Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් දායාද වූ බුදුදහම උන්වහන්සේ ලංකාවට පැමිණීම බුද්ධාගම ගෙන ඒමක් බවට පමණක් ලඝුකොට නොසැලකිය යුතුයි. එසේ සැලකීම මිහිඳු මහ රහතන් වහන්සේ කළ මහා සත්කාර්යය අඩු තක්සේරුවකට ලක් කිරීමක්. මිහිඳු හාමුදුරුවනගෙන් දායාද වූයේ බුද්ධාගමත් සමඟ සංස්කෘතියක්. මේ රටේ අපටම ආවේණිකව බිහිවුණ සංස්කෘතිය ඉන්දියාවේ හෝ වෙනත් කිසිඳු රටක නැහැ

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාගමනය කළේ නොදියුණු ගෝත්‍රික සමාජයකට නො වීම සැලකිය යුතු කරුණක්. ලංකාවේ රාජ්‍ය පදවිය තිබීම රාජ්‍ය පාලනය තිබීම පණ්ඩුකාභය රජතුමා සහ පණ්ඩුල අමාත්‍යවරයා සිටීම ග්‍රාම නිර්ණය කර තිබීම, නගර නිර්මාණය කර තිබීම, සීමා මායිම් සලකුණු කර තිබීම, කෘෂිකර්මාන්තය දියුණුකර තිබීම, යුද හමුදාවක් දළ වශයෙන් හෝ තිබීම යන ඉහත සඳහන් මූලික අවශ්‍යතාවලින් සපිරුණු සමාජයකට මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළා.

නොදියුණු ගෝත්‍රික සමාජයක් ලංකාවේ නොපැවතුණ බවත් එය කොතරම් දියුණුද යන්න නගර නිර්මාණය කර තිබීම සහ ග්‍රාම සීමා මායිම් සලකුණු කර තිබීම වැදගත් සාක්ෂියක් කොට සැලකිය හැකිය. ආසියානු කලාපයේ කිසිම රටකට නොදෙවෙනි තරමටම ලංකා ඉතිහාසයේ දැවැන්ත දියුණුවක ආරම්භය සනිටුහන් වී තිබුණා. දේවානම්පියතිස්ස රජතුමා මුව දඩයමේ ගිය කතා පුවත පසුබිම් කරගෙන අප වැරැදි නිගමනයකට එළඹ තිබෙනවා. රජතුමා වනචාරී වූ ජීවිතයක හිටියා ද? මිනිසුන් සත්තු මරාගෙන කමින් වූ ජීවත් වුණ ම්ලේච්ඡ පහත් සමාජයක් ලංකාව තුළ පැවැතුණේ නැහැ. දේවානම්පියතිස්ස රජතුමා පංචකකුධ භාණ්ඩයන්ගෙන් සමන්විත ද්විතීයාභිෂේකය ලබද්දී කිසියම් ආකාරයක නෛතික රාජ පදවියක් ලබාපු තැනක ලංකාව පැවතුණා. මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය හැඳින්විය යුත්තේ ආර්ථික වශයෙන්ද, කෘෂිකාර්මික වශයෙන්ද, දියුණුවට පත්වෙමින් තිබූ නව දිවයිනක සංස්කෘතික හා ආගමික ප්‍රබෝධයේ සලකුණක් හැටියටයි.

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයේ ඊළඟ පරිච්ඡේදය ලෙස සැලකිය යුත්තේ, ලෝකයේ සෑම රටකටම ධර්මාශෝක රජතුමා ධර්ම දූතයන් පිටත් කළත් ලංකාවට පැමිණි ධර්ම දූතයා බලාපොරොත්තු වූයේ ධර්මප්‍රචාරය පමණක් නොවේ. උන්වහන්සේ කළේ ධර්මප්‍රචාරය පමණක්ම නොවෙයි. ලංකාව විශේෂිත බෞද්ධ රාජ්‍යයක්. මේ විශේෂිත රටේ හාමුදුරුවරු සතුව පවතින බලය සහ බෞද්ධකම වෙනත් කිසිදු රටක මෙම ආකෘතියෙන් දැකිය නොහැකි යි. ඒක ඇති කළේ මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු හිමියන් ලංකාගමනය කර ධර්ම දේශනා පැවැත්වූ විලාශයයි. බුදුහාමුදුරුවන් ඉන්දියාවේදී ධර්ම දේශනා කළ විලාසයයි අතර වෙනස්කමක් දක්නට තිබෙනවා. ඒ වෙනස් කමෙන් අප වැඩියෙන් සමීප වන්නේ මිහිදු හාමුදුරුවන්ට. ලංකාවට ආවේණික බුද්ධ ශාසනයක් නිර්මාණය කළේ මිහිඳු හාමුදුරුවන්.

බමුණන්ට බණ දෙසූ බුදුහාමුදුරුවන්ට වඩා දෙවනපෑතිස් රජු ඇතුළු ලාංකිකයන්ට ධර්ම ප්‍රචාරය කළ මිහිඳු හාමුදුරුවන්ගේ ක්‍රමවේදය වෙනස්. ඒ නිසා ලක්දිව ශ්‍රී ලාංකික භික්‍ෂු ශාසනයක් සමඟ දැවැන්ත සංස්කෘතියක් නිර්මාණය වුණා. නිවාස කර්මාන්ත කෘෂිකර්මාන්ත හා වෙනත් කර්මාන්ත විශාල ප්‍රබෝධයකින් නැගී සිටිනවා. වැව කියන කෘෂිකාර්මික ජල ගබඩාව, ලෝකයේ කොහේවත් නැති සංස්කෘතියක් බවට පත්වණා. වැව්වලට වැඳ වැඳ හිටපු වැව් ආශ්‍රයෙන් ජීවත්වුණ වැව් පිළිබඳව දැනගෙන හිටිය මිනිස්සුත් මිහිඳු හාමුදුරුවන්ගෙන් පසුව වැව ආගමික කළා. අපේ රටේ තිබෙන වැව් වලට “වාපි” නමින් පාලි වචනයක් තිබුණත් එය ලංකාවේ හමුවන වචනයක් මිසක් ඉන්දියාවේත් වැව් සංස්කෘතියක් නැහැ. ලෝකයේ වැව් වාගේ ස්වාභාවික ජල ගබඩා තිබෙන්න පුළුවන් වුවත් මෙලෙස වැව් සංස්කෘතියක් තිබුණේ නැහැ. ඒ වැව් සංස්කෘතියට මිනිස්සු හුරුවෙන්නේ එදා ඉදළම මහමුහුදෙන් වටවුණු මේ රට දිවයින තුළම ස්වයංපෝෂණය වෙන්න සිදුවෙලා තිබුණා. මේ රට තුළ ස්වයං සංවර්ධනයක් ඇතිකිරීම සඳහා වුවමනා කරන වෑයමක් ලංකාව තුළ තිබුණා.ඒ නිසා තමයි ලංකාවේ වැව්වලින්ම කෘෂිකාර්මික කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ. ගංගා හරහා ගලාගෙන යන ජලය හැමදාම නොපවතින නිසා තමයි මේ වැව් හදන්න පටන් ගත්තේ.

මිනිස්සු වැව් හැදුවා, ගල් කැටයම් කැපුවා, ගල් කුළුණු හැදුවා, ගොඩනැගිලි ඉදිකිරීම් කළා. මේ සියලු දේවල් මිනිසුන්ගේ අතපයේ මහන්සියෙන් කළ වැඩ. පරණ සිංහල වෙදකමේ අදටත් ඉතිරිවෙලා තිබෙන්නේ කැඩුම් බිදුම් සහ සර්ප වෙදකම මේ දෙක පමණක් ඉතිරිවෙලා වැඩියෙන්ම දියුණු වුණේ. මිනිස්සු කැලේ ආශ්‍රිතව ගොවිතැන් බත් සහ මේ ඉදිකිරීම් කිරීම, සිදුකිරීම නිසයි. වැව් තනන විට තාවුල්ල සාදන විට ගොඩනැගිලි ඉදිකරන විට ගල්කැටයම් කපනකොට අතපය කැසීමේදි ප්‍රතිකාර කිරීමට යාමෙන් දියුණු කැඩුම් බිඳුම් වෙදකමක් බිහිවුණා. මිනිස්සු කැලෑව ආශි‍්‍රතව ජීවත් වූ නිසා සර්ප වෙදකම බිහි වුණා. මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කිරීමෙන් දායාද වූ බුදුදහම උන්වහන්සේ ලංකාවට පැමිණීම බුද්ධාගම ගෙන ඒමක් බවට පමණක් ලඝුකොට නොසැලකිය යුතුයි. එසේ සැලකීම මිහිඳු මහ රහතන් වහන්සේ කළ මහා සත්කාර්යය අඩු තක්සේරුවකට ලක් කිරීමක්. මිහිඳු හාමුදුරුවනගෙන් දායාද වූයේ බුද්ධාගමත් සමඟ සංස්කෘතියක්. මේ රටේ අපටම ආවේණිකව බිහිවුණ සංස්කෘතිය ඉන්දියාවේ හෝ වෙනත් කිසිඳු රටක නැහැ. එයට හේතුව වන්නේ කෘෂිකාර්මික දියුණුවක් හා නැමියාවක් තිබීම, ආර්ථික දියුණුවක් හා නැමියාවක් සදහා දැනුවත් බවක් තිබුණා. රාජ්‍ය පරිපාලන ක්‍රමවේද පිළිබඳ දැනුවත් බවක් තිබුණත් මෙම සංස්කෘතික භාවය පිළිබඳ දැවැන්ත ඌණතාවක් තිබුණා. ගස්වැල් වලට වදින යක්‍ෂයන් අසංවිදිත ආගම් සම්ප්‍රදායක් මේ වන විට ලංකාව තුළ පැවතුණා. එය අසංවිදිත සම්ප්‍රදායක් තිබීමම මිහිඳු හාමුදුරුවන්ට ලොකු වාසියක් වුණා. සංවිධිත ආගමක් නිර්මාණය කරන්න. කිසිම සංවිධානාත්මක ආගමක් තිබුණෙ නැහැ. පොඩි පොඩි ඇදහීම් මිසක් දර්ශනයක් තිබුණෙ නැහැ. මිහිඳු හාමුදුරුවන් සාර්ථක වීමට හේතු වුණා . පළමු කාරණය ලෙස සංවිදිත ආගමක් නොතිබීම සැලකිය හැකියි. මෙම සංවිධිත ආගම ඉතාමත් සංවිධිත ආගමක් වීමම ප්‍රධාන සාධකයක් වුණා. මිහිඳු හාමුදුරුවො ඉතාමත්ම සංවිධානාත්මකව කිසියම් ක්‍රමවේදයකට කළමනාකරණයකට අනුව කටයුතු කිරීම ධර්මප්‍රචාරය වඩාත් සාර්ථක වන්නේ පහළ සිට ඉහළට නොවෙයි . ඉහළ සිට පහළට වීම තෙවන කාරණාව ලෙස සැලකිය හැකියි. අසංවිදිත ආගමක් නො තිබුණ රටක සංවිධිත ආගමක් ලෙස රාජ්‍ය නායකයා සමීපයේ සිට රාජ්‍ය නායකයාගේ බලය පාවිච්චි කිරීම ඉතාම වැදගත් ක්‍රමෝපායක් ලෙස සැලකිය හැකියි. එය මිහිඳු හිමියන්ගේ සාර්ථකතවයේ ඊළඟ සළකුණ වුණේ එයයි.

සිව්වන කරුණ ලෙස මේ රටේම කුමාරයෙක් දේශකයා බවට පත්කිරීම. මිහිඳු හාමුදුරුවන් ලංකාවට පැමිණිලා පළමුවෙන්ම තමන් දේශකයා වුණත් ටික දවසකින් මේ රටේම කෙනෙක් දේශකයා බවට පත්කළා. අරිට්ඨ කුමාරයා මහණ කරලා වැඩි බලතල පැවරුවා. කිසියම් ප්‍රවේශයක් ගන්න කෙනෙක් එය ස්වායත්ත කිරීම හරිම වැදගත්.

මිහිඳු හාමුදුරුවන් ලංකාවට පැමිණෙන විට ගෙනාවේ එක ජාතියක මිනිසුන් පමණක් නොවෙයි. මිහිඳු හාමුදුරුවන් ලංකාවට වඩින විට මේ පිළිබඳව කිසිම දෙයක් නොදන්න පිරිසක් නොවෙයි ලංකාවේ හිටියේ. සමහර විට රාජ්‍ය තාන්ත්‍රිකව දේවානම්පියතිස්ස සහ ධර්මාශෝක රජු අතර තිබූ ගිවිසුමක ප්‍රතිඵලයක හැටියට වැඩම කළා වෙන්න පුළුවන්.

ඉන්දියාවේවත් අපේ තරම් දැහැමි සම්ප්‍රදායක් තිබුණේ නැහැ. චෛත්‍ය තිබුණත් එය මේ රටේ ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. අපේ දාගැබේ අපට ආවේණික ලක්‍ෂණවලින් සමන්විත වෙනවා.

පොළොවේ අඩකවයක හැඩයට පස් කැණීමෙන් වැවක් නිර්මාණය කරගත්තා සේම එම හාරන පස් පොළොව මතුපිටට දමා උඩට සැදෙන අඩකවය උපයෝගී කරගෙන දාගැබ සාදාගන්නවා. පොළොව යටට හාරාගන්නා අඩකවය සහ එම අඩකවයට අයත් පස් පොළොව මතුපිටට දැමීමෙන් සෑදෙන අඩකවය උපයෝගී කරගෙන වැවයි,, දාගැබයි සංකල්පය නිර්මාණය වෙනවා. එය නිකම්ම අඩකවයක් හැඩයට නොගෙන එය ලස්සනට කැටයම් කරල, කොත තියලා, දේවතා කොටුව හදල, සංස්කෘතික ලක්‍ෂණවලින් සමන්විත කළාට පසු මෙම අඩකවයෙන් හද පෝෂණය වෙනවා. යටට හෑරූ අඩකවය වූ වැවෙන් සමස්ත ජාතියම පෝෂණය කළා. වැවකට බසින විට වැවට අත්දෙක තියලා ජලයට වන්දනා කිරීමට තරම් වැව සංස්කෘතික අංගයක් බවට පත් වුණා. වැව කෙතරම් පූජනීය ලෙස සැළකුවාද යන්න පිළිබඳව වැවෙන් පළාතක් හැදින්වීමෙන්ම පැහැදිලි වෙනවා. දිගම වැව දීඝවාපිය වුණා. මහවැව මහාවාපිය වුණා. මේ දෙකෙන්ම පළාතක් නියෝජනය වුණා. යට අඩකවය වූ වැව් සමඟ වෙනම සංස්කෘතියක් බිහිවුණා. උඩ අඩකවයෙන් නිර්මාණය වුණේ ගල්, වැලි, පස් වලින් දාගැබක් සාදාගෙන මිනිස්සු ඒකට වැන්දා. එහි ධාතූන් වහන්සේ තැන්පත් කරලා, ගාථා හදලා, මල් තියලා වටේට සිවුරක් පොරවල , කවුරුත් පූජා හදළ, කොත පිළිබඳව වෙනම සම්ප්‍රදායක් කොත් කැරැල්ල පිළිබඳ වෙනම සම්ප්‍රදායක්, දේවතා කොටුව, හතරැස් කොටුව ධාතු ගර්භය වැනි එයට අඅදාළ ඉංජිනේරු තාක්‍ෂණය , එයට අදාළ ශිල්පීන් ප්‍රමාණය වැනි විශාල සංස්කෘතියක් නිර්මාණය වුණා.

ඉන්දියාවේ දාගැබ් සම්ප්‍රදාය තිබුණේ මිනි වළලලා. ඒ මත චේතිය හැදුවා. ඉන්දියානුවො අදටත් ටජ් මහල් පුදනවා. අපේ රටේ එවැනි සම්ප්‍රදායක් නැහැ. අපේ රටේ සොහොන් සොහොන් වශයෙන්ද චෛත්‍ය වශයෙන්ද තිබෙනවා. චෛත්‍ය සඳහා බුදුහාමුදුරුවන්ගේ ශාරීරික ධාතුන් වහන්සේලා යොදාගත්තා. ධාතුන් වහන්සේලා ඉවර වුණාට පසුව ධර්ම ධාතු හදා චෛත්‍යවල තැන්පත් කළා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය තඹපත්වල, රන්පත්වල ලියා තඹ පත් පොඩි කැබලිවලට කඩා එය ධාතුන් වහන්සේලා ලෙස නම් කර ගත්තා. එය ධර්මධාතු නමින් හැදින්වුවා.

ලංකාවේ ධර්ම ප්‍රචාරය සාර්ථක වීමට හේතු වූයේ මිහිඳු මහ රහතන් වහන්සේ ධර්මය පමණක් ප්‍රචාරය කළා නොවීම නිසයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.