාව චාරිත්‍ර වාරිත්‍ර, ආහාර යන මේ සියල්ලම අපේ සාහිත්‍ය කලාව, දහම ආක්‍රමණය කළා. අවසානයේදී අපේ සාහිත්‍ය කලාවට මෙන්ම දහමටද තිබූ ස්ථානය විනාශ වන්නට පටන් ගත්තා.

පසුව බිහිවූ මිශ්‍ර සංස්කෘතිය යටතේ සිංහල බෞද්ධ සංස්කෘතිය යල් පැන ගිය මිථ්‍යා සංකල්ප බවට ජනතාව අතරට පත්වුණා. පසු කලෙක මාර්ටින් වික්‍රමසිංහ වැනි වියතුන් ජාතක කතාවලට මුල්තැනක් දී කටයුතු කරන තුරු ජාතක කතා මිථ්‍යා කතා ලෙසින් මහජන මතයන් ගොඩ නැගෙමින් තිබුණා. සෙසු ආගම්වල මෙන්ම බුද්ධාගම තුළ ඇති ප්‍රබන්ධයන් ලෙස ජාතක කතා හැඳින්වූවා.

එහෙත් මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් පසුව ඊට නව පණක් ලැබුණා. ජනතාවට හරවත් සාරවත් දැනුමක් ලබා ගැනීමට ලෝකය ගැන නිසි අවබෝධය ලබා ගැනීමට ජාතක කතා ඉවහල් වන බව ජනතාව අතර මුල් බැස ගත්තා. අර්ථවත් ඵලදායි යමක් දහමින් ලබා ගත හැකි බව ජනතාව වටහා ගත්තා. අධිරාජ්‍යවාදී යුගයෙන් පසුව දැනුම ලබා ගන්නට සිංහල ත්‍රිපිටකයක් තිබුණේ නැහැ.

එහෙත් අද වන විට ත්‍රිපිටකයේ සිංහල මුද්‍රණයන් අපට දැක ගැනීමට පුලුවන්. අවම මිලක් යටතේ එය මිලදී ගැනීමටත් හැකියාව තියෙනවා. විහාරස්ථාන මෙන්ම බොහෝ පාසල් පුස්තකාලයන්හිත් අද ත්‍රිපිටකයේ සිංහල මුද්‍රණය කියවීමට පහසුකම් තිබෙනවා.

අඩුම වශයෙන් සූත්‍ර 10 ක් වත් අවබෝධයකින් කියවා හරය රස වින්දනය දැනුම ලබා ගන්නවානම් අපේ මිනිසුන්ගේ ආකල්ප මීට වඩා බොහෝ වෙනස් වේවි. අපරාධ මර්දනයට නොව අපරාධ සඳහා ජනතාව යොමු නොවීමට ඒ කරුණු හේතු වනවා. පහත් මානසිකත්වයට ගමන් කරන මිනිසා දැහැමි මඟට යොමුවනවා.

බුදු දහම දඬුවමින් අපරාධ වැළැක්වීමට හැකි යැයි දක්වා නැහැ. දඬුවම අපරාධ සඳහා ලබාදෙන විකල්පයක් මිස අපරාධ වැළැක්වීමට විශාල පිටිවහලක් වේ යැයි කියන්න බැහැ. අපරාධ සඳහා හේතුවන කරුණු ඉවත් කළයුතු වෙනවා.

“හේතු භංගා නිරුජ්ජති”

හේතුව නැති විට ප්‍රතිඵලය නැතිව යනවා. දඬුවම ප්‍රතිඵලයට ලබාදෙන පිළියමක් මිස එයින් හේතුවට විශාල බලපෑමක් ඇති කළ හැකි යැයි හිතන්න බැහැ. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය තිබෙන තුරු මේ තත්ත්වය පහ කිරීම අසීරු බව අප තේරුම් ගත යුතු වනවා.

පාලි පෙළ ඇසුරු කරගෙන ගොඩ නැගුණු අගනා සාහිත්‍ය කලාවක් අප සතුවනවා. එය ඇසුරු කරගෙන එදා ජනයා ප්‍රීතියෙන් සතුටින් දිවි ගෙව්වා. අනුරාධපුර, පොළොන්නරු යුගවල මෙන්ම මහනුවර යුගයේ අග භාගය දක්වා සිංහල බෞද්ධ ජනතාව සතුටින් සාමයෙන් ජීවත් වුණා. එමෙන්ම ඔවුන් නිරෝගීව සමෘද්ධිමත්ව දිවි ගෙව්වා. ඒ සියල්ල ඔවුන්ට ලැබුණේ බුදු දහමින්. බුදු දහම එය ජනයාට ලබා දුන්නේ කසායක් වැනි තිත්ත රසයක් නෙවෙයි. ප්‍රණීත පානයක් අමා ඔසුවක් ලෙසින් ජන ජීවිතයට මේ ගති පැවතුම් ළං කළා. සාහිත්‍ය කලා මඟින් ජනතාවට සාරධර්ම ලබා දුන්නා. එමෙන්ම වින්දනයක් ලබා ගත්තා එමෙන්ම තාක්ෂණයෙන් ද ඉහළට ගියා.

කාලයාගේ ඇවෑමෙන් මේ තත්ත්වය වෙනස් වුණා.

එසේ වුවත් අප එය තේරුම් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ බුදු බව ලැබීමට පෙර දානය වැළඳූ පාත්‍රය “උඩුගං බලා” යාමෙන් අපට ලබා දුන් සැඟවුණු පණිවුඩය ගැන අප හොඳ අවබෝධයෙන් බැලිය යුතුයි.

ලෝකය ගමන් කරන ලෝභ, දෝෂ, මෝහ, රාග ආදී මාර්ගයේ ගමන් නොකොට අනෙක් පසට අලෝභ, අදෝෂ, අමෝහ වැනි ප්‍රතිවිරුද්ධ පැත්තට ගමන් කිරීමට තමන් වහන්සේගේ ධර්මය වැදගත්වන බවයි එයින් සංකේතවත් වුණේ.

“පටිසෝතගාමි නිපුනං”

යන අතට නොව අනෙක් අතට ගමන් කරන බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ.

ඒ සියල්ල මතින් හොඳ සතුටක් වින්දනයක් ලැබීමට අපේ ජනතාව පුරුදු පුහුණුවී සිටියා. දැන් යළිත් ජනතාවට ගුණ දහම් පුරුදු පුහුණු කළයුතු වනවා. ගුණ දහමින් පිරි සමාජයක් බිහි කිරීමට සිංහල සාහිත්‍ය බෞද්ධ සාහිත්‍යයට යළි පණ දිය යුතුවනවා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.