පිවිතුරු නෙත
සනසයි සිත
බත්තරමුල්ල,
පන්නිපිටිය පාරේ
සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ
ධම්මික හිමි
ජීවිතයේ සැනසුම සොයා යන අපට ධර්මයේ පිහිට අප්‍රමාණයි. භාග්‍යවතුන්
වහන්සේ මහා කරුණාවෙන් යුතුව දෙසූ ඒ අමා දහම ම සැනසීම සොයා යන අප විසින්
ජීවිතවලට ගළපා ගැනීමට උත්සාහ කිරීම අවශ්‍යයයි. ජීවිත ගමනේ දුක්ඛ
දෝමනස්ස අතුරින් ඒ සැනසිල්ල සොයන ඔබට මෙම උතුම් දේශනාව, මොනතරම් උපකාරී
වේදැයි සිතා බලන්න.
එක් කලෙක පිණ්ඩෝල භාරද්වාජ තෙරුන් වහන්සේ කොසඹෑනුවර ඝෝසිතාරාමයෙහි වැඩ
වාසය කරති. එක් දිනයක් ඒ නුවර වාසය කරන උදේනි රජ තෙරුන් වහන්සේ වෙතට
පැමිණ ගෞරව කර මෙසේ ප්‍රශ්න කළේය. “භාරද්වාජ තෙරුන් වහන්ස, තරුණ වු මනා
වූ කළු කෙස් ඇති සොඳුරු යෞවනයෙන් හා පළමුවන වයසෙන් යුතු කම්සැප අනුභව
නොකළ මේ තරුණ භික්ෂූහු, යම්හෙයකින් දිවි හිමියෙන්, පරිපූර්ණවූ පිරිසුදු
වූ, බඹසර වාසය කෙරේ නම්, දිගු කලක් නොසිඳ පවත්වත් නම්, එයට හේතු කුමක්ද
?”
පිණ්ඩෝල භාරද්වාජ තෙරුණුවෝ පිළිතුරු දෙති. මහරජ සියල්ල දන්නා, සියල්ල
දක්නා සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ දේශනා කරන ලදහ. “මහණෙනි නුඹලා
එන්න. තම මව වැනි අය කෙරේ මව යන හැඟීම පවත්වන්න. තම සොහොයුරිය වැනි අය
කෙරේ, සොහොයුරිය යන හැඟීම පවත්වන්න. දුව වන් අය කෙරේ දුවක්ය යන හැඟීම
පවත්වන්න. මහරජ, තරුණ මනා කළු කෙහෙ ඇති සොඳුරු යෞවනයෙන් හා පළමු වයසින්
යුතු කම්සැප අනුභව නොකළ, මේ තරුණ භික්‍ෂූහු පිරිපුන් පිරිසුදු
බ්‍රහ්මචරියාව යම්හෙයකින් දිවිහිමියෙන් රකිමින් වෙසෙත් නම්, දිගු
කාලයක් නොසිඳ පවත්වත් නම් එයට මේ හේතුයි. මේ ප්‍රත්‍යයි”
මෙම පිළිතුරට ඇහුම්කන් දුන් උදේන රජු පවසන මේ අදහස කියවා බලන්න.
පෘථග්ජන සිත්වල සැබෑ ස්වභාවයයි එයින් මතුකර පෙන්වන්නේ. තෙරණුවනි, මේ
සිත ලෝභය. එනම් ආසාවන්ගෙන් යුක්තය. ඇතැම්විට මව් වැනි අය කෙරේද ලෝභ සිත
උපදියි. සොහොයුරියන් වැනි අය දුව වැනි අය කෙරේ ද ලෝභ සිත් උපදී. එවිට
මේ තරුණ භික්‍ෂූහු බ්‍රහ්මචරියාවෙහි වෙසෙනවානම් දිගුලක් නොසිඳ පවත්වා
ගන්නවානම්, එයට තවත් හේතුවක් තිබෙනවාද ?
කාරුණික සිතකින් හා උපේක්‍ෂා සහගතවම ඒ ගැන මෙනෙහි කරන්න. මේ මිනිස්
සිතේ සැබෑ ස්වභාවය මැනවින් හඳුනානොගෙන, සිතට අයාලේ ගමන් කිරීමට ඉඩ
හැරීම නිසා සමහර පිරිස් මොන තරම් වැරැදි කරනවාද? තමා අම්ම කෙනෙකුගේ
කුසින් බිහිවූ බව අමතක කර තම මව්වරුන් වැනි වැඩිහිටි කාන්තාවන්ට කරදර
කරන, විපත් කරන, යම් පුද්ගලයන් ගැන අසන්නට ලැබෙනවිට සිතට නැඟෙන්නේ ධර්ම
සංවේගයක්. මහ රැයක නොව, මහ දවාලක නමුත්, වැඩිහිටි මෑණියන් කෙනෙකුට,
තනිවම නිවසෙහි රැඳී සිටීම පවා භයානක අනතුරක් වීම හේතුවක් වූයේ, අසංවර
සිත් ඇති සහ එම අසංවර සිත පාලනය කර ගැනිමටත්, හික්මවා ගැනීමටත්
නොහැකිවන අශිෂ්ට පුද්ගලයන් නිසාය. ඔබ, සත්පුරුෂයෙක් නම්, තරමකින් හෝ
සංවර හා හික්මීමක් ඇති අයෙක් නම්, මුහුණේ පාට හෝ බාහිර පෙනුම කෙසේ
වෙතත්, ඇඳ පැලඳ ඇති දෑ කුමක් වුවත්, මේ මගේ අම්මා වගේ යයිද, මේ මගේ
අක්කා, නංගී වගේ යයිද මේ අපේම දරුවන් වාගේ යැයි ද කල්පනා කරමින්,
අසංවර, ලෝභී සිතක් පහළ වූයේ නම්, ඒ සිත දමනය කර ගැනීමට උත්සාහ කිරීම
අවශ්‍යයි.
උදේන රජු විසින් ලෝල සිත ගැන පවසන ලද දෙයට පිළිතුරක් වශයෙන්, භාරද්වාජ
තෙරණුවෝ මෙසේ ප්‍රකාශ කළහ. ‘ මහරජ, සියල්ල දන්න, දක්නා භාග්‍යවතුන්
වහන්සේ විසින් මෙසේ වදාරන ලදහ. මහණෙනි, එන්න දෙපයේ පතුලෙන් උඩ, හිසේ
කෙසඟින් යට, සම කෙළවර කොට ඇති, නන් වැදෑරුම් අසූචියෙන් පිරුණු මේ සිරුර
ගැන මෙනෙහි කරන්න. මේ සිරුරෙහි, කෙස්, ලෝම, නිය, දත්, සිවිය, මස, නහර,
ඇට, අටමිදුළු, වකුගඩුව, හෘදය, මාංසය, අක්මාව, දළබුව බඩදිව, පපුමස,
අතුණු, අතුණු බහන්, නොපැසුණු ආහාර, පැසුණු ආහාර, පිත, සෙම, සැරව, ලේ,
ඩහදිය, මේදය, කඳුළු, වුරුණු තෙල්, කෙළ, සොටු, සඳමිදුළු, මුත්‍ර ඇතැයි
කියායි. “මේ තරුණ භික්‍ෂූහු දිවිහියෙන් බඹසර වෙසෙත් නම්, දිගුකලක්
නොසිඳ පවත්වත් නම්, එයට මෙය හේතුවකි, ප්‍රත්‍යයකි.” මෙය ඇසූ උදේන රජු,
නැවතත් මෙසේ ප්‍රකාශ කරයි. භාරද්වාජ තෙරණුවන් වහන්ස, වැඩූ කය ඇති (
කායගතා සතිය ), වැඩූ සිල් ඇති, වැඩූ සිත් ඇති, වැඩූ නුවණ ඇති, යම් ඒ
භික්‍ෂූහු වෙත් නම්, ඔවුන්ට එය දුෂ්කර නොවේ. නොවැඩූ කායගතා සතිය ඇති,
නොවැඩූ සිල් ඇති, නොවැඩූ සිත් ඇති, නොවැඩූ නුවණ ඇති, යම් ඒ භික්‍ෂූහු
වෙත් නම්, ඔවුන්ට එය දුෂ්කර වේ. ඇතැම් දිනෙක අශුභ වශයෙන් මෙනෙහි
කරන්නෙමුයි, ශුභ වශයෙන් මෙනෙහි කිරීමට පැමිණේ. මේ තුරුණු භික්‍ෂූහු
බඹසර වෙසෙත් නම්, දිගුකලක් නොසිඳ පවත්වත් නම්, එයට තවත් හේතුවක් ඇද්ද?
ප්‍රත්‍යයෙක් වේද ?”
මෙය අසා සිටි භාරද්වාජ තෙරණුවෝ නැවතත් මෙසේ ප්‍රකාශ කරත්. “මහරජ සියල්ල
දන්නා, දක්නා, අර්හත් සම්බුදුරජාණන් වහන්සේ විසින් මෙසේ වදාරන
ලදහ.”මහණෙනි නුඹලා එන්න. ඉන්ද්‍රියන්හි වැසු දොර ඇතිව වාසය කරන්න.
ඇසින් රූප දැක නිමිති, අනුව්‍යඤ්ජන නොගන්න. යම් හෙයකින්, ඇස නම් වු
ඉන්ද්‍රිය අසංවරය නම් වූ නොවැසි පැවැතීම නිසා දැඩි ලෝභය, දොම්නස යන
ලාමක අකුසල ධර්ම සිත තුළට ලුහුබැඳ එන්නේ නම්, එහි සංවරය පිණිස
පිළිපදින්න. චක්ඛු ඉන්ද්‍රිය, එනම් ඇස රැක ගන්න. චක්ඛු ඉන්ද්‍රියේ
සංවරයට පැමිණෙන්න. කණින්ද, නාසයෙන්ද, දිවෙන්ද, ශරීරයෙන්ද, මනසින්ද,
ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතිවිලි ආදි අරමුණු ගන්නා විට, එම ආකාරයෙන්ම
ඒ ඒ ඉන්ද්‍රියන්හි සංවරය පිණිස පිළිපදින්න. එම ඉන්ද්‍රියන් රකින්න.
සංවරයට පැමිණෙන්න”.
මෙය ඇසූ උදේන රජු අවබෝධයටත්, අපමණ සතුටටත් පත්ව මෙසේ පවසන්නේය.
භාරද්වාජ තෙරුන් වහන්ස, ආශ්චර්යයි. සියල්ල දන්නා, දක්නා අර්හත්වු
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය කෙතරම් මැනවින් වදාරන ලදද? මේ තරුණ
භික්‍ෂූන් වහන්සේලා පිරිපුන් පිරිසුදු බඹසර යම්හෙයකින් දිවිහිමියෙන්
වෙසෙත් නම්, දිගුකලක් නොසිඳ පවත්වත් නම්, එයට මේ හේතුයි, මේ
ප්‍රත්‍යයි.
“භාරද්වාජ තෙරණුවන් වහන්ස, යම් කලෙක මමත් නොරක්නා ලද කයින් (කායගතා
සතියෙන් තොරව), නොරක්නා ලද වදනින්, නොරක්නා ලද සිතින්, එළඹ නොසිටි
සිහියෙන් යුතුව, නොහික්මුණු (කෙලෙස්වලට ඇරුණු) ඉන්ද්‍රියන්ගෙන්
යුක්තවම, අන්තඞපුරයට පිවිසෙනවිට ලෝභ සිත් (ආශාවන් ) මා සිත කළඹන්නාහ.
යම්විටෙක, මා රක්නා ලද කයින්, රක්නා ලද වදනින්, රක්නා ලද සිතින්, එළඹ
සිටි සිහියෙන් යුතුවම, වැසුනු ඉන්ද්‍රියන්ගෙන් යුතුවම (රාගාදී
කෙලෙස්වලට යටත් නොවී) අන්තඞපුරයට පිවිසෙන්නේ නම්, එවිට ලෝභ සිත් මගේ
සිත මැඬලීම හෙවත් කළඹන්නේ නැත.”
මෙම ප්‍රකාශය, ගෘහස්ථ ජීවිත ගත කරන ඔබට යහපත් අවවාදයකි. කායගතා සතිය
හෙවත් කයෙහි පැවැත්ම පිළිබඳ, අනිච්ච, දුක්ඛ, අනත්ත නම් වූ පරමාර්ථ
ධර්මයට අනුව නුවණින් දකින්නට හැකි මනසක් සකස් කර ගැනීම අවශ්‍යය යි. එම
භාවිත සිත, කය දෙස නුවණින් දකිමින් සකස් කරගන්නා ආකාරය ඉහත දක්වන ලදී.
එවිට මව්වරුන්, සොහොයුරියන්, දියණිවරුන් වැනි කාන්තාවන් දෙස පමණක් නොව
කාන්තා, පුරුෂ සියලු දෙනා කෙරේම, රාග, දෝස (තරහව) මෝහ ආදී කෙලෙස්
හැකිතාක් දුරට බැහැර කරගෙනම, පාලනය කරගෙනම බලන්නට, දකින්නට, කතා කරන්නට
ඇසුරු නරන්නට පුළුවන්කම ලැබෙනු ඇත. එම භාවිත සිත හෙවත් හික්මුණු මනස,
ඔබගේ ගුණබර පිය පදවියට බාධා නොකරනු ඇත. ගුණබර මව්පදවිය අමතක නොවනු ඇත.
ගුණබර ස්වාමිපුත්‍රයෙකුට, ගුණබර ස්වාමි දියණියකට නොගැළපෙන යමකට
නොපෙළඹෙනු ඇත. ගුණ යහපත් දරුවන් දෙමාපියන්ට සැනසෙන්නට සකස් වනු ඇත.
අවසාන, මහමෙරක් ධනය නැතිවුවද, ආර්ය ධන ඇති සත්පුරුෂ, ශීලාචාර,
මනුෂ්‍යයෙක් ලෙස මෙලොව ජීවත්වනු ඇත. |