Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහින්තලය පුද බිමේ ඇති කණ්ටක චෛත්‍ය බහුතරයක් නිතර කතා නොකරන ,බහුතරයකගේ විශේෂ අවධානයට යොමු නොවුණු ස්තූපයකි. මිහින්තලයේ තැන තැන කඳු මුදුන් වල චෛත්‍යයන් හි නටබුන් දිස් වෙයි. කණ්ටක සෑය ද ඇත්තේ එවන් වූ කඳු මෙවුලක් මතය.

1934 වසර වන විට මෙම ස්ථානයේ සෑයක් ඇති බවට දර්ශනය නොවුණි. සියවස් කීපයකට පෙර සෑයේ උඩ කොටස කඩා වැටී ඒ සුන් බුන් වලට යටවී ස්තූපයේ යටකොටස ද ආවරණය වී තිබුණි. කාලයත් සමග මේ මත ගස් කොළන්, වැවි මෙය දර්ශනය වී ඇත්තේ කටුකොහොලින් ආවරණය වුණු කඳු ගැටයක් වශයෙනි.

මෙම කඳු ගැටය ‘කිරිබඩ පව් දා ගැබ’ ‘කිරිබත්වෙහෙර’ , ගිරිභණ්ඩ’ යන නම් වලින් ව්‍යවහාරයේ ප්‍රසිද්ධ විය.

1934 වසරේදී පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි කැණීම් කටයුතු ආරම්භ කරන ලද අතර අපි අද දකින කණ්ටක චෛත්‍යයේ ඉතිරි වී ඇති කොටසේ හැඩතල දකින්නට ලැබෙන්නේ මාස 7 ක් පමණ වෙහෙසින් කළ මහත් වූ කාර්යයක ප්‍රතිඵල වශයෙනි.

දැනට අප දකින දා ගැබින් තවමත් ආරක්‍ෂා වී ඇති ප්‍රමාණය හෙළි කර ගැනීම සඳහා විශාල සුන්බුන් රාශියක් ඉවත් කර ගැනීමට සිදු විය. දා ගැබෙහි හතරැස් මළුව හෙළි කර ගැනීමට අඩි 30 ක් පමණ ගැඹුරට කැණීම් කිරීමට සිදුවීමෙන් හැඟෙන්නේ පස් තට්ටුවේ තරම කොතරම් නම් උසකට පවතින්නට ඇති ද යන්නය.

එහිදී දාගැබෙහි පහළ කොටසත් මළුවට සම්බන්ධ වූ එක පිට එක තනා තිබුණු පේසා වළලු තුනත් වාහල් කඩ හතරත් පාදා ගැනීමට සමත්විය. ලංකාවේ වෙනත් පැරැණි ස්තූපයක වුවද දකින්නට නොමැති තරම් හොඳින් මෙම වාහල්කඩ දෙකකුත් පේසා වළලු තුනකුත් ආරක්‍ෂා වී තිබිණ. මෙය අනුරාධපුරයේ සුවිසල් දාගැබ් හා සැසඳීය නොහැකි වුවද කණ්ටක චේතිය සැලකිය යුතු විශාලත්වයකින් යුතු විය. එහි පාදමේ වට ප්‍රමාණය අඩි 425 ක් පමණ වූ බවත් එය කැඩී බිඳී තිබියදී පවා සෑයේ උස අඩි 40 ක් පමණ වූ බවද පැවැසෙයි.

මෙම ස්තූපය අසල තිබී ගල් සන්නසක්ද හමුවිය . එය පළමුවන සියවසට අයත් බව පුරාවිද්‍යාඥයින් විසින් නිගමනය කරන ලදී. එහි කණ්ටක චේතියට පූජා කළ දේ ගැන සඳහන් වේ. සෙල් ලිපියකින් විස්තර කෙරෙන පූජාවන් ඒ සන්නස අසල ඇති ස්තූපයට කරන ලද පූජා වශයෙන් සැලකීම ඉතා සාධාරණ බැවින් යථෝක්ත සෙල් ලිපිය අසල ඇති නටබුන් කණ්ටක චේතියේම නටබුන් ලෙස පිළිගැනීමට සිදුවන බව පුරාවිද්‍යාඥයින්ගේ නිගමනය විය. ඒ අනුව එදා “කිරිබඩපවු දා ගැබ” නොහොත් කිරිබත් වෙහෙරෙහි නියම නම කණ්ටකචේතිය නොහොත් කණ්ටකචෛත්‍ය බව සැකහැර නිගමනය කෙරිණ.

දේවානම්පියතිස්ස නිරිදානන් (ක්‍රි.පූ. 250 –210 ) ගල් ගුහා අටසැටක් පිහිටුවීමේ කාර්ය ඇරඹියේ යැයි මහාවංශයේ සඳහන් වෙයි. බ්‍රාහ්මී අක්‍ෂරයෙන් කෙටූ ලිපි සහිත ගල්ලෙන් ගනනාවක් ඇත්තේ මෙම ස්තුපය සමීපයේය. කණ්ටක චෛත්‍ය කවුරුන් විසින් කරන ලද්දේදැයි නිශ්චිතවම තහවුරු කර ගැනීමට සමත් සාක්‍ෂි හමුවී නොමැත. එහෙත් ලජ්ජතිස්ස රජු මෙම සෑයට ගල් කඤ්චුකයක් තැනවූ බව මහාවංශය සඳහන් කරයි. ඒ අනුව සෙනරත් පරණවිතාණයන් පවසන්නේ මෙම දාගැබ ක්‍රි.පූර්ව පළමුවැනි සියවසට පෙර ඉදි කරන ලද්දක් බවය. ඒ අනුව මෙය දිවයිනේ ප්‍රථම ආගමික සිද්ධස්ථාන කීපයෙන් එකක් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි. මේ අනුව පෙනී යන්නේ කණ්ටක චෛත්‍ය බෞද්ධ සිද්ධස්ථාන අතර ඉතා සැලකිය යුතු පුරාවිද්‍යා ස්මාරකයක් බවය. මෙය තනා ඇත්තේ ගඩොලින් සහ හුණු ගලෙනි.

සතර දිශාවට මුහුණලා ඇති ප්‍රක්ෂේප හතරක් චෛත්‍යයේ ඇති අතර ඉන් දෙකක් හොඳින් ආරක්‍ෂා වී තිබිණ.මේවා හඳුන්වන්නේ වාහල්කඩ නමිනි.

චෛත්‍යයක වාහල්කඩ නිර්මාණය කර ඇත්තේ කුමණ කාර්යක් වෙනුවෙන් දැයි තවම හෙළි වී නොමැති බව පරණවිතාන මහතා පවසයි.

මෙහි ඇති වාහල්කඩ හි වන කලාත්මක ස්වරූපය සුවිශේෂිතය. ඒවා විචිත්‍ර කැටයමින් නිර්මිතය. මෙය අනුරාධපුරයේ ඇති චෛත්‍යයන්හි වාහල්කඩට වඩා විචිත්‍රවත් බව පැවැසෙයි.

බිත්ති හිස පිහිටි ඉහළම ලී ස්තරයට යටින් ඇත්තේ ගණ (වාමන) රූ පෙළකි. එයට යටින් හංස රූ පෙළකි. ගල් ඇල්ලූ කොටසට ඉහළින් ඇති ගඩොල් බැම්මේ බිත්තිකණූ ඇත. දේවතා පිළිම සෑම නැම්මකම අඹා ඇත. මෙම වාහල්කඩ එදා වර්ණා ලේපිත කර තිබුනූ බවට සාධක හමුවෙයි.

ඉහත කී ගණ රූපයන් ඉතා සිත් ගන්නා සුළුය. එහි නිරූපිත වාමනයන්ගෙන් සමහරු සංගීත භාණ්ඩ වාදනය කරති. තවකෙක් නාගයකු සමග ක්‍රීඩා කරයි. ඇතැමෙක් හිසින් සිටිති. ඔවුන් සැම දෙනා ඉතා සජීවි ඉරියව්වෙන් නෙළා ඇත.

ඔවුන්ට ඇත්තේ සත්ව හිස්ය. ඒ අතර අශ්ව, වල්, ඌරු, වානර හිස් දිස්වෙයි. වාහල්කඩ දෙපස කැටයම් කළ ගල් කණුඅතර මල්කම්, ලියකම්, මිනිස්, සිව්පා පක්‍ෂී ආදි රූ වලින් අලංකාර කර තිබේ. නැගෙනහර වාහල්කඩෙහි ගල්කණු මත ඇත් රූප ද උතුරේ සිංහ රූප ද බස්නාහිරෙහි අශ්ව රූ ද දකුණේ ගොන් රූ ද නිමවා ඇත. මෙම නිර්මාණයන් ඉතාමත් පැරැණි ය. එහෙත් විචිත්‍රවත් ය. පැරැණි නිර්මාණකලාවන් හදාරන්නන්ට මෙය සුවිශේෂී ස්ථානයකි. ලංකාවේ බෞද්ධ වාස්තු විද්‍යා නිර්මාණයේ විශේෂතා හැදෑරීමට අවැසි බොහෝ විශේෂාංග මෙම කණ්ටක චෛත්‍යයේ වාහල්කඩ මත දිස් වෙයි.

මෙම අපූරු වූ නිර්මාණය කර ඇත්තේ පසුව බුද්ධත්වයට පැමිණි සිද්ධාර්ථ කුමාරයාගේ අශ්වයා සිහි කිරීමට විය හැකි බව සෙනරත් පරණ විතාන පවසයි. එය එසේනම් කණ්ටක චෛත්‍යය සැමරුම් ඉතිහාසයේ අපූරු වු ඉදිකිරීමකි. පසු කලෙක ලංකාව පුරා ගොඩනැගුණූ චෛත්‍ය වාහල්කඩ මෙම කණ්ටක චෛත්‍ය නිර්මාණයේ ආභාශය ගන්නට තරම් පෙළඹීමෙන් හැඟෙන්නේ මෙය වාහල්කඩ නිමැවුමට අපූර්වත්වයෙන් පිරි චමත්කාරයන් ප්‍රදානය කර ඇති බවයි. එසේම බොහෝ දෙනාගේ අවධානයට යොමු නොවූවද මිහින්තලේ කණ්ටක චෛත්‍ය බෞද්ධ ස්තුප කලාවේ සුවිශේෂිත වූ ස්මාරකයකි.

එදා නිර්මාණ ශිල්පියාගේ ප්‍රතිභා ශක්තියටත්, නිර්මාණශීලි දෑතේ සවියටත් පිදෙන උපහාර තිළිණයකි.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.