Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉසුරුමත් බව සැපයකි

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සබ්බං පරවසං දුක්ඛං සබ්බං ඉස්සරියං සුඛං
සාධාරණෙ විහඤ්ඤන්ති යොගාහි දුරතික්කමාති තී

තථාගත අමාමෑණී බුදුපියාණන් වහන්සේ විසින් මෙම ගාථාව දේශනා කරන ලද්දේ විශාඛා මහා උපාසිකාවගේ ගැටලුවක් නිමිතිකරගෙනයි. විශාඛාව භද්දිය නුවර අමිතභෝගී මහා සිටු පවුලක උපන් පින්වත් සිටු දියණියකි. සැවැත් නුවර අමිතභෝගී සිටුවරු නොවූ හෙයින් කොසොල් රජතුමා විසින් බිම්බිසාර රජතුමාගෙන් කරන ලද බලවත් ඉල්ලීම්වල ප්‍රතිඵලයක් වශයෙන් මෙණ්ඩක සිටුතුමාගේ පුත් ධනංජය සිටුතුමා සැවැත්නුවරට සමීපව සාකේත නම් නුවරට පැමිණ වාසය කළේය.

ඔහු විශාකාවගේ පියතුමා විය. ඇය සොළොස්වියේ දී සැවැත් නුවර විසූ මිගාර සිටුතුමාගේ පුත් පූර්ණවර්ධන සිටුතුමා සමග විවාහ වූවාය. එම විවාහ මංගල්‍යයට අතිශය හිත්වත්කම නිසා කොසොල් රජු ද සම්බන්ධ විය. සාරමසකට වැඩි කාලයක් කොසොල් රජු ඇතුළු පිරිසට උපස්ථාන කළේ විශාඛාව සහ ඇගේ පිරිවර විසිනි.

විශාඛාවගේ ඒ විවාහ මංගල්‍යය අතිශය උත්කර්ෂවත්ව සිදුවුණි. පියා විසින් ඇයට මහලිය පළඳනාව සාරමසක කාලයක් තුළ සාදවා පිරිනැමූ අතර නොයෙක් සිටුවරුන්ගේ තෑගිබෝග ද ඇයට ලැබුණි. විවාහ මංගල්‍යයෙන් පසුවත් ඇයට දුරබැහැර සිට එවූ තෑගි ලැබෙමින් පැවතිණි. දිනක් පිටිසර වැසි සිටුවරයකු විසින් විශාඛාවට එවූ අගනා ආභරණයක් සඳහා සැවැත්නුවර වාසලේ දී අධික අයබද්දක් පනවන ලදී. මේ අසාධාරණ බදු අයකිරීම ගැන කථා කළ විශාඛාවට දොරටුවෙහි සිටි අයකැමියා ප්‍රකාශ කළේ කොසොල් රජුගෙන් විමසා අයබද්ද අඩුකරගන්නා ලෙසයි. මේ සඳහා විශාඛාව කීපවිටක්ම කොසෙල් රජුගේ මාලිගයට ගියාය. නමුත් කොසොල් රජතුමා විශාඛාව පැමිණි බව අසා දේවිය සමගින් අන්තඞපුරයට පිවිසෙයි. පිවිස බොහෝ වේලාවක් සිටි විශාඛාව ගිය පසු නැවත රාජකාරි සඳහා පැමිණෙයි. මෙසේ කරන ලද්දේ ඇයගේ ත්‍යාගයට නියමිත අයබද්ද අඩුකරීමට සිදුවන හෙයිනි. මෙසේ දින කීපයක්ම විශාඛාව රජමාලිගයේ දී අපහසුවට පත් වූවාය. මෙසේ එක් දිනයක උදේ සිට දවල් වන තෙක් මාලිගාවේ සිටි නමුත් රජු හමු නොවූ බැවින් වෙහෙසට පත් ඇය නැවත ගෙදර යන්නි බුදුරදුන් තමා කරවා පූජා කළ පූර්වාරාමයෙහි වෙසෙන බව අසා උන්වහන්සේවත් හමුවී සිත සනසා ගැනීමේ අදහසින් එහි පිවිසියාය.

මේ පුවත සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ උදාන පාළියේ දෙවන මුචලින්ද වග්ගයේ නවවන සූත්‍රය වූ (164-166) විසාඛා සූත්‍රයෙහිත් එහි අටුවාවේත් විස්තරව දැක්වේ. භාග්‍යවතුන් වහන්සේට මැනවින් පසග පිහිටුවා වැඳ එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටියා වූ මිගාරමාතු විශාඛාවට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක

හන්ද කුතො නුත්වං විසාඛෙ ආගච්ඡසි දිවා දිවස්සාති? (විශාඛාවෙනි නුඹ මේ මද්දහනේ කොහි සිට එවුද?)

එවිට විශාඛාව ස්වාමීනි මාහට පසේනදී කොසොල් රජුගෙන් (රජු ලවා) කරවා ගත යුතු කිසියම් කටයුත්තක් ඇත. එය පසේනදී කොසොල් රජතුමා මගේ අදහස පරිදි තීරණය නොකරයි. යැයි පැවසුවාය

(ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි තථාගතයන් වහන්සේ විශාඛාවගේ ගැටලුව නිසා දේශනා කර වදාළේ

අනුන් අයත් සියල්ල දුක්ය. සියලු ලොවී ලොවුතුරා ඉසුරු බව සුවය. (සැපය පිණිස පවතියි) සාධාරණය ඉටුකරගනීමෙහි දී සියල්ලෝ ම දුකට පැමිණෙති. කාමාධී යෝගයෝ ඉක්මවීමෙහි දුෂ්කර වෙති යන්නයි.

අනුන් ලවා කරගත යුතු සෑම කටයුත්තක දී ම දුක අපහසුවට පත්වීම වේදනාව තම සිතැගි සිතූපරිදි ඉටු නොවීම යනාදි අප්‍රසන්න මනෝභාවයන් අපට ඇතිවේ. (සබ්බං පරවසං දුක්ඛං) තමාගේ කටයුත්තක් අනුන් අයත්වේද තමා කැමති ලෙස එය සිදුකරගත නොහැක. එය තමාට දුකකි. විශාඛාවගේ ත්‍යාගයෙහි අයබද්ද තීරණය කිරීමේ ප්‍රධානත්වය රජතුමාට අයිති දෙයකි. ඔහුගෙන් ම එය කරගත යුතුය. විශාඛාව දින ගණනාවක් රස්තියාදු වූයේ එය අනුන් (රජු) ලවා කරගත යුතු බැවිනි. අපි ද අනුන්ගෙන් කරගැනීමට යන කාර්යයන්හි දී අපමණ වෙහෙසට දුකට වේදනාවට පත්වෙමු. මෙකරුණ සදාතනික වූවක් බව බුදුපියාණෝ දේශනා කරති.

නමුත් සියලු ආකාරයෙන් ඉසුරුමත් බව සැපයකි. ඉසුරුමත් බව හෙවත් ප්‍රධානත්වය ලැබීමේ අංශ දෙකකි.

1.ලොවී ඉසුරු බව – රජ මැති ප්‍රධානි තනතුරු හිමිවීම/ පංචාභිඥා අෂ්ට සමාපත්ති උපදවා ගැනීම

2.ලොවුතුරා ඉසුරු බව – සෝවාන් ආදි මගඵල ලබා දුක් ක්‍ෂය කර ලබන (දුක්ඛ නිරෝධ) නම් වූ උතුම් නිවන් සුවය

ලොවි හෙවත් ලෞකික ඉසුරුමත් බවෙහි අංශ දෙකකි. භෞතිකව ධනය, බලය, පිරිස වැඩිකරගැනීමෙන් ලබන තම නිවසේ හෝ ආයතනයේ හෝ රටේ හෝ ප්‍රධානත්වය එකකි. රජවරු ඇමැතිවරු ආයතනාධිපතිවරු ආදි වශයෙන් ලබන එම තනතුරුවලදි තමාගේ බලසීමාවට අදාළ කොටසෙහි තීන්දු තීරණ ගැනීමේදී තම මතයට අනුව කටයුතු කළ හැකිය. වෙහෙසට දුකට වේදනාවට පත්නොවී එමගින් සිය සිතැගි ඉටුකරගත හැකි නිසා එය සැපයකි. මෙය ලෞකික වූ භෞතික අංශයේ දියුණුවෙන් ලැබෙන්නෙකි. අනෙක් අංශය නම් සමථ භාවනාව වඩා රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන ලබා ගැනීමයි. පංචාභිඥා උපදවා ගැනීමයි. එය ලෞකික වූ අධ්‍යාත්මික අංශයේ දියුණුවෙන් ලැබෙන්නකි. සැඩොල් කුලයේ උපන් මාතංග තවුස්තුමා පංචාභිඥා අෂ්ටසමාපත්ති උපදවාගෙන සිටුකුමරියක් වූ දිට්ඨමංගලිකාව පාවාගෙන බමුණන්ගෙන් පවා පූජා ලැබූ ආකාරය මාතංග පුවතේ දැක්වේ. එමගින් ද සිය සිතැගි ප්‍රාර්ථනාවන් ආශාවන් හා අපගේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගත හැකිය. ‘සබ්බ ඉස්සරියං සුඛං’යි (සියලු ලොවී ලොවුතුරා බව සැපයෙකැයි) දැක්වූයේ එම කාරණයයි.

යෝගාහි දුරතික්කමා යනු සිවුමහා යෝගයන් ඉක්මවීම අතිශය අසීරු බවයි. යොග – සංසාරිකව සැරිසරායන සත්වයන් කර්මඵල සමග යොදවන නිසාත් දුක සමග යොදවන නිසාත් යෝග නමින් හඳුන්වන ධර්ම සතරකි.

ඒ සතර නම් කාම යෝග / භවයෝග /දිට්ඨී යෝග /අවිජ්ජා යෝග යෝගයෝ සත්වයන් ලෝකය විෂයෙහි බැඳ තබති.

1. කාමයෝග - කාමවස්තුවෙහි ඇලීමයි. කාම වස්තූන්ගෙන් සතුටුවීමයි. කාම තණ්හා (කාම ලෝකයන්හි ඉපිද පංචකාම සම්පත් විඳීමේ ආශාව පඤ්චකාම ගුණිකො රාගො කාම තණ්හා

2. භවයෝග – රූපාරූප භවයන්හි ඇලීම, භව තණ්හා (සසර දිගින් දිගට පැවතීමේ ආශාව / රූපාරූප භවයන්හි ඉපදීමට ඇති ආශාව)

3. දිට්ඨියෝග - දෙසැට මිසදිටුවෙහි ඇලීම, මිච්ඡා දිට්ඨි, මිසදිටු අදහස් පිළිගැනීමයි. සාවද්‍ය චර්යා සත්වයා ප්‍රපාතයට දුශ්චරිතයට හෙලයි. සක්කාය දිට්ඨි (ස්ථාවර ආත්මයක් ඇත) යනාදි පිළිගැනිම්

4. අවිජ්ජායෝග – චතුරාර්ය සත්‍යාවබෝධය වසාලන මෝහයයි. අවිද්‍යාව

මේ සිවු මහා යෝගයන්ගෙන් මිදුණූ තැන යෝගක්‍ෂේම නම වේ. යෝගක්‍ෂේම යනු නිවනයි. යොගක්ඛෙමං අයෝගක්‍ෂේම යනු සංසාරයයි.

තණ්හා යෝගයෙන් වෙලී ගැලී සංයුක්ත වු /කුදුමහත් භවයන්හි ඇලුණු සිත් ඇත්තා වූ සංසාරගත වූ සත්වයෝ මාරපාශය නම් වු යෝගයෙන් බැඳී සිටිති. ඒ සත්වයෝ නැවත නැවත ඉපදීම් මැරීම් වශයෙන් සසරට ම යොමුවෙති. නැවත ජාති ජරා මරණ දුක්ඛයන්ට පැමිණෙති.

1. අනාතාපි - කෙලෙස් තවන වීර්ය නැතිවීම 2. අනොත්තාපී – පවට බිය නොවන සුලුවීම

3. කුසීතො – කම්මැලිවීම / කුසීත වීම 4. හීනවීරියො - හීන වූ වීර්ය ඇති බව

5. ථීනමිද්ධ බහුලො - බහුලව කය සිත මැලි බැවින් යුක්තවීම

6. අහිරිකො - පවට ලැජ්ජා නැතිවීම 7. අනාදරො - මනා පිළිවෙත්හි ආදරයක් නැතිවීම

මෙම ලක්‍ෂණ වලින් යුතු භික්‍ෂුව උතුම් නිවන ස්පර්ශ කිරීමට අසමර්ථයෙක් වේ.

යෝගක්‍ෂේම නම් වූ නිවනට පත්වීමට දියුණුකරගත යුතු ගුණාංග

මහණෙනි රහත්නොවූ උතුම් නිවන පතමින් වෙසෙන සේක භික්‍ෂුවට සිතේ උපදින අංග අතුරින් උපරිම උපකාරයක් කරනුයේ යෝනිසෝමනසිකාරයයි. යෝනිසෝමනසිකාරය බඳු බොහෝ උපකාර වන අන් එකඳු දහමක් මම නොදකිමි. නුවණින් මෙනෙහි කරන භික්‍ෂුව අකුසල් පහ කරයි. කුසල් වඩයි.

යෝනිසෝමනසිකාරයෙන් යුතු පුද්ගලයා - පඨවි කසිණාදි අරමුණුවල සිත පිහිටුවා ත්‍රිලක්‍ෂණය මෙනෙහි කරයි.

මහණෙනි රහත් නොවූ උතුම් නිවන පතමින් වෙසෙන සේඛ භික්‍ෂුවට සිතේ උපදින අංග අතුරින් උපරිම උපකාරයක් කරනුයේ කලණ මිතුරු ඇසුරුයි. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය බඳු බොහෝ උපකාර වන අන් එකදු දහමක් මම නොදකිමි. කල්‍යාණ මිත්‍රයන් ඇති භික්‍ෂුව අකුසල් පහකරයි. කුසල් වඩයි .

ධ්‍යාන වඩන සුළු වූත් නිතරම වීර්ය පවත්වාගන්නා වූත් නිතරම දැඩි පරාක්‍රමයෙන් යුක්තව ක්‍රියාකරන්නා වූ ප්‍රාඥයෝ කාමාදි යෝගයන්ගෙන් භයක් නැත්තා වූ අනුන්තර වූ නිවනට පැමිණ වෙසෙති.

යමෙක් මනුෂ්‍යයන්ට අදාළ ආයුෂ හා පංචකාමසම්පත්තිය ද දිව්‍යමය ආයුෂ හා පංචකාමසම්පත්තිය ද ඉක්මවා යන්නේ ද සියලු යෝගයන්ගෙන් විශේෂයෙන් වෙන් වූ එම පුද්ගලයාට මම බ්‍රාහ්මණයෙකැයි කියමි.

මෙසේ සිවුමහා යෝගයන් ජයගැනීමට කලණ මිතුරු ඇසුරත් යෝනිසෝමනසිකාරයත් (කරුණු කාරණා මැනවින් ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගැනීමේ හැකියාව) දියුණු කරගැනීම අවශ්‍ය වේ. ඉන් සම්මා දිට්ඨිය ලැබේ. අරි අඨගි මාර්ගයේ වීර්යවන්තව ගමන් කිරීමෙන් සියලු යෝගයන් පරදා යෝගක්‍ෂ්ම වූ අමා මහ නිවනින් සැනසීමට අප සැමදෙනාට ම පුළුවන්කම ලැබේ. ඒ උතුම් වූ ලෝකෝත්තර ඉසුරුමත්භාවයෙන් සැපවත්වීමට ඔබ සැමදෙනාට ම ශක්තිය ධෛර්ය ලැබේවා.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.