Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

අපේ මුතුන් මිත්තෝ මේ පොහෝ දින හතරෙහි ම විහාරස්ථානයට පැමිණ පෙහෙවස් සමාදන්ව විවේකීව ගත කළහ. වත්මන ගිහි පින්වතුන් පුර පසළොස්වක් පොහෝ දින පමණක් පෙහෙවස් සමාදන් වනු බහුලව දක්නට ලැබෙන කාරණයකි. ඇතැම් ප්‍රදේශවල තවමත් පෝය සතරට ම පෙහෙවස් සමාදන්වීමේ සිරිත පවතින බව ද කිවයුතුය. මෑතක් වන තුරු ම පෝ දින උදයේ සිට පසුදා ට පහන් වන තුරු (පුරා පැය විසිහතරක්) විහාරස්ථානයේ පෙහෙවස් සමාදන්ව ගත කිරීම සිරිතක්ව පැවති නමුත් වර්තමානයේ බොහෝ දෙනෙක් පොහෝ දින සවස ම සිල් පවාරණය වී නිවෙස් බලා යෑමේ සිරිතක් පවත්වාගෙන යති. කෙසේ හෝ වේවා මෙලෙසින් බෞද්ධ පින්වතුන් පෙහෙවස් සමාදන්ව ගතකරන ජීවිතය කෙසේ විය යුතුදැයි බුදුපියාණන් වහන්සේ විසින් ම දේශනා කළ වදාළ සූත්‍ර ධර්මයක් තුළින් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි

පොහෝ දිනයන්හි බෞද්ධ ගිහි පින්වතුන් පෙහෙවස් සමාදන්ව ගතකිරීමත් භික්‍ෂූන් වහන්සේ සීමාවකට වැඩ පොහොය කිරීමත් බුද්ධකාලයේ සිටම ආරම්භ වූ ක්‍රියාමාර්ග දෙකකි. “ නීති පන්සිල් අටසිල් රැක පෝදා “ යනුවෙන් පැවසූ පරිදි නිරන්තරයෙන් පන්සිල් ආරක්‍ෂා කිරීමත් විශේෂ දිනයන් වූ පොහෝ දිනයන්හි අටසිල් ( අෂ්ඨාංග සීලය) ආරක්‍ෂා කරමින් ජීවත්වීමටත් අපේ මුතුන් මිත්තෝ පුරුදුව සිටියහ. මාසයකට පොහෝදින හතරක් ඇත.

1. පූර්ණ චන්ද්‍රයා දෘශ්‍යමාන වන පුර පසළොස්වක් පොහෝ දිනය
2. අර්ධ චන්ද්‍රයා දෘශ්‍යමාන අව අටවක පොහෝ දිනය
3. චන්ද්‍රයා දෘශ්‍යමාන නොවන අමාවක පොහෝ දිනය සහ
4. අර්ධ චන්ද්‍රයා දෘශ්‍යමාන වන පුර අටවක පොහෝ දිනය යනු ඒ පොහෝ දින හතරයි.

අපේ මුතුන් මිත්තෝ මේ පොහෝ දින හතරෙහි ම විහාරස්ථානයට පැමිණ පෙහෙවස් සමාදන්ව විවේකීව ගත කළහ. වත්මන ගිහි පින්වතුන් පුර පසළොස්වක් පොහෝ දින පමණක් පෙහෙවස් සමාදන් වනු බහුලව දක්නට ලැබෙන කාරණයකි. ඇතැම් ප්‍රදේශවල තවමත් පෝය සතරට ම පෙහෙවස් සමාදන්වීමේ සිරිත පවතින බව ද කිවයුතුය. මෑතක් වන තුරු ම පෝ දින උදයේ සිට පසුදා ට පහන් වන තුරු (පුරා පැය විසිහතරක්) විහාරස්ථානයේ පෙහෙවස් සමාදන්ව ගත කිරීම සිරිතක්ව පැවති නමුත් වර්තමානයේ බොහෝ දෙනෙක් පොහෝ දින සවස ම සිල් පවාරණය වී නිවෙස් බලා යෑමේ සිරිතක් පවත්වාගෙන යති. කෙසේ හෝ වේවා මෙලෙසින් බෞද්ධ පින්වතුන් පෙහෙවස් සමාදන්ව ගතකරන ජීවිතය කෙසේ විය යුතුදැයි බුදුපියාණන් වහන්සේ විසින් ම දේශනා කළ වදාළ සූත්‍ර ධර්මයක් තුළින් විමසා බැලීම මෙම ලිපියේ අරමුණයි.

සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ තික නිපාතයේ ඇතුළත් දුතිය පණ්ණාසකයේ දෙවන මහා වග්ගයේ එන දසවන සූත්‍රය විසාඛුපෝසථ සුත්ත නම් වේ. (බුද්ධජයන්ති මුද්‍රණ 366 – 380 පිට) විසාඛුපෝසථ සූත්‍රය දේශනා කර වදාළේ ගෞතම බුද්ධ ශාසනයේ උපාසක ශ්‍රාවිකාවන්ගෙන් අග්‍රස්ථානය සහ මිගාරමාතු නම් ගරු නාමය ලැබූ විශාඛා මහෝපාසිකාවට ය. මහණෙනි යම් මිගාරමාතු විශාඛා නම් උපාසිකාවක් ඇද්ද දීමෙහි ඇලුණු මාගේ ශ්‍රාවිකා උපාසිකාවන් අතුරෙහි ඇය අග්‍රවන්නීය. (අං. නි. 1 – එතදග්ගපාළි - 52 පිටුව)

මෙම සූත්‍රය දේශනා කරන අවස්ථාවේ තථාගතයන් වහන්සේ වැඩ සිටියේ විශාඛාව විසින් කරවා පූජා කරන ලද මිගාරමාතු ප්‍රසාද යන නමින් ද හැඳින් වූ පූර්වාරාමයෙහිය. එදින පසළොස්වක් පොහෝ (පණ්ණරස) දිනයකි. විශාඛාව උපෝසථංගයන් අධිෂ්ඨාන කොට සුවඳ ද්‍රව්‍ය, මල් ආදිය රැගෙන තථාගතයන් වහන්සේගේ ඉදිරියට පැමිණ මැනවින් පසඟ පිහිටුවා වැඳ එකත්පසෙක සිටියා ය. ඇයගෙන් බුදුපියාණන් වහන්සේ “ විශාඛාවෙනි නුඹ මේ මද්දහනේ කොහි සිට එවුද? “විමසූහ. ඇගේ පිළිතුර වූයේ “ස්වාමීනි, මම අද පෙහෙවස් ඇතියෙමි උපවාස කරමි” යන්නයි. දෛනික ජීවිතයෙන් වෙන්වූ සුවිශේෂීත්වයකින් පෙහෙවස් සමාදන් වූ දිනය ගත කළ යුතුවේ. මෙදින ගිහි කාමභෝගීහු පංචකාම සම්පත්තියෙන් වෙන් ව සිටින බැවින් එය එක්තරා ආකාරයක උපවාසයකි.

ඇයගේ පිළිතුරත් සමඟ තථාගතයන් වහන්සේ වදාරනුයේ විශාඛාවෙනි මේ සමාජයේ පෙහෙවස් තුනක් ඇති බවයි. (තයො ඛො මෙ විසාඛෙ උපොසථා) ඒ තුන කවරේද යත් ?

1. ගෝපාලකූපසථය (ගොපල්ලෙකුට සමාන වූ පෙහෙවස )
2. නිගණ්ඨුපෝසථය (නිගණ්ඨ ශ්‍රාවකයන් ගත කරන පෙහෙවස)
3. අරියුපෝසථය (උතුම් බෞද්ධයන් විසින් ක්‍රියාත්මක කළයුතු පෙහෙවස)

ඉන්පසු එම උපෝසථ තුන බුදුපියාණන් වහන්සේ විසින් ම පැහැදිළි කර දුන් සේක.

1. ගෝපාලකුපෝසථය යනු අද කන ලද හා හෙට කනු ලබන ආහාරපාන පිළිබඳව සිතමින් පෙහෙවස් සමාදන්ව කාලය ගත කිරීමයි. දිනක වැටුපකට හෝ දින පහක, දහයක, අඩමසක, මසක, සයමසක, හෝ වසරක කාලයක් සඳහා වැටුපකට අනුන්ගේ ගවයන් බලා ගන්නා තැනැත්තා ගොපල්ලෙකි. ඒ ගොපල්ලන් අතින් දිනක වැටුපකට ගවයන් බලා ගන්නා ගොපල්ලෙකු සවස ගවහිමියන්ට තමා බලාගත් ගවයන් දක්වා නියමිත තන්හි බැඳ තමන්ගේ ගෙදර ගොස් අහරගෙන ඇඳේ සයනය කරමින් මෙසේ සිතයි. “අද අසුවල් අසුවල් ප්‍රදේශවලින් ගවයෝ තණ කෑහ. පැන් බිවූහ. හෙට අසුවල් අසුවල් ප්‍රදේශවලින් ගවයෝ තණ කන්නාහ. පැන් බොන්නාහ” එපරිද්දෙන් ම මෙලොව ඇතැමෙක් පෙහෙවස් සමාදන්ව කාලය ගත කරමින් දවස තිසේසේ මෙසේ සිතයි. “මම අද මේ මේ දේවල් කෑවෙමි. මම අද මේ මේ දේ බිවුවෙමි. හෙට මම මේ මේ දේවල් කන්නෙමි. මේ මේ දේ බොන්නෙමි.” මෙසේ ඔහු ඒ ලෝභයෙන් මැඩුණු දැඩි ආශාවෙන් යුක්ත සිතින් දවස ගෙවයි. මෙසේ ගතකරන ගොපාලුකුපෝසථය මහත්ඵල – මහානිසංස නොවේ. මහත් බැබලීම්- දිලිසීම් ඇත්තක් නොවේ. ප්‍රතිඵල දීම් වශයෙන් මහත් පැතිරීම් ඇත්තක් නොවේ.

2. බුද්ධකාලයේ නිගණ්ඨ නම් ශ්‍රමණ පිරිසක් සිටියහ. ඉන් පැවතෙන්නෝ දැනුත් සිටිති. අන්තගාමී ප්‍රතිපත්ති ඇති ඔවුහු ප්‍රාණඝාතය පිළිකෙව් කරන අතර ම කිසිවක් කෙරෙහි බැඳීමක් – ආශාවක් නැතැයි හඟවනු වස් නිර්වස්ත්‍රව සිටිති. නිගණ්ඨුපෝසථය නම් ඒ නිගණ්ඨ ශ්‍රමණයන් විසින් තම ගිහි ශ්‍රාවකයන්ට සමාදන් කරවන්නකි. නිගණ්ඨ ශ්‍රමණයෝ තම ගිහි උපාසකයන්ට “ පින්වත් පුරුෂය එන්න. නුඹ නැගෙනහිර දිශාවෙහි යොදුන් සීය ප්‍රදේශයෙහි යම් තරමක ප්‍රාණීන් (පණ ඇති සතුන්) සිටියි ද ඔවුන් කෙරෙහි දඩු බහා තබන්න. (ඔවුන් නොමරා අභය දානය දෙන්න) මෙලෙසින් ම බටහිර, උතුර, දකුණ යන දිශාවන්හි ද යොදුන් සීයක ප්‍රදේශයෙහි සිටින ප්‍රාණීන් කෙරෙහි දඩු බහා තබන්න.” යනුවෙන් පවසති. මෙසේ නිගණ්ඨයෝ සීමාසහිත ප්‍රදේශයක ප්‍රාණීන්ට දයාව අනුකම්පාව පිණිස තම දායකයන් සමාදන් කරවන අතර ඇතැම් ප්‍රාණීන්ට දයාව හා අනුකම්පා ඇති නොවන පිණිස සමාදන් කරවති. එනිසා පරපණ නැසීමෙන් වැළකීමයැයි සමාදන් කරවන ශික්‍ෂාපදය සම්පූර්ණ නොවේ. එය තම සවුවන් රැවටීමකි. බොරුවකි.

තවදුරටත් නිගණ්ඨයෝ මෙසේ ද කියති. “ පින්වත් පුරුෂයනි නුඹලා මෙහි එන්න. නුඹලාගේ සියලු වස්ත්‍රාදී උපභෝග පරිභෝග වස්තු බහා තබා මෙසේ කියන්න. ‘මම කිසි තැනකවත් කිසිවකුගේවත් පළිබෝධයක් (සබඳතා ඇත්තකු) නොවෙමි. මගේ ඇතුළත හෝ පිටත හෝ කිසිම තැනෙක පිරිකරාදියක පළිබෝධයක් නැත. ‘මෙසේ සිතමින් හා කියමින් පොහෝ දිනය ගත කරන්න” නමුත් තථාගතයන් වහන්සේ පෙන්වා දෙනුයේ එය ද තම දායකයන් රැවටීමක් බවයි. මෙසේ සිතමින් සිටින ඔහු වෙත දෙමාපියන් පැමිණිවිට; මේ අපගේ පුතුයැයි මාපියෝ ඔහු හඳුනති. ඔහු ද මේ මාගේ මාපියෝ යැයි දනියි.’ අඹුදරුවන් පැමිණිවිට ද මේ අපගේ සැමියා යැයි ඔහුගේ අඹුදරුවෝ ද දනිති. ඔහු ද මේ මාගේ අඹුදරුවෝ යැයි දනියි. දැසිදස්සෝ ද ‘මේ අපගේ ස්වාමියා යැයි දනිති. ඔහු ද මොවුහු මාගේ දස්කම්කරු පිරිස යැයි දනියි.’ මෙසේ පොහෝ දිනයෙහි වැළකිය යුතු මුසාවාදයෙහි තම ශ්‍රාවකයන් සමාදන් කරවීම නිගණ්ඨුපෝසථයේ ඇති එක් දුර්වල කමකි.

පොහෝ දින ගතකර ඊට පසු දින ඔවුහු තමාගේ බැහැර ලූ සියලු වස්ත්‍රාදී උපභෝග පරිභෝග වස්තු කිසිවකු නොපිළිගන්වා ම රැගෙන පරිභෝග කරති. එය නොදුන්දේ ගැනීමකි. මෙසේ මුසාවාදයේ හා අදින්නාදානයේ යොදවන බැවින් නිගණ්ඨ පෙහෙවස ද මහත්ඵල – මහානිසංස නොවේ. මහත් බැබැලීම් දිලිසීම් ඇත්තක් නොවේ. මහත් පැතිරීම් ඇත්තක් නොවේ.

මෙසේ සමාජයේ දක්නට ඇති කිලිටි සිත නිසා නිරර්ථක වූ උපෝසථ (පෙහෙවස් සමාදන් වීම්) දෙකක් සවිස්තරව පෙන්වාදුන් තථාගතයන් වහන්සේ අනතුරුව සිත පිරිසුදු කරමින් ගතකරන ආර්ය වු උතුම් බෞද්ධයන් විසින් ක්‍රියාත්මක කළයුතු පෙහෙවස කවරාකාරදැයි දේශනා කරති.

3. අරියුපෝෂථය යනු කිලිටි සහිත සිතේ උපක්‍රමයෙන් පිරිසුදු බව ඇති කිරීමයි.

1. “ඉතිපි සො භගවා” ආදී වශයෙන් නව අරහාදී බුදුගුණ සිහිකිරීම (බුද්ධානුස්සතිය)

තථාගත ගුණ සිහි කිරීමෙන් පෙහෙවස් සමාදන් වූවහුගේ සිත පහදියි. ප්‍රමෝදය උපදියි. සිතේ පවතින කෙලෙස් ධර්ම ද ප්‍රහීණ වේ. (තථාගතං අනුස්සරතො චිත්තං පසීදති. පාමුජ්ජං උප්පජ්ජති. යෙ චිත්තස්ස උපක්කිලෙසා තෙ පහීයන්ති) එය උපමාවකින් දක්වන තථාගතයන් වහන්සේ ඇඹුල් කල්කය ද මැටි ද ජලය ද පුරුෂයාගේ එයට නිසි ව්‍යායාමය ද (කක්කඤ්ච පටිච්ච මත්තිකඤ්ච පටිච්ච උදකඤ්ච පටිච්ච පුරිසස්ස ච තජ්ජං වායාමං පටිච්ච) යන ක්‍රියාමාර්ග නිසා කිලිටි හිසේ පිරිසුදු බව උපක්‍රමයෙන් සිදුවෙන්නාක් මෙන් බුදුගුණ සිහි කිරීමෙන් සිතේ පිරිසුදු බව ඇතිවේයැයි දේශනා කරති. පෝදින පෙහෙවස් සමාදන්ව තථාගත ගුණයන් සිහිකරන ඔහුගේ සිත පහදියි. ප්‍රමෝදය උපදියි. සිතේ පවතින කෙලෙස් ධර්ම ප්‍රහීණ වේ. මේ ආර්ය ශ්‍රාවකයා බ්‍රහ්ම උපෝසථය සමාදන්ව වෙසෙයැයි ද සම්බුද්ධ නම් බ්‍රහ්මයා සමග වෙසේයැයි ද කියනු ලැබේ. සම්මා සම්බුද්ධ නම් බ්‍රහ්මයා අරබයා ඔහුගේ සිත පහදියි. ප්‍රමෝදය උපදියි. සිතේ ඇති කෙලෙස් ධර්ම ප්‍රහීණ වේ.

2. ස්වාක්ඛාතාදී ධර්ම රත්නයේ ගුණ සිහි කිරීම (ධම්මානුස්සතිය)

ධර්මරත්නයේ සය වැදෑරුම් ගුණ සිහි කරමින් පෙහෙවස (පෝ දිනය) ගත කරන ආර්ය උපාසක උපාසිකාවන්ගේ සිත පහදියි. ප්‍රමෝදය උපදියි. සිතේ පවතින කෙලෙස් ධර්ම ද ප්‍රහීණවේ. මෙසේ උපක්‍රමයෙන් කෙලෙස් දුරලීම කිලිටි වූ කය, ශරීරය පිරිසුදු කරන ද්‍රව්‍ය ද ජලය ද පුරුෂයාගේ එයට නිසි ව්‍යායාමය ද යොදා පිරිසුදු කර ගැනිමක් බඳුය. මෙසේ ධම්මානුස්සතිය වඩමින් පෝ දිනය ගත කිරීම ධම්මුපෝසථය නම් වේ.

3. සුපටිපන්නාදී නව සඟගුණ සිහිකිරීම (සංඝානුස්සතිය)

වස්ත්‍ර පිිරිසුදු කරන ද්‍රව්‍ය සමඟ ජලය ද පුරුෂයාගේ නිසි උත්සාහය ද යොදා වස්ත්‍රය පිරිසුදු කරගන්නාක් මෙන් පෙහෙවස් සමාදන්ව සුපටිපන්නාදී නව සඟගුණ සිහි කිරීමෙන් උපක්‍රමිකව සිතේ පවතින කෙලෙස් ධර්ම ප්‍රහීණ වේ. සංඝරත්නය සමඟ විසීමක් බඳු මෙම සංඝුපෝසථය ගත කරන්නාගේ ද සිත පහදියි. ප්‍රමෝදය උපදියි. සිතේ ඇති කෙලෙස් ධර්ම ප්‍රහීණ වේ.

4. තම පිරිසුදු සීලය සිහි කිරීම (සීලානුස්සතිය)

තමා උදෑසන සමාදන්ව උපෝසථ අෂ්ඨාංග සීලය නොකැඩුණු බව මෙහිදී සිහිපත් කෙරේ. ඒ සඳහා සමාදන් වූ තැන් පටන් සීලය පිළිබඳව මනා සිහියක් (සම්මා සති) පවත්වාගත යුතුම වේ. පිරිසුදු සීලයෙහි ගුණ අටකි.

1. අඛණ්ඩානි – මුලින් අගින් නොකැඩුණු බව
2. අචිඡිද්දානි – මැදින් සිදුරු නොවූ බව
3. අසබලානි – එක ළඟ දෙක තුනක් නො කැඩුණු බව
4. අකම්මාසානි – එකක් ඇර එකක් නො කැඩුණු
5. භුජිස්සානි – තණ්හාදාසකමින් මිදුණු බව
6. විඤ්ඤුප්පසත්‍ථානි – නුවණැත්තන් විසින් පැසසූ බව
7. අපරාමට්ඨානි – තෘෂ්ණා දෘෂ්ටි ආදියෙන් ස්පර්ශ නොකළ බව
8. සමාධිසංවත්තනිකානි - සිතේ එකඟ බව නම් වූ සමාධිය පිණිස බව

මෙය කිලිටි වු කැටපතක් තෙල් ද අළු ද බුරුසුව ද නිසි පුරුෂ උත්සාහය ද නිසා පිරිසුදු කරගන්නාක් මෙන් උපක්‍රමයෙන් සිත පිරිසුදු කර ගැනීමකි. සීලුපෝසථය නම් වූ මෙය අනුව සීලයේ ගුණ සිහිපත් කරමින් පෙහෙවස ගතකරන්නාගේ ද සිත පහදියි. ප්‍රමෝදය උපදියි. සිතේ ඇති කෙලෙස් ධර්ම ප්‍රහීණ වේ.

5. දෙවියන් සිහි කිරීම (දේවතානුස්සතිය)

චාතුම්මභාරාජිකාදී සදෙව් ලෝවැසි දෙවියෝත්, බඹලොව හා ඉන් ඉහළ උපන් බ්‍රහ්මයෝත් ඇත. මෙහිදී එම දෙවියන් දේවත්වයට පත්වුයේ ගුණාංග පසක් නිසා බවත් මා තුළත් එම ගුණාංග දැන් ඇතැයි මෙහිදී සිහිපත් කෙරේ.

1. යම්බඳු වූ ශ්‍රද්ධාවකින් යුක්ත වූ එ දෙවියෝ මේ ලෝකයෙන් චුතව එහි උපන්නාහු ද එබඳු ශ්‍රද්ධාවක් මා තුළ ද ඇත.
2. යම්බඳු වූ සීලයකින් යුක්ත වූ ඒ දෙවියෝ මේ ලෝකයෙන් චුතව එහි උපන්නාහු ද එබඳු සීලයක් මා තුළ ද ඇත.
3. යම්බූද් වූ ශ්‍රැතයකින් යුක්ත වූ ඒ දෙවියෝ මේ ලෝකයෙන් චුතව එහි උපන්නාහු ද එබඳු ශ්‍රැතයක් මා තුළ ද ඇත.
4. යම්බඳු වූ ත්‍යාගයකින් යුක්ත වූ ඒ දෙවියෝ මේ ලෝකයෙන් චුතව එහි උපන්නාහු ද එබඳු ත්‍යාගයක් මා තුළ ද ඇත.
5. යම්බඳු වූ ප්‍රඥාවකින් යුක්ත වූ ඒ දෙවියෝ මේ ලෝකයෙන් චුතව එහි උපන්නාහු ද එබඳු ප්‍රඥාවක් මා තුළ ද ඇත.

මෙසේ ඒ දෙවියන්ගේ ශ්‍රද්ධාව ද සීලය ද ශ්‍රැතය ද ත්‍යාගය ද ප්‍රඥාව සිහිකිරීමෙන් පෙහෙවස් සමාදන්වූවහුගේ සිත පහදියි. ප්‍රමෝදය උඋපදියි. සිතේ ඇති කෙලෙස් ධර්ම ප්‍රහීණ වේ. එය කිලිටි වු රන් කැබැල්ලක් උපක්‍රමයෙන් පිරිසුදු කර ගැනීමක් හා සමානය.

අනතුරුව දැක්වෙනුයේ පොහෝ දිනයේ දී සමාදන් වන ශික්‍ෂාපද අටෙහි පවතින වැලකිය යුතු හා සමාදන් විය යුතු ( සමාදාන – විරති) අංශ පිළිබඳවයි.

1. පෙහෙවස් සමාදන් වූ ආර්ය ශ්‍රාවකයා මෙසේ නුවණින් මෙනෙහි කරයි. “රහතන් වහන්සේලා දිවිහියෙන් ම පරපණ නැසීම හැරදමා පරපණ නැසීමෙන් වැළකුණාහු ඉවත තැබූ දඬු - අවි ආයුධ ඇතිව හෙවත් සÀව හිංසා අරමුණින් දඬු මුගුරු නොගෙන පව පිළිකුල් කරමින් පටව ලැජ්ජා වෙමින් (ලජ්ජි) කරුණා දයාවෙන් යුතුව සියලු සතුන්ට හිතානුකම්පිව වෙසෙති. මම අද මේ රෑ මේ දවල් එලෙසින් ම ගතකරමි.”

ශික්‍ෂාපදයේ විරති අංශය – පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතො නිහිතදණ්ඩො නිහිතසෙත්‍ථා

සමාදාන අංශය – ලජ්ජි දයාපන්නො සබ්බපාණභූතහිතානුකම්පී විහරාම්.

2. “රහතන් වහන්සේලා දිවිහිමියෙන් ම නොදුන්දේ ගැනීම අත්හැර අදින්නාදානයෙන් වැළකී දුන් දෑ ගන්නා සුලු වූයේ, දුන්දෑ කැමතිවනුයේ, නොසාරු වූ, පිරිසුදු ආත්මභාවෙයන් වෙසෙති. මම අද මේ රෑ මේ දවල් එලෙසින් ම ගතකරමි.”

ශික්‍ෂාපදයේ විරති අංශය – අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතා

සමාදාන අංශය – දින්නාදායී දින්නපාටිකංඛී අථෙනෙන සුවචිභූතෙන අත්තනා විහරන්ති.

3. “රහතන් වහන්සේලා දිවිහියෙන් ම ග්‍රාම්‍ය ධර්මයක් වූ මෛථුනය හැරදමා ඉන් බැහැරව කාමසම්පත්වලින් ඉතා දුරව බඹසර සුරකිමින් වෙසෙති. මම අද මේ රෑ මේ දවල් එලෙසින් ම ගතකරමි.”

ශික්ෂාපදයේ විරති අංශය – අබ්‍රහ්මචරියං පහාය විරතෝ මෙථුනා ගාමධම්මා

සමාදාන අංශය – බ්‍රහ්මචාරී ආරාචාරී

4. “රහතන් වහන්සේලා දිවිහිමියෙන් ම බොරු කීම අත්හැර බොරුකීමෙන් වැළකී සත්‍යවාදීව සත්‍යයෙන් සත්‍ය ඝටමින් ස්ථිර – ඇදහිය යුතු කථා ඇතිව ලෝකයා නොරවටමින් වෙසෙති. මම අද මේ රෑ මේ දවල් එලෙසින් ම ගතකරමි.”

ශික්‍ෂාපදයේ විරති අංශය – මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතා

සමාදාන අංශය - සච්චවාදී සච්චසන්‍ධා ථෙතා පච්චයිකා අවිසංවාදකා ලොකස්ස.

5. “රහතන් වහන්සේලා දිවිහිමියෙන් ම මදයට හා ප්‍රමාදය රහමෙරින් වැළකී වෙසෙති. මම අද මේ රෑ මේ දවල් එලෙසින් ම ගතකරමි. “

ශික්‍ෂාපදයේ විරති අංශය - සුරාමෙරයමජ්ජපමාදට්ඨානං පහාය සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා.

සමාදාන අංශය – තමා ද මත්ද්‍රව්‍ය භාවිත නොකරමින් අනුන් ද ඉන් වලක්වමින්

6. “රහතන් වහන්සේලා දිවිහිමියෙන් ම දිනකට එක්වරක් වළඳමින් රාත්‍රී භෝජනයෙන් වැළකී විකාලභෝජනයෙන් වැළැකී වෙසෙති. මම අද මේ රෑ මේ දවල් එලෙසින් ම ගතකරමි.”

ශික්‍ෂාපදයේ විරති අංශය – රත්තුපරතා විරතා විකාලභොජනා

සමාදාන අංශය – එකභත්තිකා (දිනකට එක්වරක් වළඳන )

7. “රහතන් වහන්සේලා දිවිහිමියෙන් ම නැටුම්, ගැයුම්, වැයුම්, දැඟලීම්, කලබල කිරීම්, මල් ගඳ විලවුන් ඈ දැරීම්, අලංකාර කිරීම්, ආභරණාදියෙන් සැරසීම් ආදියෙන් වෙන්ව වෙසෙති. මම අද මේ රෑ මේ දවල් එලෙසින් ම ගතකරමි.”

ශික්‍ෂාපදයේ විරති අංශය – නච්චගීතවාදිත විසූකදස්සනමාලා ගන්‍ධවිලෙපන ධාරණමණ්ඩන විභූසනට්ඨානා පටිවිරතා

සමාදාන අංශය - සුදුවත් හෝ කසාවත් හැඳ චාම්ව සංවරව ඉරියවු පවත්වමින් විසීම

8. “රහතන් වහන්සේලා දිවිහිමියෙන් ම උසසුන් මහසුන් හැරදමා ඒවායින් වෙන් ව පහත් ඇඳක හෝ තණ ඇතිරියක සැතපෙති. මම අද මේ රෑ මේ දවල් එලෙසින් ම ගතකරමි.”

ශික්‍ෂාපදයේ විරති අංශය – උච්චාසයනමහාසයනං පහාය උච්චාසයනමහාසයනා පටිවිරතා

සමාදාන අංශය – නීචසෙය්‍යං කප්පෙන්ති මඤ්ඤකෙ වා තිණසන්‍ථාරකෙ වා.

මෙසේ කටයුතු කිරීමෙන් හෙවත් උපෝසථ අංග අට සමාදන්වීමෙන් කරුණු දෙකක් ඉටු වේ. 1. රහතන් වහන්සේලා අනුකරණය කිරීම.

2. නිවැරදි වු පෙහෙවස් සමාදානය.

සීලය යනු කය වචන දෙකේ මනාවූ තැන්පත් බවය.ි සිල් සමාදන්ව උක්ත භාවනා කමටහන්හි සිත පිහිටුවාගෙන වාසය කිරීමෙන් චිත්ත සංවරය සිදුවේ. අෂ්ඨාංග සීලසමාදානයෙන් පසිඳුරන් දමනය (සංවර) කරගැනීම ද සිදුවේ.

ඇස - නැටුම්, දැඟලීම්, කලබල කිරීම්, අලංකාර කිරීම්, ආභරණාදියෙන් සැරසීම් දුරලීම
කණ – ගැයුම්, වැයුම්වලින් වැළැකීම
නාසය – මල් ගඳ විලවුන් ඈ දැරීමෙන් දුරුවීම.
දිව - නිතර ආහාර ගැනීමෙන් හා විකාල භෝජනයෙන් වැළකීම.
ශරීරය – කාමුක සේවනයෙන් දුරුවීම, උසසුන් මහසුන් දුරලීම.

මෙසේ කය- වචන - සිත යන තුන්දොර සහ පසිඳුරන් සංවර කරන අෂ්ඨාංග සීල සමාදානය ආර්ය උපෝසථය යැයි පවසන තථාගතයන් වහන්සේ එය කෙතරම් මහත්ඵඵල මහානිසංසවේදැයි දක්වනු සඳහා සොළොස් මහා ජනපදයන්ගේ නම් ලැයිස්තුව දක්වා බොහෝ සත්රුවන් පිරි මේ සොළොස් මහා ජනපදයන්හි ඉසුරුමත්බව අධිපතිබව ඇති රාජ්‍යය යමෙකු කරන්නේ නම් එය අෂ්ඨාංග සමන්නාගත උපෝසථ සීලයේ දාසයෙන් කොටසක්වත් නො අගින බව දේශනා කළහ. ඊට හේතුව නම් දිව්‍ය ලෝකයන්ගේ ඇති සැප සම්පත් හා සැසඳීමේ දි මිනිස් රජ සැපය ඉතා අල්ප වන හෙයිනි.

අනතුරුව තථාගතයන් වහන්සේ දක්වනුයේ ඉහත දැක්වූ අයුරින් නිවැරදිව ආර්ය වු පෙහෙවස් සමාදානය සිදුකරන පින්වතුන්ට අනිවාර්යයෙන් ලැබෙන දිව්‍ය ලෝක සයේ සැප සම්පත්වල මහිමය පිළිබඳව පෙන්වාදෙන දේශනාවකි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.