Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සැදැහැති බැතිබර වන්දනා ගාථා

තෙරුවන් සරණ යාමට ගාථා කිව යුතුය. තෙරුවන් සරණ යන සෑම දෙනාගේම බෞද්ධකම රැකදීමට, දියුණු කිරීමට, කළ යුත්තේ ධර්‍මදානය දී නිවන් සුව ලබාදීමේ මහා කුසල කර්මය කර ගැනීමයි. තෙරුවන් සරණ යන බෞද්ධයන්ට මඟ පෙන්වීම මහා කුසල ක්‍රියාවකි. උතුම්වූ බුදුරදුන්ගේ ශ්‍රේෂ්ඨ චරිතය අනුව යාමකි.

බුද්ධ, ධම්ම, සංඝ, බෞද්ධයන්ගේ උතුම්ම සරණයි. තිසරණ සරණ යා හැක්කේ ගාථා කීමෙනි. සියලුම ගාථා තුළ ඉතා අර්ථාන්විතව බෞද්ධ ධර්ම මාර්ගය ගැබ්වී ඇත. සමහර ගාථාවල බුදුරදුන් වදාළ උතුම් වූ, ගැඹුරු වූ ධර්මය අන්තර්ගතව ඇත. තිසරණ සරණ ගාථා සෑම බෞද්ධයෙකුට, නොයෙක් අවස්ථාවලදී ඉබේම සිහිපත් වේ. බොහෝ ආපදාවලදී මහා මානසික ශක්තියක් ලබාදී, ආරක්‍ෂා බලයක් ද වෙයි. බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වන අන්දමට, මුහුදේ .ගිලී ගිය වෙළෙඳ නැවක සිටි පිරිසක් තෙරුවන් සිහි කර මරණයට මුහුණදීම නිසා සුගතිගාමී වී ඇත. තිසරණ සරණ අවබෝධයක් නැතත් පිහිට මෙසේනම් අවබෝධයෙන් ගාථා කියා සරණ යාම බුදුන් වදාළ විමුක්තිය උදාකර ගැනීමට හේතුවන බව මින් හෙළි කෙරේ.

සියලුම බෞද්ධයෝ, බෝධි වෘක්‍ෂය, චෛත්‍ය, වෙහෙර, විහාර, බුදු පිළිම, දෙස්, විදෙස් සිද්ධස්ථාන, වන්දනා කරන්නේ, තිසරණ සරණ ගාථා කීමෙනි. ගාථා නොකියා නමස්කාර කරනවිටද, සැබෑ බෞද්ධයා තුළ ශ්‍රද්ධා භක්තිය ජනිත වෙයි. එය මානසික කායික පිහිටක් සඳහාද වෙයි. මේ නිසා, සෑම බෞද්ධයෙක්ම ගාථා හොඳින් තේරුම් ගැනීම, බුදු දහම අවබෝධ කරගෙන යහපත් ජීවිතයක් ගත කිරීමට උපකාරි වෙයි. මේ අන්දමට පැරැණි ලාංකේය බෞද්ධයෝ සැදැහැති බෞද්ධයන්ව සිටි බව බෞද්ධ සාහිත්‍යයෙන් හෙළි වෙයි. අමාවතුර, බුත්සරණ, දහම් සරණ, සඟ සරණ හා ඉන්පසු ලියැවුණු සෑම බෞද්ධ කෘතියකින්ම ලාංකේය බෞද්ධයන්ගේ ශ්‍රද්ධා භක්තිය මැනවින් ප්‍රකාශ වෙයි.

“ නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” යැයි බුදුරදුන්ට නමස්කාර කර, “ ඉතිපි සෝ භගවා, අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරො පුරිසදම්ම සාරථී, සත්තා දේව මනුස්සානං, බුද්ධෝ භගවාතී” යි බුදුරදුන් පුදා සමස්ත බුද්ධ චරිතයත්, ධර්‍මයත් ඉතා කෙටියෙන් මෙනෙහි කිරීම, සැදැහැ සිතින්, හදවතින් පමණක් නොව සමස්ත ශරීරයෙන්ම කරනු ලබයි. මෙම බුද්ධ වන්දනා ගාථාව, බෞද්ධයන්ට තේරුම් ගත හැකිනම් සැදැහැති බෞද්ධයන් බවට පත්විය හැකිය. මෙම උතුම් ගාථාව, බුද්ධානුස්සති භාවනාව ලෙසද සඳහන් වේ. බුදුරදුන්ගේ ගුණ මෙනෙහි කිරීම බුදුරදුන් වහන්සේ සරණ යාමයි. මෙය සතර ආරක්‍ෂා භාවනාවන්ගෙන් පළමුවැන්න ද වෙයි. මෙය ගයන සෑම බෞද්ධයෙකු තුළම ශ්‍රද්ධා භක්තිය වර්ධනය වේ. මෙහි ගුණ දක්වන ධම්මපද ගාථාවකින් පෙන්වා දෙන්නේ, ගාථා කියා බුද්ධානුස්සතිය වඩන ශ්‍රාවකයා සුවපත් වන බවයි. අපේ පැරැණි ලාංකේය බෞද්ධයෝ බුදුරදුන්ගේ නව ගුණ මෙනෙහි කිරීමට නවගුණවැල නම්වූ ඇට මාලයක්ද යොදා ගනිති. අදත් බොහෝ උපාසක පිරිස නවගුණ වැල භාවිතා කරති. අනන්තවූ බුදු ගුණ සිහි කිරීම සඳහා නවයකට කෙටි කර දක්වා ඇත්තේ පහසුව සඳහායි. බුදුරදුන් වහන්සේ සකලවිධ කෙලෙසුන්ගෙන් දුරුවණු බව කියන අරහං ගුණයෙන් එය ඇරැඹේ. සියලු කෙලෙසුන් දුරු කර සංසාර ගමන නවතාලු හෙයින්ද ‘ අරහං’ නම් වන සේක. මෙම බුදු ගුණ මෙනෙහි කරන බෞද්ධයා කෙලෙසුන්ගෙන් දුරුවීමට ඉබේම පුරුදු වෙයි. ‘ අරහං’ ගුණය මෙනෙහි කරමින් ගාථා කියනවිට, පස් පව්, දස අකුසල් පමණක් නොව සියලුම පව් හා අකුසල් වලින් දුරු වීමට සිතන නිසා බුදුරදුන් පිදීමේ අනුසස් ලබයි. මීළඟට බුදුරදුන්ගේ ‘ සම්මා සම්බුද්ධ’ ගුණය මෙනෙහි කරයි. සත්ව ලෝකයේ සැබෑ තත්වය මුළුමණින්ම අවබෝධ කර, එම ධර්‍මය සත්වයාගේ විමුක්තිය උදෙසා පැවසීමට සමත්වූ බැවින්, බුදුගුණාලංකාරය රචනා කළ මාහිමියන් එම ගුණය වර්ණනා කළේ මෙසේය.

“තුන් කල්හිම පැවති
පදරුත් සියල් ලොව ඇති
අතැඹුල සෙ දැන ගති
එයින් සම්මා සම්බුදුන යෙති”

මේ අනුව සම්මා සම්බුදු ගුණය මෙනෙහි කරන විට සිහියට එන්නේ බුදුරදුන් අවබෝධ කළ චතුරාර්ය සත්‍ය ධර්මයත් එය මිනිසාගේ සංසාර දුක අවසන් කිරීමට දේශනා කළ අයුරුත්ය. සත්‍ය ධර්මය අවබෝධ කළා පමණක් නොව, අෂ්ට විද්‍යා හා පසළොස් චරණ ධර්‍ම අනුව, වැරැදි දැකීම එනම් අවිද්‍යාව දුරු කර විද්‍යාව නමැති, නිවැරැදි දැකිම හා දැනීම දැන ලොවට සෙත පිණිස, නිවන් සුව ලැබීමට මඟ කියා දීමේ මහා ගුණය බෞද්ධ සිතට පිවිසෙයි. ඒ අනුව එම ‘ විජ්ජාචරණ’ ගුණයෙන් දෙන සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්‍ෂාවන් පුහුණු වීමට බෞද්ධයා පෙළඹෙයි. විද්‍යා දැනුම ප්‍රඥාව වඩයි. චරණ ධර්‍ම ශීල, සමාධියට මග පාදයි. මෙම ධර්‍ම උගතුන්ගෙන් අසා හෝ කියවා වටහාගත යුතුවෙයි. ඊළඟට ගාථාවෙන් කියැවෙන මධ්‍යම ප්‍රතිපදාව “ සුගත” ගුණය මගින් මෙනෙහි කෙරේ.

ඉන් බුදුරදුන් වදාළ නිවැරැදි මඟ හා සංසාර දුකින් මිදීමට නිවන් සුව ලැබීම ගැන අදහස් තවදුරටත් තහවුරු කරයි. එමෙන්ම යහපත් වචන කතා කිරීමටද පෙළඹෙයි. බුදුරදුන් ඉතා යහපත් ලෙස කළ, කීදේ, කිරීමටද හුරුවෙයි. එය යථාවාදී තථාකාරී ගුණයයි. බුදු ගුණ ගාථාවේ ඊළඟට කියැවෙන “ ලෝකවිදූ” ගුණයද, බෞද්ධ සිත ප්‍රබෝධ කරමින්, සිහිපත් කරවන්නේ, ලෝකය පිළිබඳව සියලු දේ බුදුරදුන් වටහාගෙන දේශනා කළ අයුරුයි. කාමයෙහි ඇලී වසන සත්ව ලෝකය, සත්වයාගේ පැවැත්මට ආධාරවූ භෞතික ලෝකය, හා රූප, වේදනා, ආදී ස්කන්ධ ධර්‍ම හා කුසලාකුසල ධර්‍ම සහිත සංඛාර ලෝකය ආදී ලෝක අවබෝධකොට, එම ලෝකවල ඇති මහා දුක් කන්දරාව, හා මිදෙන හැටි තේරුම් ගැනීම හා කියාදීම නිසා ලෝකවිදූ බුදුහිමිගේ ගුණ සිහිපත් කරමින් ගාථා කියා දහමෙහි යෙදීමට බෞද්ධයාට හැකි වෙයි. බුදුරදුන්ට සමාන කෙනෙක් නැති “ අනුත්තර” ගුණය ද, ධර්මය කියාදී බොහෝ අය කායික, මානසික හා වාචසිකව සන්සුන් කළ “ පුරිස දම්ම සාරථී” ගුණයද මෙනෙහි කරන බෞද්ධයා, තමාම සන්සුන් වීමට මඟ පාදාගනී. සකලවිධ සත්වයන් මෙන් දෙව්, බඹ ආදී පෙනෙන නොපෙනෙන, ශක්තීන්ටද, “සත්ථා” නම් මඟ පෙන්වන නායකයෙකු ජාති, ජරා, ව්‍යාධි, මරණ දුකින් වැළකෙන හැටි පෙන්වා දුන් ගුණයද, බෞද්ධයා ගාථාවෙන් කියා, තමාද ඒ ධර්මය අනුගමනය කරයි. බුදුගුණ අලංකාරයේ සත්ථා ගුණය වර්ණනා කරන්නේ

“බව කතරින් එතර
ලනුයෙන් සතන් හැම වර
තිලෝගුරු මුනිවර
වීය සත්ථා නමින් පුවතර”

යනුවෙනි. මේ අනුව බුදුරදුන් සරණ යන ගාථා නොකියා බෞද්ධයෙකු විය නොහැකිවා මෙන්ම, ගාථා කියා සරණ ලැබිය හැක්කේ, ඒවා මැනවින් තේරුම් ගැනීමෙන් බවද සඳහන් කළ යුතුය. සෑම බෞද්ධ බුද්ධිමතෙකුගේම යුතුකම ඒවා කාරුණිකව කියාදීිමයි. මේ සියලු ගුණයෙන් යුක්තවූ බැවින් “භගවා” එනම් භගවත්වූ බුදුරදුන්ගේ ගුණ මෙනෙහි කරන වන්දනා ගාථා කියන බෞද්ධයාට සමස්ත භෞතික ශක්තීන් හා සොබාදහම පවා ආශීර්වාද කරනු ඇත.

එමෙන්ම “ස්වාක්ඛාතෝ භගවතො ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීතී” යනුවෙන්, උතුම්වූ ශ්‍රී සද්ධර්මය සරණ යමියි “ධම්මං සරණං ගච්ඡාමි” යි ගාථා කියන බෞද්ධයාට, ධර්මය අවබෝධ කර ගැනීමෙන්, කියාදීමෙන් මහා කුසල සම්භාරයක්ම ඇතිවෙයි. පන්සල, බණ මඩුව, දහම් පාසල, පාසල, සමිති සමාගම්, උත්සව, ජන මාධ්‍ය මේ සඳහා අතිමහත් කාර්යභාරයක් ඉටු කළ හැකි ආයතන වෙයි. ශීල, සමාධි, ප්‍රඥා වඩා භව දුකින් මිදීමට ගාථා කීමත් දහම් සරණ යාමත් උපකාරිවෙයි. “ බුදුන්ගේ එකම අරමුණ වූයේද දේශිත ධර්‍මය සරණ ගොස්, සත්වයාට දුකින් මිදීමට මග පෙන්වීමයි.” දහම් සරණ ගාථා කියා, දහමෙහි හැසිරෙන බෞද්ධයාට දහමම පිහිටවන හැටි ධම්ම පදයේ උගන්වා ඇත.

එසේම සංඝයා සරණ යාමේදී, සුපටිපන්න, උජුපටිපන්න, ඤාය පටිපන්න ආදී ගුණයන් මෙනෙහි කරමින් ගාථා කියන බෞද්ධයා භික්‍ෂූන් වහන්සේලා මඟින් දහම් දැනුම ලබාගෙන, බුදු බණ, පහදවාගෙන, කාම, රූප, අරූප භවයෙහි දුකින් මිදීමට, කුසල ක්‍රියාවන්හි යෙදිය යුතුය.

මෙසේ තිසරණ සරණ යමින් වන්දනා ගාථා කියන බෞද්ධයා යහපත් වෙයි. මෙහිදී දුක් දොම්නස් වලින් මිදීමේ ආරක්‍ෂක මන්ත්‍ර ලෙස නොව, කියන ගාථාවල අර්ථද තේරුම්ගත්විට මහත්ඵල මහානිසංස ලැබිය හැකියි.

පන්සිල් ගාථා පද කීමෙන් බෞද්ධයා පංචශීල පිළිවෙත සමාදන්වී ක්‍රියාවට නැංවීමෙන්, සිත, කය, වචනය සංවර වෙයි. විශේෂ අවස්ථාවලදී පන්සිල් පද බෞද්ධයා කියවයි. කියවන තරමට ක්‍රියාත්මක කළවිට එය උතුම් කුසල ක්‍රියාවන් වෙයි. සමස්ත බුදු දහමේ මූලික දර්ශනය එහි අන්තර්ගතය. එහි අර්ථ සෑම බෞද්ධයෙක්ම දන්නේය. පන්සිල් කියා රැකීමම, හොඳ බෞද්ධයෙක් වීමට හේතුවෙයි. ඔහු වෙත කිසිම පාප කර්ම, දුක් කම්කටොලු, උපද්‍රව ඇති නොවෙයි.

පැරැණි බෞද්ධයා, වන්දනා ගාථා කියමින් මෙනෙහි කරමින් අවිහිංසාවාදී ජීවිත ගෙවු හැටි, බෞද්ධ කථා සාහිත්‍යයෙන්ද හෙළිවෙයි. බුදුරදුන් මලින් පුදනවිට දෑත හොඳින් සෝදා පිරිසුදුව, මල් අස්නද සෝදා පිරිසුදු කර මල්වලට ද පැන් ඉස පූජා කරන්නේ අර්ථවත් පරිදිය. මල්වලට පැන් ඉස්සේ පරනොවී තබා ගැනීමටය. එහෙත් කොයි මෙහොතේ හෝ පරව යයි.

වණ්ණ ගන්ධ ගුණෝපෙතං
ඒතං කුසුම සන්තතිං
පූජයාමි මුනින්දස්ස
සිරීපාද සරෝරුහේ

වර්ණවලින්ද, සුවඳින්ද, ගුණවත් වූ මේ මල්, බුදු හිමියන්ගේ ශ්‍රී පාදයනට පූජා කරමි.

පූජේමී බුද්ධං කුසුමේන නේන
පුඤ්ඤෙන මේතෙන ලබාමි මොක්ඛං
පුප්පං මිලායාති යථා ඉදම්මේ
කායෝ තථායාති විනාශභාවං

මේ මල් බුදු හිමියන් වෙත පූජා කරමි. එයින් නිවන් සුව ලැබේවා, පුදන ලද මේ මල් මැලවී යන්නේ යම් සේද එසේම මේ ශරීරයත් මැලවී පරවී යයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, බෞද්ධ දර්ශනයම ගැබ්වූ මෙම වන්දනා ගාථාවම බෞද්ධයින් තුළ පරම පවිත්‍රවූ නිවන්සුව, විමුක්තිය උදෙසා, යොමු කිරීමට හේතුවෙයි. ජීවත්වන මිනිසුන් සැමවිටම උත්සාහ කරන්නේ ජරා, ව්‍යාධි මරණයෙන් බේරීමටයි. මල්වලට වතුර ඉස මැලවීම වළක්වාගත නොහැකි සේ සත්වයාට මරණ දුකින් ගැලවිය නොහැකිය. ගැලවිය හැකි එකම මග ජාති, ජරා, මරණ නැති නිවන් සුවයෙන් පමණි. ඒ අනුව මෙම වන්දනා ගාථාව නැවත නැවත මෙනෙහි කරනවිට බෞද්ධයා බුදු දහමේ ශාන්තිය වෙනුවෙන් කැපවෙනු ඇත.

පහන් පූජා වන්දනා ගාථාවද, දැල්වී නිවී යන පහන් දැල්ලද, බෞද්ධ සිත, දහමින් ආලෝකවත් කරයි.

ඝණසාරප්ප දිත්තේන
දීපේන තම ධංසිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමි තමෝනුදං

මේ උතුම් ආලෝක පූජාවෙන් කාම, රූප, අරූප යන තිලොවම ආලෝක කළාවූ බුදු හිමියනට පූජාවේවා. දැල්වෙන පහන් සිලේ සසල බවත්, පහනේ තෙල් අවසන්වෙද්දී නිවී යාමත් බෞද්ධ සිත තුළ නැවතත් උපදවන්නේ අනිත්‍යය දැක්මයි. තමන්ද පහන් සිල මෙන් යැයි බෞද්ධයාට මෙනෙහි වන විට ධර්මය අනුව ජීවත්වීමට, අකුසලින් මිදෙයි. දැල්වෙන පහන්සිල, බොදු බැතියත්, බුද්ධාලම්භන ප්‍රීතියත්, ශ්‍රද්ධාවත්, ඉපදවීමට සමත්වේ. ඒ සමඟම සුගන්ධ පූජා වන්දනා ගාථාද, අනෙකුත් සියලු වන්දනා ගාථාවන් ද බොදු බැතිය වර්ධනය කරවයි. බුද්ධ පූජා වන්දනා ගාථාවද

අධිවාසේ තුනොභන්තෙ
භොජනං පරිකප්පිතං
අනුකම්පං උපාදාය
පතිගන්හාතු මුත්තමං

බෞද්ධයන් තුළ දානය පිළිබඳ හැඟීම් ඇති කරවයි. මේ අනුව දානය, ශීලය, භාවනාදී කුසල් කර්ම මෙන්ම, ශීල, සමාධි, ප්‍රඥා වැඩීමට හේතුවන බැවින්ද, ගාථා කියා වන්දනා කිරීම, ආමිෂ පූජාවන් පමණකැයි, බැහැර කළ යුතු නැත. වන්දනා ගාථාවල සැඟවුණු අර්ථ කියාදී බෞද්ධයන්ට මානසික ධෛර්ය ලබාදීම මහා කුසල කර්මයකි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.