Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 දෙතිස් ලකුණෙන් විසිතුරු

මෙම ලිපියේ මුල් කොටස වෙසක් පෝය දා පත්‍රයේ පළවිය.

9. නොනැමි දණහිස පිරිමැදිය හැකි බව (ඨිතතෝව අනෝනමන්තෝ උභෝහි පාණිතලෙහි චන්ත්‍රපාති පරිමසති පරිමජ්ජති)

සාමාන්‍යයෙන් හිටගෙන සිටියි කෙනෙකුට තමන්ගේ අතින් දණහිස අතගෑමේදි නොනැමී එය කළ නොහැකිය. තථාගතයන් වහන්සේට නොනැමී දණහිස ස්පර්ශ කළ හැකිය. එයට හේතුව උන්වහන්සේගේ දෑත් දික්ව පිහිටා තිබීම ලෙස නොසැලිකිය යුතුය. තථාගත. ශරීරය සුලක්‍ෂණව පිහිටා තිබීම එයට හේතුව බව දක්වා තිබේ.

10. පුරුෂ ව්‍යන්ජනය වැසී තිබීම

(නසෝ හිත වත්ථ ගුයිනෝ) සාමාන්‍ය පුරුෂ ශරීරයක පුරුෂ නිමිත්ත පිහිටා තිබීම සහ තථාගතයන් වහන්සේගේ පුරුෂ ව්‍යන්ජනය පිහිටා තිබීම අතර සුවිශේෂ වෙනසක් තිබේ. එය ගවයන්ගේ සහ ඇතුන්ගේ මෙන් පිටතට විද්‍යාමාන වන්නක් නොව ශරීරය තුළට සැගවී ගත්තේය.

11.ස්වර්ණ පැහැ ඇති දේහය (ස්වර්ණ වන්ණෝ)

බුදුරජාණන් වහන්සේගේ සමස්ත සිරුර දුටු පමණින් වෙනසක් දැනේ. කෙනෙකුට එකවර අදහාගැනීමටද අපහසුය. එයට හේතුව තථාගතයන් වහන්සේගේ දේහය අඹා ඇති රුවන් ප්‍රතිමාවක් වැනි ප්‍රභාමත් පෙණුමකින් යුක්තය.

12. මහා සිනිදු සම (සුබ්‍රමවිජවි)

බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ සම ඉතා සියුම්ය. සිනිදුය. එනිසාම දුවිලි ආදිය නොතැවරේ. නෙළුම් පතට වැටෙන දිය බිදු එහි නො ඇළළී පෙරළී යන්නාක් මෙන් තථාගත ශරීරයට පැමිණෙන දූවිලි එහි නොඇළී පෙරළී යන්නාක් මෙන් තථාගත ශරීරයට පැමිණෙන දූවිලි එහි නොඇළී ඉවත්වෙයි. එනිසාම තථාගත සිරුර හැම කල්හිම පවිත්‍රව පිහිටයි. උන්වහන්සේ ජලස්නානය කරන්නේ කය සිහිල් කිරීම සඳහා පමණි.

13. රෝමකූප තනි තනිවම පිහිටා තිබීම. (ඒකේඛ ලෝමෝ)

සාමාන්‍යයෙන් කෙනෙකුගේ ශරීරයෙහි පිහිටා ඇති ලෝම ප්‍රමාණයටම තරම් ලෝම කූප හට නොගනී. එක ලෝම කූපයක ලෝම දෙක තුන බැගින්ද වෙයි. තථාගත සිරුරෙහි එසේ නොවේ. එක ලෝම කූපයක එක ලෝම ගසක් බැගින් පිහිටි ලෝම ශරීරය පුරා ඇත්තේය.

14. මනාව පිහිටි ලෝම ඇති බව (උඩග්ගලෝමෝ)

සාමාන්‍ය මිනිස් ශරීරයෙහි පිහිටන ලෝමවල ක්‍රමික රටාවක් නැත. තථාගත ශරීරය පුරා පවතින ලෝම ක්‍රමික රටාවකට පිහිටා තිබේ. ඒවා සියල්ල දකුණට කැරකැවී රෝම කූපයේ අග උඩ අතට හැරී සිටින සේ පිහිටා තිබේ. එය බුදුරජාණන් වහන්සේට අනන්‍යවු ලක්‍ෂණයක් නිසා මහා පුරුෂ ලක්‍ෂණයක් වේ.

15. ඍජු ශරීර ඇති බව (බ්‍රහ්මුජ්ජුගන්තෝ)

සාමාන්‍ය මිනිසුන්ගේ ශරීරය ඉදිරියට හෝ පිටිපැත්තට හෝ නැමී පවතී. ඇතැම් අයගේ සිරුර පැත්තකට නැමී ඇත. තථාගතයන් වහන්සේගේ ශරීරය එසේ නොවේ. උන්වහන්සේගේ දේහය ඍජුව පිහිටා තිබේ.

16. සත්තුස්ද ලකුණ (සත්තුස්සදො)

සාමාන්‍ය කෙනෙකුගේ ශරීරයෙහි පිටි අත් දෙක පිටි පතුල් දෙක උරහිස් දෙක යනාදි තැන් අස්ථී පෑදී පවතී. තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි එය එසේ නොවේ. තථාගත ශරීරයෙහි සත්තුස්සදෝ ලක්ෂණය පවතී.

17. පිරුණු ශරීරය (සීහ පුබ්බද්ධකායො)

සිංහයාගේ ශරීරයෙහි ඉදිරිපස පරිපූර්ණය. පිටුපස අපරිපූර්ණය. දුබලය. තථාගතයන් වහන්සේගේ ශරීරයෙහි සිංහ ශරීරයේ ඉදිරිපස මෙන් පරිපූර්ණය.

18. චිත්තන්න රංසෝ (චිතන්ත රංසය)

සාමාන්‍ය කෙනෙකුගේ ශරීරය පිහිටා තිබෙන්නේ පිට මැදින් වල ගැසීමකින්ද යුතුවය. ඒ වල ගැසීමත් සමග පිට දෙපැත්තට දෙකට බෙදී ඇත. සාමාන්‍යයෙන් තථාගත සිරුර එසේ නොවේ. පිට මසින් පිරී දෙකට නොබෙදී සමව පිහිටා ඇත.

19.නිග්‍රෝධ පරිමණ්ඩල සිරුර (නි‍්‍රගෝධ පරිමණ්ඩලෝ)

තථාගත සිරුර නුග ගසකට සමාන කොට තිබේ. උසෙහි ප්‍රමාණයට පුළුල්වීම නුග ගසෙහි ලක්‍ෂණයයි. තථාගත සිරුරද එසේය. තථාගත සිරුරේ උස යම් පමණ නම් බඹයක්ද එපමණකම වේ. බඹය යම් පමණ නම් උසද එපමණම වේ. සාමාන්‍ය මිනිසුන්ගේ ශරීරය එසේ නොපිහිටයි.

20. මනාව පිහිටි ගෙල (සමවත්තක් ඛන්ධො)

සාමාන්‍ය මිනිසුන්ගේ ගෙළ මැනවින් නොපිහිටයි. ඇතැමුන්ගේ දිගය. ඇතැම් විට වක් ලෙස පිහිටයි. පුළුල්ව පිහිටයි. කතා කිරීමේදී ගෙළෙහි නහර මතුවෙයි. හඬ මිහිරිව නොඇසේ. නමුත් තථාගතයන් වහන්සේගේ ගෙළ රන්කළසක කරසේ වටවී පිහිටා ඇත්තේය.

21. මනාරස නහර පිහිටීම (රසග්ග සග්ගී)

සාමාන්‍ය කෙනෙකුගේ රස නහර පිහිටන ආකාරයට වඩා සියුම් පිහිටීමක් තථාගත ශරීරයෙහි ඇත. ඉතා කුඩා (තල ඇටයක් පමණ) ආහාරයක් ගත්තත් ශරීරය පුරාම එය ගමන් කරන්නේ ඒ නිසාය. උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයේදි ස්වල්ප ආහාරයෙන් පවා යැපුනේ මෙම උතුම් ලක්‍ෂණය නිසාය.

22. මනාව පිහිටි හණුව ඇති බව (සීහහණු))

සිංහයාගේ යටි හක්ක සම්පූර්ණය. උඩ හක්ක අසම්පූර්ණය. බුදුරජාණන් වහන්සේගේ උඩු යටි හනු දෙකම සම්පූර්ණය. පුර හඳමෙන් පිරී පවතී.

23. දත් හතළිහක් ඇති බව (චත්තාළීස දන්තෝ)

සාමාන්‍ය කෙනෙකුගේ හණු අසම්පූර්ණ බැවින් එබදු කටක පිහිටන්නේ දත් දෙතිසක්, තිහක්, විසි අටක වැනි ප්‍රමාණයක්ය. තථාගතයන් වහන්සේගේ හණු සම්පූර්ණව පිහිටා ඇති හෙයින් විස්ස බැගින් දන්ත හතළිහක් ශ්‍රී මුඛයෙහි පිහිටා තිබේ.

24. සමව පිහිටි දත්දෙපෙළ (සම දන්තෝ)

සාමාන්‍ය මිනිසුන්ගේ කටෙහි දත් පිහිටා ඇත්තේ එක එක විදිහටය. ඇතැම් දත් මිටිය. ඇතැම් දත් උස්ය. ඇතැම් ඒවා විෂමය. තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛයෙහි පිහිටා තිබෙන දන්ත හතලිහ (40) සමානව පිහිටා තිබේ. එය මහා පුරුෂ ලක්‍ෂණයකි.

25. දත් අතර විවර නැති බව (අවිවර දන්තෝ)

සාමාන්‍ය අයගේ කටෙහි පිහිටන දත් දෙකක් අතර කුඩා ඉඩක්ද පවතී. ආහාර ගත් විට කෑම ඒවා අතර රැදෙයි. තථාගතයන් වහන්සේගේ දන්ත අතර එබදු විවර නැත.

26. මනාව පිහිටි සිටි සිරි දළදා

(සුසුක්ඛ දාඨෝ) දාඨා යනු තොල් කෙළවර පිහිටා ඇති දත් හතරය. තථාගතයන් වහන්සේගේ එම දන්ත හතරෙන් සියුම් කිරණක් විහිදේ. උන්වහන්සේ සිනාසෙන කල්හි බණ කියන විටද ඒවා පැහැදිලිව පෙනේ.

27. දිග දිවක් ඇති බව (පහුත ජීව්හෝ)

ඇතැම් අයගේ දිව පමණට වඩා ගණවේ. කුඩා හෝ වේ. ඉක්මනින් ක්‍රියාකරවිය නොහැකි පරිදි තද හෝ වෙයි. ඔවුන්ට පිරිසුදු ලෙස උච්චාරණය කළ නොහැකිය. බුදුරදුන්ගේ දිව වනාහි දික්වූද පුළුල් වූද මෘදු වූද සම වූද වෙයි. එනිසාම උන්වහන්සෙගේ හඬ ද මිහිරිය. උන්වහන්සේගේ දිවෙන් නාස්පුඩු පිරිමැදිය හැකිය. කන් සිදුරු පිරිමැදිය හැකිය.

28. බ්‍රහ්මස්වර (බ්‍රහ්ම සරෝ හොතී කරවීක භාණී)

සාමාන්‍ය කෙනෙක් කතා කරන විට නැගෙන හඬෙහි රිද්මයන්ට වඩා වෙනස් ස්වභාවයක් තථාගතයන් වහන්සේ දහම් දෙසන අවස්ථා වේ හඬෙහි පවතී. ඒ හඬ ඉමිහිරි රිද්ම ලක්‍ෂණ අටකින් (8) සමන්විත බව දක්වා තිබේ.

29. මනාව පිහිටි ඇස් ඇති බව (අභිනීල නෙත්තෝ)

සාමාන්‍ය කෙනෙකුගේ නෙත්වලට වඩා සුවිශේෂී පෙනුමක් සහිත නෙත් තථාගතයන් වහන්සේට පිහිටා තිබේ. බැලූ කෙනෙකු නැවත හැරී බලන්නට සිතෙන පරිදි අපූර්වත්වයකින් යුතුව පිහිටා තිබේ.

30. ප්‍රසන්න ඇස් ඇති බව (ගෝපඛුමෝ)

බොහෝ දෙනාගේ ඇස් මනාව නොපිහිටයි. ඇතැම් විට කුඩාය. ඇතැම් විට මහත්ය. නැත්නම් ඉදිරියට නෙරා ඇත. රසපද්‍ය නෙත් යුවළක් බුදුන්ට ඇත්තේය.

31. ඌර්ණ රෝම (උණ්ණා භමුක්කන්තරෙජාතා)

බුදුරජාණන් වහන්සේගේ දෙ බැම සහ නළල මැද දකුණට කැරකුණාසේ පිහිටා ඇති උර්ණ රෝම ලක්‍ෂණය උන්වහන්සෙගේ සිරුරෙහි දක්නට ලැබෙන මහා පුරුෂ ලක්ෂණයකි.

32. මනා නළල් තළ පිහිටා ඇති බව (උණ්හීස සීසො)

නළල වසා දෙකන් දක්වා දිවෙන රජවරුන් රාජ්‍ය සේවය හඟවනු සඳහා බදිනු ලබන නළල් පට මෙන් හෝ සුවිශේෂි පිහිටීමද තථාගත සිරුරෙහි දක්නට ලැබේ.

ඉහත දක්වනු ලැබූයේ තථාගත බුදු සිරුරෙහි පිහිටා ඇති සාමාන්‍ය ශරීරවල පිහිටන්නේ නැති ලක්‍ෂණයන්ය. බුදුරජාණන් වහන්සේට මෙම ලකුණු දෙතිසම ජන්මයෙන්ම පහළ වූයේ උන්වහන්සේගේ පෙර පුණ්‍ය මහිමය නිසාය. බුද්ධ කාලයේ සිටි ඇතැම් අයට මෙම උතුම් ලක්‍ෂණවලින් දෙකක්, තුනක්, වැනි ප්‍රමාණයක් පිහිටා තිබූ බව සඳහන්ය. ඒ අය අතරත් සාමාන්‍ය මිනිසා අතරත් තථාගත ශ්‍රී ශරීරයේ පිහිටීමද සුවිශේෂි වී තිබේ.

සටහන: හේමමාලා රන්දුනු


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.