Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කැලණිය දික්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාමය


බුද්ධ ප්‍රතිමා වහන්සේ

කැලණියේ විද්‍යාලංකාර පිරිවෙනට එදත් ලංකාවේ සතර දිග් භාගයෙන්ම පිරිවෙන් අධ්‍යාපනය සඳහා ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ වැඩම කළහ. දුර බැහැර ප්‍රදේශවලින් එසේ සපැමිණෙන භික්‍ෂූන් වහන්සේලාට නවාතැන් පහසුකම් පිළිබඳ ප්‍රශ්නය විශාල ගැටලුවක් විය.


විහාරාධිකාරී ඇල්ලලගොඩ නන්දරතන හිමි

මෙසේ දුෂ්කර දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන්නා වූ ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලාගේ ගැටලුවට පිළියමක් වශයෙන් කැලණියේ, දික්පිටිගොඩ යම් ස්ථානයක් ඉඳුම් හිටුම් සැලසීම සඳහා සැකසුනි.

එසේ සහනය සැලසූ තාවකාලික නවාතැන්පොළ අද අප කතා කරන දික්පිටිය ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානය බවට ක්‍රමයෙන් පරිවර්තනය විය. මෙසේ මෙම විහාරස්ථානය ගොඩනැඟී වසර 113 ක පමණ කාලයක් සපුරා තිබේ. යහපත් වූ කාර්යයක් වෙනුවෙන් කැපවුණු බිමක්, පසුව විහාරස්ථානයක් බවට පත්වීම පැසසිය යුතු කාර්යයකි. අදත් දුර බැහැර ප්‍රදේශවලින් විද්‍යාලංකාර පිරිවෙන් අධ්‍යාපනයට වැඩම කරනු භික්‍ෂූන් වහන්සේලාට මෙහි නවාතැන් පහසුකම් සළසා දී තිබීම මූලාරම්භයට කෙරෙන ගෞරවයකි.

නවාතැන්පොළ විහාරස්ථානයක් බවට පත්කරලීමේ කාර්යයට ප්‍රමුඛ වන්නේ වල්පොල අනෝමදස්සී හිමිපාණන්ය. ඉන් පසුව විහාරාධිපතින් වහන්සේ වන්නේ වල්පොල අත්ථදස්සී නම් ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ය.
 


චෛත්‍යය

කැලණිය දික්පිටිය නැමැති ග්‍රාමයේ අක්කර 1/2 ක පමණ උස් බිමක ශ්‍රී සුබෝධාරාමය ගොඩනැඟී තිබේ. කොළඹ නුවර පාරේ හයේ කණුව මංසන්ධියෙන් වමට හැරී කිලෝමීටරයක් පමණ ගිය තැන දී විහාරස්ථානයට පිවිසිය හැකිය. අද වන විට මෙය ත්‍රිවිධ චෛත්‍ය සහිත සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත්වී තිබේ. පුදබිමෙහි ඇති බෝධීන් වහන්සේ විහාරස්ථානයේ ආරම්භයටත් වඩා පැරැණි බව කියැවෙයි.
 


අටවිසි බෝ වෘක්ෂයන්ගෙන් කොටසක්

විහාරභූමියට පැමිණෙන සැදැහැවතුන්ට මෙහිදී තවත් නැවුම් අත්දැකීමක් විඳ ගැනීමට ලැබේ. අටවිසි බුදුන් වහන්සේලා පිටදුන් බෝධීන් වහන්සේලා සියල්ල මෙම භූමියේ රෝපණය කර තිබේ. එම බෝ වෘක්ෂයන් සියල්ල එකම ස්ථානයක දී දැක ගැනීමට ලැබෙන්නේ කලාතුරකිනි. ඉන් අවබෝධය ඉගෙනීම මෙන්ම තව තවත් සර්ධාව වඩවා ගැනීමට මෙය කදිම පෙළඹුමකි.

පූජනීයත්වයට පත්ව ඇති එම බෝ වෘක්‍ෂයන් අතර කෑල, පුළිල, නෙරළු, සල්, නා, කුඹුක්, මුරුත, කිරිපළු, බකමී, හුන, සපු, කරව්, කිණිහිරිය, කොහොඹ, නෙල්ලි, පලොල්, ඇටඹ, දිඹුල්, ඇසළ, ඇසතු, නුග ආදී විශේෂිත වෘක්ෂයන් දැක ගැනීමට ලැබෙයි.

මෙම වෘක්ෂයන් රෝපණය කරන ලද්දේ 2008 වසරේ දී බස්නාගොඩ විමලරතන නාහිමියන් සහ රත්නපුරේ නන්ද හිමියන්ගේ උපදෙස් හා මඟ පෙන්වීම අනුවය. බෝධීන් වහන්සේ සමීපයේ ඇති විහාර මන්දිරය මීට වසර 56 කට පමණ පෙර බුද්ධ වර්ෂ 2499 දී ඉදිකර ඇත.


පැරැණි බෝධීන් වහන්සේ

ආගමික ජාතික සමාජ සත්කාර්යයන් රැසකට මාර්ගෝපදේශකත්වයක් සපයන ශ්‍රී සුබෝධාරාමයේ වල්පොල අත්ථදස්සී හිමියන්ට ගෞරවයක් වශයෙන් ආරම්භ කර ඇති දහම් පියසෙහි අද වන විට සිසු සිසුවියෝ තුන්සියයක් පමණ දහම් අධ්‍යාපනය හදාරති.

සෑම වසරකම ඇසළ පුර පුන් පොහෝ දිනය සමරමින් මෙම විහාරස්ථානයේ දී පැවැත්වෙන ‘දම්සක් පැවැතුම් සූත්‍ර’ සජ්ඣායනාව ඇසළ පෝයට පෙර දිනයේ දී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් මුළු රට පුරා විකාශනය කිරීමට තෝරාගෙන තිබෙයි. මෙම ශාසනික කාර්යය පුරා වසර හතරක් තිස්සේ අඛණ්ඩව සිදු කිරීම විහාරස්ථානයට අදාළව සිදු කෙරෙන සුවිශේෂී ගෞරවනීය කටයුත්තකි.


විහාරස්ථානයේ දර්ශනයක්

මෙම විහාරස්ථානයේ වත්මන් විහාරාධිපතිත්වය දරන්නේ ගාල්ලේ අන්දුගොඩ පුරාණ විහාරය, අලගොඩ පුරාණ විහාරය යන විහාරස්ථානයන් හි ද විහාරාධිපතිත්වය දරන අන්දුගොඩ හේමාලංකාර ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ය.

උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ඇල්ලලගොඩ නන්දරතන තරුණ භික්‍ෂූන් වහන්සේ අද මෙහි විහාරාධිකාරීත්වය දරමින් ගමත් පන්සලත් අතර ඇති අන්‍යෝන්‍ය සම්බන්ධය ඉතා මැනවින් හඳුනා ගනිමින් ඉතා සහයෝගයෙන් අවට ගම්වාසීන් සමඟ සම්බන්ධතා පවත්වති. මේ වන විට විහාර භූමියේ ඉඩ කඩ මදි වාතාවරණයක් පැන නැඟී තිබේ.

ඒ නිසා විහාරාධිපතීන් වහන්සේගේ පූර්ණ මඟ පෙන්වීම මත විහාරාධිකාරී හිමියන්ගේ මූලිකත්වයෙන් විහාරස්ථානයේ මායිමේ ඇති පර්චස් 30 ක පමණ ඉඩම් කැබැල්ලක් මිලදී ගැනීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ඒ වෙනුවෙන් විහාර භූමි සංවර්ධන කමිටුව ඉතා කැපවීමෙන් කටයුතු කරයි. මෙය අභියෝගයක් සේ භාර ගනිමින් මුදල් අවශ්‍යතාවය සපිරීමට පෙරමුණ ගෙන ඇත්තේ විහාරස්ථානයට සම්බන්ධ අවට ගම්වාසීන් ය.

විහාරස්ථානයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විහාරස්ථ දායක සභාව කුළඟන සමිතිය, විහාර කාර්ය සාධක සමිතිය ද ඉමහත් වැඩකොටසකට උර දී කටයුතු කරයි. කැලණිය විද්‍යාලංකාර පිරිවෙනට පිරිවෙන් අධ්‍යාපනය සඳහා වැඩමකළ භික්‍ෂූන් වහන්සේ වෙනුවෙන් මහත් සහනයක් වූ නවාතැන්පොල විහාරස්ථානය වීමේ මූලාරම්භය ගෞරවයෙන් සිහිපත් කිරීමේ පරමාර්ථයෙන් වත්මන් විද්‍යාලංකාර පරිවෙනාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, කොළඹ හලාවත දෙදිසාවේ සංඝනායක ආචාර්ය වැලිමිටියාවේ කුසලධම්ම නා හිමියන්ගේ ජන්ම දිනය සමරමින් ද කෙරෙන ආශීර්වාද පුණ්‍යෝත්සවය සෑම වසරකම පෙබරවාරි 20 වැනි දිනට උත්සවශ්‍රීයෙන් පැවැත්වීමද විහාරස්ථානයෙන් කෙරෙන තවත් වැදගත් ශාසනික කාර්යයකි. එම පින්කමට කුසලධම්ම නාහිමියෝ සහභාගී වෙති. ත්‍රිවිධ චෛත්‍යයට අමතරව දෙමහල් සංඝාවාසය, ධර්ම ශාලාව, අටවිසි බෝධි මන්දිරය වැනි විහාරාංගයන්ගෙන් ද ශ්‍රී සුබෝධාරාමය පරිපූර්ණත්වයට පත් වී තිබේ.

කිසිදු බාහිර ආදායම් මාර්ගයක් නොමැති වුවද දික්පිටිගොඩ ශ්‍රී සුබෝධාරාමය වසරින් වසර මෙසේ දියුණුව කරා එළඹෙන්නේ අවට ගම්වාසීන්ගේ ශක්තියේ බලයෙනි. විහාරස්ථානයත්, ගමත් අතර අන්‍යෝන්‍ය වශයෙන් ගොඩනැඟී ඇති මෙම ප්‍රබල සම්බන්ධතාවය සද්කාර්යන් රැසක් ඉටුකරගැනීමට කැපවෙමින් තවත් යහපත් අපේක්‍ෂාවන් රැසක් සපුරා ගැනීමට අවැසි කදිම පසුබිමක් ද නිර්මාණය කර තිබෙයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.