Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දානය විමුක්ති මඟට ආලෝකයකි

( අගෝස්තු 01 වනදා පත්‍රය හා සම්බන්ධයි)

එම නිසා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් ගැනීම වෙයි. මසුරුකම ඇති වෙයි. මසුරුකම නිසා ආරක්‍ෂා හේතුන් ඇතිවෙයි. එය හේතුකොට දඬු ගැනීම්, අවි ගැනීම්, කලහ, විවාද යනාදිය අගෞරව වචන, කේලාම් බස්, මුසා බස් ආදි ලාමක අකුසල හටගනියි යනුවෙන් සඳහන් වේ. මෙයින් පැහැදිලි වන්නේ දන් දිය යුත්තේ සිත් සතන් හි පවත්නා ලෝභය, ද්වේෂය, මෝහය යන අකුසල මූල නැතිකොට ශාන්ත නිවන් සුවය පිණිස බවයි. නිවන ලබා ගැනීම එක විට කළ නොහැකිය. සංසාරිකව ඒ සඳහා ගුණධර්ම වැඩීම අවශ්‍යයි.

දන් දෙන පුද්ගලයාගේ ලෝභා දී චිත්තාවේග පාලනය කොට හික්මවා මෘදු මොලොක් ශාන්ත ස්වරූපයට පත් කරයි. මෙලොව හිත සුව පිණිස සමාජ සංස්ථාවන්ගේ අභිවෘද්ධිය පිණිස පුහුදුන් මිනිසා දන් දිය යුතුය. මෙම පරමාර්ථ ඉෂ්ට කිරීම පිණිස වඩා සුදුසු පින්කෙත මහා සංඝරත්නයයි.

එම නිසා පුන පුනා සිත පිනා යන හැටියට දන් දීමට නම් සම්පූර්ණ විය යුතු අවස්ථා තුනක් තිබේ. ඒවා සම්පත්ති යනුවෙන් හැඳින්වේ. එනම් ශ්‍රද්ධා සම්පත්ති, වස්තු සම්පත්තිය හා ප්‍රතිග්‍රාහක සම්පත්තිය, ශ්‍රද්ධාව යනු තුරුණුවන් පිළිබඳ විශ්වාසයයි. ධාර්මික ලෙස උපයා සපයා ගත් ප්‍රතිග්‍රාහකයන් කොතෙක් හොඳ වුවත් වස්තු සම්පත්තිය ධාර්මික වුවත් ශ්‍රද්ධාව නොහොත් චිත්ත සම්පත්තිය දුර්වල නම් දානයෙන් උසස් කුසලයක් අති කරගත නොහැකිය. දන්දිය යුත්තේ තුන් සිත පහදවාගෙන ය. තුන් සිත පිළිබඳ ලෝ වැඩ සඟරාව පැහැදිලි කරන හැටි.

අන් හට අලසව නොකොට වී දානය
පින් මිස අනෙකක් නොකොට ප දානය
තුන් සිත පිරිසිදු කොට දුන් දානය
උන් ගිය ගිය තැන ලැබෙයි නි දානය

අලස කමින් අනුන් යෙදවීමක් නොකොට පින් මිස අන් කිසිවක් ප්‍රධාන කොට නොගෙන තුන් සිත පිරිසුදු කොට දුන්නා වූ දානය ඔවුන් උපනූපන් ජාතිවල වස්තු ලැබීමට හේතු වෙයි. තුන් සිත යන පුර්ණ චේතනා, මුඤ්චන චේතනා හා අපර චේතනායි. දනක් දීමට සිතු මොහොතේ පටන් එය සංවිධානය කිරීම් වශයෙන් යෙදෙන චේතනාව පූර්ව චේතනාවයි. මුඤ්චන චේතනාව යනු “ඉමං භික්ඛං භික්‍ෂූ සංඝස්ස දේම” මේ භීක්‍ෂාව භික්‍ෂූ සංඝයාට දෙමු” යනුවෙන් කියා පිළියෙල කළ දාන වස්තුව සඟ සතු කරන අවස්ථාවේ ඇති වන චේතනාවයි. එතැන් පටන් ඇති වන සිතිවිලි අපර චේතනා නම් වේ. එය මරණාසන්නය දක්වා හෝ බලපැවැත්විය හැකිය. මජ්ඣිම නිකායේ දක්ඛිණාවිභංග සූත්‍රයේ පෞද්ගලික දාන දාහතරක් සඳහන් වේ. එනම්

1. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන් දීම
2. පසේ බුදුවරයන් වහන්සේට දන් දීම
3. රහතන් වහන්සේට දන් දීම
4. රහත් ඵලය අවබෝධ කරන්නට පිළිපන් ආර්යයන් වහන්සේට දන් දීම
5. අනාගාමි වූ ආර්යයන්ට දන් දීම
6. අනාගාමි ඵලය ලබා ගන්නට පිළිපන් ආර්යයන් වහන්සේට දන් දීම
7. සකදාගාමි වූ ආර්යයන් වහන්සේට දන් දීම
8. සකදාගාමි ඵලය ලබන්නට පිළිපන් ආර්යයන් වහන්සේට දන් දීම
9. සෝවාන් වූ ආර්යයන් වහන්සේට දන් දීම
10. සෝවාන් ඵලය ලබා ගන්නට පිළිපන් ආර්යයන් වහන්සේට දන් දීම
11. වීතරාගි පංචාභිඥා ලැබූ තැනැත්තාට දන් දීම
12. පෘථග්ජන සිල්වතුන් වහන්සේට දන් දීම
13. පෘථග්ජන දුස්සීලයාට දන් දීම
14. තිරිසන් සතුන්ට දන් දීම

මෙම සූත්‍රයේ සාංඝික දානමය පිංකම් 7 ක් සඳහන් වේ. එය මෙසේය.

1. බුදුන් ප්‍රමුඛ භික්‍ෂු භික්‍ෂුණී උභය සංඝ රත්නයට දන්දීම
2. භික්‍ෂු භික්‍ෂුණී උභය සංඝ රත්නයට දන්දීම
3. භික්‍ෂූ සංඝ රත්නයට දන්දීම
4. භික්‍ෂුණී සංඝ රත්නයට දන් දීම
5. ආරාධනාවක් නැතිව වඩින භික්‍ෂු භික්‍ෂුණී සංඝරත්නයට දන්දීම
6. ආරාධනාවක් ඇතිව වඩින භික්‍ෂු සංඝ රත්නයට දන්දීම
7. ආරාධනාවක් ඇතිව වඩින භික්‍ෂුණී සංඝ රත්නයට දන්දීම

මේ කාලයේ සාංඝිකව දන්දිය හැක්කේ භික්‍ෂු සංඝ රත්නයට හා ආරාධනාවක් ඇතිව වඩින භික්‍ෂු සංඝ රත්නය වෙතය.

සංඝ යන වචනයට බුද්ධ කාලයේ වැඩ සිටි සැරියුත් මුගලන් ආදි මහ රහතන් ප්‍රධාන සියලුම ආර්ය මහා සංඝයා වහන්සේ මෙන් ම වර්තමාන කාලයෙහි වැඩ සිටින හා අනාගතයෙහි ඇතිවන සියලුම සංඝයා වහන්සේ ම ඇතුළත් වන බව බුදුරජාණන් වහන්සේ විසින් (දක්‍ඛිණාවිභංග සූත්‍රයේ) දේශනා කර තිබෙන බැවින් බෞද්ධයන් විසින් සාංඝික දාන දීමේ දී නිකාය වශයෙන් හෝ පක්‍ෂ වශයෙන් හෝ ග්‍රාමන්ත ආරණ්‍ය වශයෙන් සිල්වත් දුසිල්වත් වශයෙන් හෝ පුද්ගල සංඥාවක් ඇති කරගෙන දීම පින් අඩුවීමට හේතු වන්නේ ය. එසේම තමන්ගේ හැකියාව පරිදි කවර ගණනක් වුවද සංඝයා වහන්සේට සාංඝික කොට දන් දිය හැකිය.සඟුන් ඉල්ලා දෙතොත් එක් නමකට වුවද ලැබුණේ සාමණේර නමක් නම් ඒ නමට වුවද සාංඝික වශයෙන් දන් දිය හැකිය. මෙහිලා වැදගත්ම කරුණ වන්නේ චිත්ත ප්‍රණීධානකයේ හෙවත් සිත පිහිටුවා ගැනීමේ පවිත්‍ර ආකාරයයි.

පින් තකා රෝහලක සිටින සියලුම රෝගීන්ට ගිලන් උවටැන් වශයෙන් ආහාරයක් දෙනු කැමැත්තා ගිලනුන්ගේ ස්ත්‍රි පුරුෂභාවය, බාල මහලු බව ජාති ගෝත්‍රාදිය සත්පුරුෂ අසත්පුරුෂ ආදිය නොබලාම ගිලන් බව පමණක් ම බලා දන් දෙන්නාක් මෙනි. තනිකර බුදුරදුන්ට පූජා කරන විට පුද්ගලික දානයක් වන අතර සංඝීක කර දෙන විට වඩා ආනිශංස වන බව බුදුහුම වදාළහ.

බුදුරජාණන් වහන්සේ වදාළේ “ද්වේමානි භික්‍ඛවේ දානානි, කතමානි ද්වේ, ආමිසදානඤච ධම්මචානඤ් ච,ඉමානි ඛො භික්‍ඛවේ ද්වේ දානානි එතදග්ගං භික්‍ඛවේ ඉමේසං ද්වින්නං දානානං යදිදං ධම්මදානන්ති” මහණෙනි මේ දාන දෙවර්ගයකි. කවර දෙවර්ගයක් ද යත් ආමිස දානය. ධර්ම දානයයි. මහණෙනි මේ දාන දෙවර්ගය අතුරින් යම් ධර්ම දානයක් වේ නම් එය අග්‍ර වේ යනු එහි අර්ථයි. මේ දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ දුක නිපාතයේ දාන වර්ගයේ ය. මේ හා සමාන සූත්‍ර රාශියක් ත්‍රිපිටකයේ තවත් අන්තර්ගත වේ. මෙම ආමිස දාන හා ධර්ම දාන දෙකට අතිරේකව පර්යාය වශයෙන් පශ්චාත්කාලීනව අභය දානය නමින් තවත් දාන විශේෂයක් ප්‍රචලිත විය. මේවා පිළිබඳ ඉදිරි ලිපිවල දී සවිස්තරව සඳහන් කරනු ලැබේ.

දන් දීමේදී අපගේ අවධානයට යොමු විය යුතු ඉතා වැදගත් කතාවක් දසණ්ණක ජාතකය නමින් ජාතක පොතේ සඳහන් වේ.

අමාරු වැඩේ දන් දීම නොවේ

පෙර බරණැස් නුවර මද්දව නම් රජෙක් සිටියේය. දිනක් ඔහු ඉතා වටිනා වස්තුවක් පරිත්‍යාග කළේය. පසුව ඒ ගැන සිතත් සිතත් ම ඒ ගැන ආශාව ඇතිවී ඔහු රෝගාතුර විය. රජු සුවපත් කිරීම පිණිස ඇමතියන්ගේ උපදෙස් පරිදි රජගෙදර මිදුලේ ක්‍රීඩා ප්‍රදර්ශනයක් පවත්වන ලදී. එහි එක් පුරුෂයෙක් අඩි දෙකහමාරක් පමණ දික් වූ තියුණු මුවහත් කඩුවක් ගිල්ලේය. රජ ඒ දැක පුදුම වී ලෝකයෙහි එයටත් වඩා දුෂ්කර දෙයක් තවත් ඇත්දැයි ඇමතියෙකුගෙන් විචාළේය. එවිට ඇමතියා කියන්නේ, මහ රජතුමනි මේ පුරුෂයා ඉතා මුවහත් වූ අනුන්ගේ ලේ හලන්නා වූ කඩුව ගිලින්නේ ධන ලෝභයෙනි.

යමෙක් තමාට අයත් දෙයක් අනුන්ට දෙමි යි කියා පොරොන්දුවේ නම් එය කඩුව ගිලීමට වඩා දුෂ්කර කරුණකි.අන් සියල්ල ඊට වඩා පහසුය. දෙමි යි කීම ඒ සියල්ලට වඩා අමාරු වැඩකැයි කීවේය.

එය අසා රජ තෙම අන් ඇමතියෙකුට කථාකොට පළමු ඇමතියා කී දෙයට වඩා දුෂ්කර වූ දෙයක් ලෝකයෙහි තවත් ඇත් දැයි විමසූ විට ඔහු කියන්නේ මහරජතුමනි වචනය නිසා ජීවත් වන අය නැත. එබැවින් වචනය නිෂ්ඵලය.යමෙක් පොරොන්දු වූ හැටියටම වස්තු ලෝභය හැර පියා පොරොන්දු වූ දෙය දෙයි නම් එය ඊටත් වඩා දුෂ්කර වැඩකැයි ද ලෝකයේ ඇති අන් සියල්ලම පහසුයයි දැක්විය හැකිය. එය අසා රජතුමා මම පොරොන්දු වූ සැටියට ම දී දුෂ්කර දෙයක් කළෙමි යි සතුටු වී ශෝකය තුනීකරගෙන ළඟ සිටි මහ බෝසත් වූ සේනක පඬිතුමාගෙන් කලින් කියන ලද කරුණු දෙකට වඩා තවත් දුෂ්කර කරුණු ඇත් දැයි විචාළේය. ඊට පිළිතුරු වශයෙන් බෝසත් ප¼ඩිතුමා කියන්නේ මහරජතුමනි, මනුෂ්‍යයා ස්වල්ප වූ හෝ බොහෝ වූ හෝ දාන දෙන්නේය. යමෙක් දුන් දේ ගැන පසුව නොතැවේ නම් එය ඒ සියල්ලට වඩා දුෂ්කර කරුණකි.අන් සියල්ලම පහසු කරුණු යැයි පැවසීය. මෙය අසා රජතුමා මම දැන් දුෂ්කර කරුණු දෙකක් සම්පූර්ණ කළෙමි. මා වැන්නෙකුට දුන් දෙය ගැන ශෝක කිරීම නුසුදුසු ය. ඒ තුන්වන දුෂ්කර කාරණය ද මා විසින් සිදු කළ යුතුයයි සලකා ශෝකය දුරු කර ගත්තේය. රජුගේ රෝගය ද සුව විය.

දානය පිළිබඳ විස්තරාත්මකව ඉදිරි ලිපිවල දී තවදුරටත් කරුණු සඳහන් කිරීමට අපේක්‍ෂා කරනු ලැබේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.