Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය


ශ්‍රී‍්‍ර ලංකාවේ භූගෝලීය පරිසරය තුළ නිර්මාණය වී ඇති ප්‍රධාන නගර අතර ප්‍රමුඛ වූ රමණීය මහනුවර පුරවරය තවත් සෝභාවත් වන්නේ ශ්‍රී දළදා මාලිගය නම් වූ මනස්කාන්ත මන්දිරය නිසා ය. 1984 වසරේදී මහනුවර පුරවරය ජීවමාන ලෝක උරුමයක් බවට නම් කෙරෙන්නේ මේ සුවිශේෂීතාවයන් නිසාමය.

උඩරට ස්වාධීන වූ රාජ්‍යයක් බවට පත් වන්නේ සෙංකඩගල අගනුවර කරගත් වික්‍රමාන්විත වික්‍රමබාහු (ක්‍රි.ව.1463–1483) රාජ්‍ය සමයේදී ය. එතැන් සිට විවිධ ආපදා බාධා මධ්‍යයේ වුව 1815 වනතෙක් මෙම රාජධානියේ පැවැත්ම වසර 352 ක් වැනි දිගු කලක් දක්වා අඛණ්ඩව පැවැත එයි.

එහෙත් මහනුවර රාජධානියේ නිරවුල් සේ සැලකිය හැකි දෙවන භාගයේ ප්‍රථම රජතුමා බවට අභිෂේක ලබන්නේ ධ් විමලධර්මසූරිය (ක්‍රි.ව.1592 – 1604 ) රජතුමා ය.

සතුරු උපද්‍රවයන්ගෙන් වහන්වී කුරුවිට දෙල්ගමුව රජ මහා විහාරයේ කුරහන් ගලක් යට අඳුරේ වැඩ සිටි දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩම කරවා තෙමහල් මන්දිරයක් සාදවා එහි තැන්පත් කළේ මෙම රජතුමා විසිනි.

මාලිගාව යනු රජතුමා වාසය කරන සියලු භෞතික සැප සම්පත් සපිරි සුපිරි මහා මන්දිරයකි. එහෙත් ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ වසනා මාලිගාව අති ගෞරවනීය වූ මහා ධාතු මන්දිරයක් ලෙස පූජනීයත්වයට පත්ව තිබෙයි.

විමලධර්මසූරිය රජතුමා සෑද වූ දළදා මාලිගය පෘතුගීසි ආක්‍රමණිකයන් විසින් ගිනි තබා විනාශ කර දමන ලදී. එහි නටබුන් මත දැනට අපට දකින්නට ලැබෙන පැරැණි දෙමහල් ‘වැඩසිටින මාලිගාව‘ ඉදි කරනු ලැබුවේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (ක්‍රි.ව. 1702 – 1735 ) රජතුමා විසිනි. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (ක්‍රි.ව. 1747 – 1782 ) මෙහි දක්නට ලැබෙන දිය අගල කරවීය.

දළදා මාලිගයට ඉතා දැකුම්කළු පෙනුමක් දායා ද කළ අටපට්ටම් හැඩැති පත්තිරුප්පුව සාදවන ලද්දේ ශ්‍රී වික්‍රම රාජසිංහ (ක්‍රි.ව. 1798 – 1815 ) රජතුමා විසිනි.

මෙම මනස්කාන්ත වූ පත්තිරිප්පුවේ ගෘහ නිර්මාණ ශිල්පියා වූයේ උඩරට හන්දෙස්සේ දේවේන්ද්‍ර මූලාචාරය නමැත්තා ය. රජතුමා මෙය කරවන ලද්දේ මහ මළුවට පැමිණෙන ජනතාවගේ දුක් ගැනැවිලිවලට සවන්දීමටත්, විශේෂ අවස්ථාවල ජනතාව ඇමැතීමටත් දළාද පෙරහර මෙන්ම ‘කිරිමුහුද’ නැරඹීමටත් බව කියැවෙයි. අද මෙය භාවිතා වන්නේ ඉතා වටිනා ධර්ම පුස්තක සංරක්‍ෂණය කෙරෙනා පුස්තකාලයක් වශයෙනි.

නොයෙකුත් ප්‍රතිසංස්කරණයන් හා විවිධ ඉදිකිරීම් හමුවෙහි අද අප දකින දළදා මන්දිරය අංග රාශියකින් සමන්විත ඉතා අසිරිමත් දසුනක් මවන දර්ශනීය මහා මාලිගාවක්ම ය.

මහමළුව ඔස්සේ ප්‍රධාන වාහල්කඩින් ඇතුල්වූ විට ඒ අසල පාදමේ ඇති දර්ශනීය ශෛලමය සඳකඩ පහණත් පියගැට පෙළ දෙපස කළු ගලින් නිමකරන ලද ඇත් රූ සහිත පුවරු දෙකත් දැක ගැනීමට ලැබෙයි. මෙය අපගේ ඉපැරැණි සඳකඩපහණ ආකෘතියට වෙනස්වේ. සඳගලෙහි සත්ව රූප නොමැත.ඇත්තේ නෙළුම් මල් සහ ලියවැල් ය. එම ලාලිත්‍යමය රටා නිසා සඳකඩපහණ ඉතා අලංකාරවත් වෙයි.අද මෙම වස්තූන් කාගෙත් අවධානයට ලක්වී තිබෙන්නේ 1998 ජනවාරි 25 වැනි අභාග්‍යවත් දින කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට ලක්වී මෙම ස්මාරකයන් කැබලි වලට කැඩී විනාශ වූ නිසාය.

ඒවා නැවත නිර්මාණය කිරීමට විදේශයෙන් ශිල්පීන් ගෙන්වීමට සිදුවෙතැයි අපේක්‍ෂා කළ හ. එහෙත් පෙර රජ දවස පරිණත ගල්වඩු ශිල්පීන්ගේ ලේ නෑ කමට වගකියන අපේ කාලේ ගල් වඩු පරපුරෙහි සැඟවුණු විශ්මිත කුසලතාවයට පින්සිදුවන්නට නැවතත් මෙම නිමැවුම් ප්‍රතිනිර්මාණය වන්නේ කිසිදු අඩු ලුහුඬුකමකින් තොරව ය.

මාලිගාවේ වාස්තු විද්‍යාත්මක ලක්ෂණයන් පිරික්සීමේදි මාලිගාව වටා දිය අගලක් ද ඊට යාබදව දිය රැළි බැම්ම සහ වළාකුළු බැම්ම ද දකින්නට ලැබෙයි. මේවා මාලිගා සංකීර්ණයේ විචිත්‍රත්වයට මෙන්ම ආරක්‍ෂාවටත් යොදාගත් බවක් පෙනෙයි.

දකුණු පියගැටපෙළ නැග ගිය පසු මාලිගාවේ ප්‍රධාන දොරටුව දිස්වෙයි.මෙහි ශෛලමය උළුවස්ස ඉහල කොටසේ මකර රුව, සහ ලෑලි දොර පියන අලංකාරවත් ලෙස කැටයම් කර තිබේ. දොරෙන් ඇතුල් වූ පසු පිවිසිය හැක්කේ ‘අඹරාව‘ නම් වූ උමග වෙතය. එතැනින් ඉදිරියේ ඇත්තේ ‘හේවිසි මණ්ඩපය’ ය. තේවාව පැවැත්වෙන විට හේවිසි පූජාව පවත්වන්නේ මෙතැන සිට ය. හේවිසි මණ්ඩපය ඉදිරියෙන් ඇත්තේ දෙමහල් ‘වැඩ සිටින මාලිගාව‘ ය. හේවිසි මණ්ඩපයේ දෙපස පඩිපෙළ දිගේ උඩුමහලට පිවිසිය හැකි ය. එතැනදි ප්‍රථමයෙන් හමුවන්නේ ‘පිරිත් මණ්ඩපයයි’ මෙතන මලසුනක් තිබේ. දළදා වහන්සේ වෙනුවෙන් සැදැවතුන් මල් පූජා කරන්නේ මෙතැනට ය. මලසුනට ඉදිරියෙන් ඇති වැඩ හිඳින මාලිගාවේ උඩුමහල ය.

මහල් දෙකකින් සමන්විත බිම් මහල ‘පල්ලේ මාලිගාව‘ සහ උඩුමහල ‘වැඩ සිටින මාලිගාව‘ වශයෙන් නම් කර තිබේ. පල්ලේ මහලේ කාමර දෙකකි. පළමුව ඇත්තේ ‘දික්ගේ‘ යන කාමරය යි. දෙවැනුව හමුවන්නේ ‘මහ අරමුදල‘ නම් කාමරය යි. දළදා හිමියන් වෙත පූජා කෙරෙන වටිනා භාණ්ඩ පුද පඬුරු ආදිය ආරක්‍ෂාවට ගබඩා කර තැබෙන්නේ මෙහි ය. ගබඩා කාමරයේ දොර උළුවහු රිදී පටි හා ඵලක යොදවා අලංකාරවත්ව නිමවා තිබෙ යි.

වැඩ සිටින මාලිගාව ‘ගන්ධකුටිය’ නමින් ද හැදින්වෙයි. මහ අරමුදල කාමරය දොරින් පිවිසී පඩිපෙළ දිගේ පැමිණ ගන්ධකුටියට ඇතුල්විය හැක. පියගැට පෙළින් උඩුමහලට පිවිසිය හැක්කේ තේවාව භාර භික්‍ෂූන් වහන්සේට සහ විශේෂ අමුත්තන්ට පමණි. ජපානයෙන් පරිත්‍යාග කරන ලද වෙඩි නොවදින ආරක්‍ෂක වීදුරු ආවරණයක් තුළ රිදියෙන් නිමවා රනින් ආලේප කළ ස්වර්ණාභරණ පැළඳ වූ වටිනා මුතු මැණික් යොදා අලංකාර කළ විශාල කරඬුව ගන්ධකුටියේ තැන්පත් කර තිබේ.

ඒ කරඬුව තුළ තවත් කරඬු හයක් ඇත. හත්වැනි කරඬුවෙහි ශශ්‍රී දන්තධාතුන් වහන්සේ සුරෂිතව වඩා හිදුවා තිබෙයි.

මෙම කරඬුව විවෘත කිරීමට අවශ්‍ය යතුරු මල්වතු, අස්ගිරි උභය මහා විහාරයන්හි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා දෙනම සහ ගිහි භාරකාර දියවඩන නිලමේතුමා භාරයේ පවතියි . කරඬුව විවෘත කිරීමට නම් මෙම තිදෙනාගේම සහභාගිත්වය අත්‍යවශ්‍ය වෙයි.

මහ කරඬුව දෙපස පෙරහර කරඬුව ද බුරුම කරඬුව ද තැන්පත් කර ඇත. පෙරහර කරඬුව ද වටිනා ස්වර්ණාභරණයෙන් විසිතුරු කර තිබේ. එය ඉන්දියාවේ තක්‍ෂිලාහී ධර්මරාජික ස්තුපයෙන් ලද ධාතුන් සමඟ ඉන්දියන් රජයෙන් ලැබුණූ පරිත්‍යාගයක් බව කියැවෙයි. අපගේ ඓතිහාසික උරුමයේ අති ප්‍රබල වූ ද ගාම්භීර වූ ද සද්ධාසම්ප්‍රයුක්ත වූ ද මහා පූජනීය සංකේතය බවට මෙම ශ්‍රී දළදා මාලිගය පත්ව තිබේ.

ලාංකේය බෞද්ධ ජන සමාජයේ පමණක් නොව ලෝක බෞද්ධ ජනතාවගේ ද මුදුන්මල්කඩ වෙමින් උත්තමාචාරයෙන් පිදුම් ලබන ශ්‍රී දළදා මාලිගය, ඉතිහාස ගමන් මගට විරාමයක් නොතබමින් වර්තමානය සහ අනාගතය ද එකට ඈඳා තබන සර්වකාලීන පූජනීය සිහිවටනයකි.

මවුබිමේ රාජ්‍ය වංශ කතාවේ අවසාන පරිච්ඡේදය ලියා තබන ඓතිහාසික මහනුවර පුරවරය එතැනින් නිමා නොවන්නේ මෙම සදාතනික බෞද්ධ උරුමය නිසාය. ලංකා මාතාවගේ ළය මත්තේ වැඩ වසනා සේ වූ මේ මහා ධාතු කරඬුව කෝටි සංඛ්‍යාත ලෝක බෞද්ධ ජනතාවගේ සිරස් මත තැබූ අති පූජනීය ලෙස වොරැඳෙන මහා ධාතු කරඬුවක්ම ය.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.