Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

උවදුරු ඇතිවීමට පෙර එය වළක්වමු

බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ හිත සුව පිණිස වැඩ කෙළේ කාලසටහනකට අනුවයි. එසේ නම් අපත් නිසි අයුරින්ම නිසි වේලාවට ම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණත් කාලසටහනකට අනුව ක්‍රියා කරන්නේ නම් සාර්ථක ගමනක් යාමට හැකි වනවා

මේ දිනවල රට පුරාම කතා බහ කෙරෙන්නේ පරිසරය පිරිසුදු කිරීම ගැන. අපේ බෞද්ධයන් අතර මේ සම්බන්ධව තියෙන්නේ විවිධාකාර මතයන්... ‘ මම සතුන් මරන්නෙ නෑ. අනුන් ලවා මරවන්නෙත් නෑ. මරණ අයට උදවු කරන්නෙත් නෑ. මරණ එක හොඳයි කියල වචනයකින්වත් කියන්නෙ නෑ.’ මේ එක් මතයක් මේ නිසා පරිසරය සුද්ධ පවිත්‍ර නොකර සිටීම සුදුසුද? එසේත් නැත්නම් කුඩා සතුන්ට විශේෂයෙන්ම මැසි මදුරු ආදින් මිය යෑමට ඉඩ ඇති නිසා ගහ කොළ ඉවත් නොකර පරිසරය අපවිත්‍රව තබාගන්නවාද?

බුද්ධ දේශනාව වන්නේ මැසි මදුරු ආදි කෘමීන් බිහිවීමට ඇති ඉඩකඩ අහුරා පරිසරය පිරිසුදුව තබා ගැනීමයි. එසේ නොමැතිව සතුන් බිහිවූ පසු බෙහෙත් ඉසීමෙන්, වෙනත් ක්‍රම මඟින් එම සතුන්ගේ දිවිතොර කිරීම අනුදැන වදාරන්නේ නැහැ. උවදුරු ඇතිවීමට පෙර එය නැවැත්වීමයි සාමාජීය වශයෙන් මෙන්ම සෞඛ්‍ය වශයෙන්ද ආගම දහම අතින්ද උගන්වා ඇත්තේ.

එසේනම් ප්‍රාණඝාතයෙන් වලකින්නත් නිරෝගීව සිටින්නටත් අප කළ යුත්තේ පරිසරය පිරිසුදුව තබා ගැනීමයි. ඩෙංගු වැනි උවදුරු අද සමාජයට කරනු ලබන හානිය අප කාටත් වැටහෙනවා. ඩෙංගු මදුරුවාට ලොකු කුඩා භේදයක් නැහැ. දුප්පත් පොහොසත් භේදයක් නැහැ. රටම ජාතික වශයෙන් මැදිහත් විය යුතු තත්ත්වයට ඩෙංගු උවදුරක් වූයේ අප අපගේ වගකීම් ඉටු නොකිරීම නිසයි. බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ.

ආරෝග්‍යා පරමා ලාභා
සන්තුට්ඨි පරමං ධනං
විස්වාසා පරමා ඥාති
නිබ්බානං පරමං සුඛං
යන්නයි.

නිරෝගී බව උතුම්ම ලාභය බවයි බුදුරජාණන් වහනසේ වදාළේ එම උතුම්ම ලාභය ලබා ගැනීමට නම් අප කළ යුත්තේ පරිසරය පිරිසුදුව තබාගෙන අපත් පිරිසුදුව ජීවත් වීමයි.

ඒ සඳහා අපට බුදුදහම අනුව කටයුතු කළොත් වරදින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ හිත සුව පිණිස වැඩ කෙළේ කාලසටහනකට අනුවයි. එසේ නම් අපත් නිසි අයුරින්ම නිසි වේලාවට ම ක්‍රියාත්මක කිරීමට නොහැකි වුණත් කාලසටහනකට අනුව ක්‍රියා කරන්නේ නම් සාර්ථක ගමනක් යාමට හැකි වනවා. එම කාල සටහනේ සතියට වරක්වත් අවට පරිසරය ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා දිනයක් වෙන්කර තැබීමයි වැදගත් වන්නේ. අපේ පරිසරයේ තිබුණූ සමතුලිතතාව අප විසින්ම බිඳ දමල තියෙනවා. ඒක නිසයි මේ ව්‍යසනකාරි තත්ත්වය උදාවෙලා තියෙන්නෙ.

ඉස්සර අපේ ගෙවල්වල ගම් කුකුළො කිකිළියො හිටිය .මේ සත්තු පොළොව පහුරුගාන කොට පොළොවෙ තිබුණු වතුර රැඳුණු පොලිතින් කැබලි, ටින් බෙලෙක්ක, පෙරලිලා වතුර රැදුණේ නැහැ. මේ නිසා පරිසරය රැකුණා. ඩෙංගු වැනි උවදුරු පැතිරුණේ නැහැ. අද අපේ පරිසරයේ එවන් තත්ත්වයක් නැහැ. බිත්තර ගන්න ඇති කරන ගම් කුකුළන්ගෙන් අපට අද පාරිසරික අවබෝධයක් නැහැ. ඒ වගේම අපත් පරිසරයට හානි කිරීම වැඩිවෙලා. විනෝද චාරිකාවක් යන පිරිස දිහා බලන්න. රඹුටන් පොකුරක් ගත්තනම් සේරම ලෙලි ටික පාරේ. මේ රඹුටන් ලෙලි වතුර රැදෙන උපකාරකයක්. ඒ විතරක් නෙමෙයි. අප ආහාරයට ගන්නා බොහෝ ආහාරවල අසුරණ සියල්ලම කිසිදු වග විභාගයක් නැතුව අප පරිසරයට විසි කරනවා .මෙහි අනිටු ප්‍රතිඵලයි අප මේ විදින්නේ.

බුදුරජාණන් වහන්සේ භික්ෂුන්ට උපදෙස් දුන්නේ තම රැවුල සහ කොණ්ඩය සම්පූර්ණයෙන් ඉවත් කරනු ලෙසයි. ඒ පිරිසුදුකම උපරිමයෙන් රැක ගැනීම උදෙසායි. මේ ආකාරයට බුදුරජාණන් වහනසේ ලබාදුන් අවවාද උපදෙස් අනුව අප කටයුතු කළහොත් අප අතින් ප්‍රාණඝාත සිදුවන්නේ නැහැ. උකුණන්, මකුණන් විනාශ කර අකුසල කර්ම රැස් කර ගැනීමට සිදුවන්නේ නැහැ.

පරිසරය ආරක්ෂා කර ගැනීමට නම් ඉවතලන සියලු දේ නිසි තැන්වලට ඉවත දැමීම කළ යුතුමයි. පොඩ්ඩක් හිතන්න. නිවසේ අප ජලය බැහැර කරන්නේ කොතැනටද කියා. මහ පාරට නැත්නම් පාර අයිනේ ඇති කානුවට. මෙයින් සිදුවන්නේ මුළු පරිසරයටම හානි පැමිණවීමක්. අපේ නිවසේ කුනු බාර ගන්න තවත් නිවසක අය සූදානම් නැහැ. ඒ වගේම අප කිසිවිටක පරිසරයට සීමා වෙන් කර ගැනීම නොකළ යුතුයි. තමා දැන් සිටින ස්ථානය නිවසින් කෙතරම් දුර වුවත් එතැන ආරක්‍ෂා කිරීමට සුරැකීමට දායක විය යුතුවනවා.

විශේෂයෙන්ම අපට හානිකරන සතුන් බෝවීම වගේම ගැවසීම, සැරිසැරීම ඉවත් කිරීමත් අප සතු කාර්යයක්. මදුරුවන් දෂ්ඨ කරනු ලබන වේලාවත් අප වෙන් කළාට මදුරුවන් දෂ්ඨ කිරීමට කාලය වෙන්කර ගන්නේ නැහැ. දිනයේ ඕනෑම වේලාවක එය සිදුවිය හැකියි. මේ නිසා නිවස තුලත්, පරිසරයත් හැකි සෑම විටම නිරාවරණය වූ පරිසරයක් විය යුතුයි. නිවසේ වත්තේ මල් පැළෑටි ආදිය වවා ඇත්නම් නිරතුරුවම ඒවා පරීක්‍ෂා කළ යුතු වෙනවා.

අප යම් දෙයක් කෙරෙහි අවධානය යොමු කරන්නේ අපට හෝ සමීපතමයකුට විපතක් වූ විටයි. බුදුදහමේ සමාජීය වගකීම් යටතේ සමස්ත සමාජයම තමන්ගේ මිතුරන් ලෙස සලකනවා. අප මෙත් පතුරවන්නේ සියලුම සත්ත්වයන්ටයි.

සියලු සත්ත්වයෝ
නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා
සුවපත් වෙත්වා.!
මේ අපගේ ප්‍රාර්ථනයයි.
‘ආරාම රෝපා...වන රෝපා...’ යනුවෙන් දැක්වෙන්නේ වන රෝපණය බුදුරජාණන් වහන්සේ අගය කළ බවයි.

බුදුරජාණන් වහන්සේ නිරතුරුවම උදාහරණ ලබා ගත්තේ පරිසරයෙන් සොබා සෞන්දර්ය උන්වහන්සේ අගය කළා. තමන් වහන්සේගේ සිත්ගත් ස්ථාන ලෙස ‘ විශාලා මහනුවර, චාපාල චෛත්‍යය...ආදිය’ තිබෙන බව උන්වහන්සේ ආනන්ද හිමියන්ට වදාළා. එසේම උන්වහන්සේ වැඩි කාලයක් ගත කළ ආරාම පිහිටා තිබුණේද වන උයන් ලෙසින්. මෙයින් අප වටහා ගත යුත්තේ අප පරිසරයට ආදරය කළහොත් පරිසරයත් අපට ආදරය කරනු ලබන බව යි. අප පරිසරයට හානි කරනු ලැබුවහොත් පරිසරයද අපට අකාරුණික ලෙසින් සලකනවා. මේ තත්ත්වය තේරුම් ගෙන පරිසරය රැක ගැනීමට කටයුතු කළහොත් අපගේ නිරෝගී සුවය රැකෙන අතර අප අතින් ප්‍රාණඝාතය වැනි ශික්ෂා බිඳීමද සිදුවන්නේ නැහැ. එමෙන්ම සැමට සතුටු සම්පන්න සුවදායක දිවියක් ගත කිරීමටද හැකියාව ලැබෙනවා. තමන්ගේ වගකීම නිසිලෙසින් ඉටු කිරීමයි මෙහිදී මූලික විය යුත්තේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.