Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමි

(අපවත්වී වදාළ අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 116 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.)

“මාර්ගඵලප්‍රාප්ත මහතෙරවරයෙකු වැනි යැයි කිවයුතු තරම් උතුම් ගුණ ධර්ම රාශියකින් හෙබි අති පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමිපාණන් වහන්සේ”... ගණේගම සරණංකර හිමියෝ “බුදුහාමුදුරුවෝ” නම් ග්‍රන්ථයේ පිළිගැන්වීමෙහි අනඳ මෙතේ නාහිමියන් පිළිබඳ එසේ සඳහන් කරති.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමියන් පිළිබඳ බොහෝ දෙනෙකු තුළ වූයේ එවැනි හැඟීමකි. උන්වහන්සේ සැබැවින්ම මාර්ගඵලප්‍රාප්ත ව වැඩ සිටියේ යැයි ද ඇතැම්හු විශ්වාස කළහ. මේ අතර නාහිමියන්ගේ චරිතයෙහි වඩාත් ඉස්මතුව පෙනුණ කාරණය නම් බුද්ධත්වය ප්‍රාර්ථනය කිරීම හා බෝධිසත්ව චරිතය යි. නාහිමියන් පිළිබඳ විවිධ අදහස් පළවීමට උන්වහන්සේගේ එම සුවිශේෂී චරිතය ද හේතු වූවා යැයි කිව හැකි ය. විශේෂයෙන් ලක්දිව උන්වහන්සේ ජනපි‍්‍රය වීමට හේතු වූ ප්‍රධාන සාධකය එය යි. මව්කුස පිළිසිඳ ගැනීමේ සිට චිතකයෙන් භෂ්මාවශේෂ ඉවත් කරගන්නා තෙක් ජීවන ගමන් මග අසාමාන්‍යය. එනම් සුවිශේෂි ය.

කොළඹ- බදුල්ල ප්‍රධාන මාර්ගයේ 144 කිලෝමීටර් කණුව පසුකොට බදුල්ල දෙසට පියවර කිහිපයක් ගියතැන පාරෙන් පහළ කොටසේ ගලා යන ඇළ පහරට යාබදව වෙල්යාය මැද දිස්වන බෝ ගසකි. එය අතුපතර විහිදීගිය මහා බෝධිරාජයෙක් නොවේ. රන්වැටවල්, මල් අසුන්වලින් අලංකෘත නැත. එය එදා ද එසේ ම විය. හීන්මැණිකේ මාතාව නියර දිගේ ගොස් මඳ බෑවුම තරණය කොට පුංචි ගල් තලාවට පැමිණි ඕතොමෝ එය බෝමලුවක් කළා ය. බෝරදුන් පිදුවා ය. “මා පුත් රුවනක් ලබන්නේ නම් ඔහු සසුනට පුදන්නෙමි ‘ යි ප්‍රාර්ථනා කළාය. නොබෝ කලකින් ඇය පුතෙකු බිහි කළා ය. ඔහු පුංචි මහත්තයා නම් විය. ඒ වෙන කිසිවෙකු නො ව අප නාහිමියෝ ය. උපතින් හරියටම දින 14කට පසු හීන්මැණිකේ මාතාව සිඟිත්තා හැර ලොවින් සමුගත්තා ය. එතැන් පටන් එම ජීවිතයෙහි අසිරිමත් සිදුවීම් රැසකි. සුවිශේෂී ගුණාංග රැසකි. නාහිමියන් ජීවමාන අවදියෙහි දී ද පසු ව ද බොහෝ දෙනා කථා කළේ හා කරන්නේ ද ඒ ආශ්චර්යවත් සිද්ධි ගැන ය. උන්වහන්සේ දැරූ අලුත් අදහස් ගැන ය. එසේත් නැතිනම් උන්වහන්සේගේ සුවිශේෂී දේහ විලාසය ගැන ය. උන්වහන්සේ කිසිසේත් එවැනි දෑ රුචි කළේ නැත. උන්වහන්සේ බෝසතෙකු යැයි හෝ බුදු බව පතන බව හෝ ප්‍රසිද්ධ කිරීම තරයේ ම ප්‍රතික්ෂේප කළහ. එය සැබෑ බෝධිසත්වවරයෙකුගේ ලක්ෂණයයි.

තම නාමයට ඉදිරිපසින් හා පිටුපසින් යෙදිය හැකි කොතෙක් තනතුරු හා ගෞරව නාම තිබුණ ද උන්වහන්සේ වැහැරුවේ “ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය ස්ථවිර” යනුවෙන් පමණි.

රජයේ පිළිගත් කිසිදු විභාගයකින් සමත් නොවී කිසිදු උපාධියක් නැති ව විශ්ව විද්‍යාලයක මහාචාර්ය පදවියක් පමණක් නො ව උපකුලපති පදවියක් පවා (ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය) දැරූහ. මේ කිසිදු ගෞරව නාමයක් උන්වහන්සේ ඉල්ලා ගත් හෝ කැමැත්තෙන් ගත් ඒවා නොවන බව උන්වහන්සේ පවසා ඇත. ඒවා පිළිගත්තේ එම ආයතනවලට අගෞරවයක් වීම වැළැක්වීම පිණිස ය.

ලක්දිව පමණක් නොව විදේශයන්හි පවා ලද මහා විහාර බෝසත් ලකුණු විදහමින් උන්වහන්සේ අත්හළ සේක. උන්වහන්සේ සැබවින්ම නිහතමානී වූ සේක. කුඩා ළමයින් ළඟ උන්වහන්සේ කුඩා දරුවෙකු වැනි වූහ. විවිධ මානසික ආබාධ ඇත්තවුන් උන්වහන්සේ වෙතින් අපමණ සහනයට පත්වූහ. මහමග හන්දිවල හැරදමා ගිය පුංචි බලුබළල් පැටව් උන්වහන්සේගේ කුළුණුබර නෙතට නිබඳ ලක්වූහ. විදේශීය ධනකුවේරයා මෙන් ම උන්වහන්සේ හමුවට එන දුප්පත් ගැමියාට ද ගේට්ටු දෙක තුනක් ළඟ බලා සිටීමට අවශ්‍ය නොවීය. කලින් වේලාවන් වෙන් කරවාගෙන කාලය නාස්ති කරමින් බලාසිටීමට සිදුවූයේ නැත.

උන්වහන්සේ සබරගමු අමරපුර සිරි සද්ධම්මවංස නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ මහානායක පදවිය දැරූහ. එනම් උන්වහන්සේ අමරපුර නිකායික භික්ෂුවකි. ඒ බාහිර අපගේ දැක්මය. ඒ ඒ නිකායික ක්‍රමයට ආවේණික චීවර පාරූපන, පඤ්ච ශීල ප්‍රතිෂ්ඨාපනාදී ක්‍රම ඇත. අද ලක්දිව ඒ ඒ නිකායික භික්ෂූන්ට වෙන වෙන ම සිවුරු පැහැයන්ද ලබාදී ඇති බව අසන්නට ලැබේ. මේ කරුණුවලින් භික්ෂුව කුමන නිකායකට අයත්දැයි දැනගත හැකිය. අනද මෙත් නාහිමියෝ සැබෑ බුදු සව්වෙකු මිස නිකායික භික්ෂුවක වූ බව අපි නොදනිමු. උන්වහන්සේ චීවර උභයාංශ කළේ දැඩි රශ්මිය නැති කලය, දැඩි උණුසුම් ඇති තැන දහදිය පෙරමින් උභයාංශ කොට ඊට උඩින් දෙපට සිව්ර ද නො දැමූහ. එවැනි අවස්ථාවල උන්වහන්සේ ඒකාංශිකයහ. සිව්රු පෙරවීම පිළිබඳ උන්වහන්සේගේ මතය එය විය.

නාහිමියෝ තම බෝසත් දිවිය විදහමින් දසපෙරුම් දම් ම පූරණයෙහි නියැලුණහ. උන්වහන්සේ බෝධිසත්ව චර්යාවේ නියැලෙමින් ම බෝසත් සමාජයක් ගොඩනැගීමට උත්සුක වූහ. ඒ සඳහා ප්‍රායෝගික මෙන් ම න්‍යායාත්මක පදනමක් ද උන්වහන්සේ සතු ව පැවතිණි. එයට හොඳ ම උදාහරණය “සම්බෝධි ප්‍රාර්ථනා” හෝ “බෝධිසත්ව ප්‍රාර්ථනා” නමින් රචනා වී ඇති කුඩා ග්‍රන්ථයයි.

1945 වෙසක් පෝදා පළමු මුද්‍රණය නාහිමියන් ගේ නමින් ම එළි දක්වා ඇත. ඒ උන්වහන්සේ බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙනෙහි වැඩ සිටින සමයේ දී ය. බළන්ගොඩ මෛත්‍රීභද්‍ර නම් නාහිමියන්ගේ ශිෂ්‍යවරයාණන් වහන්සේ නමකගේ ඉදිරිපත් වීමෙන් 1955 දී නැවත මුද්‍රණය වී ඇත. උන්වහන්සේ විසින් ම කළ ඉංගී‍්‍රසි පරිවර්තනයක් ද එම වසරේම මුද්‍රණයකොට ඇත. 1957 දී බ්‍රැන්ඩියමුල්ලේ ශාන්තිදේව නම් නාහිමියන්ගේ ශිෂ්‍යවරයාණන් නමකගේ ඉදිරිපත් වීමෙන් තෙවනවර මුද්‍රණය කොට ඇත.

අනඳමෙතේ නාහිමියන් අතින් මේ ගාථා රචනා වී ඇත්තේ මුද්‍රණයකට බොහෝ කලකට පෙර උන්වහන්සේ තරුණ අවදියේදී ය. මුද්‍රණය වී ඇත්තේ එම ගාථාවලින් කිහිපයක් පමණි. එහි එන ගාථා සැබවින් ම නාහිමියන්ගේ ජීවන මගෙහි ප්‍රතිමූර්තියක් බඳු ය. සම්බෝධි ප්‍රාර්ථනා නම් මේ ගාථාමය කෘතිය නාහිමියන්ගේ කෘති අතර වැඩි ප්‍රසිද්ධියට පත් කෘතියක් නොවේ. එය සාහිත්‍යමය නිර්මාණයක් නොව බෝසත් ප්‍රතිපදාව දිවියට හුරු කරන ඉගැන්වීමක් ලෙසින් හඳුන්වා දෙන්නට පුළුවන.

පළමු මුද්‍රණයේ සංඥාපනයට අනුව ස්වකීය පිරිවෙනෙහි (බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පිරිවෙන) සිටි බුදු බව ප්‍රාර්ථනා කරන සිසුන් කිහිපදෙනෙක් වෙනුවෙන් නා හිමියන් මෙම ගාථා රචනා කර දී ඇත. සැම දිනක ම වත් පිරිත් කියන උන්වහන්සේලා විසින් එම ගාථා සජ්ඣායනය වූ බව එහි සඳහන් වේ. මෙම ගාථා කිහිපය ලියා දීමට හේතුව නාහිමියෝ මෙසේ සඳහන් කරති. “ බුදුබව පතන පරාර්ථචර්යායෙහි යෙදෙන සත්පුරුෂයනට මේ ගාථා පාඩම්කොට ගෙන අරුත් සලකමින් දිනපතා කියන්නට සැලසුම්වොත් යහපතැයි කිහිප දෙනෙකුන් කීයෙන් සිංහල භාවයක් සහිත කොට මේවා ලියා දුනිමි. සම්බෝධි ප්‍රාර්ථනා ගාථා යනු නාහිමියන්ගේ ජීවන ක්‍රමය විනා වෙනෙකක් නොවේ.එහි එන ගාථා ඒ බව මනාව පසක් කරයි.

දානේ රතෝ චාගධනෝ භවෙය්‍යං
සදා භවෙය්‍යං පරිසුඬසීලෝ
කාමේසු චාලිත්තමනෝ චරෙය්‍යං
පඤ්ඤායුපෙතෝ විරියූප්පන්තෝ

(මම දීමෙහි ඇලුණෙම්, ත්‍යාගය ධනකොට ඇත්තෙම් වෙම්වා, හැම කල්හි පිරිසිදු සිල් ඇතියෙම් වෙම්වා. කාමයන්හි නොඇලුණූ සිතැතිවැ ප්‍රඥායෙන් යුක්තවැ, වීය¸යෙන් යුක්ත වැ හැසිරෙම්වා)

නාහිමියන් සියවස් ජන්මදිනය සමරන අවස්ථාවේ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නාහිමියෝ මෙසේ වදාළහ. “ලංකාවේ සිටින සිල්වත් ම ගුණවත් ම භික්ෂූන් වහන්සේ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝයි. ඒ වගේම ත්‍රිපිටක ධර්මයත් තවත් ලෝකයේ තිබෙන නානාප්‍රකාර විද්‍යාවලුත් දන්න කෙනෙක්. අනිත් අය අප දන්නෙ එක අංශයක දේ විතරයි” යනුවෙනි. නාහිමියන් ජ්‍යෝතිෂ්‍ය, ආයුර්වේදය ආදි විවිධ විෂයයන්හි ද පාරප්‍රාප්ත ව වැඩ සිටි බව බළන්ගොඩ ධර්මානන්ද පිරිවෙන් පුස්තකාලය හා උඩුමුල්ල නන්දාරාම පුස්තකාලය අපට සාක්ෂි සපයයි. උන්වහන්සේ මේ විෂයයන් හදාළේ ව්‍යාපාරයක් පිණිස නොවේ. සෑම විෂයක ම ගත යුතු හරය උන්වහන්සේ ගත්හ. වරෙක මඩිහේ පඤ්ඤාසීහ මහා නාහිමියන් සඳහන් කරන්නේ බළන්ගොඩ නායක හාමුදුරුවන්ට ළංවෙන්න පඬිවරයෙක් අද ලංකාවේ නැහැ යනුවෙනි. මහා විහාර වංසික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක ව වැඩ සිටි පලිපාන චන්දානන්ද මහනාහිමියන් අප නාහිමියන් පිළිබඳ විවේක ඇති හැමවිටම පොත් කියවන භාවනාවක යෙදෙන හමුවට එන අයට දැහැමි කතාවෙන් සංග්‍රහ කරන කිසිවෙකුට බරක් නොවන පරිදි ජීවිතයක් ගතකරන උන්වහන්සේ කෙරෙහි මා තුළ ඇත්තේ ඉමහත් ගෞරවයක් යනුවෙන් පවසා ඇත.

නාහිමියන්ගේ ජීවිතය පරාර්ථය පිණිස වෙන්වූවකි. “ජගදුපකෘතිරෙව බුද්ධපූජා” ලෝකයාට උපකාර කිරීම බුද්ධපූජාවකි යනු නාහිමියන් නිතර ආදර්ශ කරගත් ආදර්ශ පාඨයකි. සම්බෝධි ප්‍රාර්ථනා ගාථා අතර ඒ පිළිබඳ සුලබ ව දැක්වේ. පහත එක් උදාහරණයකි.

ධම්මං ච සත්ථං පරියාපුනාමි
යං තං න මේ හෝතු යසෝධනත්ථං
අථෝ පරත්ථං නිරතස්ස මය්හං
තං හෝතු පඤ්ඤාය ‘භිවඩ්ඪනාය

(යම් ධර්මයක් ශාස්ත්‍රයක් පුහුණුකරම් ද එය මට කීර්ති පිණිස ධන පිණිස නොවේවා. වැලිදු එය පරාර්ථයෙහි ඇලුණූ මගේ නුවණ වැඩීම පිණිස වේවා)

පරාර්ථ චර්යාවේදී උන්වහන්සේට දුර, රෑ දවල් බාධා නොවීය. හිස්තැනට ජලය ගලන්නාක් මෙන් අවශ්‍ය තැනට උන්වහන්සේගේ උපකාරය සිදුවිය.

සැබෑ බුදුසව් බව පළකරමින් නාහිමියෝ විදේශියයෙකුගේ සුපිරි දානය ද දුප්පත් ගැමියන්ගේ ආහාරය ද එකලෙස පිළිගත්හ. නිර්මාංශික වූහ.වෙලාවට දානය වැළඳූහ. නිරෝගිමත් දීඝායු සම්පත් ලැබුවේ එබැවිනැයි සිතිය හැකි ය.

අන්නං ච පානං ච යමාහරාමි
තං ජීවනත්ථං න තු කාමහේතු
ජීවාමි ලෝකස්ස හිතත්ථමේව
අඤ්ඤං තතෝ කිංචිද නාගමේමි

(මට යම් කෑමක් බීමක් ගනිම් නම් එය දිවි පවත්වනු පිණිස ය. කම් සුව පිණිස නොවේ. මෙසේ දිවි පවත්වන්නෙම් ද ලොවට යහපතක් කරනු පිණිස මය . ඒ මිස අන් කිසිවක් බලාපොරොත්තුවෙන් නොවෙමි.)

සැබවින්ම අනඳමෙතේ නාහිමියෝ වසර 103 කට මසක් ඌන ව වැඩ සිටියේ ලොවට යහපතක් කිරීමට ය. ඒ මිස අන් කිසිවක් බලාපොරොත්තුවෙන් නොවේ. නාහිමිසඳුන්ගේ බෝධිසත්ත්ව ආදර්ශය එයයි. අග්ගමහාපණ්ඩිත , අභිධජ මහාරට්ඨගුරු , බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය බුද්ධාංකුරයන් වහන්සේට ලොවුතුරා බුද්ධත්වය ශාක්ෂාත් වේවා.

(ලිපිය සම්පාදනයේ දී අවශ්‍ය තොරතුරු සැපයූ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය සබරගමු අමරපුර සිරිසද්ධම්මවංස නිකායේ රාස්සගල විහාර පාර්ශ්වයේ වත්මන් මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රි මූර්ති මහනාහිමියන්ට පුණ්‍යානුමෝදනය පළ කරමු. ජීවන තොරතුරු නාහිමියන් විසින් රචිත “සවයං ලිඛිත චරිතාපදානය” ආශ්‍රයෙනි)


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.