Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අතේ ඇඟිලි පහම එක වගේ නෑ කියලා අපි බොහෝ විට කියන්නෙ එකම පවුලෙ සහෝදර සහෝදරියො ගැන කතා කරද්දී එකම පවුලෙ විතරක් නෙමෙයි. එකට හැදුන එකම ගම් පියසෙ අය අතරත් මේ වෙනස්කම දකින්න තියෙනවා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද? මිනිසාගේ උප්පත්තිය සිදුවන්නේ එකම අකාරයකට. බ්‍රාහ්මණයන්ගේ මතයට අනුව නෙමෙයි. එහෙමනම් එකම ආකාරයකට මවුකුසින් බිහිවන පිරිස අතරේ ඇයි මේ වෙනස්කම්.මේකට හේතු කිහිපයක් තියෙනවා. එකක් පරම්පරාවෙන් ආපු ගුණය ‘අරේ ගුණ නෑරේ’ කියල අපේ පරණ කියමනකුත් තියෙනවනෙ.

ඒක නිසා පාරම්පරිකව පැවතගෙන එන ගති ලක්‍ෂණත් බලපානවා. එකම ගමක ඉන්න එකම වයස අය අතරේ එක් කෙනෙක් යහපත් විදිහට හැසිරෙන්නත් තවත් කෙනෙක් එහෙම නොවෙන්නත් හේතුව ඒකයි.

ඒ වගේම ආර හා සම්බන්ධ වන තවත් කරුණක් වන්නේ පුරුද්දයි. ‘ජන්මෙට වැඩියෙන් පුරුද්ද ලොකුයි’ කියල අපේ ජනවහරෙ කතාවක් තියෙන්නෙත් මේක නිසයි.

මීට අමතරව ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ ඇසුරයි. තමන් වැඩිපුර ඇසුරු කරනු ලබන පුද්ගලයන්ගේ ගති ලක්‍ෂණ ක්‍රියාකාරකම්, කතාවන් තමන්ට ආදේශවීම වළක්වන්න බැහැ. තමන් නොදැනුවත්වම ඒ සියලු ඇවැතුම් පැවතුම් තමන් වෙත ඇදී එනවා.

ගිරවුන් දෙදෙනෙක් හා සම්බන්ධ ‘සත්තිගුම්බ ජාතකය්,’ ‘මහිලාමුඛ‘ ඇතා හා සම්බන්ධ කතා පුවතක් මේ සදහා හොඳම උදාහරණ ලෙසින් දෙන්න පුළුවන්.

දෙපසට විසිරී ගිය ගිරවුන් දෙදෙනාගෙන් එක් ගිරවකු තාපසයකු ළගත් අනෙක් ගිරවා සොර රංචුවක් ළඟත් හැදී වැඩුණා. දෙදෙනාගේ කතා බහ ගැන අපේ බෞද්ධ සාහිත්‍යයේ දක්නට පුළුවන් .

ඉතා සුවච කීකරු මහිලාමුඛ ඇතා නැවතී සිටි ඇත්ගාල පිටුපස සොරුන් ගැවසී කල කතාවන් අසා ඇතා චණ්ඩ ගති පෑවා. එය වැළැක්වීමට ඇතාට යහපත් වචන ඇසීමට සැලැස්වුවා.

මහා මංගල සූත්‍රයේ ‘පතිරූපදේස වාසෝච’ හෙවත් සුදුසු ප්‍රදේශයක වාසය කිරීම උතුම් මංගල කරුණක් ලෙසින් දක්වා තිබෙන්නේ එම නිසයි.

පෙර කරන ලද කුසල අකුසල කර්මයක් අනුව කුසල් කළ අයෙක් නම් මේ ආත්ම භවයේදීත් කුසල් කිරීම සඳහා සිත වැඩියෙන් යොමු කරනවා. එසේම අකුසල් කළ අයෙක් නම් වැඩිපුර සිත යෙදවෙන්නේ අකුසල් සඳහාමයි.

පෙර කීවාක් මෙන් පෙර ඇති භවයන්හි ගති පැවතුම් කුසල් අකුසල් මත මෙම ආත්ම භවයේදී බොහෝ දේ සිදුවනවා.

වරක් අධික ලෙස ආහාර ගන්නා භික්ෂූන් වහන්සේ නමක් ගැන බුදුරජාණන් වහන්සේට දැනගන්නට සැලැස්වූවා. බුදුරජාණන් වහන්සේ වදාළේ එම භික්ෂුවට දොස් නොපවරන ලෙසත් පෙර ආත්මයේ ඇතකු වූ හෙයින් ඒ ගති ලක්‍ෂණ මෙම ආත්ම භවයේදීත් ඇති බවත් ය.

එසේම එක් රහතන් වහන්සේ නමකට දානයකට ආරාධනා කළ ගම්වැසියෙක් උන්වහන්සේගේ පිටුපසින් ගමන් කළා. කුඹුරක් හරහා යන ගමනේදී රහතන් වහන්සේ පළමුව හමුවූ විශාල වක්කඩක් උඩින් පැන වැඩියාහ.

මෙය දුටු දායකයා ‘ මොහු ශීලයක් නැති මහණෙකි. කැඳවාගෙන ආ නිසා දානය පමණක් දෙමි. පිරිකර කිසිවක් නොදෙමි. ඊළඟට හමුවූ කුඩා වක්කඩට බැස රහතන් වහන්සේ ගමන් කළ සේක. එය දුටු දායකයා අන්දමන්ද විය. ඔහු ඒ ගැන රහතන් වහන්සේගෙන් විමසා සිටියා. ‘කලින් වක්කඩෙන් පැනලා පිරිකර නැතිවුණා. මේ වක්කඩෙනුත් පැන්නනම් මට දානෙන් නැති වෙයි. ‘ රහතන් වහන්සේ නමක් වුණද ගති පැවතුම් පුරුදු අත් හැරීමට අපහසු බව පෙන්වීමට මෙය කදිම උදාහරණයක්. එසේම එක් එක් පුද්ගලයන් අයත්වන චරිත වර්ග 6 ක් ගැනද බුදු දහමේ දැක්වෙනවා.

ඉන් පළමු වැන්න රාග චරිතයයි. රාගය නිසා හටගන්න ඇල්ම, ලෝභය නිසා බොහෝ දෙනා අපහසුතාවට පත්වනවා. ලෝභය නිසා බොහෝ දේ ලබා ගැනීමේ දැඩි ආසාවන් හට ගන්නවා. එහි නිමක් නැහැ. නැවුම් වළඳක දැමූ මස් කැබැල්ලක් ගලවා ගැනීම අපහසු වන්නා සේ ලෝබය ඇලුණොත් ඉවත් කර ගැනීම අපහසුයි. දෙවැන්න ද්වේෂ චරිතයයි. ඊර්ෂ්‍යාව ,ද්වේෂය වැනි දුර්ගුණ වලින් පුද්ගලයා මේ චරිතයට අයත් වනවා. ගමේ ගොඩේ ‘කුඩුකේඩුකම්’ තියන අය හැටියට හඳුන්වන්නේ මෙවැනි පුද්ගලයන්.

තෙවැන්නා මෝහ චරිතයයි. මෝඩකම නිසා ධර්මය නොදකින්නා නැත්නම් අධර්මයේ හැසිරෙන්නා මේ නමින් හැඳින්වෙනවා. මෝඩකම නිසා යමක් තොරා බේරා ගැනීමේ හැකියාවක් ශක්තියක් ඔහු සතුව නැහැ.

මේ චරිතයන් යහ මඟට ගැනීමට ඔවුන්ට සතර බ්‍රහ්ම විහරණ හුරු කළ යුතුය .මෙත්තා කරුණා, මුදිතා, උපේක්‍ඛා යන ධර්මතා මගින් ඔවුන්ගේ එම අධාර්මික ගුණාංග දුරු කළ හැකිවෙනවා.

අප නිරතුරුව ආදර්ශයට ගත යුතු චරිතයන් තුනක්ද දහමේ දැක්වෙනවා. ඉන් පළමුවැන්නා ශ්‍රද්ධා චරිතය, තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති තැනැත්තාය මේ. බුද්ධි චරිතය දෙවැන්නායි. බුද්ධිය විවෘත කරල ලෝකය ගැන සොයා බලන්න ඔහුට හැකියාව දැනුම තියෙනවා.

විතර්ක චරිතය තුන්වැන්නාය. තර්ක විතර්ක මගින් ප්‍රශ්න විසඳා ගන්නා නිරතුරුවම යහපත් දේම තර්කයෙන් වෙන්කර ගන්නා තැනැත්තාය මේ.මේ නිසා ශ්‍රද්ධා, බුද්ධි, විතර්ක චරිතයන් කරා යාමට අප උත්සාහ කළ යුතුයි. කුසල අකුසල සිතිවිලි මතයි සියලු දෙනාගේ ගති පැවතුම් වෙනස් වන්නේ. මේ නිසා නිරතුරුවම යහපත් ඇසුර, කල්‍යාණ මිත්‍රයන් නිරතුරුවම සොයා ගැනීමට කටයුතු කළ යුතුයි. සැම විටම මනස මුල් වන බව අප සිත්හි තබා ගන්නට ඕනෑ. දරුවකුට යහගුණ මොනවාදැයි හරිහැටි උගන්වන්නේ නැතුව සමාජයට යොමුකළහොත් එම දරුවා යහපත් දරුවකු ලෙස සමාජ ගත වේ යැයි සිතන්නට බැහැ.

අප ඉගෙන ගන්නා දෙයක් 83% ක්ම ධාරණය වන්නේ ඇසට ගෝචර වන දෙයින්.කනට ගෝචර වන දෙයින් 11% ක් ධාරණය වනවා. ඒ අනුව 94%ක්ම අපට ඇසින් සහ කනින් ගෝචර වන බව පෙනෙනවා. සෙසු ඉන්ද්‍රියයන්ගෙන් ගෝචර වන්නේ 6 % ක පමණ සුළු ප්‍රමාණයක්.

‘කායේන සංවරෝ සාධු
සාධු වාචාය සංවරෝ
මනසා සංවරෝ සාධු..’

කයින් ,වචනයෙන් සිතින් සංවරවීම වැදගත් බව ධම්මපදයේ මෙසේ දක්වා තිබෙනවා.සොරකම, සතුන් මැරීම, කාමයෙහි වරදවා හැසිරීම යන දුෂ්චරිතයන්ගෙන් වෙන්වීමට හැකිනම් අපට කයින් වන දුශ්චරිතයන්ගෙන් වෙන්වීමට හැකියි.බොරුකීමෙන් වළකිනවා නම්, කේළාම් කීමෙන් වළකිනවා නම්, පරුෂ වචනයෙන් වළකිනවා නම් ,නිශ්ඵල වචන නැත්නම් සම්ඵප්‍රලාපයන්ගෙන් වළකිනවානම් වචනයෙන් සිදුවන අකුසලයන්ගෙන් මිදිය හැකියි.

මේ සියල්ලටම මුල් වන්නේ සිතයි. සිත එක් තැන්හි තබාගෙන කුසල් දහම්හි යෙදෙනවා නම් එය සමාජ යහපතටම හේතුවනවා. එපමණක් නොව එය තමන්ගේ අනාගත සුබ සිද්ධියටත් හේතුවනවා අප බොහෝ දෙනා තමන් ගැන පමණක් සිතා කටයුතු කරනවා. තමන්ට පමණක් සමාජයේ ජීවත්වීමට බැහැ. අප එය තේරුම් ගත යුතු වෙනවා. තමන්ට හොඳින් සමාජයේ ජීවත් වීමට හැක්කේ අන්‍යයන් ගැන සිතුවහොත් පමණයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.