Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇතැම් අය සංසාරය දෙස බලන්නේ අන්ධයන් ඇතාගේ හැඩරුව පැවසූ ආකාරයටයි

සිංහල සාහිත්‍යයත් බුදු දහමත් ගහට පොත්ත වගෙයි. බුදු දහමෙන් තොර සාහිත්‍යයක් අපේ ඉතිහාසයේ පෙනෙන්නට නැහැ. හෙළ සාහිත්‍යකරුවා නිරතුරුවම ගමන් ගත්තේ බුදුදහමේ ආභාසයෙන්. අලංකාර යෙදුම් සමඟින් ජනතාව සුමඟට ගැනීමට හෙළ සාහිත්‍යකරුවා බුදුදහම උපයෝගි කර ගත්තා. ධම්මපදය මෙන්ම ජනතාවට ළං වූ සූත්‍ර මඟින්ද ඉගැන්වූයේ දෛනික ජීවිතයට ඕනෑ කරන කදිම පාඩම් බව පෙනෙනවා.

භාසති වා කරොති වා
තතො නං දුක්ඛමන්වෙති
චක්කංව වහතො පදං’

ගොනා පසුපස ගැල ඇදෙන්නාක් (රියසක) මෙන් පව්කළ තැනැත්තා පසුපස ඒ පාපය පැමිණෙන බව බුදුදහමේ එසේ සඳහන් වනවා.

පව් කරන තැනැත්තා ‘ගොනා’ බව මෙහි සඳහන්ව නැතත් වක්‍රව පව් කරන තැනැත්තාත් ගොනාට සමාන බව එහි දැක්වෙනවා. සාරෝපම සූත්‍රය ගෙන බලන්න. ගහක අරටුව ගෙන ඒමට කැලයට යන තැනැත්තෙක් ගස කපා දමා එම ගසේ කොළ පමණක් රැගෙන එය අරටුව බව කියයි. මෙය දුටු තවත් අයෙක් ඔහු අරටුව හා කොළ නොහඳුනන බව පවසා කැලයට ගොස් ගසක පොතු පමණක් ගෙන එයි. එය දුටු තවත් අයෙක් ඔහු අරටුව හෝ කොළ හෝ පොතු නොහඳුනන බව පවසා කැලයට ගොස් ගසක මුල් රැගෙන එයි. එය දුටු තවත් අයෙක් කලින් තැනැත්තා අරටුව හෝ කොළ හෝ පොතු හෝ මුල් හෝ නොහඳුනන බව පවසා කැලයට ගොස් අරටුව යැයි කියා ගසක ඵලය රැගෙන එයි. අවසානයේ කැළයට යන පුද්ගලයා ගසෙහි කොළ පොතු ඉවත් කර මුල් කපා දමා එලය ඉවත් කර අරටුව රැගෙන එයි.

බුද්ධ දේශනාවද එයයි. තම ශ්‍රාවකයන් අමතා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොළ පොතු, මල්, ආදිය කීර්ති ප්‍රශංසා ලාභ සත්කාර ආදියට සමාන බවත් ඒ සියල්ල ඉවත් කර හරය වන අරටුව පමණක් සොයා ගන්නා ලෙසයි.

එසේම අන්ධයන් හත් දෙනා ඇතාගේ හැඩරුව පැවසූ ආකාරයටද අප සිහිතබා ගත යුතුයි. අද ඇතැම් දෙනා සංසාරය දෙස බලන්නේ අන්ධයන් ඇතාගේ හැඩ රුව පැවසූ ආකාරයටයි. අන්ධයන් ඇතාගේ හැඩරුව පැවසු ආකාරයේ සූත්‍රයක් සංයුක්ත නිකායේ දක්නට ලැබෙනවා. ඒ සභිය සූත්‍රයයි.

දෙවියන් සය දෙනකු අතර මත ගැටුමක් හට ගත්තා. ඒ සත්පුරුෂ ඇසුර ගැනයි. සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් ලැබෙන ආනිශංස ගැන ඔවුන් මත හයක් දැරුවා. එක් මතයක් වූයේ සත්පුරුෂ ඇසුරින් දියුණුව සැලසෙන බවයි. තවත් මතයක් වූයේ සත්පුරුෂ ඇසුරින් ප්‍රඥාව දියුණුවන බවයි. තවත් අයකු පැවසුවේ ශෝකය නැතිවන බවයි. ඥාතීන් මැද බැබළීමට හැකි බව තවත් මතයක් වුණා. සුගතියට හෙවත් දිව්‍ය සැප සම්පත් ලබන්නට හේතුවන බව තවත් මතයක් වුණා. දීර්ඝායුෂ ලැබෙන බව හයවන මතය වුණා.

අවසානයේ නිසි පිළිතුරු සොයා ගැනීමේ අදිටනින් ඔවුන් බුදුරජාණන් වහන්සේ හමුවුණා. බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ එම කරුණු හයම සත්‍යය බවත් ඊට තවත් කරුණක් එක්විය යුතු බවත්ය.ඒ සසර අවසන්කර ගැනීමට සත්පුරුෂ ඇසුර හේතුවන බවයි.

ඒ අනුව අපගේ මෙලොව පරලොව දියුණුවට හේතුවන කරුණු අපගේ මනසට ඇතුළු කිරීමට කටයුතු කර ඇත්තේ ධර්මයක් හෝ දර්ශනයක් ලෙසින් නොව ජීවන මාර්ගයක් ලෙසින් බව පෙනෙනවා.

අපේ සමාජයේ බොහෝ දෙනා තම තමන් අල්ලා ගන්නා ග්‍රහණය කර ගන්නා එසේම දකින දේ නිවැරැදි යැයි සිතා සසර දෙස බලනවා. “සසර දෙස පමණක් නොවෙයි අද බොහෝ දෙනා සමාජය දෙස බලන්නේත් එක් පැත්තකින් පමණයි.

අපට බොහෝ විට මව්වරුන්ගේ කටින් අසන්නට ලැබෙන වදනක් දෙස මඳක් නෙත් යොමු කරමු. අපේ කාලේ ඔහොම නෙමෙයි මේ වදන් මුවින් පිට කරන මව්පියන් සැම විටම එක් පැත්තක් දෙස පමණක් අවධානය යොමු කරනු,ලබන බව ඉතා පැහැදිලියි. වසර 50 කට 60 කට පෙර තිබූ පරිසරය සමාජ තත්ත්වය දෙස බලනු ලබන අයුරින් අද සමාජය දෙස අවධානය යොමු කරන්නට බැහැ. අද දරුවාගේ සමාජය, පාසල ඇසුරු කරනු ලබන පුද්ගලයන් ගුරුවරුන් භාවිත කරන මෙවලම් ගැන වඩාත් සැලකිලිමත් වියයුතු වනවා.

බුදුරජාණන් වහන්සේ කිසිවිටක ‘එකාංග දස්සි’ නැත්නම් එක් දෙස පමණක් අවධානය යොමු කෙළේ නැහැ. එසේ එක් පැත්තක් දෙස පමණක් බැලීම අනුමත කර නැහැ. ඇතැමුන් මුදල් ඉපැයීමම මුල් තැනෙහිලා සලකමින් ඒ මතම දිව යනවා. තම යුතුකම් ගැන අවධානයක් අවබෝධයක් නැහැ.

තවත් අය ධර්ම දේශනා පිරිත් පින්කම් පසුපස පමණක් දිව යනවා. දරුවන්ට ස්වාමිපුරුෂයාට නැත්නම් භාර්යාවට කළ යුතු යුතුකම් ගැන අවධානයක් නැහැ. එක් පැත්තක් දෙස පමණයි අවධානය යොමු කරන්නේ. අපට දුක සැප ලැබෙන්නේ කෙසේද? සියල්ලම කර්මය නිසා සිදුවන බව බුදුරජාණන් වහන්සේ වදාළේ නැහැ. ඍතු නියාම බීජනියාම ,චිත්තනියාම ධම්මනියාම කම්මනියාම යන මේ නියාම ධර්ම පහ ඒ සඳහා බලපානු ලබන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා.

ඍතු නිසාම ලෙසින් වදාළේ කාලගුණ විපර්යාස ඒ අනුව දුක හෝ සැප ලැබෙනවා. මේ දිනවල චීනයේ අධික ගංවතුර ඒ කාලගුණ විපර්යාස නිසයි. ඒ උතු නියාම (ඍතු නියාම) බලපෑම නිසයි.එමෙන්ම බීජ නියාමයද උද්භිද විද්‍යාත්මක සාධකයක්. එක ළඟ ගෙවතු දෙකක තිබෙන එකම වර්ගයේ ශාක දෙකකින් එක් ගසක ඵලදාව හටගන්නත්, අනෙක් ගසෙහි ඵලදාව හටනොගන්නත් කර්මයෙහි බලපෑමක් නැහැ. එතැන තිබෙන්නේ බීජ නියාමයයි. උද්භිද විද්‍යාත්මක හේතුන් බලපෑ නිසයි. චිත්ත නියාමය තෙවැන්නයි. තුන් වේලම ආහාර ගැනීමට වත්කම් නැතත් ඇතැමුන් බොහෝ සතුටින් කල් ගෙවනවා. සියල්ල පමණටත් වඩා ඇති සුපිරි මන්දිරවල සිටින්නන් දුක සේ කල් ගෙවනවා. ඒ චිත්ත නියාමයේ බලපෑමයි.

ධම්ම නියාමය නම් ස්වභාවධර්මය නිසා සිදුවන වෙනස් වී මයි. ඒ අනුව අපට දුක සැප උරුම වනවා.

මේ ධර්මතා හතර මෙසේ ක්‍රියාත්මක වෙද්දී අප විසින් කරනු ලබන සචේතනික කුසල අකුසල කර්මය අපගේ දුක හෝ සැප ඇතිවීමට බලපානු ලබනවා.

කර්මය පමණක් සියල්ලටම හේතුවන බවක් බුදුදහමේ කිසිතැනක දක්වා නැහැ. අප පැහැදිලිව එය තේරුම් ගත යුතුවනවා.

බුදුදහමේ බොහෝ දේ මෙලෙස සිද්ධාන්ත මඟින් මෙන්ම සාරවත් කතා ඇසුරින් දක්වා තිබෙනවා.

කියතක් උපමා කර ඇති කාකචූපම සූත්‍රය, පහුරක් උපමා කර ඇති අලගප්පදුපම සූත්‍රය මේ අතර නම් කිරීමට පුළුවන්.

මේ කරුණු දෙස බැලීමේදී විශිෂ්ට සාහිත්‍යධරයෙක් අපට බුදුරජාණන් වහන්සේ තුලින් දකින්නට පුළුවන් . එමෙන්ම බුද්ධ ධර්මය තුළින් ද අපට දකින්නට පුළුවන්.

එමෙන්ම රුවන්වැලි සෑය, කලාවැව වැනි මහා නිර්මාණ බිහිවුණේ විද්‍යාව හා කලාව ආගම සමඟ එකට මිශ්‍ර වූ නිසයි.

එහෙත් අද විද්‍යාව, කලාව ආගමෙන් වෙන් කරලා අපට මනා ත්‍රිකෝණමිතික දැනුමක් පවා තිබුණා. රුවන්වැලි සෑය වැනි දාගැබ් ගොඩ නංවන්නට මෙන්ම කලාවැවෙන් තිසාවැවට ජලය ගෙන ගිය යෝධ ඇළ වැනි විස්මිත නිර්මාණ බිහිවූයේ ඒ දැනුම නිසයි.

අපේ සාහිත්‍ය කලාව විද්‍යාව ආගම මේ සියල්ලම එක්වූ නිසයි. සදාචාර මාර්ගයට යන අපේ හෙළයන් දිනෙන් දිනම වැඩිවුණේ.

අද අපේ ජනතාව අලස වෙලා. තාක්ෂණය දියුණුවීම අපේ යහපතට වඩා අපේ පරිහානියට හේතු වෙලා. අද රූපවාහිනියෙන් නාට්‍යය බලනවා. ඒ එක තැනක වාඩිවෙලා

එදා ගැමියා වෙස්සන්තර ජාතකය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනයෙන් ශ්‍රවණය කර විහාර ගෙට ගොස් සිතුවම් නරඹා දැනුම වර්ධනය කර ගත්තා. අද එකතැනක ඉඳල සියල්ල කරගන්න අපි පුරුදු වෙලා. අතීතයෙන් පාඩම් ඉගෙන ගන්න අපට පුළුවන් නම් අතීත ශ්‍රී විභූ®තිය අපට යළි ගොඩ නඟාගන්න පුළුවන්.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.