රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ග මහා පණ්ඩිත,
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති, ග්‍රන්ථ විශාරද, මහෝපාධ්‍යාය,
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක
ගාල්ල, මලිගස්පෙ ශ්‍රී සුභද්‍රාරාම පුරාණ විහාරාධිපති
පල්ලත්තර සුමනජෝති නා හිමි
ථෙරවාදී භික්‍ෂූන් ගේ තෙවන ධර්ම සංගයනාවෙන් පසු අශෝක අධිරාජයාගේ
සහායයෙන් මොග්ගලිපුත්ත තිස්ස තෙරුන් ප්‍රමුඛ සංගිති කාරක තෙරවරුන්
විසින් රටවල් නවයකට බෞද්ධ ධර්ම දූත කණ්ඩායම් යැවූ බව අපි දනිමු.
බුදුන්ගේ පිරිනිවීමෙන් වසර 236 ට පසුව දඹදිව සිට මෙරටට වැඩිය මිහිඳු මා
හිමියන් ප්‍රමුඛ දූත පිරිසට ප්‍රත්‍යන්ත දේශයක උපසම්පදා කර්මය සිදු
කිරීමට අවශ්‍ය උපසම්පන්න භික්‍ෂූන් පස් නමකින් සමන්විත වූහ. පැවිද්ද
වැඩිහිටියන්ට පමණක් නොව කුඩා අයටත් සුදුසු බව බුදු දහම ගැන නොදත් අපරට
වැසියන්ට අවබෝධ කිරීම සඳහා සත් හැවිරිදි සුමන සාමණේර නමත් ගිහි උපාසකයා
පිළිබඳ හැඳින්වීම සඳහා භණ්ඩුක උපාසකතුමාත් යන සත් දෙනකුගෙන් මේ දූත
පිරිස සමන්විත වූහ.
අනුරාධ නගරයට ආසන්න අම්බස්ථලයට වැඩම කළ බෞද්ධ ධර්ම දූත පිරිස මුණ ගැසුණ
දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මා හිමියන් සමඟ කළ සාකච්ඡාවෙන් පසු තම
මිත්‍ර අශෝක අධිරාජයා විසින් මෙයට පෙර තමාට දන්වා එවූ පරිදි තමාගේ රටට
එවන ලද බුදුන්ගේ ශ්‍රාවක පිරිස බව ‘සමනා මයං මහාරාජ ධම්මරාජස්ස සාවකා,
තවෙව අනුකම්පාය ජම්බු දීපා ඉධගතාඞ යි මහාවංසය සඳහන් කරන පරිදි මහරජ අපි
ධර්මරාජයන් වූ බුදුන්ගේ ශ්‍රාවකයෝ වෙමු. නුඹ කෙරේ අනුකම්පාවෙන් අපි
මෙහි පැමිණියම්හයි මිහිඳු හිමි කී විට රජුගේ සැක බිය දුරුව ප්‍රඥාව
සම්ප්‍රයුක්තව උන්වහන්සේ ළඟා වැද වැටුණි. චුල්ලහත්ථි පදොපම සූත්‍රයෙන්
දෙසූ ධර්මය අසා බෞද්ධයන් වූ රජු ඇතුළු පිරිස මිහිඳු මා හිමියන්ට සිය
දහම මෙරට ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පසු බිම සකසා දුන්නේ ඉමහත් භක්තියෙනි.
බුද්ධිමත් පාලකයා යන මඟ ගමන් කළ බුද්ධිමත් ලංකා ජනතාව පසුදා සිට සියයට
සියයක්ම බෞද්ධාගම වැළඳ ගන්නේ බල කිරීමක් හෝ පෞද්ගලික වාසියක් නිසා හෝ
බියට පත්ව හෝ නොවේ. හුදෙක් ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් මෙන්ම අවබෝධයෙනි.
සාන්දෘෂ්ටික විපාක දකිමිනි. එදා හෙළ දනෝ එතරම්ම බුද්ධිමත් ශිෂ්ට
ජාතියක් වූහ.
බුදු දහමේ උගන්වන මූලික ප්‍රතිපත්ති වන පස් පවින් වැළකීම එදා මෙරට
වැසියන්ගේ සිත් සුමඟට හැරවීමට අතිශයින් ඉවහල් වූවා නිසැකය. එමෙන්ම
කරුණාව, මෛත්‍රිය, සමානාත්මතාව, දැහැමි ජීවිකාව කලා රුචිකත්වය,
සමානාත්මතාව, නිහතමානිත්වය, පරිත්‍යාගශීලී බව, අන්‍යායාගේ දුක සැප දෙක
හඳුනාගෙන නිසි පරිදි ඔවුනට පිහිටවීම, චාම් පැවැත්ම, වැනි උසස්
ශිෂ්ටාචාර ගුණයන්ගෙන් සමන්විත එකම ආගමක් විශ්වාස කරන එකම ජාතියක්
වශයෙන් හැදී වැඩී ලොව සභ්‍යත්වයෙන් හා සංස්කෘතියෙන් විශිෂ්ටම ජාතියක්
බවට පත්වන්නට එදා අපට හැකි වූයේ බුදුදහම නිසයි. මිහිඳු මා හිමියන්
මෙරටට පැමිණෙන විට බුදුන් වහන්සේගේ ලංකාගමන් තුනේ පටන් දේශීය වශයෙනුත්
විජයාගමනයේ සිට මහින්දාගමනය දක්වා විදේශීය වශයෙනුත් එවකට මෙරට වාසය කළ
සියලු ජාතීන් අතර සමහරු බෞද්ධයෝ වූහ. සමහරු බුදු දහමේ ආභාෂය ලැබුවෝ
වූහ. සමහරු විවිධ විශ්වාස ඇත්තෝ වූහ. මේ ආදී වශයෙන් විවිධ ආගම් හා
දෘෂ්ටි වැළඳ ගෙන සිටි ජනතාව අතරට මිහිඳු මා හිමියන්ගේ වැඩමවීම පූර්ණ
චන්ද්‍රයාගේ පහළ වීමක් බඳු විය. පාලකයාගේ සිට ගැමියා තෙක් සමස්ත ජනතාව
බුදු දහම පිළිගන්නේ අවිවාදයෙනි. ජාතියේ එම ඓතිහාසික සිද්ධිය සිදු වූයේ
අද වැනි පොසොන් පුර පෝ දිනකයි. ඒ වන විට නොයෙක් ගෝත්‍රවලට බෙදී නොයෙක්
දෘෂ්ටි අනුගමනය කළ දේශීය විදේශීය වශයෙන් බෙදුණු ලාංකික ජනතාව එකම සිංහල
ජාතියක් බවට මෙන්ම එකම ආගමක් (බුදු දහම) පිළිගත් එකම දේශයක වසන එකම
පාලකයකුට යටත් ස්වාධීන ස්වෛරී ජාතියක් බවට පත් වූහ. මේ ජාතික බැම්ම
කැඩීමට පසු කලෙක මෙරට ආක්‍රමණය කළ යුරෝපීය ජාතීන්ටවත් අසල්වැසි
ඉන්දියාවට වත් හැකි වූයේ නොවේ. එදත් අදත් මේ බැම්ම කඩන්නට ඔවුන් උත්සාහ
කළත් එම උත්සාහය සාර්ථකව ඇත්තේ දසම කීපයකි.
මිහිඳු මා හිමියන් මෙරටට බුදු දහමත් සමග ත්‍රිපිටක ධර්මයත් පාලි
භාෂාවත් සර්වඥ ධාතූත් ගෘහ නිර්මාණ ශිල්පඉන් ප්‍රථම අවස්ථාවේම ගෙනාහ.
ලංකාවට පැමිණි මිහිඳු මා හිමියන්ට මුලදී වාසය කරන්නට සිදු වූයේ ගල්
ලෙන්වලයි. භික්‍ෂුවාසය සඳහා විහාර තැනුනේ ඉන්පසුවයි. විහාර නම්
සංඝාවාසයි. අනුරාධපුරය කේන්ද්‍ර කරවගෙන ඒ අවටත් දිවයින පුරාත්
ක්‍රමයෙන් ඉදිවුණ ආරාම ලෙන් වලට අමතරව සංඛ්‍යාවේ වර්ධනයන් සමග අති
විශාල විය. මේ දෙපක්‍ෂය පසු කලෙක අරණ්‍යවාසී, සහ ග්‍රාමවාසී යයි
දෙකොටසකට බෙදුනි. මුන්වහන්සේගෙන් ග්‍රාමවාසී භික්‍ෂූන් හට විශාල
වගකීමක් පැවරිණ. ජාතියේ මුර දේවතාවන් වශයෙන් රජුගේ පටන් ගොවියා තෙක්
හැම දෙනාම හැදී මේ කාර්ය භාරය පැවරුණේ ග්‍රාමාවාසි භික්‍ෂූන් වහන්සේටය.
ආධ්‍යාත්මික වශයෙන් මිනිසා නිවන වෙත ළඟා කරවීමත් ගිහියකු වශයෙන් සාර්ථක
බෞද්ධ දිවි පෙවෙතක් කරා ඔහු යොමු කිරීමත් ග්‍රාමවාසී භික්‍ෂුන් සතු
කාර්යය විය. ඒ සඳහා මිනිසා හැදීමේ සියලු උපකරණ බුදු දහමිනුත් මෞර්ය
ශිෂ්ටාචාරයෙනුත් මෙරටට ලැබී තිබිණි. මිනිසා පස් පව්, දස අකුසලක් වලින්
වළකා ගිහියකු වශයෙන් හෝ පැවිද්දකු වශයෙන් හෝ ප්‍රතිපත්ති පුරා
ආධ්‍යාත්මය දියුණු කොට ගෙන නිවනට පැමිණ වීමේ කාර්යය එදා භික්‍ෂූන්ගේ
මුඛ්‍ය පරමාර්ථය විය. ඒ කාර්යය කරන ගමන් සාර්ථක ගෘහ ජීවිතයට ද ඔහු යොමු
කිරීම භික්‍ෂුව සතු අනෙක් වගකීම විය.
මේ උදාර කාර්ය භාරය නොපිරිහෙළා ඉටුකිරීමට පළමුව භික්‍ෂුව උගත් කමිනුත්
ආධ්‍යාත්මික ගුණවර්ධනයෙනුත් සමන්විත විය යුතු ය. ඒ අනුව එදා භික්‍ෂුන්
භාෂා ශාස්ත්‍ර මෙන්ම ධර්මයද මැනවින් උගත යුතු විය. එමෙන්ම මිනිසා
ධාර්මික රැකීයාවක් සඳහා යොමු කළ යුතු විය. බුදුන් වදාළ දැහැමි රැකියා
නම් කෘෂි කර්මය, වෙළඳාම, ගව පාලනය, රාජ්‍ය සේවය, සහ ගෘහ කර්මාදිය වෙයි.
පාලකයාගේ කාර්යය වූයේ දානය, පි‍්‍රයවචනය, අර්ථ චරියාව හා සමානාත්මතාව
යන සතර සංග්‍රහ වස්තු වලින් ජනයා සතුටු කරමින් පාලනය කිරීමයි. මේ සඳහා
පාලකයාගේ සිට ගොවියා තෙක් සකල ජනතාවට අවශ්‍ය උපදෙස් දුන්නේ හාමුදුරුවෝ
ය. වැව් අමුණු, ඇළ දොළ, ආදී වාරිමාර්ග මෙන්ම සුවිශාල කෙත් වතු ඉදි වූයේ
හාමුදුරුවන්ගේ උපදෙස් අනුවය. සිව් සඟරාවතින් රට පාලනය කරන හැටි පාලකයාට
ඉගැන්නුවෝ හාමුදුරුවෝ ය. සර්වඥ ධාතු නිධන් කිරීමෙන් පළමුවෙන් ඉදිකරන ලද
ථූපාරාම දාගැබේ සිට රුවන්වැලි සෑය, අභයගිරිය, දෙමළ මහ සෑය ආදී සුවිසල්
දාගැබ් හා ලෝවාමහාපාය ආදී ගොඩනැඟිලි, තැනුනේ හාමුදුරුවන්ගේ උපදෙසිනි.
කළුගල් පලා ඔප මට්ටම් කොට තැනුන සංඝාරාම, පොකුණු ආදිය තැනුනේ
හාමුදුරුවන්ගේ උපදෙසිනි. සීගිරි සිතුවම් ආදිය තැනුනේ හාමුදුරුවන්ගේ
උපදෙසිනි.
පසු කලෙක පිළිම ගෙවල්, බුදුන් රහතුන් දෙවියන් දෙවඟනන් ආදීන්ගේ රූප
ඇඹීමෙන් හෝ සිතුවම් කිරීමෙන් අලංකාර කෙරුණි. මුලදී එළිමහනේ සෙල් මුවා
බුද්ධ ප්‍රතිමා පිහිටුවා වන්දන මානයට පහසුකම් සලසා දුන් රජවරුන් පසු
කාලයෙහි ඒවා ආවරණ වූ මන්දිර තුළ පිහිටු වන ලදී. එමෙන්ම තුනුරුවන්ට පුද
පිණිස පවත්වන පූජෝපහාරයක් වශයෙන් පසඟතුරු ගොසින් සමන්විත පරිහාර පූජා
හෙවත් පෙරහරවල් ඇතිවිය. මේවා නැටුම්, ගැයුම් වැයුම් ආදී විවිධ
කලාංගයන්ගෙන් අලංකාර කෙරුණි. ජාතක කථාදිය තේමා කරගෙන මෙන්ම ශ්‍රී මහ
බෝධිය, දළදා වහන්සේ, රුවන්වැලි සෑය ආදී පූජනීය වස්තු හා බුදුගුණ මුල්කර
ගෙනත් ගද්‍ය පද්‍ය දෙකින් ම රචිත ග්‍රන්ථ බිහි කැරුණි. මෙසේ බලන විට
සිංහලයාගේ සංස්තෘකියට අයත් කිසියම් නිර්මාණයක් වේ නම් ඒ සියල්ලම බුදු
දහමත් සමග ආවේණික වූ සංස්කෘතික අංග බව කියයුතු නොවේ. පසු කලෙක අප අතර
ප්‍රචලිතව ගිය බලියාග හූනියම් යාගාදි ශාන්ති කර්මවලට පවා බුදුගුණ
අන්තර්ගත කිරීමෙන් ඒවා ද හුදෙක් අමනුෂ්‍යයන් මුල්කරගෙන පැවැත්වෙන
ශාන්ති විධි පමණක් නොව බුදු ගුණ ද ඇතුළත් ශාන්ති විධි බවට පත් විය.
බොහෝ ශාන්ති කර්ම ආරම්භ කරන්නේ තෙරුවන් ගුණ ඇතුළත් පද්‍ය කීපයක්
පළමුවෙන් ගායනා කිරීමෙනි.
මෙසේ සලකනවිට අපේ සිරිත් විරිත් මෙන්ම කලාශිල්ප ද උපන්නේ බුදුසමය
ආශ්‍රයෙනි. මේ හැර අක්‍ෂර ශිල්පය ද අප අතරට ආවේ බුදු දහමත් සමගය.
විශේෂයෙන් අශෝක රජු සමයේ ය. භාරතයේ තිබෙන අශෝක ලිපි සහ ලංකාවේ මුල්
අවධියේ ලියවුණ ලෙන් ලිපිවල බස සමානය. එම ලිපි උදාහරණ වශයෙන් වත්
ලියන්නට යාම මෙම ලිපිය දිග් ගැසීමට හේතු වන නිසා පොත පතින් ඒවා බලා
ගන්නා මෙන් දන්වමි. මුල් අවධියේ භාරත ලිපිවල අක්‍ෂරත් ලංකාවේ
වෙස්සගිරිය, ඉසුරුමුනිය ආදී ලෙන්වල කොටනලද අක්‍ෂරත් සමාන වන අතර ඒවා
බ්‍රාහ්මී අක්‍ෂර නමින් දෙරටේම හැඳින්විණි.
අපේ සිංහල අක්‍ෂර වර්තමාන තත්ත්වයට හැඩ ගැසුණේ බ්‍රාහ්ම අක්‍ෂර
ක්‍රමයෙන් වෙනස් වී යාමෙනි. මේ හැර මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට වැඩම
කොට මාස හතක් ගතවත්ම උඳුවප් පුර පෝ දින සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා
බෝධියේ ශාඛාවක් රැගෙන දඹකොළ පටුනට ගොඩ බට බව අපේ ඉතිහාසය කියයි. අශෝක
අධිරාජයා ශ්‍රී මහා බෝධිය සමග එය ආරක්‍ෂා කිරීම් වස් දේවකුල අටළොසක්,
අටකුලයක ඇමතියන්, අට කුලයක බමුණන් අටකුලයක කෙළෙඹියන් හා ගොපළු කුල,
තරස් කුල තලිඟු කුල, කුඹල් කුල, සියලුම සේනා සම්බන්ධ කුල, නාග කුල,
යක්‍ෂ කුල යන මේ කුලීනයන් අට අට බැගින් විශාල පිරිසක් සංඝමිත්තා තෙරණිය
සමග ලංකාවට එවූ බව මහාවංශය කියයි. මේ පිරිස්වලට නියමිත වැඩ කොටසක්
පැවරී තිබුණ බව පිළිගත හැකිය. එසේ නම් මේ පිරිසගෙන් ද බොහෝ දෑ අපරටට
දායාද වශයෙන් ලැබුණ බව සිතිය හැකි ය. මහා බෝධි ශාඛාව වැඩමවාගෙන ආ සිටු
කුල අටෙහි සාමාජික පිරිස බෝධාහාර (බෝධිය ගෙනා) කුල නමින් ව්‍යවහාර විය.
රටපුරා බෝධි අංකුර රෝපනය කොට පුද පූජා පැවැත්වීම නිසා සුවිශේෂ බෝධි
සංස්කෘතියක් ද අලුතෙන් සකස් විය. මෙසේ බලන විට බුදු දහම මෙරටට ගෙන ඒමත්
සමඟ බුදු දහමෙන් පෝෂණය වූ දේශීය අදීන සිංහල සංස්කෘතියක් හෙවත් ඒ වන විට
ලොව පැවති විශිෂ්ටම සංස්කෘතිය වන මෞර්ය සංස්කෘතිය දඹදිව තිබුණු අයුරින්
ම අපට උරුම වීම නිසා එක් වරටම එහි උරුම කාරයන් වීමට අපට භාග්‍යය
ලැබුණි. අද අපට අපේය කියා අප ගැන නොදන්නන්ට හඳුන්වා දීමට ඇත්තේ අපේ
මුතුන් මිත්තන්ගේ නිර්මාණ පමණකි. අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය,
මහනුවර ආදී ස්ථානවල තිබෙන නටබුන් නැත්නම් අපේය කියා පෙන්වා හැක්කේ
මොනවාදැයි සිතන්න. ඒ නිසා දැන්වත් දෑස් විවර කොට වටපිට බලා කටයුතු
කිරීමට මේ පොසොන් පුර පෝ දිනවත් අධිෂ්ඨාන කරගන්නේ නම් අපටත් අනාගතයක්
තිබෙන බව සිතන්න. |