Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරජාණන් වහන්සේ දැකීමේ මඟ

එක්තරා තරුණයෙක් බුදුරජාණන් වහන්සේගේ රූපකාය කෙරෙහි වශී විය. බුදුරජාණන් වහන්සේගේ ආරෝහ පරිනාහ දේහය මනස්කාන්තය. දකින්නන් පි‍්‍රය උපදවන සුළුය. එම බමුණු තරුණයා දැඩි ලෙස බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇලුම් කළ අතර උන්වහන්සේ නිතර දකින කැමැත්තෙන් උන්වහන්සේ වෙත පැවිදි විය. දවස පුරාම බුදුරජාණන් වහන්සේ දෙස නෙත් හෙලා ගෙන සිටින මෙම තරුණ භික්ෂුව ඇමතු බුදුරජාණන් වහන්සේ ඔබ කොතෙක් මා දෙස බලා සිටියත් මා දැක ගත නොහැකිය. මා දැක ගත හැක්කේ මගේ ධර්මය දැකීමෙන් පමණි යනුවෙන් මෙම තරුණ භික්ෂුවට දේශනා කළහ.

“යෝ ධම්මං පසසති. සෝමං පස්සති” යනුවෙන් සඳහන් වන්නේ එම අරුත් ගැන්වෙන ධර්ම පාඨයයි.

පින්වත් දුවේ පුතේ, ඔබත් බුදුරජාණන් වහන්සේ දැකීමට කැමැත්තෙන් සිටිතියි මම සිතමි. එසේ නම් ඒ සඳහා කළ යුතු කාර්යය කුමක් දැයි මම පහදා දෙන්නෙමි. ඔබ බෞද්ධ දරුවකු වීම ඔබ ලත් විශාල භාග්‍යයකි. සම්‍යක්දෘෂ්ටික පවුලක සුදුසු ප්‍රදේශයක, කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ඇතුව, බුද්ධෝත්පාද කාලයක ජීවත් වීමට ලැබීම කොතරම් වාසනාවක්දැයි සිතන්න. දැන් ඔබ කළ යුත්තේ එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමයි. බෞද්ධ දරුවකු ලෙස ඔබ තුළ ශ්‍රද්ධා ගුණය වර්ධනය කර ගත යුතුය. ශ්‍රද්ධාව යනුවෙන් සඳහන් වන්නේ බුද්ධ, ධම්ම, සංඝ යන තෙරුවන් කෙරෙහි ඇති පැහැදීමයි. අචල විශ්වාසයයි. තෙරුවන් ගුණ ජීවිතයට සම්බන්ධ කර ගැනීමටයි.

තෙරුවන් පිහිට හැර වෙන සරණක් පිහිටක් නැතැයි නිතර මෙනෙහි කරන්න. එවිට ඔබ වඩ වඩාත් ධර්මයට ළං වෙයි. කැමති වෙයි, පි‍්‍රය වෙයි.

ශ්‍රද්ධාව බෞද්ධ වැඩපිළිවෙළේ පළමු අදියරයි. එතනින් පසු අප සීලමය ප්‍රතිපදාව කරා යා යුතුයි. කුඩා කළ සිටම අපගේ කය වචන දෙක සංවර කර ගත යුතුයි. කය මුල් කරගෙන වැරදි තුනක් උපදී. සත්ව ඝාතනය, හිංසාව, හොරකම, කාමයේ වරදවා හැසිරීම යන වැරදි තුන බොහෝ පාපයන්ට දොරටු විවෘත කිරීමකි. එමගින් දියුණුවේ දොරටු වැසී යයි.

වචනය මුල් කරගෙන බොරු කීම, කේළාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යන වැරදි සිදුවෙයි. පුද්ගල විශ්වාසය බිඳ වැටීමට වාග් දුෂ්චරිතය හේතුවන බව ඉතා පැහැදිලිය. ඇදහිය හැකි වචන ඇත්තෙකු වීම බොහෝ දෙනාගේ හිත සුව පිණිස වචන භාවිතා කිරීම පව් මලින් සිත් සතන් සෝදා හැරිමට වාග් කෘත්‍ය යොදා ගැනීම දෙලොව වැඩ සාදන පින්කමකි. සත්‍ය පාරමිතාව බුද්ධ කාරක ධර්මයකි.

පස් පව් දස අකුසල් වලින් වැළකීම සඳහා සීලමය ප්‍රතිපදාව උදව් වන බව ධර්මයෙහි සඳහන් වෙයි. සිලයෙන් පිරිසුදු වූ සමාධිය මහත්ඵල මහානිසංස වන බව විශුද්ධි මාර්ගයෙහි දී පෙන්වා දී ඇත. “සීල පරිධොනා සමාධි මහප්ඵලා මහානිසංසා “ යනුවෙන් එය අර්ථ ගන්වා ඇත.

සිල්වත්කම පුද්ගලයා සංවර කරයි. හික්මවයි. චරිතය හැඩගස්වයි . තමා පිළිබඳ අභිමානයක් ඇති කරයි. ලෞකික ජීවිතයේ සංවර්ධනයක් උදා කර දෙයි.ලෙඩ රෝග වළක්වාලයි. තමා සුරක්‍ෂිත බවින් යුතුය යන හැගීම උපදවයි. අන්‍යයන්ගේ ආදරය කරුණාව තමා වෙත ලැබෙයි. සමාජයේ පිළිගත් අයෙකු ලෙස සැලකෙන අතරම ගෞරවය සම්මානය බහුමානය නිරායාශයෙන්ම ලැබෙයි.

එබදු සිල්වතාට ජීවිතයේ වටිනාකම දැනෙන අතර ලබා ගත් මනුෂ්‍ය ජීවිතය සාර්ථක කර ගැනීමට දැඩි කැමැත්තක් ඇති වෙයි. එයම බුදුරජාණන් වහන්සේ දැකීමකි. බුදුරජාණන් වහන්සේ දැකීමේ ඵලය වන්නේ ලබා ගත් මනුෂ්‍ය ආත්මභාවයෙන් උපරිම ප්‍රතිඵල නෙළා ගැනීමයි. මනුෂ්‍යයාට තමා සිටින තැනින් ඉහළ යා හැකිය.

ඒ සඳහා ගුණධර්ම පිරීමට කැමැත්ත ජනනය වන්නේ මනුෂ්‍යය චින්තනය තුළය. බුද්ධත්වය දක්වා සියලු ජයග්‍රහණය ලබා අත්තේ සිත තුළ ඇති බීජාංකුර රැකගෙන පෝෂණය කර වඩා ගැනීමෙනි.

බුදුරජාණන් වහන්සේ දැකීමේ දෙවන පියවර වන්නේ සමාධිය වැඩීමයි. සමාධිය නම් සිතේ එකඟකමයි. සිතේ ස්වභාවය නිතර වෙනස් වීමයි. එක අරමුණක රඳා සිටීමට නොහැකිය. සිතිවිලි මාලා ගලා එයි. විටෙක කුසල්ද අකුසල්ද එම සිතිවිලි වලින් නිර්මාණය වෙයි.

මේ නිසා සිත දමනය කර ගැනීමට උදව් කර ගත හැකි කර්මස්ථාන හතළිහකි. සම සතළිස් කර්මස්ථාන නමින් ඒවා හැඳීන්වෙයි. තම චරිතයට ගැළපෙන කරමස්ථානයක් තෝරා ගෙන සිත රැක ගැනීම සඳහා භාවනාවක් පුහුණු කර ලීමට කල්‍යාණ මිත්‍ර උපදේශකයකුගේ, ගුරුවරයකුගේ සහාය අවශ්‍යමය, සිත දමනය කර ගැනීම උගතාගේ ඥාණවන්තයාගේ කාර්යක් බව ධම්මපදයෙහි “අත්තානං දමයන්ති පණ්ඩිතා’ යන ගාථාවෙන් පැහැදිලි වෙයි.

යමෙක් සිත දමනය කර ගත්තේ නම් ඔහු බුදුරජාණන් වහන්සේ දකින ලද අයෙකි. හේතුව ධර්මය දැක ගත හැක්කේ මසැසින් නොව නැණසින් නිසාය. සමථ භාවනාව වඩන යෝගාචරයා කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්චා යන නීවරණ ධර්ම යටපත් කරලයි. එවිට සසල සිත නිසල වෙයි. එමෙන්ම ධ්‍යාන සිත් පහළ වෙන්නේ එවැනි පුද්ගලයා තුළය. පඤ්චම ධ්‍යාන හා අෂ්ට සමාපත්ති ධ්‍යාන සමත භාවනාවෙන් ලද හැකි උපරිම ප්‍රතිඵල වෙයි. එය නිවනට යොමු වීමට අස්ථාවක් බව “ සමාධි පරිධොනා පඤ්ඤා මහපඵලා මහානිසංසා” යන පාඨයෙන් පැහැදිළි කරයි.

දැන් ඔබ මේ ජීවිතයේම අවස්ථා දෙකකදී බුදුරජාණන් වහන්සේ නුවණැසින් දැක හමාරය. ඊළගට ඇත්තේ අවසන් අවස්ථාවයි. එනම් ප්‍රඥාවෙන් ජීවිතය හා ලෝකය දැකීමයි. ධර්මය දැකීමයි. ලෝකයේ පවත්නා ප්‍රකට සත්‍ය නම් සියල්ල අනිත්‍ය බවයි. ස්ථිර, සදාතනික, නොවෙනස්වන ,අවිපරිණාමය කිසිවක් ලොව නැත. සියල්ල මොහොතක් පාසා වෙනස් වෙයි. වෙනස් වීම යම් තැනකද එතන දුකය. යමක් දුක් සහිතද එහි ඇත්තේ අනාත්ම ස්වභාවයයි.

මේ තත්වය තේරුම් ගන්නා තුරු අප සසරේ දිගින් දිගටම සැරිසරයි. එය තේරුම් ගැනීමට ප්‍රඥාව වර්ධනය කර ගත යුතුය. විදර්ශනා භාවනාවෙන් කෙරෙන්නේ ඉහත කී ප්‍රඥාව වර්ධනය කිරීමයි. යථාවබෝධයට මග පෑදුනු විට ලොව කිසිවක් මමත්වයෙන් අල්ලා නොගනී. ඇලීමක් බැඳීමක් ගැටීමක් ඇති කර නොගනී. මේ සියල්ලක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගෙන පටිච්ච සමුප්පන්නව පවතින දේ බව වටහා ගත යුතුය. එවිට දුක කෙරෙහි කළකිරී පරම පවිත්‍ර වූ නිර්වාණවබෝධයට මග උදා කර ගනී.

“සබ්බෙ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අථ නිබ්බින්‍දති දුක්චේ

ඒස මග්ගෝ විසුද්ධියා’ යනුවෙන් ධම්මපදයෙහි එය විස්තර වෙයි. යමෙක් නුවණින් ජීවිතය හා ලෝකය විනිවිද දකියිද ඒ තැනැත්තා බුදුරජාණන් වහන්සේ දකින්නෙකි. හේතුව ලෝදහම ඔහු සාක්ෂාත් කර ගත් බැවිනි. ඒ නිසා දුවේ පුතේ ඔබ පාසල් අවධියේ පටන්ම තෙරුවන් සරණ ගිය දරුවෙක් බවට පත් විය යුතුය. එමෙන්ම සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්‍ෂා මාර්ගය අනුගමනය කරන්නෙකු විය යුතුය. දැක පහදින පුද්ගලයෙකු නොවී දැන පහදින පුද්ගලයෙකු විය යුතුය.

දෙමාපිය ගුරු අවවාද අනුව ‘ හැඩ ගැසෙන චරිතයක් ‘ ඇත්තෙකු විය යුතුය. දිවි හිමියෙන් තෙරුවන් ගුණ අනුගමනය කරන්නෙකු විය යුතුය. එවිට ඔබ ශක්තිමත්ය. ඔබ ආර්ය ධනයෙන් පොහොසත්ය. කිසි දිනෙක ඔබ දිළින්දෙක් බවට පත් නොවේ. වැස්සට ඔරොත්තු දෙන හොඳීන් සෙවිලි කළ වහළයක් බඳු ඔබ කෙළෙස් වැස්සෙන් තෙමාලිය නොහැක. පර්වතයක් සුළඟට සෙලවිය නොහැක්කාක් මෙන් ඔබව කිසි පවිටු බලවේගයකට සොලවා, පොළඹවා ගත නොහැකි වනු අත. නිදා පිබිදීයාක් මෙන් මේ කය හැර දමා නිර්වාණපුරයට ඔබ ඇතුලු වූවකු වෙයි. එය නියම ලෙස බුදුරජාණන් වහන්සේ දැකීම වන්නේය.

ධර්මය දැක බුදුරජාණන් වහන්සේ දැකීමට ඔබ සැමට අවස්ථාව උදාවේවා!


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.