පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ
උපදේශක සභාවේ
සිරිසමන් විජේතුංග මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස ලංකාවට වැඩම කරවීම
පිළිබඳව දීපවංසය, මහාවංසය සහ සමන්ත පාසාදිකා යන පුරාණ ග්‍රන්ථවල සඳහන්
වී ඇති කරුණකි.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236 පසුව සිදු වූ මහින්දා ගමනයත් ඉන්
මාස හතරකට පමණ පසුව සිදු වූ සංඝමිත්තාගමනය හා ශ්‍රී මහා බෝධි ආගමනයත්
යන සිද්ධි දෙක ලංකා ඉතිහාසයෙහි ඉතාමත් වැදගත් එමෙන්ම අනුස්මරණීය
සිදුවීම් බවට විවාදයක් නැත. ඒ මගින් ඇති වූ ප්‍රභාවයට සම කළ හැකි
ඓතිහාසික පුවතක්ද අපේ ඉතිහාසයෙහි හමු නොවේ. එහෙත් මේ සිදුවීම් තුන එකක්
හැටියට මිස වෙන වෙනම සාකච්ඡා කිරීම කළ හැකි හෝ කළ යුතු ද නොවේ. ඒවා
සාකල්‍යයෙන්ම එකක් අනෙක හා සම්බන්ධය. දම්වැලක පුරුක් මෙන් ඒකාබද්ධය. එම
සිද්ධි වර්ගීකරණයක් කළ යුතුව නම් ‘මහින්දාගමනය’ ධර්මාවතරණයක් ලෙසිනුත්,
සංඝමිත්තා සහ බෝධි ආගමනය සංස්කෘතිකාවතරණයක් ලෙසින් ද හැඳින්වීම උචිතය.
මිහිඳු හිමියන් සමග දහමත් සංඝමිත්තා හා ශ්‍රී මහා බෝධි ශාඛාව සමග
සංස්කෘතික හාකිර්මික ශිල්පිය කලා ශ්‍රේනීන් පැමිනි හෙයිනි. (ශ්‍රී මහා
බෝධීන් වහන්සේ, ඉතිහාසය හා තදනු බද්ධ සංස්කෘතිය ආචාර්ය වැලමිටියාවේ
ධම්මරක්ඛිත හිමි පි. 88 (1991)
මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්මදූත පිරිස ලංකාවට වැඩම කළ බව අප රටේ
අතීත ඉතිහාස සම්ප්‍රදායෙහි පාලි සාහිත්‍යයෙහි සඳහන් වී ඇතුවාක් මෙන්ම
එම සිදුවීම පුරාවිද්‍යාත්මකව ද ඔප්පු වී ඇති ගිරි ලිපියක් අම්පාර
දිස්ත්‍රික්කයේ රජගලින් හමු වී ඇත. එහි මිහිඳු මහ රහතන් වහන්සේ සහ
ඉට්ඨිය තෙරුන්ගේ නාමයත් උන්වහන්සේලා ලංකාවට වැඩම කළ බවත් සඳහන් වී ඇත.
මේ අගනා සෙල්ලිපිද මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයා ලියූ
INSCRIPTIONS OF CEYLON වෙළුමෙහි අංක 468 වැනි
ගිරි ලිපියෙහි සඳහන් වෙයි.
“වල්ලිපුරම් රස සන්නස සහ හෙළ උරුමය”
සිරිසමන් විජේතුංග - පි. 214 (2003)
මහා වංසයේ දහතුන්වැනි පරිච්ඡේදයෙහි මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම
කරවීමට පෙර තම මව වාසය කළ වේදියගිරියට ගොස් එහි සිට ලංකාවට වැඩම කළ බව
සඳහන් වෙයි. එකල වේදිස ගිරිය මෙකල සාංචිය ලෙසින් සැලකේ.
එකල උපසපන් දොළොස් හැවිරිදි වූ මහනුවනැති ඒ මහා මහේන්ද්‍ර ස්ථවිර තෙමේ
උපාධ්‍යාය වූ මොග්ගලීපුත්ත තිස්ස තෙරුන් හා සංඝයා විසින් අනවනුලත් සේක්
ලක්දිව පහයනට කල් බලමින් මුට සිව රජ මහලුය. පුත්‍ර තෙමේ රජවේ යැයි සිතූ
සේක. ඒ අතර ඥාති වර්ගයා දකින්නට සිතා උපාධ්‍යායයන් වහන්සේ ද සංඝයාද වැඳ
පියරජු විචාල සේක.
යටකී තෙරුන්වහන්සේලා සතර දෙනා ද ඉට්ඨිය, උත්තිය, සම්බල සහ බද්ධසාල) ද
කැටිව සංඝමිත්තාපුත් ෂට් අභීඥ හා මහා සෘධි ඇති සුමන සාමණේරයන් ද ගෙන
නෑයන් සංග්‍රහ කරනව දක්බ්ණගිරි දනව්වට වැඩිසේක. ඉක්බිති එහි හැසිරෙන
උන්වහන්සේට සමසක් ඉක්මුණහ. ක්‍රමයෙන් මව් බිසවුන් වසන වේදිසගිරි නුවර
අවුත් මෑණියන් දුටු සේක. දේවි තොමෝ ප්‍රිය පුතු දැක පිරිස් සහිත
උන්වහන්සේ වළඳවා තමා විසින් කරවන ලද වේදිසිගිරි විහාරයට නැංවූහ.
(මහාවංසය 13 වන පරි. පි. 59 )
මහාවංසයේ ඉහත සඳහන් වන කරුණු වලින් මිහිඳු මහරහතන් වහන්සේගේ ඥාතීන් සහ
මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවීම සිදු කළ ස්ථානය ද එයින්
ප්‍රකාශ කෙරේ. මිහිඳු මහරහතන් වහන්සේගේ මව්තුමිය වේදිසාවේ සිටි ඉතා
ධනවත් සිටුවරයෙකුගේ දියණියකි. ඒ බව භාරතයේ ලියැවුණු ග්‍රන්ථවල ද සඳහන්
වේ. මිහිඳු මහ රහතන් වහන්සේගේ මව්තුමියගේ ගම වූයේ වේදිසාවය.
එම වේදිසාව මෙකල ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයට අයත් වන්නේ ය. අසෝක රජතුමා
විසින් එහි මුල්ම ස්තූපය (සාංචි) නිර්මාණය කරන ලදී. අසෝක රජතුමාව වේදිස
දේවිය මුණ ගැසී ඇත්තේ මගධ අධිරාජ්‍යයේ සිය පියාණන් වූ බින්දුසාර රජුගේ
කාලයේ දී අවන්තිරට පාලනය කළ ප්‍රාදේශීය පාලකයෙකු ලෙසින් සිටි සමයේ දී
බව මහාවංශයේ මෙසේ සදහන් වී ඇත.
ඒ අසෝක රජතෙමේ කුමාර කාලයෙහි සිය පියතුමා විසින් දෙන ලද අවන්තිරට පාලනය
කෙරෙමින් පෙර උදෙනි නුවර යන කල වේදිසා නම් නුවර නවාතැන් ගෙන එහිදී ම
ඇති සිටු කුලයෙහි උපන් දේවි නම් කුමරියක් මුණ ගැසී ඇය සමග වාසය කළේ ය.
ඕ තොමෝ එයින් ගැබ්ගෙන උදේනි නුවරදී යහපත් රූ ඇති මහින්ද නම් ඒ කුමරු
වැදුවාය. දෑ අවුරුද්දක් ඉක්ම සංඝමිත්තා නම් දුවක් ද වැදුවාය. මේ
කාලයෙහි ඒ බිසව් වේදිස නුවර වසන්නීය. (මහාවංසය පි. 59)
මිහිදු මහරහතන් වහන්සේ දිගු ගමනකට සූදානම් වන ඒ අවස්ථාවේ දි (ලංකාවට
වැඩම කරවීමට) සිය මව බැහැදැකීමටත් ඥ=ාතීන් මුණ ගැසීමටත් ගිය බව ඉහත
සඳහන් මහාවංස පුවතින් හෙළිවෙයි. අසෝක රජතුමා විසින් පළමුවෙන්ම සාදන ලද
සාංචි ස්තූපය පසු කාලයෙහි ශුංග රාජවංශිකයින් විසින් එහි තොරණ හා ඊට
සම්බන්ධ වූ මූර්ති කැටයම් ද නිර්මාණය කරන ලද බව පුරාවිද්‍යාත්මකව ඔප්පු
වී ඇතැයි පුරාවිද්‍යාඥයින් විසින් පෙන්වා දෙන කරුණකි. මිහිඳු මහරහතන්
වහන්සේ සහ එම දූත පිරිස වේදිසගිරියෙහි මාස හයක් පමණ ගත කරන අතරේ ඊට
පූර්ව කාලයෙහි මගධ අධිරාජ්‍යයේ පාටලිපුත්ත නන්ද කලක් වාසය කළ සේක. ඒ
කාලයේ දී ලංකාවෙන් ගිය තිස්ස රජුගේ අරිට්ඨ නම් අමාත්‍යවරයා ප්‍රමුඛ
පිරිස මිහිඳු මහරහතන් වහන්සේට මුණ ගැසුණු බව වංස කතාව විමසන විට
පැහැදිලි වේ.
මේ පිළිබඳව අදහස් දක්වන මෑතක දී අභාවප්‍රාප්ත මහාචාර්ය මැන්දින්
රෝහණදීර මහතා ප්‍රකාශ කරන්නේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ දූත පිරිස
ලංකාවෙන් දඹදිවට (මගධයට) ගිය අරිට්ඨ ප්‍රමුඛ දූත පිරිස පාටලීපුත්ත
නගරයේ පස් වසක් කාලයක් තිස්සේ ඔවුනොවුන් ආශ්‍රය කරමින් වාසය කළ බවය. ඒ
අනුව අනාගතයේ දී සිදුවන ලංකාවේ ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳව දෙරටේ දූත
පිරිස් විසින් කල්තියාම සැලසුම් කරන ලද්දේයැයි ඔහු මෙසේ සඳහන් කරයි.
‘ඇතැම්විටෙක පොසොන් පෝයදා දෙවනපෑතිස් රජතුමා හතළිස් දහසක් සෙනග
පිරිවරාගෙන උත්සවශ්‍රීයෙන් මිහින්තලය වෙතට ගමන් කළේ මිහිඳු හිමියන්
පිළිගැනීම සඳහා නොවිය හැකිද? උන්වහන්සේ පොසොන් පුර පසළොස්වක දා වන විට
ලක්දිවට පැමිණෙන බව දූත පිරිස් දෙක විසින් පාටලීපුත්‍ර නගරයේදීම
කල්තියා සැලසුම් කළහයි නොසිතිය හැකි ද? (දහම් අමා මිහිඳු ජයන්තිය විශේෂ
කලාපය පි.25 (1992) )
ඒ අනුව විමසන විට මහින්දාගමනය අහඹු සිදුවීමක් නොවන බව පැහැදිලි වන
කරුණකි. ඒ සඳහා දීර්ඝ කාලීන සැලසුමක් ද පසුබිමක් ද තිබුණු බව මෙහිදී
විශේෂයෙන් සඳහන් කළ යුත්තකි.
තුන්වන ධර්ම සංඝායනාවෙන් පසුව සිදු කරන ලද මෙම ධර්මදූත මෙහෙවර සඳහා
ධර්මදූත කණ්ඩායම් විවිධ දේශවලට යැවූ බව මහාවංසයෙහි සඳහන් වේ. ලංකාවත්
ඇතුළුව මෙම දූත කණ්ඩායම් අටක් පිළිබඳව මහා වංසයේ සඳහන් වෙයි. එක් එක්
කණ්ඩායම් සඳහා ප්‍රධාන භික්‍ෂූන් වහන්සේ නමක් ද විය. මහාවංසයේ සඳහන් වන
ආකාරයට එම ධර්මදූතයින් පිළිබඳ තොරතුරු අනුව එම කණ්ඩායම් අටෙහි ප්‍රධාන
භික්‍ෂූන් වහන්සේලා මෙසේ ය.
1. කාශ්මිර ගන්ධාර රට – මජ්ඣන්තික ස්ථවිරයෝ
2. මහිසමණ්ඩලය (මයිසෝර්) – මහා දේව ස්ථවිරයෝ
3. වනවාස දේශය – රක්ඛිත ස්ථවිරයෝ
4. අපරන්තය (සුප්පාරකවරයා අවට ධම්මරක්ඛිත ස්ථවිරයෝ)
5. මහාරාෂ්ට්‍රය – මහා ධම්මරක්ඛිත ස්ථවිරයෝ
6. හිමාලය ප්‍රදේශය – මජ්ඣිම ස්ථවිරයෝ
7. ස්වර්ණභූමිය – (බුරුමය, මියෙන්මාර්, සෝන සහ උත්තර ස්ථවිරයෝ)
8. තම්බපන්නි, ලංකාව මිහිඳු මහරහතන් වහන්සේ.
මහාවංසයේ සඳහන් වන මෙම ධර්ම දූත පිරිස පිළිබඳව තොරතුරු අසෝක රජු
විසින් භාරතය පුරා පිහිටුවා ඇති ගිරි ලිපි හා ටැම් ලිපි වල සඳහන් නොවීම
නිසා බොහෝ දෙනෙකු මුල් කාලයේ දී මෙම කරුණ පිළිගැනීමට මැලි වූහ. එසේ
වුවද ඉහතින් සඳහන් කළ සාංචි දාගැබේ කරඬුවක තිබී හමු වූ ක්‍රි.පු. 3 වන
සියවසේ දී ලියන (බ්‍රාහ්මී අක්‍ෂර වලින්) සපුරිස මජ්ඣිමස යනුවෙන් ලියා
තිබීමෙනුත් එම කරඬුවේ පියනයෙහි ‘සපුරිස කාසප ගොතස හේමවතාචරිය’ යනුවෙන්
ලියන ලද නාමයන් මහාවංසයේ සඳහන් වන හිමාලයට වැඩම කළ මජ්ඣිම තෙරුන්ගේ
ධාතු එහි නිදන් කර තිබූ බව පැහැදිලිය. දීපවංසය අනුව කාසප ගොත්ත හිමිද ඒ
හිමියන් සමඟ වැඩම කළ බව සඳහන ද එයින් ඔප්පු වේ.
එමෙන්ම තුන්වන ධර්ම සංඝයනාවේ මූලිකත්වය දැරූ මොග්ගලිපුත්ත තිස්ස තෙරුන්
වහන්සේගේ නාමය සඳහන් වන සාංචි දාගැබකින් හමු වූ ධාතු කරඬුවක ‘සපුරිස
මොගලිපුතස’ යනුවෙන් සඳහන් වන්නේ මොග්ගලිපුත්ත තිස්ස තෙරුන් වහන්සේ බව
පුරාවිද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත.
සාංචි ස්තූප වලින් හමු වූ මෙම ධාතු කරඬු වල බ්‍රාහ්මී අක්‍ෂරවලින් ලියන
ලද එම නාමයන් නිසා අප රටේ මහාවංසයෙහි සඳහන් වන ඓතිහාසික තොරතුරු කෙතරම්
නිවැරදිද යන්නද සනාථ වන්නේ ය.
ලංකාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ සංඝමිත්තා තෙරණිය ද අසෝක රජතුමා
හා සබඳතාවය ඉතා ප්‍රකටය.
සාංචි පුදබිමේ සිට ලංකාවට වැඩම කළ මිහිඳු මහරහතන් වහන්සේ නිසා අප රටේ
ශිෂ්ටාචාරය අමුතු මගකට යොමු වූයේ ය. එසේ වූයේ ඒ වන විට අපරට රජතුමාමෙන්
ජනතාවද ඉතා දියුණු භාවයකට පත් වී සිටි නිසාය. දේවානම්පියතිස්ස රජතුමාගේ
බුද්ධිය පරීක්‍ෂා කිරීම පිණිස මිහිඳු මහරහතන් වහන්සේ විසින් රජුගෙන්
ඇසූ ප්‍රශ්න වලට දුන් පිළිතුරු සැබැවින්ම බුද්ධිමත් භාවයෙන් යුක්තය. එය
අප රටේ එකල ජනතාවගෙන් අන් බහුතර සංඛ්‍යාවක යේ බුද්ධිමහිමය නියෝජනය වන
අවස්ථාවක් ලෙසින් සැළකිය හැකි ය. අප රටේ ගල්ලෙන් සුද්ධ පවිත්‍ර කොට
ඒවායේ බ්‍රාහ්මී අක්‍ෂරයෙන් ලියූ ලෙන් ලිපි සංඛ්‍යාව ගැන විමසා බලන විට
අප රටේ ජනතාවගේ එකල සාක්‍ෂරතාවය ද ඉතා ඉහළ මට්ටමක පැවති බව එයින් මනාව
පැහැදිලි වේ. මහින්දාගමනය නිසා අපගේ පැවති ශිෂ්ටාචාරයට බෞද්ධ පදනම
වැටුණි. ඒ පදනම අද තෙක් මේ රටේ පැවති ඉදිරි අනාගතයේ දීත් ඒ ස්වභාවය රැක
ගැනීම අප හැමගේම යුතුකම වන්නේ ය. |