Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සත වෙත සෙත පෑ මහා කාරුණිකයාණෝ

බුදුරදුන් ලොව පහළවන විට ඉන්දියාවේ දෙසැටක් මිථ්‍යා දෘෂ්ටික ආගමික ඇදහිලි තිබුණු බව වේද ග්‍රන්ථවලින් ද උපනිෂද් දහම්වලින්ද අනාවරණය වේ. විමුක්තිය සොයා යන්නට මේ දහම්වලින් යම් යම් දර්ශනයක් හෙළි කළ බව ද පෙනේ. එවකට වඩාත් කැපී පෙනෙන දර්ශනවාදීන් ලෙස හැඳින්වෙන ෂඩ් ශාස්තෘවරු මිනිසාගේ සුඛවිහරණය අරඹයා විවිධ දෘෂ්ටි හෙළිකරන ලදහ.

එහෙත් මේවායේ කිසියම් සත්‍ය පදනමක් නොවු බව බුදුරදුන් දෙසූ දහම අනුව සනාථ වේ. මෙවන් අවුල් වියවුල් දෘෂ්ටි ජාලයක් ඇති කාලයක බුදුරදුන් ලොවට පහළ වී පරම සත්‍යය හෙළි කරන ලද්දේ.

මේ දහම විමුක්ති මාර්ගයකි. ඒ සඳහා හේතු ඵල දහමක් ලොවට පෙන්වා දෙන ලදී. සමකාලීන දෘෂ්ටිවාදීන්ගේ නියතිවාදීන්ගේ දහමේ හේතු ඵල දහමක් නොවීය. ඒ දහම්වල හේතුවක් ඇත්නම් ඵලයක් නොවුණි .ඵලයක් තිබුණේ නම් හේතුවක් නැත.

සත්ත්වයා මෙලොවට පහළ වූයේ ඇයි ද? යන්න සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයක් හෙළි කිරීමට එම දෘෂ්ටිවාදීන්ට නොහැකි විය. මෙන්න මෙතනයි එම මිථ්‍යා දෘෂ්ටි දහම්වල සහ බුදුසමය අතර පවත්නා වෙනස .

හේතු ඵල දහම

මිනිස් සමාජයේ පුද්ගලයන් විවිධය. එකම ආකාරයක නොවුණි. මෙයට හේතුවක් තිබිය යුතුය. එමෙන්ම එසේ වීමට ඵලයක් ද අනවරතයෙන්ම තිබිය යුතුය. ඒ බව බුදුරදුන් ලොවට හෙළි කළේය. සත්ත්වයන් අතර මිනිසා ශ්‍රේෂ්ඨ වන්නේ සිතන්න තරම් විඤ්ඤාණයක් ඇති හෙයිනි. සෙසු සත්ත්වයන්ට එවන් විඤ්ඤාණයක් නොමැත. ඒ නිසයි බුදුරදුන් වදාළේ මගේ දහම නුවණැති ප්‍රඥාවන්තයන්ට පමණයි යන්න. මේ ජීවිතය මුලක්, මැදක්, අගක් දැකිය නොහැකි සංසාර චක්‍රයකි. භව චක්‍රයකි. මිනිසා නිවන් අවබෝධ කරගන්නා තෙක් මේ සසරේ සැරිසරයි. එයින් නික්මෙන්නට නම් මිථ්‍යාව මායාව බැහැර කොට පරම සත්‍යයට මිනිසා යොමු විය යුතුය.මේ පරම සත්‍යය හෙළි කරන්නට බුදුහිමියන් විසින් මහා කරුණාව දක්වන ලදී.

චතුරාර්ය සත්‍යය ධර්මයේ සංක්ෂිප්ත කොට දක්වන පරිදි ඉපදීම දුකකි. වයෝවෘද්ධ වීම දුකකි. රෝගවලට භාජනය වීම දුකකි. පි‍්‍රයයන්ගෙන් වෙන්වීම දුකකි. අපි‍්‍රයයන් හා එක්වීම දුකකි යනුවෙන් බුදුරදුන් දෙසුයේ මිනිසාට සදාකාලික සැපතක් නැති බවයි. එසේ තිබේනම් තාවකාලික සැපතක් පමණි.

ලෝකය දෙස බැලීම

දුකේ වෙලී පැටලී ඇලී ගැලී සිටින සත්ත්වයා එයින් මුදා ගැනීමට බුදුරදුන් විසින් මහා කරුණාව දක්වන ලදී. බුදුන් වහන්සේ අලුයම පිබිදෙන්නේ අද කවුද දුකෙන් මුදා ගන්නේ යන පවිත්‍ර චේතනාව මත පිහිටාය. ලෝකය දෙස බලන වේලාවේ තමන්ගේ මහා කරුණාව දක්වන්නට අවශ්‍ය වූ විට යොදුන් ගණන් පා ගමනින් ගොස් ඒ අයට පිහිට වී සසරින් එතෙර වන්නට දහම් දෙසා විමුක්තිය පෙන්වා දුන් සේක.

බෞද්ධ සාහිත්‍යයේ අන්තර්ගත අංගුලිමාල, පටාචාරා, සෝපාක, මට්ටකුණ්ඩලී, අම්බපාලී, කිසාගෝතමී ආදින්ට දැක්වූයේ එකම මහා කරුණාවකි. මිය ගිය පුතු කරේ තබාගෙන ඔහු සුවකර ගැනීමේ අභිලාෂයෙන් ඇය බුදුරදුන් අසලට ගියාය. ඒ මහා වෙදැදුරා හමු වී තම දරුවා සුවකර ගන්නටය. එහෙත් කිසාගෝතමී සිතා සිටියේ ඇය අත සිටින්නේ මළ පුතෙකු නොව නොමළ පුතෙකු බවය.

නොමළ නිවෙසකින් අබ ටිකක්

දරුවා මළ ස්වභාවය සාක්ෂාත් කරගැනීම මත පුතා සුවකර දෙන්නට නම් නොමළ නිවෙසකින් අබ ඇට ස්වල්පයක් රැගෙන එන්නැයි ඇයට බුදුපියාණෝ වදාළහ. ඒ අනුව තම පුතුට ඇති ආදරය සෙනෙහස හේතුකොට ගෙන මළ පුතු කරට ගත් ඇය නොමළ නිවෙසක් සොයා ගියාය. එහෙත් ඇය ගිය සෑම නිවසකම කවුරු හෝ මිය ගොස්ය. අවසානයේ දින ගණනක් පුතු කරගහගෙන යන ගමනේදී මළ පුතාගේ ඕජස් වෑහී දුගඳ හමන තත්ත්වයක් උදාවීම මත ඇයටම මේ මළ සිරුර එපා වී සොහොන් බිමක දමා යළිත් බුදුරදුන් හමුවීමට ගියාය.

නොමළ නිවෙසකින් අබ ඇට සොයා ගැනීමට හැකිවුවාද යන්න බුදුරදුන් ඇයගෙන් විමසන ලදී. එවිට ඇයගේ ප්‍රති පිළිතුර වුයේ නොමළ නිවෙසක් සොයා ගැනීමට නොහැකි වූ බවයි. අබ ඇට ස්වල්පයෙන් හා නොමළ නිවෙස යන දෙකරුණෙන් මිනිස් ජීවිතයේ යථාර්ථය ඇයට පහදා දුන්නාය. වැඩි ඈතට ගියේ නැත. එදිනෙදා ජීවිතයට හමුවන සාධක මත ජීවිතයේ යථාර්ථය වටහාගත් ඇය සදහම් සුවයෙන් සැනසී සෝවාන් ඵලයට පත්වුවාය.

යමෙක් මේ ලොවට බිහිවූවා නම් කිසියම් දිනක මිය යන බවත් යමක් මෙලොවට ඇතිවූවා නම් එය නැසෙන බවද බුදුහිමියෝ ඇයට පෙන්වා දුන්නහ. ඒ අනුව සදාකාලික යනුවෙන් දෙයක් මෙලොව නැත. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණ ඇයට මෙනෙහිකර දුන් සේක.

අනාත්මවාදි

ජීවිතය මේ ආත්මයෙන් අවසන් වන්නේ නැත. ඒ නිසාම එය අනාත්මවාදියි දුකට පත්වූ මිනිසාට දුකෙන් මිදීමට තමයි එම විමුක්තිය ලබාදුන්නේ. නිතරම මිනිසා මරණය ගැන මෙනෙහි කරන්නේ නම් අප කෙරෙහි පවත්නා තණ්හාව, ආශාව, නිරන්තරයෙන්ම දුරුවේ. යමක ඇලී ගැලී වෙලී පැටලී සිටීමෙන් නිවන් දකින්නට බැරි බව ද අනාවරණය කළේය.

බුදුරදුන් හේතුවක් නොමැතිව සිනාසෙන්නේ නැත. දිනක් බුදුරදුන් ට සිනා පහළ වූ සේක. මෙය ඉතාම විරල දුර්ලභ දෙයකි. දර්ශනයකි. ඒ අවස්ථාවේදි ආනන්ද හිමියන් විචාළේ “භවත් ගෞතමයනි, ‘ඔබ වහන්සේ සිනාසුණේ මන්ද’ කියාය. මී හරක් රෑනක් දැක සිනහ පහළ වූ බුදුරදුන්ගේ පිළිතුර වූයේ “මේ පෙර භවයේ සක්විති රජවරුය” යන්නයි. තවත් අවස්ථාවක “කඩීන්” දැක කීවේ “පෙර භවයේ මහා සිටුවරු” යන්නයි.

කිසියම් කුසලයකින් සක්විති රජවරු සිටුවරු වුවත් ආත්මයෙන් මිදීමට උත්සාහ නොගත් හෙයින් මීහරකුන් හා කඩින් බවට පත්වී ඇති බවයි. මේ අනුව මනුෂ්‍යාත්මයෙන් තිරිසන් ආත්මයට ප්‍රවේශ වන්නට කොතරම් අකුසල් සිත් පහළවන්නට ඇද්ද?

පෙර භවයේ කිසියම් කුසල බලයක හේතුවෙන් සක්විති රජවරු සිටුවරු වුවද ඒ තත්ත්වය තව දුරටත් රැකගන්නට හෝ වඩාත් දියුණු තලයකට සේන්දු නොවන්නට උත්සාහයක නොයෙදුණු ආකාරය මෙයින් වැටහේ.

මිනිසා කෙරෙහි පවත්නා තෘෂ්ණාව මෙයට මූලික හේතුවයි. තෘෂ්ණාව දුරු කරගන්නට උත්සාහයක යෙදෙන්නේ නැතිව තව තවත් තෘෂ්ණාව අතරට සේන්දු වීමේ ඵලයක් නොවේ ද? මී හරකුන් කඩියන් තත්ත්වයට පත්වීම.

මිනිසුන් වශයෙන් මේ පරම සත්‍යය අප අවබෝධ කරගෙන හෝ මේ දුක්බර ආත්මයෙන් අපට සැනසිල්ලක් අත්පත් කරගත හැකිය. පුද්ගලයා කොතරම් පොදි බැඳ ගත්තත් අවසානයේ මේ කිසිවක් රැගෙන යන්නේ නැත රැගෙන යන්නේ හොඳ හා නරක පමණි.

යහතින් සැහැල්ලුවෙන් තෘෂ්ණාව තුනී කොට කිසියම් පුද්ගලයෙකු ජීවත් වූවානම් එම පුද්ගලයාගේ ආත්මය ගැන අපට ගැටලුවක් ප්‍රශ්නයක් අර්බුදයක් මතු නොවේ හට නොගනියි.

මැදුම් පිළිවෙත

බුදුරදුන් යමක දැඩිව එල්බ නොගෙන ආධානග්‍රාහීව නොසිතා කාමසුඛල්ලිඛානු යෝගයත්, අත්තකිලමතානු යෝගයත් බැහැර කොට මැදුම් පිළිවෙතක් හෙළි කළේය. ජීවිතයට වඩාත් දුක් දීමත් වඩාත් සැපදීමත් මත සසරින් එතෙර වන්නට බැරි බව උන්වහන්සේ ප්‍රායෝගිකව අත්හදා බැලූහ. මේ අන්ත දෙක ඉඳුරාම පිටුදැක පුද්ගලයාට දරාගත හැකි මධ්‍යම ප්‍රතිපදාව ගෙනහැර දැක්වූහ.

වෙනත් කිසිදු ආගමක දහමක නොදැක්වෙන මේ මධ්‍යම ප්‍රතිපදාව මත යම් පුද්ගලයෙකු ගමන් කරන්නේ නම් සසරින් එතෙර වීම අපහසු කරුණක් නම් නොවේ. සා අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කොට එයින් තමන් අපේක්‍ෂා කරන විමුක්ති මාර්ගය නොලැබී ගිය විට සත්ත්වයාට ගැළපෙන දහම කුමක් ද යන්න තෝරා බේරා ගෙන චතුරාර්ය සත්‍යය ධර්මය හා ආර්ය අෂ්ටාංගික මාර්ගයත් දස පාරමිතා ධර්මයත් ලොවට හෙළිකොට ප්‍රථමයෙන්ම ඉසිපතනේ මිගදාය හිදී දෙවියන් බඹුන් ඇතුළු පස්වග මහණුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කර මුළු බුදු දහමම කැටිකොට පෙන්වා දීමෙන් අනතුරුව සිය ශ්‍රාවකයන් හැට නමක් අමතා කිවේ, මාගේ දහම සියලු සත්ත්වයාගේ විමුක්තිය උදෙසා දේශනා කරන්නටය. එක මඟ දෙදෙනෙකු නොගොස් එක් එක් කෙනා වෙන වෙනම මාර්ගවල ගොස් දුකට පිහිටවෙන්නැ’යි වදාළ අයුරු කෙතරම් ප්‍රසන්නද? කෙතරම් පරමාදර්ශි පිළිවෙතක් ද?

චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය – අත්තාය හිතාය සුඛාය දේව මනුස්සානං”

ආදි වශයෙන් දේශනා කොට එදා ගත් ඒ මහඟු ක්‍රියාමාර්ගය නිසා මහා කරුණාව නිසා සමාජයේ බොහෝ අයට සැලැසුණු සෙත සුළු පටු නොවේ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.