Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දළදා පෙරහර සංස්කෘතියේ පෞරාණික සම්ප්‍රදායන්

වාර්ෂික දළදා පෙරහර හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය ආරම්භ වූයේ කිත්සිරිමෙවන් රජුගේ ( ක්‍රි. ව. 301 – 328 ) රාජ්‍යෝදයෙන් නව වන වසරේ දළදා වහන්සේ ලක්දිවට වැඩම වීමත් සමඟය. මහාවංශයේ සඳහන් වන පරිදි “ රජ තෙමේ නව ලක්ෂයක් දන විසඳා දළදා මහ පෙරහර කළේය. අවුරුදු පතා අභයගිරි විහාරයට වඩා ගෙන ගොස් දන්ත ධාතුවට මෙබඳු පූජා කරවයි නියෝග කළේය” යන්නෙන් එය සනාථ වේ. මෙම ඓතිහාසික පෙරහර මංගල්‍යය පිළිබඳව පාහියංගේ දේශාටන වාර්තාවෙහි “ රජ තෙමේ ( බුද්ධ වර්ෂය අනුව ) තුන් වන මස මැදදී ( ඇසළ මස) බුදුරජාණන් වහන්සේගේ දළදාව පෙන්වනු ලැබේ. මෙයට දින දහයකට පෙරාතුව කීමෙහි බිනීමෙහි දක්ෂ මිනිසකු රජ ඇඳුම්, පැළඳුම්, හඳවා පළඳවා, මොනවට සැරසූ ඇතක්හු පිට නඟවා, නුවර හැවිද අණ බෙර ගසා මෙසේ කියන්ට සලස්වයි.” “ බෝසතාණන් වහන්සේ අසෙකි කපක් මහත් වැර වඩා, පෙරුම් පිරූ සේක. සිය සැප පහසු නොතකා සිය රජය ද, සිය බිසව ද, දරුවන් ද, දන් දුන් සේක. තමන් ඇස් උගුල්ලා එය ඉල්ලා ආවුනට දුන් සේක. අද සිට දස දිනකින් ඒ බුදු රදුන්ගේ දළදාව එළියට වැඩමවා අභයගිරි වෙහෙරට පමුණුවනු ලැබේ. පින් කැමැති සියල්ලෝ මග සම කෙරෙත්වා. නොවේ, මහවේ සරසත්වා. පුද පිණිස මල් හා සුවඳ පිළියෙළ කෙරෙත්වා” යනුවෙන් කෙරෙන විස්තරයෙන් එදවස ඇසළ පෙරහර සංවිධානය වූ ආකාරය කියැවෙයි.

අනුරපුරින් පසු බිහි වූ පොළොන්නරු රාජ සමයේ මහා පරාක්‍රමබාහු රජු විසින්, “ රජ ගෙදර පටන් යොදුනක් තැන් මග අතුල් තලයක් සෙයින් සමතලා කරවා සියලු සතුන්ගේ වැඩෙහි ඇලුණේ හැම තැන්හි සිතියම් දරන්නා වූ ලෝකානන්දයට හේතු වූ තොරන් කරවා, තොරන් යට නන් කුසුම් එලෙන විසිතුරු වර්ණ පෙරම්පරා ඇති පුල් වියන් පැළලි බඳවා, තොරන් ටැම් එකක් පාසා නන් වනින් වසා බැඳ ඒ ටැම් මුදුනුත් ඡත්‍ර චාමර පන්තීන් හා නානා පුෂ්ප ද, විසිතුරු කොඩියෙන් ද, පූජාවට සුදුසු අන්‍යවූ දෙයින් ද, සරසා පෙරහර චමත්කාර ලෙස පැවැත්වූහ. මහා වංශයේ වැඩිදුරටත් විස්තර වන අයුරින් “ සියලු ආභරණයන්ගෙන් සැරසුණු වීණා, වස් කුළල්, මිහිඟු බෙර ආදිය ගත් ජනයා ද, මෘදංග භේරීගත් ජනයා ද මහත් රූප ශෝභාවෙන් යුතුව නෘත්‍ය ගීත වාදනාදියෙන් පූජා කෙරමින්, පෙරහරෙහි ගමන් ගත්හ. ඡත්‍ර, චාමර, ධජ පතාකාදිය රැගෙන යන්නෝ ද, ඇත්තු ද, අශ්වයෝ ද ගමන් කළෝය. රජු විසිතුරු ආභරණයෙන් සැරසී ඇතු පිට නැගී ගමන් කළේය. ආකාශ තලය අඳුරු රැසින් මුවහ කෙරෙමින් මහත් අකාල මේඝයක් ආය. පෙරහර ගමන් කළ මග ඇරුණු කොට වැව් පිරී යන තරමට වර්ෂාව පතිත වී වැසි දහරින් ගං වතුර ඇති විය.

දඹදෙණි රාජධානියෙහි ද පෙරහර වාර්ෂිකව පැවැත්විණ. එහිදී පොළොන්නරු යුගයේ පැවැති පෙරහරටත් වඩා උත්කර්ෂවත් ලෙස පෙරහර පැවැත්වූ බව පෙනේ. තෙමසක් පුරා උත්සව පැවැත්වූ බව ද දළදා පෙරහරට අමතරව දේවාල පෙරහරක් ද ඊට එක් වූ බව ද හෙළිවේ. දෙවන පරාක්‍රමබාහු රජු දඹදෙණියෙහි සිට තමන් උපන් ශ්‍රී වර්ධන නම් නගරය “ දිගු පුළුලින් අඩ යොදුනක් හා ඉස්බක් පමණ වූ සමතලා වූ මගෙහි සුදු වැලි අතුරවා, ධජ පතාකාදියෙන්, කෙසෙල් ගස් පෙළින්, පුෂ්පාලංකාර දරන චිත්‍ර කර්මයෙන්, රජ තොරණ, පට තොරණ බඳවා සියලු අබරණින් සැරසී සිව් රඟ සෙනග සමඟ මනාව සරසන ලද රථයක දළදාව වඩා හිඳුවා රන් කොඩි, රිදීි කොඩි, රන් සෙමර, රිදී සෙමර, රන් කරඬු, රිදී කරඬු, රනින් රිදියෙන් නිමවන ලද රන් කලස, රිදී කලස යනාදී නා නා විධ පූජා භාණ්ඩයන් පෙරටු කොට පසු පස්සෙහි පංච තූර්යය වාදනයෙන් මහ පුද කෙරෙමින් ධාතුද්වය ශ්‍රී වර්ධනපුරයට වැඩමවා මිනිසුන් ලවා අනේක විධ පූජාවන්ගෙන් දළදා වහන්සේ පිදූහ. ඉක්බිති භික්ෂූන් වහන්සේට දන් දී අට පිරිකරින් පූජා කළේය. තුන්යම රාත්‍රියෙහි දල්වන ලද පහන් ලක්ෂ ගණනින් පිදුවේය. “දඹදෙණියේ දී දළදා පෙරහරට සතර දේවාලයෙහි පෙරහර ද එක් වූ බව දඹදෙණි අස්නෙන් හෙළි වේ.

දඹදෙණි රාජධානියට පසු දළදාවහන්සේ වැඩ සිටි යාපහුව රාජධානියේ ද ඇසළ පෙරහර මංගල්‍යය අලි ඇතුන් හා අසුන් විශාල සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් පැවැත්වීය.

කුරුණෑගල යුගයෙහි සිව්වන පරාක්‍රමබාහු රජු දවස “නගරය දෙවි පුරයක් සේ සරහා, උතුරු මුළු අයතැන් සිටිතැන්, ගණවැසි කිලිං දෙකුලයෙන් නිස්සන් සමඟ වැඩහුන් කරඬුව ගඳකිලියෙන් මෑත් කොට විසිතුරු කොට සරහන ලද රථයෙහි භද්‍රාසනයට වඩා ගණවැසි කිලිං දෙකුලයෙන් දෙන්නකු කරඬුව, වඩා යන ලෙස රථයට නංවා, සුබ ලකුණෙන් යුත් මහා ඇතකු රථයෙහි යොදා ඒ රථය පළමු කොට සුපිළිපන් මහ සඟන පිළිවෙළින් රථයෙහි බැඳි පිරිත් හුය ගෙන පිරිත් කෙරෙමින් වැඩම කළහ. දළදා සිරිත නමැති පොතෙහි එවකට පෙරහර පැවති ආකාරය විස්තර වේ. දළදා සිරිතෙහි එන ;පරහර චාරිත්‍ර බොහෝමයක් අඛණ්ඩව අද දක්වාත් පැවතගෙන එයි.

කුරුණෑගල රාජධානියේ සිට ගඟසිරිපුර රාජධානියට දළදා වහන්සේ වැඩම වූහ. ඉන් පසු දළදා වහන්සේ වැඩමවූයේ කෝට්ටේ රාජධානියටයි. අනතුරුව කෝට්ටේ රාජධානියෙහි අද දක්වාම දළදා පෙරහරක් පැවැත්වේ. එබැවින් එහි ද එවකට විසිතුරු දළදා පෙරහරක් පැවතිනැ’ යි සලකා ගත හැකිය. ඉන් අනතුරුව කෝට්ටේ හිරිපිටියේ දිවනරාළ දළදා වහන්සේගේ රැකවරණය පතා සීතාවක රාජධානියෙහි දෙල්ගමුව රජමහා විහාරයට දළදාව වැඩම වීය. එහිදී පළමු රාජසිංහ රජතුමාගේ නියමයෙන් රත්නපුර මහසමන් දේවාලයේ වාර්ෂික පෙරහර මංගල්‍යය දළදා පෙරහර පෙරටු කොට ගමන් කිරීමේ චාරිත්‍රය අදටත් අනුගමනය කරයි. එමඟින් සීතාවක රාජධානිය තුළ ද චිරාගත සාම්ප්‍රදායානුකූලව ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වූ බව අනාවරණය වේ. ක්‍රි. ව. 1952 පළමු වන විමලධර්මසූරිය රජු දවස ශ්‍රී දළදා වහන්සේ සෙංකඩගල පුර රාජධානියට වැඩම වීමෙන් අනතුරුව ද දළදා පෙරහර මංගල්‍යය හෙවත් ඇසළ පෙරහර මංගල්‍යය පවත්වාගෙන ආ බව දක්නා ලැබේ.

මහනුවර යුගයෙහි දෙවන රාජසිංහ රජු දවස සිරකරුවකුව සිටි රොබට් නොක්ස් දුටු පෙරහරේ ඉදිරියෙන් මුඛවාඩම් බැඳ හස්තියකු පිට නැගි කපුරාල කෙනෙකු පට පිළියෙන් ඔතා සරසන ලද ලීයක් කර තබා ගෙන වීදි සංචාරය කොට ඇති බවත්, ජනතාව එයට පුද සත්කාර කළ බවත් විස්තර වේ. ඇත්තු 40 ක් පමණ ද, බෙර දවුල් තම්මැට්ටම් වයන්නවුන් ද, නැට්ටුවෝ ද, මේ පෙරහරේ ගමන් කළහ. ඔහුගේ විස්තරයට අනුව එම පෙරහර දෙවියන්ට කැපවූවක් බව පෙනේ.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු ( ක්‍රි. ව. 1747 – 1781 ) සමයෙහි ස්‍යාමෝපසම්පදාව වැඩම වූ ප්‍රවර උපාලි මහ තෙරුන් වහන්සේ හා ලක්දිව වැලිවිට අසරණ සරණ සරණංකර සඟරජ හිමිගේ උපදෙසින්, ක්‍රි. ව. 1753 දී දළදා පෙරහර පෙරටු කොට නාථ, විෂ්ණු, කතරගම, පත්තිනි යන සිව් මහා දේවාල අනුපිළිවෙළට ගමන් ගන්නා ආකාරයට ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වීම ආරම්භ විය. එතැන් සිට අද දක්වාම මෙම පෙරහර මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව ශ්‍රී දළදා මාලිගාව පෙරටු කොට පැවැත්වේ.

ජෝන් ඩේව් හා වෙල්ලස්සේ දිසාව දුටු පෙරහර සමයෙහි විස්තරයේ සඳහන් වන පරිදි නගරය දෙව්පුරයක් සේ සරසා තිබුණි. ඒ ඒ නිලයන් හඳුනාගැනීම සඳහා අදාළ කොඩි සහිතව ද, ඇතුන් අසුන් ගණනාවක් ද, විවිධ කොඩි චාමර දරන්නෝ ද, රජයේ නිලධාරිහු ද, කඩු ගත්තෝ ද, පලස් දරන්නෝ ද, හෙල්ල දරන්නෝ ද, කොඩි කස්තාන දරන්නෝ ද, විදේශිකයෝ ද, නොයෙක් භාෂාවන්හි නිපුණයෝ ද, ශිල්පීහු ද, ස්ත්‍රීහු ද, ගමන් කළහ. අනතුරුව මහා ජනයා ද ගමන් ගත්හ. මෙම පෙරහරේ රජතුමා ද මහත් තේජසින් ගමන් ගත්තේය. මෙසේ පෙරහර නගරය ප්‍රදක්ෂිණා කළ අතර ධාතු කරඬුව සරසා මල්වැසි වැස්සවීය.

රජු පත්තිරිප්පුවට පැමිණෙන තුරු රදලවරු හමුදා නිලධාරිහු හා සෙසු නිලධාරිහු තමනට ඇති උසස්ම ඇඳුමින් සැරසී තමන්ට වෙන්වූ කොඩිය ද රැගෙන සිටිති. රිදී යෂ්ටිය රැගත් අදිකාරම්වරු දෙදෙනා ද, අංකුසය අතින් ගත් ගජනායක නිලමේ ද පැමිණීමෙන් අනතුරුව, රජු පත්තිරිප්පුවේ පෙනී සිටිත්ම ප්‍රශස්ති ගායනා ආරම්භ විය. රජු මහදිකාරම අමතා ඒ ඒ දිශාවල අය පෙළ ගැසී සිටින්නේදැයි විමසයි. අදිකාරම්වරයා ඒ වග දැන්වූ පසු රජුගේ නියමයෙන් පෙරහර ආරම්භ විණ.

දළදා පෙරහර පැවැත්වීම අරමුණු කීපයක් නිසාම සිදු විය. අතිපූජනීය දළදා වහන්සේට ගෞරව පූජෝපහාරය පිණිසත්, කලට වැසි ලැබ රටේ සමෘද්ධිය හා සෞභාග්‍ය ඇති කර ගැනීම පිණිසත්, ආධ්‍යාත්මික ශාන්තිය හා ශ්‍රද්ධා භක්ති දැනවීම පිණිසත් පෙරහර පැවැත්වීමේ මූලික අරමුණු වූවා යැයි සලකා ගත හැකිය. පුරාතනයේ දී පෙරහර පැවැත්වීමත් සමඟ දළදා ප්‍රදර්ශනය කරවීමේ පිළිවෙත ද පැවතිණ. දේශීය කලාකරුවන්ගේ දක්ෂතා එළි දැක්වීමේ වේදිකාවක් වශයෙන් එකී කලාකරුවන්ගේ උන්නතිය සලසා දක්ෂතා එළි දැක්වීමට ඉඩකඩ සලසා දීම ඇසළ පෙරහර මංගල්‍යය තුළින් ඉටු විය.

දෙස් විදෙස් බොහෝ නරඹන්නන් වාර්ෂිකව මෙම පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණෙනුයේ, හුදු විනෝදය සලසා ගැනීමට නොව, එහි පවත්නා චිරාගත සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර විධීන් මෙම පෙරහර මංගල්‍යය තුළින් ප්‍රදර්ශනය වන නිසාය. චිරාගත සාම්ප්‍රදායානුකූල පුද සිරිත්වලට අනුකූලව, නවීකරණයෙන් තොරව වාර්ෂිකව පවත්වන මෙවැනි පෙරහර මංගල්‍යයක් ලොව අන් කිසිදු තැනක දක්නට නොමැත.

පෙරහර ශ්‍රී දන්ත ධාතු මන්දිරයෙන් ආරම්භ වීමට පෙරාතුව ගරු දියවඩන නිලමේතුමන් මුල් ඇඳුමින් සැරසී කාර්යාල කාමරයෙහි පෙනී සිටි විට, පෙරමුණේ් රාළ ගරු දියවඩන නිලමේතුමන්ට ආචාර කොට, පෙරහරේ පළමු ඇතු පිට ගෙන යන ලේකම් මිටිය සහිත රිදී මංජුසාව භාර ගැනීම ද, ගජනායක නිලමේ ස්වකීය නිල ඇඳුමින් සැරසී ආචාර කොට, කුඹල් පෙරහරේදී නම් රිදීිී අංකුසයත්, රන්දෝලි පෙරහරේදී නම් රන් අංකුසයත් භාර ගැනීම ද, කාරියකරවනකෝරාළ ප්‍රමුඛ විදානේවරුන් පැමිණ ආචාර කොට ආශිර්වාද ලබා ගැනීම ද චාරිත්‍රානුකූලව සිදු වේ.

ඉන් අනතුරුව දියවඩන නිලමේතුමන් ප්‍රමුඛ නිලකරුවෝ ගන්ධ කුටිය කරා පිවිසෙති. එහිදී ගරු දියවඩන නිලමේතුමන් සඳුන් කිරි පැනින් දෙඅත පිරිසුදු කර ගත් කල්හි පළමුව කාරියකරව න කෝරාළ එක් පට ලේන්සුවක් ද දෙවනුව වට්ටෝරු රාළ තවත් පට ලේන්සුවක් ද ගෙන දියවඩන නිලමේතුමන්ගේ දොහොත මත එලයි. අනතුරුව තේවාභාර නාහිමියන් විසින් පෙරහර කරඬුව නිල ඇඳුමින් සැරසී සිටින දියවඩන නිලමේතුමන්ගේ සුරතෙහි තැන්පත් කරනු ලබයි. අනතුරුව කවිකාර මඩුවේ උඩැක්කි, පන්තේරු වාදනය හා දළදා කවි ගායනා මධ්‍යයේ කරඬුව පාවාඩ මතින් වැඩමවනු ලබන අතර, ගෙපරාළ හා පල්ලෙමාලේ රාළ විසින් සුදු මල් ඉසිමින් පූජෝපහාර පවත්වයි. පෙරහර කරඬුව වැඩමවන මංගල හස්තිරාජයා පිට බැඳි රන්සිවිගෙය තුළ මනා සේ තැන්පත් කර පුෂ්ප පූජා පැවැත්වීමෙන් අනතුරුව කවිකාර මඩුවේ ගායනා මධ්‍යයේ, මහවාහල්කඩ අසලට කරඬුව වැඩමවා, මද වේලාවක් නතරව සිට තෙවන වෙඩි හඬ මධ්‍යයේ පෙරහර ආරම්භ වීම සිදු වේ.

ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පිටත් වෙත්ම ඒ පසු පසින් නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන දේවාල අනුපිළිවෙළින් සම්බන්ධ වේ. පෙරහර නියමිත වීදීන්හි සංචාරය කිරීමෙන් පසු යළි පෙරහර දළදා මාලිගාවට ගෙවැදීමෙන් දිනයේ පෙරහර මංගල්‍යය අවසන් වේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.