චූලසච්චක
සූත්‍රය
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
තලල්ලේ
චන්දකිත්ති හිමි
තථාගතයන් වහන්සේ වදාළා ඔබ ඔය කියන ආකාරයට රූපය මෙන්න මේ විදියට ලස්සන
වෙන්න ඕනෑ මේ
විදියට අවලස්සන වෙන්න එපා මේ ආකාරයට
පවතින්න ඕනෑ කියලා රූපයට නියෝග කරන්න ඔබට පුළුවන්ද? එහෙම කරන්න බැරි
රූපය තමන්ගේ නොවන නිසයි. රූපය තමන්ගේ්නම් එය තමන්ට ඕනෑ ආකාරයට පවතින්න
ඕනෑ නේද? මේ රූපය අපේ නොවන නිසා තමයි එයට අපි කොයිතරම් නියෝග දැම්මත්
නීතිරීති පැනෙව්වත් මේ ආකාරයට ඉන්න යැයි කියා පෙන්නුවත් රූපය ඒ විදියට
නො ඉන්නේ
තථාගතයන් වහන්සේ විසාලා මහනුවර කූඨාගාර ශාලාවේදී මේ දේශනය වදාළා.
මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයට අයත් සූත්‍ර දේශනාවක්.
සච්චක කියලා කියන්නේ නිගණ්ඨ පුත්‍රයෙක්. ඔහු විසාලා මහ නුවර වාසය කළා.
බොහොම පණ්ඩිත දක්ෂ ලෙස තර්ක කරන්නට සමත් ජනතාව අගය කළ අයෙක්.
මෙහි වාද පන්සිය බැගින් උගත් නිගණ්ඨ යුවළක් සිටියා. මේ අය සෑම තැනම
ගිහින් වාද කරමින් එම වාද ජයග්‍රහණය කරමින් සිටියා. ඒ වාද කිරීම එක්තරා
විදිහක තර්ක ශාස්ත්‍ර ක්‍රමයක්. මෙහෙම වාද කරමින් ඇවිදගෙන යන අතරේ
ඔවුන් විසාලා මහ නුවරටත් පැමිණියා. විසාලා මහ නුවර වැසියන් සමඟත් වාද
කරමින් යන විට වාදයට බොහොම දක්ෂ අය කියන කීර්ති නාමය මේ අය ගැන
පැතිරුණා. වාදයට බොහොම දක්ෂ මේ අය සමග තර්ක කරලා දිනන්න නම් බැහැ ආදී
වශයෙන් මේ යුවල ගැන කතා පැතිරුණා.
ඒ කාලයේ විසාලා මහ නුවර රජකම් කළේ සුවිශේෂ රජ දරුවන් කට්ටියක්. ඒ
ලිච්ඡවී රජ දරුවන්. ඉතින් මේ ලිච්ඡචීවන්ටත් ආරංචි වුණා මේ අය ගැන. ඒ අය
මේ යුවල ගෙනවිත් නිවාසයක් දී මින් පස්සේ කොහේවත් ගිහින් වාද කරන්න එපා.
මේ ශාස්ත්‍රය මේ ජනතාවට අපේ රජ දරුවන්ට කියා දෙන්න කියා ඒ අයට
වරප්‍රසාද දුන්නා. මේ දෙපළට දරුවන් පස් දෙනෙක් ලැබුණා. එයින් හතර
දෙනෙක්ම දියණියන්. එක් අයෙක් පුතෙක්. මේ බාලම පුතාගේ නම සච්චක. මේ
දියණියන්ටත් හොඳින් වාද කරන්න මේ මාපියන් ඉගැන්වූවා. දවසක් මේ මව්පියන්
අර දියණියන්ට කිව්වා අපිට මීට වඩා ඔයාලාව පෝෂණය කරන්න බැහැ. ඒ නිසා
ඔයාලා තැනින් තැන ගිහින් වාද කරන්න. කෙඳිනක හෝ ඔබලා කාගේ හෝ වාදයකින්
පැරදුණොත් ඒ අයගේ අනුගාමිකයෙක් වෙන්න. හාමුදුරුවන් සමග වාද කරලා
පැරදුණොත් එහිම මහණ වෙන්න.
මේ දියණියන් තැනින් තැනට යනවා. දඹකොළ අත්තක් අරගෙන ගිහින් එය පොළොවෙහි
කොතැනක හෝ සිටුවලා කියනවා මේ අත්ත යම් කෙනෙක් ගැළවුවොත් ඒ අය අපිත් සමග
වාද කරන්න සූදානම් කියලා අපි හිතනවා. ඒ නිසා පුළුවන් කෙනෙක් සිටිනවානම්
මේ අත්ත ගලවන්න කියලා. දිනක් සැරියුත් තෙරුන් පිණ්ඩපාතයේ වඩින විට මේ
සිද්ධිය දුටුවා. උන්වහන්සේ අසල සිටි අයෙකුට වදාළා ඔය අත්ත ගලවලා අයින්
කරන්න කියලා. එවිට අර සහෝදරියන් දැන ගත්තා තමන් සිට වූ අත්ත ගැලවූයේ
සැරියුත් මහ රහතන් වහන්සේ බව. උන්වහන්සේ සමග වාද කිරීමට මේ පිරිස ආවා.
මේ හතර දෙනාම ප්‍රශ්න ඇසුවා. හතර දෙනාටම උන්වහන්සේ පිළිතුරු දුන්නා.
පසුව උන්වහන්සේ මේ අයගෙන් එක් ප්‍රශ්නයක් ඇසුවා. ඒ තමයි ‘’ඒක නාම
කිං?’’ කුමක්ද ඒක නාම කියන්නේ. මේ හතරදනා මේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න
දැනගෙන හිටියේ නැහැ. ඒ ප්‍රශ්නයට උත්තරය තමයි සියලු සත්ත්වයෝ ආහාරයෙන්
යැපෙන්නෝය කියන එක. අර පිරිස වාදයෙන් පැරැදුනා.
ඉන් පස්සේ අර සච්චක කියන නිගණ්ඨ පුත්‍රයා මිනිසුන් මැදට ගිහිල්ලා
කියනවා මාත් සමග වාදයට සමතෙක් මේ ලෝකයේ ඉන්නවානම් මේ අභියෝගය බාර ගන්න
කියලා කිව්වා.
මේ අතර අස්සජි මහ රහතන් වහන්සේ පාන්දරින් අවදිවෙලා විසාලා මහ නුවර
පිණ්ඩපාතයේ වැඩියා. උන්වහන්සේ දුටු සච්චක පසුපස්සේ ගමන් කළා.
පිණ්ඩපාතෙන් පසුව සච්චක අසනවා ස්වාමිනි, කොහොමද ශ්‍රමණභවත් ගෞතමයාණන්
තම ශ්‍රාවකයන් හික්මවන්නේ කියලා. එවිට අස්සජි හිමියන් වදාළා සච්චක අපට
අපගේ ශාස්තෘන් වහන්සේ කියා දෙන්නේ මහණෙනි, රූපය, වේදනාව, සංඤ්ඤාාව,
සංස්කාරය, විඤ්ඤාණය, අනිත්‍යයි. ඊළඟට රූපය, වේදනා, සංඤ්ඤා, සංඛාර,
විඤ්ඤාව අනාත්මයි, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා වූ සියලුම දේවල්
අනිත්‍යයි. ඒ වාගේම ඒ සියලු ධර්මතා අනාත්මයි කියලා තථාගතයන් වහන්සේ අපට
කියා දී තිබෙන්නේ යැයි අස්සජි හිමියන් වදාළා. එවිට සච්චක කියනවා අය්යෝ
මම නො ඇසිය යුතු දෙයක් නෙව ඇසුවේ. මේ ඇසු දෙයින් වැඩක් නැහැ. මම
තථාගතයන් වහන්සේ හමු වූ විට මේ ගැන අසන්නම් කියා උදම් ඇනුවා.
ඔය අවස්ථාවේ පන්සියයක් ලිච්ඡවි රජදරුවන් පිරිස මේ කූඨාගාර ශාලාවට යම්
කටයුත්තකට පැමිණියා. සච්චක මේ ලිච්ඡවින් හමුවෙලා කියනවා අන්න අපි
ශ්‍රමණයන් වහන්සේ සමග වාදයක් පටන් ගනිමු. මම උන්වහන්සේ වාදයෙන් පීඩාවට
පත් කරලා ලැජ්ජා කරනවා කීවා.
ඉතින් සච්චක සමඟ පිරිස තථාගතයන් වහන්සේ වැඩ සිටි ස්ථානයට ගියා. බොහෝ
භික්ෂු පිරිස ඒ ස්ථානයේ රැස්ව සිටියා. උන්වහන්සේ සමග සතුටු සාමීචිය
කථාකොට සච්චක අහනවා ස්වාමිනි, මට ප්‍රශ්නයක් තිබෙනවා දැන ගන්න. ඒ තමයි
ඔබවහන්සේ ඔබේ ශ්‍රාවකයන් හික්මවන්නේ මොන ආකාරයට ද? ඔබ අනුශාසනා කරන්නේ
කුමක්ද? විමසුවා.
තථාගතයන් වහන්සේ වදාළා සච්චක මම මගේ ශ්‍රාවකයන් හික්මවන්නේ රූපය,
වේදනාව, සඤ්ඤාව, සංඛාරය, විඤ්ඤාණය අනිත්‍යයි කියලා. අනාත්මයි සියලු
සංස්කාර ධර්මයන් අතිනත්‍යයි අනාත්මය කියලා මම මගේ ශ්‍රාවකයන් හික්මවනවා
යැයි වදාළා. එවිට සච්චක කියනවා සමහර බීජ නැත්නම් ඇට වර්ග ඒ වාගේම පොඩි
පැල වැටෙන්නේ ඇති වන්නේ හොඳින් රෝපණය වන්නේ පොළාව නිසයි. ගස් වැල්
විතරක් නොවෙයි. ගෙවල් දොරවල් පිහිටලා තියෙන්නේ මහ පොළොව නිසයි. අපි කය
වචනය මෙහෙයවලා කරන සියලු ක්‍රියාකාරකම් පිහිටලා තියෙන්නේ මේ පොළොව
හින්දානේ. අන්න ඒ වාගේ් ස්ථාවර කරගෙන තමයි සංඤ්ඤාවෙහි, සංස්කාරයෙහි
විඤ්ඤාණයෙහි පිහිටලා තමයි මේ කරන්නා වූ සියලු දේ මිනිස්සු කරන්නේ කියලා
සච්චක කිව්වා.
එවිට තථාගතයන් වහන්සේ වදාළා ඔබ ඔය කියන ආකාරයට රූපය මෙන්න මේ විදියට
ලස්සන වෙන්න ඕනෑ මේ විදියට අවලස්සන වෙන්න එපා මේ ආකාරයට පවතින්න ඕනෑ
කියලා රූපයට නියෝග කරන්න ඔබට පුළුවන්ද? එහෙම කරන්න බැරි රූපය තමන්ගේ
නොවන නිසයි. රූපය තමන්ගේ්නම් එය තමන්ට ඕනෑ ආකාරයට පවතින්න ඕනෑ නේද? මේ
රූපය අපේ නොවන නිසා තමයි එයට අපි කොයිතරම් නියෝග දැම්මත් නීතිරීති
පැනෙව්වත් මේ ආකාරයට ඉන්න යැයි කියා පෙන්නුවත් රූපය ඒ විදියට නො ඉන්නේ.
මේ ආකාරයටම වේදනා, සංඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණය ගැනත් වටහා ගන්න ඕන. යමක්
වෙනස් වෙනවා නම් එතන ඇත්තේ් දුකයි. නිත්‍යය නොවන දේ ගෙන එන්නේ
දුකක්මයි. ඒ දුක ඇති වන්නේ එය තමන්ට වුවමනා විදියට පාලනය කරගන්න බැරි
නිසයි. එහෙනම් එය අනාත්මයි. මගෙයි කියා අල්ලා ගන්න අධිකාරි බලයක්
පවත්වන්න දෙයක් මේ ගොඩවල් පහේ නැහැ කියලා වදාළා. එහෙම කිව්වාම සච්චකට
සියලු කාරණා වැටහුණා.
සටහන
නයනා නිල්මිණි |