කතරගම පෙරහර හා බැඳුණු
බෞද්ධ චාරිත්‍ර විධි
කතරගම කිරි වෙහෙර රාජමහා විහාරාධිපති
රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක,
ඌව - වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති,
උපාධ්‍යාය, ආචාර්ය
අලුත්වැව සෝරත නා හිමි
ලාංකේය ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වූ දෙවි දේවතාවුන් වර්ග හතරක් වෙයි.
සම්‍යග් දෘෂ්ටික දෙවිවරුන්, මිථ්‍යා දෘෂ්ටික දෙවිවරුන්, ප්‍රාදේශීය
දෙවිවරුන්, ගෝත්‍රික දෙවිවරුන් යනු ඒ වර්ග හතරය. බොහෝ දෙනා කතරගම
දෙවියන් නමින් හඳුන්වන මහසෙන් දෙවියන් අයත් වන්නේ ඉන් පළමුවන වර්ගයටය.
එතුමා ලාංකේය, බෞද්ධ සම්‍යග්දෘෂ්ටික දෙවියෙකි.
කතරගම දෙවියන් පිළිබඳව ගොඩ නැගී ඇති ජනප්‍රවාද අනුව එතුමා තෙරුවන් සරණ
ගිය, බුදු බණ අසා සෝවාන් ඵලයට පත්වූ, මතු බුදු බව පතන බෝධිසත්වයකු ද
වෙයි. එතුමා සෝවාන් ඵලයට පත්වූයේ, බුදුරජාණන් වහන්සේ තෙවැනි වර ලක්දිවට
වැඩම කළ අවස්ථාවේදී කතරගම පිහිටි කිහිරි උයනේ දී කළ දම් දෙසුමට සවන්
දීමෙනි. ඒ කිහිරි උයනේ අයිතිකරුවා වූයේද, පසු කලෙකදී මහාසේන නමින්
දේවත්වයට පත්, ඒ වනවිට මහාඝෝෂ නමින් කතරගම ජීවත්වු ග්‍රාමණීවරයා හෙවත්
ප්‍රාදේශීය පාලකයාමය.
මරණින් පසු මහාඝෝෂ මහාසේන නමින් දේවත්වයෙන් පිදුම් ලබන්නට වූ අතර,
එතුමාගේ නිත්‍ය වාසස්ථානය කතරගම වූ හෙයින් කතරගම දෙවියන් ලෙස
හැඳින්වෙන්නට විය.
මේ පසුබිම යටතේ, කතරගම දෙවිඳුන් උදෙසා ඉඳිවූ ප්‍රථම දේවාලය පිහිටියේද
කතරගමය. දුටුගැමුණු මහරජතුමන් විසින් ඉදි කරවන ලදැයි සඳහන්වන මේ දේවාලය
අදත් හැඳින්වෙන්නේ “රුහුණු කතරගම මහසෙන් මහා දේවාලය” නමිනි.
මහසෙන් දෙවියන් හෙවත් කතරගම දෙවියන් හා බැඳුණු මේ බෞද්ධ පසුබිම නිසාම,
එතුමා වෙනුවෙන් දෛනිකවත්, වාර්ෂිකවත් පැවැත්වෙන සියලු පුද පූජාවලදී
බෞද්ධ සම්ප්‍රදායන්ට හා බෞද්ධ වතාවත්වලට ප්‍රමුඛත්වය ලැබී ඇති අතර ම,
එම දේවාලයේ තේවා කටයුතුවල නිරතවන පාරම්පරික තේවා මඬුල්ලද සිංහල
බෞද්ධයන්ගෙන් පමණක් සමන්විත වී තිබේ. දේවාලය හා සම්බන්ධ වාර්තා අනුව එය
රාජ සම්මතයකි.
කතරගම දෙවිඳුන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන උත්කර්ෂවත්වූත්,
විචිත්‍රතමවූත් දේව මංගල්‍යය ඇසළ මහා මංගල්‍යයි. එය පැවැත්වෙන්නේ ඇසළ
පුර පසළොස්වක් පොහෝ දිනය කේන්ද්‍ර කරගනිමිනි. මහා පෙරහර, ගිනි පෑගීම,
දිය කැපීම වැනි අංග කීපයක් මේ මංගල්‍යයට එක්වී ඇති අතර ප්‍රමුඛත්වය
දරන්නේ දේවාභරණ වැඩමවන මහා පෙරහර 15 කින් සමන්විත අංගයයි.
කතරගම ඇසළ මහා පෙරහර හා බැඳුණු බෞද්ධ චාරිත්‍ර විධි පිළිබඳ අධ්‍යයනය
කිරීමේදී මුලින් ම අපේ අවධානයට යොමුවන්නේ පෙරහර පැවැත්වෙන කාල වකවානුව
හා ඒ වකවානුව හා බැඳුණු බෞද්ධ සංස්කෘතික පසුබිම ය.
කතරගම පිහිටා ඇත්තේ ලංකාවේ වියලි දේශගුණයක් හා කටුක පරිසරයක් සහිත
දකුණු පළාතේ කෙළවරකය. දේශගුණික හා කාලගුණික සාධක අනුව, ඇසළ මාසය, කතරගම
ප්‍රදේශයට අති දුෂ්කර කාල සීමාවක් වෙයි. ඒ දුෂ්කරත්වය නොතකා කතරගම ඇසළ
මංගල්‍යය සඳහා ඇසළ මාසය ම තෝරාගෙන ඇත්තේ බෞද්ධ පසුබිමක් යටතේය.
ශාසන ඉතිහාසයට අනුව බුදු දහම ලොවට පහළ වූයේ ඇසළ පුන් පොහෝ දිනයකදී ය. ඒ
පස්වග මහණුන් අරබයා දම්සක් පැවතුම් සුතුර දේශනා කිරීමෙනි. ඒ අනුව
ප්‍රථම බුද්ධ දේශනය ධම්මචක්ක පවත්තන සූත්‍රයයි. මේ කරුණු නිසා ශාසන
ඉතිහාසය අතින් ඇසළ පෝයත් ධම්මචක්ක පවත්තන සූත්‍රයත් සමස්ත බෞද්ධ
ලෝකයාටම වැදගත් වෙයි. එසේම ඒ දෙක, කතරගමට ද වැදගත් වන හේතුවක් තිබේ.
ඉහත සඳහන් කළ පරිදි කතරගම කිහිරි උයනෙහි වැඩ හිඳිමින් බුදුරජාණන්
වහන්සේ මහාඝෝෂ ඇතුළු පිරිසට දේශනා කර ඇත්තේ ද ඇසළ පුන් පොහෝ දිනකදී
ප්‍රථම වරට දේශිත ධම්මචක්ක පවත්තන සූත්‍රයමය. මහාසේන නමින් බෞද්ධ
සම්‍යග් දෘෂ්ටික දේවතාවකු නිර්මාණය වීමට පසුබිම සකස් වූයේ ඒ අනුවය.
කතරගම දෙවියන් වෙනුවෙන් වාර්ෂිකව පැවැත්වෙන විශාලතම දේව පූජාව ඇසළ
මාසයට යෙදී ඇත්තේ ඒ අනුවයි. සමස්ත ඇසළ පෙරහර මංගල්‍යයම ගොඩනැගී ඇත්තේ
බෞද්ධ සංකල්පයක් මත ඉන් පැහැදිලි වෙයි.
කතරගම මහා දේවාලය හා බෞද්ධ සම්ප්‍රදාය කෙතරම් සමීපව සම්බන්ධව ඇතිදැයි
අවබෝධ කර ගැනීමට ඇති හොඳම ශාක්‍ෂ්‍යය, මහා දේවාලයේ බෞද්ධාගමික වතාවත්
සඳහා ම වෙන්වුණු විහාර මන්දිරයක් ඊට යාබදව පිහිටුවා තිබීමයි. “ කිරි
විහාරය” නමින් හඳුන්වන්නේ ඒ විහාර මන්දිරයයි.
දෛනිකව දිනකට තුන් වාරයක් කතරගම දෙවිඳුන් උදෙසා දේව පූජාව පවත්වන විට
ප්‍රථමයෙන් බුද්ධ පූජාව පැවැත්වීම චිරාගත සම්ප්‍රදායයි. කිරි විහාරය
ඉදිවී ඇත්තේ ඒ වෙනුවෙනි.
ඇසළ පෙරහර ආරම්භ වන්නේ ඊට දින 45 කට කලින් ඇරඹෙන චාරිත්‍ර මාලාවකිනි.
ඒවා දේවාල සම්ප්‍රදාය හා බැඳුණු චාරිත්‍රයන්ය. කප් සිටුවීම සඳහා කණුවක්
කැපීමේ සිට චාරිත්‍රානුකූලව මහා දේවාලය කරා රැගෙන විත් දේවාල භූමියේ
සිටුවීම දක්වා චිරාගත සම්ප්‍රදායානුකූලව සිදුවන මේ පූර්ව කෘත්‍යයන්
බුදු දහම හා සබඳතාවක් නොපෙන්වයි. එහෙත් ඒ සියල්ල සිදුවන්නේ බෞද්ධ
ප්‍රතිපත්ති අනුව සිත, කය, වචනය සංවර කරගත් බෞද්ධ තේවාකරුවකු අතින් වන
නිසා එහි බෞද්ධ මුහුණුවරක් නැතැයි ද කිව නොහේ.
ඇසළ පෙරහරේ වැදගත්ම අංගය, මහා දේවාලයේ සුරක්‍ෂිතව පවත්නා දේවාභරණ වැඩම
කිරීමය. දේවාභරණ දේවාලයෙන් පිටතට ගන්නේ මහා දේවාලය තුළදී පැවැත්වෙන
පිරිත් සජ්ඣායනයෙන් හා දේවාලය පුරා පිරිත් පැන් ඉසීමෙන් පසුවය. මේ
කාර්යය සඳහා රාජ නියමයෙන් සම්මත වූ රාජකාරී නිලයක් තිබේ. “ පිරිත්
නිලය” නමින් හැඳින්වෙන එය පැවරී ඇත්තේ කිරි වෙහෙර වාසී භික්‍ෂූන්ට ය.
සම්‍යග් දෘෂ්ටික දෙවිවරුන් වෙනුවෙන් ඉඳිවූ දේවාල කීපයක් ලංකාවේ ඇතත්,
චිරාගත සම්ප්‍රදායක් ලෙස දේවාලය තුළ පිරිත් සජ්ඣායනය කොට පිරිත් පැන්
ඉසීමෙන් ආශිර්වාද ලබා ගන්නා එකම මහා දේවාලය කතරගම මහසෙන් මහා දේවාලය
පමණි.
අවශ්‍ය මූලික කටයුතු සපුරාලීමෙන් පසුව පෙරහර වීථි සංචාරය ආරම්භ කරමින්
පළමුව ගමන් කරන්නේ ගණ දේවාලය වෙතටය. පෙරහර මහා දේවාලයෙන් නික්මෙන විට,
නිල පිරිස ඇතුළු සම්භාවනීයයෝ දේවාලයේ පිටුපස දොරටුවෙන් නික්ම කිරි
වෙහෙර බලා යති. එහිදී බෞද්ධ පුද සිරිත් ඉටු කොට කිරි වෙහෙර වාසී
භික්‍ෂූන්ගේ ආශිර්වාදය ලබා ගන්නා ඒ පිරිස පෙරහරට එක් වන්නේ ගණ දේවාලයේ
දීය. මේ ආකාරයෙන් පෙරහර පහක් අවසන් වූ පසු එළැඹෙන්නේ තවත් සුවිශේෂී
අවස්ථාවකි.
පස්වැනි පෙරහර පැවැත්වීමෙන් පසු එළැඹෙන හය වැනි දිනයේ දී සිදුවන චිරාගත
චාරිත්‍ර වාරිත්‍ර විධි පහක් වෙයි. ඉන් එකක් නම් බස්නායක නිලමේ තුමාගේ
නිල නිවසෙහිදී සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීමයි. ඒ සඳහා වෙනමම කුටියක්
ඇති අතර, බස්නායක නිළමේ, ප්‍රධාන කපුරාළ ඇතුළු මහා දේවාලයේ සියලුම
කාර්ය මණ්ඩලය මේ පුණ්‍ය කර්මයට සහභාගී වෙයි. හය වැනි දිනයේ පෙරහර ආරම්භ
වන්නේ ඉන් අනතුරුවය.
දින 15 ක් පුරා පැවැත්වෙන පෙරහර චාරිත්‍රය අවසන් වන්නේ මහ පෙරහරෙනි. එය
ඉතා විශේෂය. ඉන් පෙර පැවැති හැම පෙරහරක්ම ගමන් ගන්නේ පෙරහර වීදිය නමින්
හැඳින්වෙන නියමිත මාර්ගයේ පමණක් වුවද අවසන් මහ පෙරහර කිරි වෙහෙර
විහාරස්ථානය දක්වා ගමන් කිරීම චිරාගත සම්ප්‍රදායයි. එම පෙරහරේ
දේවාභරණවලට අමතරව සධාතුක කරඬුව වැඩම වීමත්, කිරි වෙහෙර වාසී භික්‍ෂූන්
වහන්සේලා ධාතු කරඬුව භාරව ගමන් කිරීමත් විශේෂත්වයකි. මහා පෙරහර කිරි
වෙහෙරට ළඟාවීමෙන් පසු බෞද්ධ ආගමික පුද සිරිත් පවත්වා, පෙරහර කාය¸ය ඉටු
කිරීමට දායක වූ සියලු දෙනාට ස්තුති කිරීමත්, පුණ්‍යානුමෝදනා කිරීම හා
කිරි වෙහෙරවාසී භික්‍ෂූන් වෙත සම්ප්‍රදායානුකූල දැකුම් පඬුරු පූජා
කිරීමත් සිදුවේ. මහ පෙරහර නිමවන්නේ ඉන් පසු යළිත් මහා දේවාලයට
පැමිණීමෙනි.
පෙරහර චාරිත්‍රය හා සම්බන්ධ තවත් විශේෂාංගයක් නම් ගිනි පෑගීමය. මෙය
බෞද්ධ සම්ප්‍රදායට අනුකූල නොවෙතත්, මහා දේවාල සම්ප්‍රදාය තුළ ඇති බෞද්ධ
මුහුණුවරට අදාළ වනසේ ගිනි පෑගීමේ කටයුතුවලදී ද බෞද්ධ චාරිත්‍ර ඉටුවනු
පෙනේ.
ගිනි තරණයෙහි යෙදෙන කණ්ඩායම ප්‍රථමයෙන් ම කරන්නේ මැණික ගඟෙන් දිය නා
පිරිසුදුවී කිරි වෙහෙරට පැමිණීමය. එහි දී පන්සිල් සමාදන් වන ඔවුහු
බෞද්ධ ආගමික වතාවත් ඉටු කිරීමෙන් පසු අට පිරිකර පූජා කිරීම
සම්ප්‍රදායයකි.
ගිනිමැලය සකස් කර ගිනි දැල්වීමෙන් පසු, ගිනි තරණයෙහි යෙදෙන මූලිකයා
ඇතුළු කණ්ඩායම ඒ අසල සිට “කරණීය මෙත්ත සූත්‍රය” සජ්ක්‍ධායනය කිරීම තවත්
චාරිත්‍ර විධියකි.
ඇසළ මහා පෙරහර සමයේ, ඊට ආනුශංශිකව සිදු කරන තවත් පූජා විධියක් නම් “මහා
නානුමුර මංගල්‍යය” යි. එය පැවැත්වෙන්නේ අදාළ උත්සව සමයේ යෙදෙන අවසාන
සෙනසුරාදා දිනයේ ය. මෙය දෙවියන් නැහැවීමේ චාරිත්‍ර විධියකි. එහිදී
සිදුවන්නේ මැණික් ගඟේ ශුද්ධ වූ තොටුපොළෙන් රැගෙන එන ජලයෙන් පළමුකොට මහා
දේවාලය නුදුරෙහි පිහිටි අෂ්ට ඵල රුහ බෝධීන් වහන්සේ නැහැවීමයි. දෙවියන්
නැහැවීම සිදුවන්නේ ඉන් පසුවය. දෙවියන් වෙනුවෙන් නානුමුරය පැවැත්වීමෙන්
පසු යළිත් අෂ්ටඵල රුහ බෝධිය සමීපයේ පිහිටි “සංහිඳ බෝධිය” වෙත පැමිණෙන
ප්‍රධාන කපුරාළ ඉතිරි පැන්වලින් එම බෝධිය ද නෑවීම චිරාගත සම්ප්‍රදායයි. |