Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

වගකීම හා යුතුකම කුමක්ද?

සියලු ගංගාවන් සිවු දිසාවෙන් ගලා විත් මුහුදට වැටුණ විට එකම ලුණු රසය ලබා දෙන්නාක් මෙන් සියලු  සත්ත්වයන්ට එකම ආකාරයේ මෛත්‍රිය වැඩිය යුතුය. බුදුරජාණන් වහන්සේ සුනීත, සෝපාක, රජ්ජුමාලා, වැනි අයට පිහිටවීමෙන් හා ඔවුන් කෙරෙහි මෙත් සිත පැතිරවීමෙන් ඒ බව ලෝ වැසියාට වදාළහ

බුදුදහම සැමවිටම අනාත්මවාදය පදනම් කරගෙන ජනතාවට යථාර්ථය වටහා දීමට කටයුතු කර තිබෙනවා.බුදුදහම කුසල් අකුසල් විපාක දීම හා එමඟින් සිදුවන යහපත හා අයහපත ගැන පැහැදිලිව කරුණු දක්වා තිබෙනවා. අනෙක් ආගම් හා දර්ශන අදෘෂ්‍යමාන බලවේග විශ්වාස කරන බවක් පෙනෙන්නට තිබෙනවා. නොපෙනෙන බලවේගයකට අපට ශාන්තිය උදාකළ හැක්කේ කෙසේද?

බුදුරජාණන් වහන්සේ ජනතාවට දේශනා කළ වදාළ ධර්මයේ විශේෂ ලක්ෂණය වී ඇත්තේ තමන් විසින්ම තමාගේ විමුක්තිය සාදාගත යුතු බවයි.

අත්තාහි අත්තනො නාථො
කෝහි නාථො පරොසියා
බුද්ධ දේශනාව එයයි

තම ආත්ම ශක්තිය වර්ධනය කර ගැනීම මිස වෙනත් බලවේගයක පිහිට පැතුවහොත් එමගින් තම ශක්තිය පිරිහෙන බව බුදුදහමේ දැක්වෙනවා. එමෙන්ම තමන් ක්‍රියාත්මක වීමේ ස්වභාවයද අඩුවනවා.

ගුරුවරයකුට කළ හැක්කේ විමුක්ති මාර්ගය පෙන්වාදීම පමණි. තමන්ගේ පිරිසුදු බව හෝ අපිරිසිදු බව තමා සතුය. තම පිරිසුදු බව හෝ අපිරිසුදුබව තවත් අයකුට ඇති කළ නොහැකිය.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේද බොහෝ දෙනාගේ හිත සුවය පිණිස චාරිකාවේ යෙදෙන ලෙසයි.

බුදුරජාණන් වහන්සේ පළමු රහත් හැටනමේ සිටම ලබාදුන්නේ මේ ඔවදනයි. තම බුද්ධ දේශනාවේ සඳහන් ‘බහුජන හිතාය – බහුජන සුඛාය’ වෙනුවට තම පටු ආත්මලාභය උදෙසා බොහෝ දෙනා කටයුතු කරන බව පැහැදිලිව පෙනෙන්නට තිබෙනවා. භික්‍ෂූන් වහන්සේගේ වගකීම හා යුතුකම කුමක්ද? ගිහියාගේ යුතුකම හා වගකීම කුමක්ද? බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ මෙම කරුණු පැහැදිලිව දක්වා තිබෙනවා. ගිහියා පවින් මුදා ගැනීම භික්ෂූන් වහන්සේගේ ප්‍රධානම වගකීමක් මෙන්ම යුතුකමක්ද වනවා. එමෙන්ම භික්ෂූන් වහන්සේ නිරන්තරයෙන්ම අනුන් සඳහාම ජීවත්විය යුතුවනවා.

නිරතුරුවම භික්ෂූන් වහන්සේ දහම් කරුණු අවබෝධ කරගෙන ගිහියාට ධර්මදේශනා පැවැත්විය යුතුයි. ගිහියා ධර්ම ශ්‍රවණය කර මැනවින් දහම් කරුණු අවබෝධ කර ගත යුතු වනවා. එම දහම් කරුණු අවබෝධ කරගෙන නිවන් මඟට පැමිණීම ගිහියාගේ මූලිකම කාර්යය විය යුතුයි. එහෙත් අද මේ පරමාර්ථයක් ඉටු වනවාද? අපේ ඇතැම් අය නමට බෞද්ධයො, තවත් අය අනුන්ට පෙනෙන්න බෞද්ධ වත් පිළිවෙත් පුරනවා. තමන්ගෙ නිවස අසල කුසගින්නේ ඉන්න දිළිදු දරුවන් හඬද්දී මහා දන්සල් පවත්වනවා. නැත්නම් ප්‍රමුඛ පෙලේ විහාරස්ථාන සොයා යනවා .කාවද අප මේ රවටාගන්නේ. තමන් විසින් තමන් රවටා ගැනීමක් නොවේද?

අද බොහෝ දෙනා ටියුෂන් පන්ති යනව වගේ භාවනා පන්ති යනවා. භාවනාවට උපදේශකවරයෙක් සිටීම වැදගත්. එහෙත් මෙහිදී සිදුවන්නේ එවැන්නක් නොවෙයි. ත්‍රිපිටකය ගැන කිසිදු දැනුමක් නැතිව භාවනාවට අවධානය යොමු කරනවා. මෙයින් තමන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ඔවුන් දන්නේ නැහැ. නිවන් දැකීමට තුත්තරා බෝධියෙන් එක් බෝධියකට පැමිණිය යුතුවනවා. බුදු,පසේබුදු, මහරහත් යන එක් බෝධියක් වෙත එළඹීමට නම් ඊට නියමිත මඟෙහි ගමන් කළ යුතු වනවා.

දාන,ශීල, ඇතුළු දස පාරමිතා පිරිය යුතුයි. එහෙත් අද ඇතැම් දෙනාට ඒ ගැන කිසිදු හැඟීමක්, දැනීමක් නැහැ. බුදුදහමේ මූලික හරය, පරමාර්ථ පවා අමතක වී ඇති බවක් පෙනෙන්නට තියෙනවා. බුදුදහමේ නිරතුරුවම අනුන් ගැනද සිතා කටයුතු කළ යුතු බව දැක්වෙනවා.

දස පාරමිතාවන් අතර පඤ්ඤා පාරමිතාවෙන් දැක්වෙන්නේ නුවණ ඇති බවයි. එහෙත් අද ඇතැම් දෙනා අන්ධ භක්තියෙන් යුතුව කටයුතු කරනු පෙනේ. ඔවුන්ට පඤ්ඤා පාරමිතාව පිරිය හැකිද? අද බොහෝ පිරිස් මේ මූලික අරමුණ ධර්මතා පසෙක තබා බුදු දහම තමන්ට සරිලන සේ සකස් කරගෙන කටයුතු කරන බවක් පෙනෙන්නට ඇත.

දෙවන ධර්ම සංඝායනාව පැවැත්වීමට හේතු වූයේ වජ්ජිපුත්තක භික්ෂූන් විසින් දස අකැප වස්තුන් කෙරෙහි යොමු වූ නිසාය. ඒ අයුරින් අද ඇතැම් පැවිදි ගිහි පිරිස් තම පෞද්ගලික අරමුණ මුදුන් පත් කර ගැනීමට බුදු දහම යොදා ගන්නා බව පෙනී යනවා.

ගම් පියසක සියලු අවශ්‍යතා සපුරාලන විහාරස්ථානයක් තිබියදී තවත් විහාරස්ථානයක් ඒ අසලින්ම තනනු ලබනවා. එයින් සිදුවන්නේ කුමක්ද? භික්ෂූන් වහන්සේ අතර මෙන්ම දායකයන් අතරද ගැටලු ඇතිවීමයි. ඇතැම් විට විහාරස්ථානද ඉදිරිපිටම තවත් විහාරස්ථාන ඇරැඹීමට තරම් සමාජය අද විපරිත වෙලා.

ධර්මාශෝක රජු වෙහෙර විහාර අසූ හාරදහසක් තැනූ බව සඳහන් වනවා. එසේ කටයුතු කෙළේ ජනතා අවශ්‍යතාවය මත .එහෙත් අද අලුතින් වෙහෙර විහාර තැනීමේදී ජනතා අවශ්‍යතාවයට එසේ කරන අවස්ථා ඉතා විරල නොවේද? මේ කටයුතු බුදු දහමේ දැක්වෙන මෛත්‍රි සංකල්පයට විරුද්ධයි. මතු උපදීමට සිටින අයටත් මෛත්‍රි කළ යුතු බවයි බුදු දහමේ පැවසෙන්නේ.

දිට්ඨා වා යේව අද්දිට්ඨා
යේ ච දූරේ වසන්ති අවිදූරේ
භූතා වා සම්භවේසී වා
සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා

කරණීය මෙත්ත සූත්‍රය

ඇසට පෙනෙන නොපෙනෙන, දුර හෝ ළඟ හෝ වසන සත්වයන්ද උපදී සිටින හා ඉපදෙමින් සිටින සත්වයන්ටද මෛත්‍රීය පැතිරවිය යුතු බව එහි දැක්වෙනවා. අසල්වැසියට ප්‍රේම කරන්නැයි ඇතැම් ආගම්වල දැක්වුනත් බුදු දහමේ දැක්වෙන්නේ කුඩා කූඹියාගේ සිට සියලු සත්වයන්ට කරුණාව, දයාව මෛත්‍රිය පැතිරවිය යුතු බවයි.

බුදු දහම කුල භේදය තරයේම ප්‍රතික්ෂේප කර ඇතිවාක් මෙන්ම සියලුම වර්ගීකරණයන්ගෙන් එවන් මත වාද ඛණ්ඩනය කර තිබෙනවා.

සියලු ගංගාවන් සිවු දිසාවෙන් ගලා විත් මුහුදට වැටුණ විට එකම ලුණු රසය ලබා දෙන්නාක් මෙන් සියලු සත්ත්වයන්ට එකම ආකාරයේ මෛත්‍රිය වැඩිය යුතුය. බුදුරජාණන් වහන්සේ සුනීත, සෝපාක, රජ්ජුමාලා, වැනි අයට පිහිටවීමෙන් හා ඔවුන් කෙරෙහි මෙත් සිත පැතිරවීමෙන් ඒ බව ලෝකයට වදාළහ.

බුද්ධ දේශනාව වන්නේ යමෙක් ධර්මය දකීද ඔහු බුදුරජාණන් වහන්සේ දකින බවයි. බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වනු, ලබන පූජාවක් නම් තමන් මෙන්ම අනෙක් අයද නිවැරැදි මඟට යොමු කිරීම වැදගත් වනවා.

මෛත්‍රිය මෙහිදී වැදගත් වන්නේ සියලු සත්වයන්ට කරුණාව ඉපදීමට එය බලපානු ලබන හෙයිනි. වෙසක් දින ප්‍රතිපත්ති පූජාවට මුල්තැනක් දී ආගමික කටයුතු වල යෙදීමට හැකියාව ලැබෙන්නේ නම් එය බුදුරජාණන් වහන්සේ වදාළ දහම අනුගමනය කිරීමක් වනවා මෙන්ම තමන්ගේ තත්ත්වය හැකියාව ප්‍රදර්ශනයට යාම අඳුරෙන් අඳුරට හෝ එළියෙන් අඳුරට යාම පමණක් බව අප වටහා ගත යුතුය.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.