Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දුරු කළ යුතු තරහ ගතිය

ද්වේෂය, තරහ යනු චිත්තාවේගයකි. එනම් වේගවත්ව එන චිත්ත ධාරා තමාට යහපත පිණිස නොපවතී. අධික වේගයෙන් ධාවනය වන රථයක් පාලනය කිරීම අපහසුය. එසේ පාලනය කිරීමට උත්සාහ කිරීමම අනතුරු ඇතිවීමට හේතුවකි. එමෙන්ම අධිකව තරහව ඇතිකර ගන්නා පුද්ගලයාට ද මුහුණදීමට සිදුවන්නේ ද මෙවන් තත්ත්වයකටය. ආදිත්තපරියාය සූත්‍රයට අනුවද මෙය මහා ගින්නකි. ගින්න කුණුරොඩු මෙන්ම වටිනා වස්තූන්ද විනාශයට පත් කරයි. ඕනෑම හොඳ මිනිසෙකු අයහපත් වීමට ද්වේෂයට ගත වන්නේ ස්වල්ප වේලාවකි. එය බුද්ධිමත්ව තේරුම්ගත යුතු ය

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අනත්ථජනනෝ දෝසෝ - දෝසෝ චිත්තපකෝප
නෝ භයමන්තරතෝජාතං - තංජනෝ නාව බුජ්ඣති
දුට්ඨෝ අත්ථං නදා ජානානි – දුට්ඨෝ ධම්මං නපස්සති
අන්ධන්තමං තදහෝති – යං දෝසෝ සහනේ නරං

පින්වතුනි,

ද්වේශය තමාට හා අනුන්ට නොයෙක් අනර්ථය ඇතිකරයි. සත්වයාගේ සිත බොරකරයි. එය බියකි. අඥානයන්ට එය නොදැනෙයි. කිපුණහම ආත්මාර්ථය පරාර්ථය දැනෙන්නෙ නෑ දසකුසල අකුසල දැනෙන්නේ නෑ මේ නිසා ඔහුගේ සසර ගමන දික්වෙයි.

ධර්මයට අනුව ද්වේෂය යනු කෙනෙකු පිළිබඳ ඇතිවන නොසතුට, අප්‍රසාදය, නොරුස්සන සහගත බවයි. මෙය ඇතිවනුයේ සිතෙහිය. සිත අපිරිසුදු කරන මූලික අකුසල තුන අතර ද්වේෂය එකකි.සිත අපිරිසුදු වන ක්ලේශ ධර්ම එක්දහස් පන්සියයක් පමණ ඇති අතර ද්වේෂය බලවත් වූ ක්ලේෂයකි. අ.නි. උපකිලට්ඨචිත්ත සූත්‍රයට අනුව උපන් දරුවාගේ සිත ඉතා ප්‍රභාස්වරය. එහෙත් ආගන්තුක ක්ලේෂ ධර්ම නිසා එම ප්‍රභාස්වර බව වැඩිහිටි තත්ත්වයට පත්වීමත් සමග නැති වී යයි. ප්‍රභාස්වර හෙවත් පැහැපත් බව නැතිවන ප්‍රධාන ක්ලේෂ ධර්මය ද්වේෂයයි.

ධර්මයෙහි ව්‍යාපාදය, උපනාහය, ක්‍රෝධය, ආඝාතය, පටිඝය ලෙස සඳහන් වන්නේ ද මෙම ද්වේෂයයි. පංචනීවරණ ධර්ම තුළ ව්‍යාපාදය ලෙස දක්වන්නේ ද මෙයයි. නිවන මුවාකරන ධර්මතා පහ අතර ව්‍යාපාදය එක් ප්‍රබල නීවරණයකි. කෙතෙක් බණ භාවනා සිදුකළත් මෙය ක්‍ෂය නොවනතාක් නිවණ සාක්‍ෂාත් කර ගත නොහැක.

අඥාන ඇත්තන්ට අනියමාර්ථයේ ද ද්වේෂය තරහව ඇතිවේ. විශේෂයෙන් සම්මාසතියෙන් තොර වීම නිසා සිහිකල්පනාව ඇති නොකරගැනීම නිසා තමාගේ පය ගලක මුලක වැදුණාත් අඥානයා තරහ ඇති කර ගනී. ස්වභාවදහමේ සංසිද්ධි නිසාද ඔහු එම තත්ත්වය ඇතිකරගන්නා අවස්ථා ද ඇත. අව්ව, වැස්ස, ආදී අවස්ථාවන් වලද විශේෂයෙන් මේ තත්ත්වය පිළිබිඹු වේ. එය බෞද්ධයෙකුට උචිත ක්‍රියාවක් නොවේ.

ද්වේෂය පහළවීමේ දී බලපානු ලබන තාරකා දෙකක් පිළිබඳව අ.නි. දේසුප්පාද සූත්‍රය පැහැදිලි කරයි. එනම්,

1. ප්‍රතිඝනිමිත්ත - හේතුව
2. අයෝනිසො මනසිකාරය – නුවණින් කල්පනා නොකිරීම. වශයෙනි.

බුදුදහම හේතුඵලවාදයකි. සෑම ක්‍රියාකාරකමක්ම මෙම න්‍යාය ධර්මයට යටත්ය. චිත්ත චෛතසික ඇතිවීමෙහිලා ද මෙය පොදුය.

ද්වේෂය හටගන්නේ සමාජ ජීවිතයේ දී ඔබ මුහුණ දෙන හේතු බුද්ධිමත්ව කල්පනා නොකිරීම නිසාවෙනි. මොහොතක් කල්පනා කර බලන්න කාර්යාලය තුළ, බස්රථය, පොදු ස්ථාන, කඩපිල්, සාමාන්‍ය සමාජයේදී ඇති වන යම් යම් සිද්ධි බුද්ධිමත්ව සිතීමෙන් ද්වේෂය පහළ නොවී ගැටුම් ඇති නොවීමට හේතු වේ. එසේම බුද්ධිමත්ව නොසිතීම නිසා ගැටුම් නිර්මාණය කරගනී. මේ සඳහා ඕනෑතරම් උදාහරණ වර්තමාන සමාජයෙන් සොයාගත හැකි අතර ඔබට ද මෙවන් අත්දැකීම බොහෝ විට ඇතිවාට සැක නැත. ද්වේෂය පුද්ගලයා අගතියට පත් කරයි. එවිට ඔහුට හොඳ, නරක පිළිබඳ අවබෝධ හීනවී යාහැකිය. අ.නි. අගති සූත්‍රය ඊට කදිම නිදසුනකි.

ආර්ය තත්ත්වයට පත් නොවූ සියල්ලන්ටම මෙය පොදුවූවකි. එහෙත් මෙය බද්ධ වෛරයක් දක්වා වර්ධනය කිරීම යහපත පිණිස නොපවතී. එහෙයින් තරහ ආවිටම එය බුද්ධිමත්ව සිතා පාලනය කරගත යුතු ය. ඒ සඳහා ආධාරක ලෙස බුදුදහම යොදා ගත හැකිය. තරහව නැතිකරගත හැකි උපක්‍රම පහක් අ.නි. ආඝාතපටිවිනය සූත්‍රය දක්වයි. ආඝාත යනු තරහවයි. පටි යනු විනය හික්මීමයි. සූත්‍රයේ වචනාර්ථය වන්නේ හාත්පසින් ඇතිවන තරහව නැති කිරීම යනුයි. එම කරුණු පහ මෙසේ ය.

යමෙකු පිළිබඳ ආඝාතය (තරහව) ඇතිවුවහොත් ඔහු කෙරෙහි මෛත්‍රිය පතුරුවන්න.

කරුණාව පතුරුවන්න
උපේක්‍ෂාවෙන් යුක්ත වන්න
නොසිතා නො මෙනෙහි කරන්න
කර්ම ස්වකතාව මෙනෙහි කරන්න

ද්වේෂයට ප්‍රතිපක්‍ෂ ස්වභාව මෛත්‍රියයි. ද්වේෂය නිසා කය, මනස, ලෙඩ වන අතර මෛත්‍රිය නිසා නිරෝගී වෙයි. මෛත්‍රිය යනු මිතුරුකමයි. එවිට සතුරු බව තුරන් වේ. මෛත්‍රියෙන් ආනිශංස බොහෝමයක් ලද හැකිය. මෙත්තානිසංස සූත්‍රය මීට කදිම නිදසුනකි. එසේම උපේක්‍ෂාව මැදහත් බව ඇතිකර ගැනීම තුළින් ද ද්වේෂය නැති කරගත හැකි ය. යමක් පෞද්ගලික කර ගැනීමට යාම නිසා තරහව වැඩිවන අතර මේ ලෝකයේ මෙය මට පමණක් සිදු වූ දෙයක් නොවුන බව අවබෝධ කර ගැනීම නිසා ද්වේෂය නැතිව යයි. එසේම තමා පි‍්‍රයනොකර පුද්ගලයා සිහි නොකරන විට මතක්නොවන විට ඔහු පිළිබඳ ඇති වූ තරහවද සිහිපත් නොවේ. එවිට ද්වේෂ නමැති චිත්ත චෛතසිකය නැතිකර ගත හැකි ය. අවසාන වශයෙන් කර්මස්වකතාව නම් උපක්‍රමය සිදු කළ යුතු ය. එනම් තමන් කරන ලද ක්‍රියාවන්හි ප්‍රතිඵල තමාට භුක්ති විඳීමට සිදුවන බවත් එහෙයින් නරක කර්ම රැස් කිරීම තුළ අයහපත් විපාක විඳීමට සිදුවන බව අවබෝධ කර ගැනීමයි. ඔහු කරගනු ලබන දෙය ඔහු විසින් ගෙනයන බවත් තමන් කරනු ලබන දෙය තමන් ගෙන යන බවත් සිහිපත් කර ගත යුතු ය. එය වෙනකෙනකුට පැවරිය නොහැකිය. ද්වේෂය අනෙකකුගේ ලෙඩක් නම් තමන් එයට බෙහෙත් ගැනීම හෝ එම ලෙඩ බලෙන් ඇතිකර ගැනීම හෝ සිදු නොකළ යුතු ය.

ද්වේෂය, තරහ යනු චිත්තාවේගයකි. එනම් වේගවත්ව එන චිත්ත ධාරා තමාට යහපත පිණිස නොපවතී. අධික වේගයෙන් ධාවනය වන රථයක් පාලනය කිරීම අපහසුය. එසේ පාලනය කිරීමට උත්සාහ කිරීමම අනතුරු ඇතිවීමට හේතුවකි. එමෙන්ම අධිකව තරහව ඇතිකර ගන්නා පුද්ගලයාට ද මුහුණදීමට සිදුවන්නේ ද මෙවන් තත්ත්වයකටය. ආදිත්තපරියාය සූත්‍රයට අනුවද මෙය මහා ගින්නකි. ගින්න කුණුරොඩු මෙන්ම වටිනා වස්තූන්ද විනාශයට පත් කරයි. ඕනෑම හොඳ මිනිසෙකු අයහපත් වීමට ද්වේෂයට ගත වන්නේ ස්වල්ප වේලාවකි. එය බුද්ධිමත්ව තේරුම්ගත යුතු ය.

ද්වේෂයෙහි ආදීනව දක්වන තැන අ.නි. කෝධන සූත්‍රය ඉතා වැදගත්ය. මෙයට අනුව ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයාට ඇති වන අලාභ හතකි.

1. දුර්වර්ණ වීම, 2. දුකසේ සයනය කිරීම, 3. ධනය හීන වීම, 4. භෝග නැතිවීම, 5. යසස් ඇති නොවීම, 6. මිතුරන් ඇති නොවීම, 7. මරණින් මතු අපාගතවීම.

මෙයින් පැහැදිලි වන්නේ ද්වේෂය හේතුකොට ගනිමින් ආධ්‍යාත්මිකව මෙන්ම භෞතිකව මිනිසා පිරිහීමට පත්වන ආකාරයයි. මෙම භයානක රෝගයෙන් නිදහස් වීම බෞද්ධ හෝ වේවා අබෞද්ධ හෝ වේවා සෑම කෙනෙකුගේම දෙලොව දියුණුවට හේතු වේ. එමෙන්ම විවේක බුද්ධිය ඇතිවීමට ද ද්වේෂයෙන් යුක්ත නොවීම හේතුවක් වේ.

“සබ්බේ සත්ථා භවන්තු සුඛි තත්ථා”
සියලු සත්වයන්ට යහපතක් වේවා!


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.