Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

යසස වැඩීමට නම්....

නොපසු බස්නා වීර්ය ඇති, එළඹ සිටි සිහි ඇති, නිදොස් ක්‍රියා ඇති, නුවණින් විමසා බලා තම කටයුතු කරන සුලු වූ, කය වචනය දෙකින් හික්මුණු දැහැමින් දිවි පවත්වන නොපමා තැනැත්තා ගේ යසස හෙවත් කීර්තිය වර්ධනය වන බව අප තරයේ සිත්හි තබා ගත යුතු ය

ට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනො
අප්පමත්තස්ස යසොභිවඩ්ඪති
(ධම්මපදය – අප්පමාද වග්ගය)

සැදැහැවත්නි,

ඉහත දැක්වූයේ අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත් ගාථා ධර්මයයි. එය ධම්මපදයෙහි අප්පමාද වග්ගයට අයත් ය. එහි සරල සිංහලාර්ථය මෙසේ ය.

නොපසු බස්නා වීර්ය ඇති, එළඹ සිටි සිහි ඇති, නිදොස් ක්‍රියා ඇති, නුවණින් විමසා බලා තම කටයුතු කරන සුලු වූ, කය වචන දෙකින් හික්මුණු, දැහැමින්, දිවි පවත්වන නොපමා තැනැත්තාගේ යසස (කීර්තිය) වැඩේ.

බුදුරජාණන් වහන්සේ විසින් මෙම ගාථා ධර්මය දේශනා කරන ලද්දේ කුම්භඝෝෂක සිටාණන් අරභයා ය. කුම්භඝෝෂක සිටුතුමා උපතින් ම විශාල ධනයකට උරුමකම් කී අයෙකි. එකල අහිවාතක නම් වූ දරුණු වසංගත රෝගයක් පැතිරීම නිසා දෙමාපිය උපදෙසින් කඳු ප්‍රදේශයකට ගිය ඔහු එහි වසර ගණනාවක් වාසය කොට ආපසු උපන් ප්‍රදේශයට පැමිණියේ ය. කුඩා කල ගොස් තරුණ වියේ දී පැමිණි හෙයින් කිසිම අයෙකුට ඔහුව හඳුනා ගැනීමට නොහැකි විය. ඔහු කුඩා කලදීම හතළිස් කෝටියක් පමණ වූ ධනය අසවල් තැන නිධන්කොට ඇතැයි, දෙමව්පියන් විසින් පෙන්වා දී තිබිණ. එබැවින් ඔහු එම සලකුණු අනුව වස්තුව තිබුණූ ස්ථානයට ගොස් ධනය විනාශයට පත් නොවූ බව දැන ‘මා හඳුනන කිසිම කෙනෙකු නො මැති හෙයින් මා මෙම ධනය ගොඩගෙන ප්‍රයෝජන ගන්නේ නම් එක්තරා දුප්පත් පුද්ගලයෙක් නිධානයක් පැහැරගෙන ඇතැයි, මා අල්ලා ගෙන බොහෝ දඬුවම් දෙනු ඇත. එම නිසා බැල මෙහෙවර කොට ජීවත් වන්නේ නම් වඩා හොඳ යැයි අදහස් කළේ ය. දිනක් ඉතා දුප්පත් අයෙකු මෙන් සැරසුණු ඔහු ආහාරයට අවශ්‍ය වියදම පමණක් ලබාගැනීමේ අදහසින් ඊට සුදුසු රැකියාවක් සොයා ගත්තේ ය. එනම් උදෑසනින්ම නැගිට මිනිසුන් ඒ ඒ කටයුත්තෙහි යෙදවීමට නියෝග දීමේ රැකියාවයි.

පසුව එක් දිනක් බිම්බිසාර රජතුමාට අනුන්ට නියෝග කරමින් ඇවිදින ඔහුගේ හඬ ඇසුණේ ය. බිම්බිසාර රජුට සෑම දෙනෙකු ගේ ම ශබ්දය අනුව යමක් කීමට හැකියාව තිබිණ. එම නිසා කුම්භ ඝෝෂක ගේ කටහඬ අසා ඒ බොහෝ වස්තුව ඇති මිනිසෙකුගේ ශබ්දයක් බව කීය. ඉන් පසුව රජතුමා ළඟ සිටි එක්තරා අන්තඞපුර ස්ත්‍රියක් ‘රජතුමා සාමාන්‍ය නිකම් වචනයක් නොකියන කෙනෙකු හෙයින් මෙම කාරණය ම විසින් විමසා බැලිය යුතු යැයි’ සිතුවා ය. සිය දියණිය ද සමග එක්ව සම්‍යක් උපායශීලී ක්‍රමයක් අනුගමනය කොට කුම්භඝෝෂක තෙමේ රජු ඉදිරියට පැමිණ වූහ. රජු ඔහු අමතමින් ‘පිරුණු කලයක හැඩ හුරුකම ඇති කුම්භඝෝෂක නම් ඔබ දැ’ විමසුවේ ය. ඔහු ‘එසේ යැ’ යි පිළිතුරු දුන්නේ ය. නැවත ද රජු ඔහු අමතමින් ‘මෙ පමණ වස්තු සමූහයක් විනාශ නො කර පිරිමැස්මෙන් තබාගෙන අපටත් කොටසක් නොදී නුඹ ම ප්‍රයෝජන විඳින්නේ ඇයි දැ’ යි විමසී ය. ‘රජතුමනි, මට පිහිටක් නැතැයි, ඔහු කීය.

එවිට මට වඩා පිහිටක් තවත් වුවමනා කරන්නේ දැයි රජු විමසී ය. එලෙස පිහිටවන්නේ නම් එය ඉතා හොඳ යැයි කුම්භඝෝෂක කියූ පසු මම පිහිට වෙමි. ඔබ ගේ වස්තුව කොපමණ ප්‍රමාණයක් ඇත්තේ දැයි රජු ඇසී ය. එවිට ඔහු වැඩියෙන්ම නැත. හතළිස් කෝටියක් පමණ තිබේ යැ යි කීය.

පසුව සිය ගණනක් කරත්ත යවා වස්තුව ගෙන්වාගෙන රජ ගෙයි මිදුලෙහි ගොඩගස්වා නගරවාසීන් ගෙන්වාගත් රජු ‘මේ නගරයෙහි මෙතරම් වස්තුව තිබෙන්නේ කාට දැයි’ විමසීය. ‘කවරෙකුටවත් නැතැයි, ඔවුහු පිළිතුරු දුන්හ. එවිට රජු මෙ තරම් වස්තුව ඇති කෙනෙකුට කළ යුත්තේ කුමක්දැයි, විමසීය. යෝග්‍ය තනතුරක් දෙන්නේ නම් හොඳ යැ යි, ඔවුහු කීය. පසුව මහත් උත්සවාකාරයෙන් ඔහුව සිටු තනතුරට පත් කළ රජු ඔහු ළඟම ආරක්‍ෂා වී සිටි සිය දියණිය ද එතරම් සාරවත් මිනිසුන් අහිමි නො කරගත යුතු නිසා ඔහුට ම විවාහ කොට දී ලෞකික වශයෙන් වටිනා සම්පත් ද ලබා දුන්නේ ය. පසුව ඔහුත් සමග බුදුරදුන් හමුවට ගිය රජු උන්වහන්සේට වැඳ මෙසේ පැවසී ය. ‘ස්වාමීනි, මොහු දැක තිබේද? මොහු තරම් ධනවත් කෙනෙක් තවත් නැත. හතළිස් කෝටියක් ධනය ඇති නමුත් මොහුට අධික සතුටක් හෝ ආඩම්බරයක් හෝ නොමැත. කිසිම දෙයක් නැති දුප්පත් අයෙකු මෙන් මෙහෙකරුවන්ට මෙහෙකාරකම් කරමින් සිටියි. මම මොහු කෑ ගසමින් ඇවිදින විට ඒ කටහඬින් ම මොහුට ධනය ඇති බව දැන ගතිමි. පසුව මෙවැනි වූ උපදේශයකින් මොහුව ගෙන්වා ගතිමි. පසුව ඔහුට සිටු තනතුර දී ඔහුගේ වස්තුව ද ඔහුට ම භාර දුන්නෙමි. ඔහුගේ වටිනාකම දැන අපගේ දියණියකුත් ඔහුටම විවාහ කර දුන් මම ඔහුත් සමග නෑකමක් ද ඇති කර ගතිමි. මේතරම් උතුම් මිනිසෙකු මා නම් දැක නැත.

බුදුරදුන් එය අසා ‘මහ රජතුමනි, යම්කිසි කෙනෙක් මේ ආකාරයට ජීවත් වෙත් නම් එය ඉතා අගය කළ යුතු දෙයකි. අනුන් සතු දේ පැහැර ගැනීම ආදිය සිදු කිරීමෙන් කරන දිවි පැවැත්ම තමාට මෙලොව දී දඬුවම් ආදියට පැමිණීමට සිදුවීම නිසා දුක් ගෙනදෙයි. පරලොව සඳහා ද ඒ නිසා සිදුවන සැපයක් නැත. සම්පත් නොමැති නමුත් සතර ආකාර වූ උපන් අකුසල් දුරු කිරීම, නූපන් අකුසල් නො ඉපදවීම, උපන් කුසල් වැඩිදියුණු කිරීම හා නූපන් කුසල් ඉපදවීම යන මනාකොට සිත පිහිටුවා කරන වීර්යය නිවැරදි ලෙස ම සිදු කළ යුතු ය. ප්‍රකාශ කරන දෙය හොඳින් ප්‍රකාශ කොට, සිතන දෙය ද පින් සිත වැඩෙන අයුරින් නිවැරදි ලෙස ම සිතිය යුතු ය. නැවත හේතුව බලා කරන ප්‍රතිකාරයක් මෙන් මෙසේ කළ විට මෙවැනි දෙයක් වේය, යන අදහසින් යුතුව සැම දෙයක් කෙරෙහිම මනා පරීක්‍ෂාවෙන් යුතුවම අනුන්ට යමක් නොපැවසිය යුතු ය. ගිහි ගෙයි වාසය කරන්නේ නම් තරාදියෙන් කිරන විට අඩුවෙන් කිරීම හා මනින විට අඩුවෙන් මැනීම ආදී වැරදි දේ සිදු නොකොට කෘෂිකර්මය හා වෙළඳාම ආදී නිවැරදි දිවි පැවැත්මෙන් ද සසුන්ගතව සිටින්නේ නම් ඇති නුගුණ සැඟවීම හා නැති ගුණ ප්‍රකාශ කිරීම යන වැරදි පැවැත්ම අත්හැර ධර්මයට එකඟව සාමයෙන් ප්‍රමාද රහිතව වාසය කරන්නා හට සම්පත් වර්ධනය වන්නේ යැයි දේශනා කළහ.

ධර්මය දේශනා කර අවසන් වූ විට කුම්භ ඝෝෂක සිටුතුමා තමා වාසය කළ ආකාරය පිළිබඳ සැලකිලි ලැබූ නිසා රජතුමාම කළ උදව් ඇතිව හතළිස් කෝටියක් වස්තුවටත් වඩා හරවත්ව රැකිය යුතු වූ සෝවාන් ඵලයට පත් වීමෙන් බුදුරදුන් වෙතින් ලෝකෝත්තර සැපතත් සලසා ගත්තේ ය.

මේ අනුව නොපසු බස්නා වීර්ය ඇති, එළඹ සිටි සිහි ඇති, නිදොස් ක්‍රියා ඇති, නුවණින් විමසා බලා තම කටයුතු කරන සුලු වූ, කය වචනය දෙකින් හික්මුණු දැහැමින් දිවි පවත්වන නොපමා තැනැත්තා ගේ යසස හෙවත් කීර්තිය වර්ධනය වන බව අප තරයේ සිත්හි තබා ගත යුතු ය.

තෙරුවන් සරණයි!


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.