Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 මනස සංවර්ධනය කරමු

ළදරු පාසල් මට්ටමෙන් පසු දරු දැරියන්ට බෞද්ධ වත් පිළිවෙත් දැඩිව හිත්වලට කාවදින ලෙස කටයුතු කිරීමට මව්පියන් ද කටයුතු කළ යුතු වෙනවා. ඒ සඳහා මව්පියන්, වැඩිහිටියන් ආදර්ශවත් විය යුතු වෙනවා. දරුවාට පාසල, පන්සල මෙන්ම ගෙදරත් හැම විටම අධ්‍යාපන මධ්‍යස්ථානයක් වෙන්න ඕන. දහම් පාසලට හෝ පන්සලට පමණක් දරුවන්ගේ ගුණධර්ම දියුණු කරන්න බැහැ

දහම් දිවයිනක් ලෙසින් හැඳින්වූ අපේ පුංචි රටේ ධර්ම දේශනා සීල සමාදාන ආදි පින්කම් වැඩි වශයෙන් සිදුවුවත් ඇතැම් ජනතාවගේ සිත් දහමෙන් ඈත්වෙලා. රජය කොයිතරම් වැඩසටහන් සකස් කළත් ඒවා ක්‍රියාත්මක වුවත් ඇතැම් දෙනාගේ මනස විකෘති වෙලා.

රටේ සංවර්ධනය මෙන්ම ජනතාවගේ මනසත් සංවර්ධනය වෙන්න ඕන.

ඒ සඳහා කුඩා කාලයේ සිටම දරු දැරියන් පුහුණු කළ යුතුයි. ළදරු පාසල් මට්ටමෙන් පසු දරු දැරියන්ට බෞද්ධ වත් පිළිවෙත් දැඩිව හිත්වලට කාවදින ලෙස කටයුතු කිරීමට මව්පියන් ද කටයුතු කළ යුතු වෙනවා. ඒ සඳහා මව්පියන්, වැඩිහිටියන් ආදර්ශවත් විය යුතු වෙනවා. දරුවාට පාසල, පන්සල මෙන්ම ගෙදරත් හැම විටම අධ්‍යාපන මධ්‍යස්ථානයක් වෙන්න ඕන. දහම් පාසලට හෝ පන්සලට පමණක් දරුවන්ගේ ගුණධර්ම දියුණු කරන්න බැහැ.

ඒ වගේම දහම් පාසල තවත් අධ්‍යාපන මධ්‍යස්ථානයක් විය යුතු නැහැ. සමහර දරුවො දහම් පාසල් යන්නෙ තවත් ටියුෂන් පන්තියක් කියන හැඟීමෙන්. බුද්ධාගමට ටියුෂන් යනවා වගේ.

පත්තරයක් අරගෙන බැලුවොත් වැඩිපුරම මොනවද තියෙන්න. අපරාධ, සොරකම, හිංසාව වැඩිවෙලා හදාගන්න බැරිතරමටම අපේ ගුණධර්ම පිරිහිලා.

මේකට බලපාන ගැටලු ගොඩක් තියෙනවා. හැම දෙයකටම සදාචාර සම්පන්න කල් පවතින විසඳුමක් අවශ්‍ය වෙනවා. පොදු සාකච්ඡාවකට ,සම්මුතියකට අපට එන්න බැරිවුණොත් රටේ සාරධර්ම තවත් පිරිහීමට යාම වළක්වන්න බැහැ. මිය ගියාම හැමෝම ‘සත්ගුණවත්’ අපට වැරැදිලා තියෙන්නෙ බුද්ධාගම වැරැදියට අවබෝධ කරගෙන තියෙන නිසයි. සමානාත්මතාව කියන්නෙ දුර්ගුණ හා සුදන සියලු දෙනාම එක තත්වයකින් සැලකීම නෙවෙයි. දුර්ගුණ ඇත්තන් හොඳ මඟට ගැනීම අප කළ යුතුයි. එහෙත් සදාචාරවත් පුද්ගලයා හා සදාචාරයෙන් තොර පුද්ගලයා කවුද යන්න අප වටහාගෙන කටයුතු කළ යුතුයි. සක්විති රජකු පවා ජීවත් විය යුතු වන්නේ කෙසේද? යන්න බුද්ධ දේශනාවේ පැහැදිලිව දැක්වෙනවා. අපේ යුතුකම් වගකීම් වටහාගෙන ජීවත්වනවානම් මේ අර්බුද නැහැ.

සප්ත අපරිහානීය ධර්ම අනුගමනය කිරීම නිසා ලිච්ඡවී රජ දරුවන් බුදුරජාණන් වහන්සේගේ ඇගැයුමට ලක්වුණා. සප්ත අපරිහානිය ධර්ම අපට අනුගමනය කරන්න බැරිද? සමඟිව රැස්වෙන්න, සමඟිව සාකච්ඡා කරන්න සමඟිව විසිර යන්න මේ වගේ කරුණු ඕනෑම රටක දියුණුවට හේතුවෙනවා විතරක් නෙමෙයි ඒ රාජ්‍යය යටත් කර ගැනීමත් අමාරුයි.

අපේ රටේ පන්සල් වලින් භෞතික දියුණුවක් මිස අධ්‍යාත්මික දියුණුවේ කැපී පෙනෙන වර්ධනයක් නැහැ. ගම්මානවල පන්සල්වලට පෝරු දානය ලැබෙනවා. එහෙත් නගරයේ පිහිටි ඇතැම් පන්සල්වලට දානය සපයා ගැනීමත් ප්‍රශ්නයක් වෙලා. මේ තත්ත්වයට පැවිදි ගිහි දෙපිරිසම වග කියන්න ඕන.

වයසක මවුපියන් පාරේ දාල යන තත්ත්වයට සමාජය පත්වීමේ වරද සමාජයම විසින් බාර ගත යුතු වෙනවා. ඇතැම් මව්පියන්ට පාරෙ දුක් විඳින්න වෙලා තියෙන්නෙ ,මව්පියන්ගෙම වරදින්.දරුවන්ට උගන්වල තියෙන්නෙ රස්සාවක් කරන්න. කාර් එකක් ගන්න ලොකු ගෙයක් හදා ගන්න පමණයි. ඇතැම් දරුවන්ට ගුණධර්ම උගන්වලා නැහැ. ගුණධර්ම ඉගෙන ගත්තනම් තමන්ට ලේ කිරි කරල දීපු අම්මා මඟ දාල යන්නෙ නෑ. මව්පියන් පළමුව ආදර්ශවත් වෙන්න ඕන. සමහර මව්පියන්ගේ ක්‍රියාකලාප ගැන අපිට සෑහීමට ලක් වෙන්න බැහැ.

පියාට වඳින්න දරුවා ළඟට එනකොට පියාට කෙළින් ඉන්න බැරි තත්ත්වයක් තිබුණොත් තිබෙන තත්ත්වය කුමක්ද?

සමහර මව්වරු ඇඳගෙන යන ඇඳුම් දිහා බලල මිනිස්සු හිනාවෙන කොට දරුවන්ගේ මානසික තත්ත්වය මොකක්ද? තමන්ගේ අම්මගෙ ඇඳුම් දැකල දරුවන්ට ‘අම්මා’ කියන උතුම් වචනය පවා පිළිකුල් වන තත්ත්වයක් සමහර අවස්ථාවල දක්නට තියෙනවා. මේකයි සැබෑ තත්ත්වය සමහර දරුවා අම්මලගෙන් අහනව අම්මට ඔය ඇඳුම අඳින්නෙ නැතුවම බැරිද? කියල. මේක පැහැදිලිවම කියන්න ඕන දෙයක්. සමාජයේ මේ වගේ දේ කතා කරන්නෙ නැහැ. ඒව සුදුසු නැහැ කියලා අපේ සමාජය ගුණගරුක සදාචාර සම්පන්න වෙන්න නම් පළමුව වැඩිහිටි ආදර්ශය වැදගත්.

ඒ වගේම දරුවන්ට ගුණධර්ම නිසි පරිදි නිසිකලට ලබාදිය යුතුයි. එසේ වුවහොත් සදාචාර සම්පන්න බෞද්ධ රටක් ගොඩනැංවීම අපට අසීරු නැහැ.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.