Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ධනය යනු සල්ලි ද?

තථාගතයන් වහන්සේගේ වාක්‍ය හරි වැදගත් “සන්තුට්ඨි පරමං ධනං” සතුට පරම ධනය වේ. සතුට යනු එකම ධනය ලෙස දේශනා නොකළත් සතුට යනු හොඳම ධනය ලෙස දේශනා කරල තියෙනවා. ඒක සල්ලි වලින්ම ගන්න බැහැ

ලෝකයේ තියෙනවා සල්ලි ,ධනය, වස්තුව, ලාභය කියන වචන තුන හතරකි. මේ කියාපු හතර අපට දැනෙන්නේ තේරෙන්නේ සියල්ලම, මූල්‍ය ක්‍ෂේත්‍රයට අයත් වචන ලෙස, සල්ලි වලින් තොර ධනයක් ගැන අපට හිතන්න බැහැ. සල්ලිවලින් සහ ධනයෙන් තොර වස්තුවක් ගැන අපට හිතන්න බැහැ. සල්ලිවලින් මිනිය නොහැකි ලාභයක් ගැන අපට හිතන්න බැහැ.

එයට හේතුව මෙම වචන තුන හතරම එකම ක්‍ෂේත්‍රයට අයත් පාරිභාෂිත නම් වශයෙන්ම අපට දැනෙන නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආකාරයට සහ ඒ නිසාම පමණක් නොවෙයි. ඇත්ත ඇති සැටියෙන් ග්‍රහණය කරගන්න උත්සාහ කළොත් මේවායේ තියෙන හැබෑව සහ බොරුව තේරුම් ගන්න පුළුවන්. ලෝකයේ තියෙනවා ධනවත් රටවල් දුප්පත් රටවල් ඌන සංවර්ධිත රටවල් සංවර්ධනය වෙමින් පවත්නා රටවල්, වශයෙන් රටවල් බෙදල තියෙනවා. එම රටවල ස්වභාවය අනුව බෙදල තියෙන්නේත්, සංවර්ධිත රටවල් යැයි කියාගන්නා රටවල් විසින්මයි. සංවර්ධිත රටවල් තමන් සංවර්ධනය වූ රටවල් බවට පත්කරගෙන ඉතිරි ටික බෙදා දක්වල තියෙනවා. සංවර්ධනය වූ රටවල් තමන් සංවර්ධනය වූ බවට හදාගන්න තියෙන නිර්ණායකය තමයි සල්ලි නොහොත් දළ ජාතික නිෂ්පාදිතය. දළ ජාතික ආදායම , ඒකපුද්ගල ආදායම වගේ දේවල් ඩොලර්වලින් මැනල මේ නිර්ණායක හදාගෙන තියෙනවා. මේ නිර්ණායක වල දැවැන්ත වැරැද්දක් තියෙනවා. ධනවාදී ආර්ථිකයක් තියාගෙන එකී ධනවාදී සිතිවිල්ලක ඉඳගෙන මැනපුවම ධනය තමයි එකම පුරුෂාර්ථය බවට පත්වෙලා තියෙන්නෙ. නමුත් ලෝකයේ නිර්ණායකය බවට පත්වෙන්න ඕනෙ ධනය මිසක් සල්ලි නොවෙයි. සල්ලි නිර්ණායකය බවට පත් වූ විට වැඩිපුර සල්ලි තිබුණත් ධනය වැඩිපුර නැති වෙනවා. අවශ්‍ය වෙන්න ඕනෙ ධනය නිර්ණායකය කර ගැනීමයි. සල්ලියි ධනයයි අතර වෙනස පැහැදිලි කරගතහොත් එය සංවර්ධනය මනින්නත් උපකාර වෙනවා. පිටරටවල ලක්‍ෂ ගණන් වියදම් කරන තරු පහේ හෝටලයක හිටියත් ඒ හෝටලයේ ටැප් එකෙන් වතුර බොන්න බැහැ. ටැප් වලින් එන වතුර බොන්න බැහැ. අපේ රටේ කැසිකිළියක, වැසිකිළියක එන වතුරත් බොහෝ වෙලාවට බොන වතුර, එසේ බැලූවිට තායිලන්තයට වඩා වතුර තියෙන රටක් හැටියට ලංකාව දියුණුයිද? ඕනෑම ළිදකින්, ටැප් එකකින් වතුර බොන්න පුලුවන් තත්වයක් තියෙන රටද දියුණු? තෝර තෝර වතුර බොන්න සහ සල්ලි දීල වතුර අරන් බොන්න සිද්ධ වෙන ඇමරිකාවද දියුණු? සල්ලි එහෙ තියෙනවා. වතුර මෙහෙ තියෙනවා. වතුර නම් ධනය, සල්ලි එහෙ. සල්ලි කියල තියෙන්නේ ධනය පරිවර්තනය කළ හැකි කිසියම් අගයක් සහිත මාධ්‍ය ඒකකයක් මිසක් සල්ලිවලින් කරන්න පුලුවන් දෙයක් නෑ. සල්ලිවලින් කළ හැක්කේ ධනය මිලදී ගැනීම පමණයි. පහසුකමක් මිලදී ගැනීමට පමණයි සල්ලි තියෙන්නේ පහසුකම නොවෙයි.

සල්ලි උඩ වාඩිවෙන්න බැහැ. සල්ලි දීල පුටුවක් අරන් වාඩිවෙන්න පුලුවන්. සල්ලි වලින් නිරෝගි වෙන්න බෑ. සල්ලිවලින් බෙහෙතක් අරන් සනීපවෙන්න පුළුවන්. සල්ලිවලින් මෙට්ටය, ඇඳ ගන්න පුළුවන් නමුත් නින්ද ගන්න බැහැ. සල්ලි වලින් බෙහෙත් ගත්තත් නිරෝගිකම ගන්න බැහැ. සල්ලි වලින් පොත් ගන්න පුළුවන් නමුත් උගත්වෙන්න බැහැ. එම නිසා සල්ලි යනු ධනය මිලදී ගන්නා ඒකකයක් පමණයි. සල්ලි ගොඩක් තියෙන තැනැත්තාට පහසුකම මිළදී ගතහැකි මිසක් හා ධනය මිලදී ගත හැකි මිසක්, ධනය තියෙනවා කියන දෙය නොවෙයි. ඔහු ධනවතෙක් නොවෙයි. සල්ලි කාරයෙක් පමණයි. සල්ලි කාරයෙක් වෙන්නාවූ තැනැත්තා ධනවතෙක් නොවෙයි උදාහරණයක්.

සල්ලිකාරයාද? ධනවතාද?

ගොවියෙකු ලෙස ගොවි ගෙදරක, ගොඩ ගොවිතැන් කරනවා, මඩ ගොවිතැන් කරනවා. තුන්වේලම කන්නත් විකුණන්නත් හාල් තියෙනවා. තව ගෙයක් තියෙනවා කොළඹ, ඒ අයට ඉඩම් නැහැ. ඒ කුඹුරු ගොඩ ගොවිතැන්, මඩ ගොවිතැන් නැහැ. නමුත් ගොඩක් සල්ලි තියෙනවා. මේ ගොල්ලන්ට සල්ලි තියෙනවා. අනෙක් අයට ආහාර තියෙනවා. මේ අයගෙන් කොළඹ සිටින තැනැත්තා සල්ලිකාරයෙක් මිසක් ධනවතෙක් නොවෙයි. අනෙක් තැනැත්තා ධනවතෙක්, ඔහුට ධනය තියෙනවා සල්ලි නැහැ. අනෙක් තැනැත්තාට සල්ලි තියෙනවා ධනය නැහැ.

බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ ධනවන්තයෝ වෙන්න මිසක් සල්ලිකාරයෝ වෙන්න නොවෙයි. සල්ලි කාරයා යනු ධනවතෙක් නොවෙයි. රටක් සංවර්ධනය වෙන කොට නිර්ණායක විශාල ප්‍රමාණයක් තියෙනවා. බොන්න වතුර තියෙනවද?, ගිනිකදු තියෙනවාද නායයාම් වැනි ස්වාභාවික උපද්‍රව තියෙනවාද? සාක්ෂරතාව තියෙනවද? දෙමව්පියන්ට සලකන ජනතාවක්ද? ආගමිකද? සහනයෙන් ජීවත් වෙනවද? යුද්ධ තියෙනවද? මේ සියල්ලත් සමග තමයි අපට සතුට කියන දෙය ලබන්න පුළුවන් වෙන්නෙ.

ධනය සල්ලි ලෙස හිතපුවහම මිනිස්සු පවුල් ජීවිතය උකස් තියලා සල්ලි හොයනවා. සතුට විකුණලා සල්ලි එකතු කරනවා. සහනදායි ක්‍රම කෑලි කෑලිවලට කඩල සල්ලි හම්බ කරනවා. මිනිස්සු ලඟ අසතුට අසහනය වගේ දේවල් ඉතිරිවෙලා සල්ලි ගොඩගැහෙනවා.

සතුට පරම ධනයයි

තථාගතයන් වහන්සේගේ වාක්‍ය හරි වැදගත් “සන්තුට්ඨි පරමං ධනං” සතුට පරම ධනය වේ. සතුට යනු එකම ධනය ලෙස දේශනා නොකළත් සතුට යනු හොඳම ධනය ලෙස දේශනා කරල තියෙනවා. ඒක සල්ලි වලින්ම ගන්න බැහැ. නමුත් ටිකක් ගත හැකි තමාට ආදරය කරන සහ තමාට ලෙන්ගතු භාර්යාවක් සහ ස්වාමිපුරුෂයෙක් හා දුවා දරුවන් සල්ලි වලට ගන්න බැහැ. දානයක් දීල ලබන සතුට සල්ලි හම්බ කරල ලබන සතුට නොවෙයි. සල්ලි වියදම් කරල ලබන සතුටක්. සල්ලි දීලත් සතුට ගන්න පුළුවන් සල්ලි වියදම් කරලත් සතුට ලබාගන්න පුළුවන්. සල්ලි නැති කරගෙනත් සතුට ලබන්න පුළුවන්.

රම්‍ය, සුරම්‍ය, සුබ කියන මාලිගා තුන සහ වස්තු සියල්ල අතහැරල ගහක් යටට ගොස් සතුට ලබපු කෙනෙක් තමයි බුදුහාමුදුරුවො රම්‍ය, සුරම්‍ය, සුබ මාලිගා, සිංහාසනය, කිරීටය, රාජ්‍ය, ඇත්,අස්,රථ,පාබල, සිවුරඟ මහ සෙනඟ සහ සමස්ත මහා රාජධානිය දැසි දසුන් සමග අතහැර හුදකලා වන අරණක රුක් මුල සතුටු වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි. සතුට පරම ධනය කියන දෙය විඳගත් ආකාරය අපට වඩාත් ඉන් පැහැදිලි වෙනවා. එවකට හිටිය සල්ලිකාරය අනේපිඬු සිටුතුමා, විශාඛා සිටු තුමිය ඇතුළු සකළ විධ සල්ලි කාරයන්ගේ ජීව දත්තවත් අප ළඟ නැහැ. සිද්ධාර්ථ කුමාරයාගේ පරම්පරාවේ ජීව දත්තවත් අප ගාව නැහැ. බිම් අඟලක්වත් නොතිබුණ ගෞතම ගෝත්‍රයේ උපන් සිද්ධාර්ථ නම් වූ විශිෂ්ටයාගේ චරිතයේ සියල්ල අප දන්නවා. ඔහුට සල්ලි තිබුණේ නැහැ. එනිසා විශිෂ්ටයෙක් වන්නේ සල්ලි තිබීමෙන් නොවේ. ධනය තිබීමෙන්, සන්තුට්ඨි පරම ධනයයි. සල්ලි යනු ධනය නොවේ. ධනය යනු සල්ලි නොවේ.

මිනිසුන්ගේ ලොකුම වස්තුව

මිළඟට වස්තුව පිළිබඳව කතාකරන විට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ “පුත්ථා වත්තු මනුස්සානං” මිනිස්සුන්ගේ වස්තුව දරුවො. දරුවො වස්තුව වෙච්ච සමාජයක් කොයිතරම් නම් අගේ ඇද්ද? තමන්ට තිබුණ එකම වස්තුව දරුවො ලෙස හිතපු මිනිස්සු ඉතිහාසයේ හිටියනෙ. ඒ මිනිසුන් ජීවත්වුණ තැනක්වත් හොයන්න බෑ. පොල් අතු, ගොම ගාපු බිම, වරිච්චි බිත්ති බැදපු ගෙවල්, ඒවායේ නෂ්ටාවශේෂවත් ඉතිරිවෙලා නැහැ. පොළවට පස්වෙලාම ගිහිල්ලා. එක ගෙදරක දරුවො දහය දොළහ හැදුණ වැඩුණා. ඔවුන් නිර්මාණය කළ රට ඉතිරිවෙලා තියෙනවා. ඔවුන් නිර්මාණය කළ දාගැබ් මහ බෝ ඉතිරිවෙලා තියෙනවා. ඔවුන් නිර්මාණය කළ මිනිස් සමාජය ඉතිරිවෙලා තියෙනවා. ඔවුන්ගේ ශරීරයත් ඔවුන්ගේ ගේ දොරත් ඉතිරිවුනේ නැහැ. වස්තුව වුනේ දරුවො රටක නිරෝගි සහ ජවසම්පන්න මිනිස් ප්‍රජාව තමයි බරපතලම වස්තුව. නිරෝගි, බුද්ධිමත්, පුරෝගාමි, ජවසම්පන්න දේශහිතෛෂී ජනතාවක් ලෝක හිතෛෂි ජීවත් වන්නේ නම් ඒක තමයි රටක වස්තුව. ඒක රටක වස්තුව වන්නාසේම තමයි ගෙදරක රටටත් පවුලටත් අදරැති නිරෝගි හිතෛෂි දරුපරපුරක් ඉන්නවා නම් එම පවුලට ඊට වඩා සම්පතක් නැහැ. ළමයෙක් හැදුනහම ඒ ළමයට ඕනෙ විදිහට ආර්ථිකය හදාගන්නවා මිසක්. අර්ථිකයට ඕනෙ විදිහට හා ගිණුමට අනුව ළමයෙක් හදාගන්නා සම්ප්‍රදායක් ලංකාවේ තිබුණේ නැහැ. එනිසා වස්තුව වෙන්නෙ දරුවො මිසක් තට්ටුගෙවල් හෝ ඉඩම් හෝ ගිණුම් හෝ දෙමුහුම් වාහන හෝ නොවෙයි.

සල්ලි නිසා දරුවොත් අමතක වෙනවා. ඔවුන් යම් දවසක නරුමයන් වන්නේද නරයන් වන්නේද මනුෂ්‍යයන් වන්නේද, අමනුෂ්‍යයන් වන්නේද නොහිතා සල්ලිම හෙව්වොත් සල්ලි ඉතිරි කරල මැරෙන්න වෙනවා. දරුවොත් දරුවා ඇතුළු පවුලක් සදාකාලික දුක්විදින්න වෙනවා.

පරම ලාභය

ඊළඟට ලාභය ලෙස අප හිතන්නේ අඩුගණනකට අරන් වැඩි ගණනක ට දුන්නහම ඉතිරිවන මුදල තමා සතු වන්නේ නම් එය ලාභය ලෙස හදුන්වනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ලාභය දේශනා කළේ “ ආරෝග්‍යා පරමා ලාභා” යනුවෙනි. සල්ලි ගොඩාක් තිබිල ගෙදර ළමයකුට අසනීප වුණාහම ඒ ළමයා වෙනුවෙන් අර සල්ලි සියල්ලම වියදම් කළහම තියෙන සල්ලිත් ඉවරයි.ලැබෙන්න තියෙන නියමිත සල්ලිත් ඉවරයි. ලාභය නම් එම දෙකම රැකෙන දෙය තමයි නිරෝගිකම මෙම කතාව පුරාවට ගොඩනැඟෙන තර්කයක් තමයි ලාභය, වස්තුව,ධනය, හා මුදල් යනු ආර්ථික හා මූල්‍ය ක්‍ෂේත්‍රයේ පාරිභාෂිතයන් ලෙස පමණක් හදුනාගැනීම පමණක් වැරදී . එය ලෝකය නිවැරදිව දැක්මක් වන්නේ නැහැ කියන දෙය මෙහි අවසාන නිගමනය ලෙස සඳහන් කළ හැක.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.