ලොවෙහි දිවි ගෙවන හා
ලොවින් එතෙර වන මඟ කියන දහම
බෙංගමුවේ නාලක හිමි
දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම්
මීට වසර 2601 කට පෙර ඇසළ පුණු පෝ දිනක තමන් වහන්සේ මහත් උත්සහයකින් හා
කැපවීමකින් වටහාගත් දහම් මඟ ගෞතම බුදුරජාණන් වහන්සේ දඹදිව බරණැස
ඉසිපතනාරාමයේ දී පස්වග තවුසන් අමතා පළමුවරට දේශනා කළ සේක. එය ධම්මචක්ක
පවත්වන එනම් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කිරීම ලෙස හැඳින්වෙයි.
එදා පෙරළා හැරි ධර්ම චක්‍රය අද දක්වාම ලෝකය තුළ ප්‍රවර්තනය වෙමින්
පවතියි. එය නතර නොවී දහම පැවතිමෙහිලා සුවිශේෂ කාර්යයභාරයක් එදා සිට
මෙදා තුර සිංහල භික්‍ෂූන් වහන්සේ හා සිංහල බෞද්ධ ජනතාව ඉටු කළ බවද
මෙහිලා කෘතවේදීව සිහිපත් කළ යුතුව ඇත.
ඇතැම්හු ‘බුද්ධාගම ආගමක් නොවේ’ යයි කියති. ජීවන මාර්ගයක් හෝ දර්ශනයක්
ලෙස නම් කරති. බුද්ධාගම නොව බුදු දහමයි. එය දර්ශනයක් ද නොවේ. ජීවන
මාර්ගයක් යයි හැඳින්වීමෙහි වරදක් නැත. කුමක්හෙයින්ද යත් ලෝකය තුළ
මැනවින් දිවි ගෙවන මඟ එම දහමින් කියා දෙන බැවිනි. එසේ දිවිමග කියාදෙන
අතරම ලොවින් එනම් සසරින් එතෙර වන මගද එම දහම කියා දෙයි.
ඒ අනුව ලෝකය තුළ මැනවින් දිවි ගෙවන මග මෙන්ම ලෝකයෙන් එනම් සසරින්
එතෙරවන මගද කියා දෙන දහම බුදු දහම යයි කීවොත් වඩාත් නිවැරදිය. දහම
වටහාගත් බුදු හිමියෝ එය ලොවට දෙසීමෙන් වැඩක් වේද? ලෝකයා එය තේරුම්
ගනීදැයි සිතූහ. එසේ සිතුවේ දහම ගැඹුරු නිසාත් ලෝකයා නුවණැසින් අන්ධ
නිසාත් ය.
ඉමහත් වැරවෑයමකින් මවිසින් අවබෝධකරගත් මේ දහම කියා දීමෙන් වැඩක් වේද?
රාග, ද්වේශ පරවශවුවන් විසින් එය අවබෝධකරගනු ලැබීම උගහටය.
ධර්ම දේශනා කිරීම පිළිබඳව සිතිවිලි පහළවූයේත් ධර්මයේ ගැඹුර හා රාගයෙන්,
ද්වේශයෙන් මවනලද සිත් ඇති අයට එය වටහා ගැනීම අපහසු නිසාත් ය. එහෙත්
බුදු ඇසින් බලද්දී තමන් බෝසත් අවධියෙහි ඇසුරු කළ ගුරුවරු වැනි අය
මියගොස් සිටි බැවින් දහම් දෙසීමට දුෂ්කර ක්‍රියා සමයෙහි තමන්ට උපස්ථාන
කළ පස්වග තවුසන් සොයා බරණැස ඉසිපතනාරාමයට වැඩම කර ඔවුන්ට පළමු දහම්
දෙසුම කළහ.
දම්සක් පැවතුම් සූත්‍රයෙහි මුලින්ම සඳහන් කරනුයේ පැවිද්දන් විසින්
අත්හළ යුතු අන්ත දෙකයි. එනම් කාමසුඛල්ලිකානු යෝගය හා අත්ථකිලමතානු
යෝගයයි. අධිසුඛෝපභෝගි ජීවිත ගත කිරීම හා සිරුරට අධික දුක් දීමයි.
සිදුහත් කුමරු ලෙස රජ සැප විඳිද්දී එතුමෝ කාමසුඛල්ලිකානු යෝගය
අත්දුටුවහ. සාවුරුද්දක් පුරා දුෂ්කර ක්‍රියා කිරීමෙහිදී අත්ථකිලමතානු
යෝගය අත් දුටුවහ. එම අත්දැකීම් මෙන්ම අවබෝධඥානයද පදනම්කරගෙන අධික සැප
විඳීම හා දුක්විඳීම බැහැර කළ යුතු අන්ත දෙක බව දේශනා කළහ.
මෙම අන්ත දෙකම ආධ්‍යාත්මික දියුණුවට මෙන්ම ලෞකික දියුණුවට ද බාධාවන්ය.
මෙම සූත්‍රයෙහිදී මූලික වශයෙන් අපේක්‍ෂා කරනුයේ දුකින් මිදී නිවන්
දැකීමේ ආධ්‍යාත්මික ක්‍රම වේදයයි. එය ලෝකයෙන් එතෙර වීමයි. ඒ සඳහා මෙම
අන්ත දෙක බැහැර කළ යුතු වෙයි.
එසේ බැහැර කොට අනුගමනය කළ යුත්තේ මැදුම් පිළිවෙත බවද එහි අවධාරණය කරති.
දම්සක් පැවතුම් සූත්‍රයෙහි මෙන්ම වෙනත් බොහෝ දේශනා වලදීද සඳහන් කරන
ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදු දහමෙහි මැදුම් පිළිවෙත ලෙස සැලකෙයි.
යහපත්, නිවැරදි දැක්ම එවැනිම වූ සංකල්පනා, වචන, දිවිපෙවෙත, ක්‍රියා,
උත්සාහය සිහිය හා සමාධිය යනු ඒ උතුම් මාර්ග අංග අටයි. මෙම මාර්ගාංග
කෙළින්ම නිවනට අදාළ වෙයි. ඒ සමඟම ලෝකය තුළ හොඳ සාර්ථක ජීවිතයක් ගත
කිරීමට ද උපකාර වෙයි. ලෝකය කිසියම් අන්තයකට ගියොත් පමණයි විනාශය සිදු
වන්නේ. මිනිසුන් මෙන්ම සතුන් පිළිබඳවද ඉපදෙමින් මැරෙමින් පැවතීම
අනිත්‍යතාවයි. එම අනිත්‍යතා ලක්‍ෂණ වටහාගෙන මැදුම් පිළිවෙතෙහි යෙදීමෙන්
නොපිරිහී, විනාශ නොවී ජීවිත පවත්වාගෙන යාමට හැකිවෙයි.
ස්වභාව ධර්මය මිනිසුන්ගේ හිත පිණිස පවතින නමුත් විවිධ විපර්යාස වලට
ස්වභාවයෙන් පත්වීම නිසාත් මිනිසාගේ ක්‍රියාකාරකම් නිසාත් ස්වභාව ධර්මය
මිනිසාට එරෙහිව ක්‍රියාත්මක වෙයි. ඒ බව දැන අන්තවාදීව ක්‍රියා නොකර
මැදුම් පිළිවෙත මත පිහිටා ස්වභාව ධර්මය සමග ගනු දෙනු කිරීමෙන්
විනාශයෙන් වැළකී සිටීමට හැකි වෙයි.
චතුරාර්ය සත්‍යය අනුව සිතා ලෝකයේ දුක වටහා ගෙන දුකට හේතුවන තෘෂ්ණාව
ප්‍රහීන කිරීමට වෑයම් කිරීමෙන් දුකින් මිදීමේ මඟ පාදා ගත හැකි ය. ඒ මගද
අනෙකක් නොව ආර්ය අෂ්ටාංගික මාර්ගය බව දම්සක් පැවතුම් සූත්‍රයෙහි දේශනා
කර ඇත. නිවන් ලැබීමට තෘෂ්ණාව නැතිකළ යුතුවා මෙන්ම එය එක් වරම කළ නොහැකි
දෙයක් ද වෙයි. දානමානාදිය සිත තුළ වඩා ක්‍රියාත්මක කිරීමෙන් කරුණාව
මෛත්‍රිය වැඩීමෙන් තෘෂ්ණාව නැති කරන මග ප්‍රගුණ කළ යුතු වෙයි. එසේ
ක්‍රියාත්මක වේනම් ඔහුට ලෝකය තුළ ඉතා හොඳ දියුණූ දිවිපෙවතක් ගත කිරීමට
ද මග පෑදෙයි.
ලෝකයෙන් හෙවත් සසර දුකින් එතෙරවිය හැක්කේ ලෝකය තුළ යහපත් දිවිපෙවෙතක්
ගත කිරීම පුරුදු පුහුණු කළොත් පමණි. එසේ සිත පුරුදු පුහුණු නොකළ අයට
එනම් පාරමිතා නොපිරූ අයට නිවන් දැකීම කළ නොහැක. මේ භවයෙහිම නිවන්
දැකීමට ඇතැමුන් බණ කියතත් සියල්ලන්ටම එය කළ හැකි නොවේ.
සිත ඒ සඳහා පෙර භවයන්හි පුරුදු කළ අයට නම් එසේ නිවන් දැකිය හැකිය.
පඤ්චශීල ප්‍රතිපදාවෙහි නොපිහිටා ලෞකික දිවිය යහපත් කර ගත නොහැකි වනවා
මෙන්ම නිවනට මග පාදා ගැනීමට ද නොහැකිවෙයි.වර්තමාන ලෝකය පුරා යුදගිනි
ඇවිලෙමින් පවතිනුයේ ලෝක බලවතුන් අන්තවාදීව ක්‍රියා කිරීම හා මිනිසුන් ද
බල තණ්හාවෙන් හා ධන තණ්හාවෙන් ක්‍රියා කිරීම මෙන්ම සමගියක් ගැන කතා
කරමින් ඇතුළතින් ඊට බාධා වන දේ සිදු කිරීම නිසයි.
එබැවින් අප රටට මෙන්ම ලෝකයට ද අනුගමනය කළ හැකි අනුගමනය කළ යුතු හොඳම
පිළිවෙත වනුයේ අන්තවාදී නොවී මැදුම් පිළිවෙතෙහි පිහිටා ක්‍රියා
කිරීමයි. එහෙත් බල තණ්හාව ධන තණ්හාව මතුකෙරෙන විට අධිසුඛෝපභෝගි ජීවිත
ගත කිරීමට මිනිසා පොළඹවන විට අන්තයට වැටෙනු මිස මැදුම් පිළිවෙතෙහි යා
නොහැකි වෙයි.
ඇසළ පොහෝ දිනක හා හා පුරා කියා ලොවට හෙළිකර පන්සාලිස් වසක් විවිධ ක්‍රම
මගින් ගෞතම බුදුරජාණන් වහන්සේ මහා කුළුණින් හා නුවණින් දේශනා කළ ඒ
උතුම් ධර්මය ලෝකය තුළ සැනසිලිදායක දිවි ගත කිරීමටත් ලොවින් එතෙර වී
නිවන් දැකීමටත් යොදා ගනිමු.
එසේ ක්‍රියාත්මක නොවී මොනවා කළත් පලක් නොවනු ඇත. |