Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 ගිලනුන්ට උවැටන

බෞද්ධ සංස්කෘතිය අනුව හික්මුණු කරුණා, මෛත්‍රී ගුණයෙන් යුතු අපේ ජනතාව අසරණ රෝගියාට අවශ්‍ය පිහිට නිසි අයුරින් ලබා දෙන අයුරු පැසසුම් විය. රෝගීන්ට පිහිටවීම පිණිස තරුණ පිරිස් විසින් පිහිටුවා ගත් සමාජ සංවිධාන රැසක්ම දක්නට හැකිය. වැඩිහිටි නිවාස ආදියට යමින් එහි නේවාසික වැඩිහිටියන් නෑවීම්, කැවීම්, පෙවීම්, බේත් හේත් ගැන සැලකිලිමත් වෙමින් ඉටුකරන අයුරු පෙනේ.

තුන් ලෝකාග්‍ර බුදුපියාණන් වහන්සේ තරම් අසහාය ගෞරව පුද පූජාවනට ලක්වූ අන් ශාස්තෘවරයෙක් මහා ශ්‍රේෂ්ඨයෙක් නැත්තේ ම ය. ඒ උන්වහන්සේගේ චරිතයේ අති උදාරත්වය හෙයිනි. එබඳු වූ බුදුපියාණෝ “ යො මං උපට්ඨහෙය්‍ය සො ගිලානං උපට්ඨහෙය්‍ය ...” (මහාවග්ගපාලිය – චීවරක්ඛන්ධකය) යනාදී ලෙසින් යමෙක් ගිලනුන්ට උපස්ථාන කෙරේද හේ මට උපස්ථාන කිරීම හා සමාන වන්නේ යයි වදාරති.

මින් පැහැදිලි වන්නේ ‘ගිලානෝපස්ථානය’ යනු ඉතා උතුම් ගුණධර්මයක් බව ය. උන්වහන්සේ තමන්ම ගිලානෝපස්ථානයේ දී ආදර්ශවත් වෙමින් භික්ෂුව ගිලානෝපස්ථානයේ යෙදීමට ආදර්ශවත්වෙමින් භික්ෂුව ගිලානෝපස්ථානයේ යෙදීමට අනුදැන වදාළහ. පූතිගත්තතිස්ස තෙරුන් පිළිබඳ කථා පුවත බුදුරදුන් රෝගී උවැටන් ආදර්ශයෙන් පෙන්වූ කදිම ස්ථානයකි.

දිනක් අනඳ හිමි සමග භික්ෂූන් වහන්සේලාගේ සෙනසුන් බලා ඇවිදින බුදුරදුන්ට රෝගී භික්ෂුවක් හමුවිය. එම භික්ෂුව පිළිවිසීමේදී තමනට උපස්ථායකයෙකු නොමැති බව පැවසීය. බුදුරදුන් අනඳ හිමි ලවා දිය ගෙන්වා රෝගී භික්ෂුව ඉවතට ගෙන පැන් වත් කළ අතර අනඳ හිමියෝ රෝගියා පිරිසුදු කළහ. ඉන්පසු සිවුරු හඳවා බුදුරදුන් රෝගියාගේ හිස දෙසින් ද අනඳ හිමි පය දෙසින් ද ගෙන ඇදෙහි තැබූහ. විහාරස්ථානයේ භික්ෂූන්ගෙන් අසවල් සෙනසුනෙහි රෝගී භික්ෂුවට උපස්ථාන කෙනෙකු වන්නේදැයි බුදුරදුන් විමසූහ. භික්ෂූන් නැතැයි පිළිතුරු දුන් අතර බුදුරදුන් හේතු විචාළ කළ ඒ භික්ෂුව අන්‍ය භික්ෂූන්ට උපස්ථාන නොකරන්නේ යයි ද තවදුරටත් පිළිතුරු දුන්හ.

“මහණෙනි, නුඹලාට උපස්ථාන කරන මව්පියෝ නැත්තාහ. නුඹලා අන්‍යොන්‍ය ලෙස උපස්ථාන නොකරන්නේ නම් කවුරු උපස්ථාන කෙරෙත් ද! යමෙක් මට උපස්ථාන කරයි ද හේ ගිලනුන්ට උපස්ථාන කරයි. රෝගි භික්ෂුවට ආචාර්ය වරයෙක් උපාධ්‍යවරයෙක් වේ නම් ඔහු දිවිහිමියෙන් රෝගියාට උපස්ථාන කළ යුතුය. රෝගියාගේ සුවය බලාපොරොත්තු විය යුතුය. කිසිවෙකු රෝගියාට නැත්නම් සංඝයා විසින් උපස්ථාන කළ යුතුය” යනාදී ලෙසින් භික්ෂූන් වහන්සේට රෝගී උපස්ථානය ගැන කරුණු වදාළහ.

ගිලනුන්ට උපස්ථාන කිරීමේදී උපස්ථායකයා තුළ වැදගත් කරුණු පහක් මතුකර දක්වති. ( අංගුත්තර නිකාය – පංචක නිපාතය ගිලා නොගිලානු පට්ඨක සූත්‍රය )

(1) වෛද්‍යවරුන් නියම කළ ඖෂධ පිළියෙළ කිරීමේදී දක්ෂතාවය හා ඥාන ශක්තිය තිබිය යුතුය.
(2) රෝගියාට හිත ආහාරපාන හොඳින් දතයුතුය. ඒ සැපයිය යුතුය
(3) ලාභාපේක්ෂාවෙන් තොරව මෛත්‍රී සිතින් කටයුතුය.
(4) මළ මුත්‍ර ආදිය ඉවත් කිරීමේදි පිළිකුලෙන් තොරව කළ යුතුය.
(5) ධාර්මික කථාවෙන් රෝගියා සතුටු කළ යුතුය.

මෙපරිදි උපස්ථායකයා ආවාට ගියාට කටයුතු කරන්නෙකු නොව ඉතා සැලකිලිමත්ව කටයුතු කරන්නෙකි.

උපස්ථාන කරන්නා තුළ තිබිය යුතු ගුණාංග මෙන්ම උපස්ථානයට භාජනය වන රෝගියා තුළ වැදගත් ගුණාංග තිබිය යුතු බව බුදුරදුන් පෙන්වති. ඒවාද පහකි.

(1) සුදුසුම ආහාර පාන ගනියි.
(2) රෝගියා තමනට සුදුසු ආහාර පානාදියෙහි ප්‍රමාණය දනියි.
(3) නියමිත සුදුසු වේලාවට බෙහෙත් පාවිච්චි කරයි.
(4) තමාට උවැටන් කරන්නාට තමාගේ අසනීප තොරතුරු නොසඟවා දක්වයි.
(5) ධෛර්ය උපදවා රෝගය ඉවසයි.

බුදුරජාණන් වහන්සේ විසින් මහත්සේ අගය කළ ගිලානෝපස්ථානය භික්ෂූන් වහන්සේ අතර නිසි ලෙස සිදුවන්නට විය. මේ ලක්ෂණය ගිහි බෞද්ධයින් අතර ද ප්‍රචලිත වී ගියේය.

ගිලනුනට උවැටන් කිරීම පිළිබඳව ධර්මාශෝක ආදී බෞද්ධ රජවරු මහත් සේ සැලකූ බව පෙනේ. එතුමා මිනිසුනට පමණක් නොව සතුනට ද ආරෝග්‍යශාලා පිහිටවිය. අසරණයින්ට නොමිලේ බෙහෙත් දුන්නේය. බෙහෙත් පැළෑටි සෑම තන්හිම රෝපණය කළේය. වෛද්‍යවරුනට ගම් බිම් ආදිය ප්‍රදානය කළේය. අපේ රටේ රජවරුන් තුළ ගිලානෝපස්ථානය පිළිබඳ කා වැදී ඇත. බුද්ධදාස, 1 උපතිස්ස, උදය, ඪම කාශ්‍යප, ම කාශ්‍යප ඪම මහින්ද ආදී බොහෝ රජවරුන්ගේ සේවා මෙහිදී විශේෂයෙන් සඳහන් කළ හැකිය.

බෞද්ධ සංස්කෘතිය අනුව හික්මුණු කරුණා, මෛත්‍රී ගුණයෙන් යුතු අපේ ජනතාව අසරණ රෝගියාට අවශ්‍ය පිහිට නිසි අයුරින් ලබා දෙන අයුරු පැසසුම් විය. රෝගීන්ට පිහිටවීම පිණිස තරුණ පිරිස් විසින් පිහිටුවා ගත් සමාජ සංවිධාන රැසක්ම දක්නට හැකිය. වැඩිහිටි නිවාස ආදියට යමින් එහි නේවාසික වැඩිහිටියන් නෑවීම්, කැවීම්, පෙවීම්, බේත් හේත් ගැන සැලකිලිමත් වෙමින් ඉටුකරන අයුරු පෙනේ. විවිධ ස්වේච්ඡා සංවිධාන මෙන්ම පාසල් දරු දැරියෝද රෝගීන් සම්බන්ධයෙන් අසරණ, වැඩිහිටියන් සම්බන්ධයෙන් මහත් ස්නේහයෙන් ක්‍රියා කිරීමේ නියුක්ත වීම බෞද්ධයින් වශයෙන් සතුටුවිය හැක්කකි.

පන්සාලිස් වසක් මුළුල්ලේ බුදුපියාණන් වහන්සේ විසින් දේශනා කළ ත්‍රිපිටක ධර්මය සියලුම රෝගයනට මහාර්ඝ මහෞෂධ රත්නය යි. සියලු කායික, මානසික රෝගයනට නිසි ප්‍රත්‍යක්ෂ පිළියම් උන්වහන්සේ වදාළහ. උන්වහන්සේ ලොව මහා වෛද්‍යවරයාණෝය. ගිලනුනට උවැටන් කිරීම පිළිබඳව උන්වහන්සේ විසින් දේශනා කළ කරුණු මනාව අවබෝධ කරගෙන උන්වහන්සේ පුදන්නාක් වැනි ගිලානෝපස්ථානය කෙරේ කාගේත් විශේෂ අවධානය තිබීම අතිශයින් වැදගත් වේ.

අසනීපයක් රෝගයක් වැළඳුණ කල හේ ඉතා අසරණ වේ. සුව කරගන්නා තෙක් ඉවසුමක් නැත. කවුරු හෝ තමන් සමීපයෙහි සිටී නම් එය පවා ඔහුට විශාල දෙයකි. රෝහලේ ලෙඩුන් බලන වේලාව එනතෙක් බලා සිටින්නේ තමන් දැකීමට බැලීමට කවුරු හෝ ඒය කියායි. ඔහුට කවුරු හෝ උපස්ථාන කරන්නේ නම් එය අවශ්‍ය මෙන්ම වැදගත් කරුණකි. තමනුත් මෙබඳු තත්ත්වයට පත්වනවා නේද යනුවෙන් තමන් උපමා කොට සිතමින් කාගේත් හැඟීම වියයුත්තේ ගිලනුනට උපස්ථාන කිරීමේ අගයයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.