Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

විසිපස් වසරක අභිමානය යග්ගපිටිය ශ්‍රී සම්බෝධි මහා විහාරය



අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා

විහාර මන්දිරය

අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා වහන්සේලා

බෝධීන් වහන්සේ

සියවස් ගණනාවක බෞද්ධ ඉතිහාසයකට උරුමකම කියන අපේ මව්බිමේ ඉතිහාසයක කථාව පුරාම ජාතියේ බිඳවැටීම් පරාජයන් හමුවේ යළි නැගී සිටින්නට වෙර වීරිය ලැබුවේත් නව බෞද්ධ හර පද්ධතීන් සමඟ සමාජ සාරධර්මයන්හි පුනර්ජීවනයන්ට දිරිය, අනුබල ලැබුනේත් හෙළ බෞද්ධ දේශමාමක මුරදේවතාවුන් වහන්සේලාගේ හා උන්වහන්සේලාගේ නායකත්වය ප්‍රමුඛ කොට ඇති බෞද්ධ සිද්ධස්ථානයන්ගෙන් බව ඉතිහාසය මොනවට සාක්‍ෂි දරයි.

එකී සිද්ධාන්ත පසක් කරලමින් 20 වන සියවස අග භාගයේ එනම් වර්ෂ 1987 ක් වූ මැයි මස 13 වන දින ශ්‍රී ලංකාද්වීපයෙහි වයඹ පළාතේ ඓතිහාසික උරුමයෙන් සපිරි හස්ති ශෛල පුරවරයෙන් ඇතුගලින් නැගුණු රන් හිරු කිරණ සුන්දර බඩල්ගමු වනඅරණ අබියෙසට වැටෙන්නට ඇත්තේ අනාගතයේ දිනක ප්‍රාදේශීය හා දේශීය වශයෙන් මහත් ශාසනික සමාජීය සේවා කදම්භයක් ඉටුකරන්නට පෙරුම් පුරණ පුණ්‍ය භූමියක් බිහිවනවාය යන මහත් අභිමානයෙන් යුතුව වන්නට ඇත.


විහාරාධිපති නා හිමියන් නිධන් වස්තු තැන්පත් කිරීමට සූදානමින්...

ඒ අනුව වර්ෂ 1987 ක් වූ මැයි මස 13 වන දින වැලිවෙහෙර ඤාණින්ද හිමිපාණන් නම් වූ යතිවරයාණන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් හා වෙරවීරියෙන්, අනුශාසකත්වයෙන් ඇතුගල්පුරවරයේ දඹුලු මහා මාර්ගයට යාබදව, ඓතිහාසික මෙන්ම රමණීය බඩගමුව වන ලැහැබ අසල යග්ගපිටිය ගම්සීමාන්තයේ ඇරඹී යග්ගපිටිය ශ්‍රී සම්බෝධි විහාරස්ථානය බව කිව යුතුය.

වසර විසිපහක් තුළ වසර සියයකින් වත් නිමකරන්නට නොහැකි විහාරස්ථානයක අභිමානය පිළිබිඹුවන විහාරාරංග රැසක් නිමවී ඇති අයුරු දක්නට ලැබෙන විට ශ්‍රී සම්බෝධි මහා විහාරය නම් විශ්මකර්ම වැඩක් යැයි සිතෙනු ඇත. මෙම ආශ්චර්යවත් නිමැවුම උත්සාහය කැපවීම, පරිත්‍යාගය විනිවිදභාවය අවංකත්වය හා ආශිර්වාදයේ සංකලනයක් මිස අන් කිසිවක් නොවේ. එක් වෙසක් පොහොය දිනයක පන්සල දකින්නට වඳින්නට පුදන්නට එන බැතිමතෙකු ඊළඟ වෙසක් පොහොය දිනයට පන්සලට ගොඩවැදුනොත් නව නිමැවුමක අසිරිය විඳීන්නට හැකි වනවා මය.

වසර විසි පහ තුළ විහාරයක තිබිය යුතු බෝධිය, චෛත්‍යය බුදුමැදුර යන ත්‍රිවිධ බෝධිය මූලික කරගත් , සංඝාවාසය,ධාතු මන්දිරය, පුස්තකාලය, දානශාලාව, ධර්මශාලාව, අටවිසි බුදුපිළිම වහන්සේලා ,අසූ මහා ශ්‍රාවක පිළිම වහන්සේලා, අනු බුදු මිහිදු හිමි හා සඟමිත් මහා රහත් තෙරණි පිළිම වහන්සේලා, සමාධි පිළිමය, වාහල්කඩ ඌනතාවයකින් තොරව විහාර භුමියේ දස අත නිමවී ඇත. 2600 සම්බුද්ධත්ව ජයන්ති සැමරුම් වසර එළැඹිනි. අනුස්මරණිය වසර තුළ චිරාත් කාලයක් පවතින්නට දෙතිස් රියන් ශාන්ත බැතිබර සැතපෙන බුදු පිළිමයක් සම්බෝධි පින් බිමට පහළ විය. අනිල් කේ. සේනාධීර මැතිතුමා ප්‍රධාන අප්‍රසිද්ධ පරිත්‍යාගශීලි බැතිමතුන් නිර්ලෝභීව රුපියල් ලක්‍ෂ ගනණින් කළාවු ධන පරිත්‍යාගය මත නිර්මාණශීලි නිර්මාණකරුවන්ගේ දෑතේ ශක්තියට විහාරාධිපති වැලිවෙහෙර ඤාණින්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අනුශාසකත්වය හා ආශිර්වාදය එක්තැන් කර සැතපෙන බුදුපිළිම වහන්සේ ගේ ප්‍රතිමාව හරියටම වසරක් තුළ බිහිවිය.

ඤාණින්ද ස්වාමීන් වහන්සේ දිවි සැරියෙන් අසූවියට පිය නගත්ම තම භික්ෂූ ජීවිතය බැබළවූ පැවිදි ජීවිතයේ කරන ලද ශාසනික සේවාව උදාරය. වර්තමානය හා අනාගතය වෙනස්වේවි. එහෙත් ඉතිහාසය වෙනස් කළ නොහැකිය. තවත් වසර සිය ගණනකට පසු ශ්‍රී සම්බෝධි මහා විහාරය නිර්මාණකරුවා හා දායකත්වය දැරුවෝ කවරුන්දැයි සනාථ කරගන්නට සමරු සටහන් ගණනාවක් ලියවී ඇත.

සම්බෝධි දස වස් පූර්ණ උපහාර කලාපය, ශි‍්‍ර සම්බෝධි අසිරිමත් විසි වසර, සැනසුම හා නාහිමි ස්වයංලිඛිත චරිතාපදානය, ගලන ගඟකි ජීවිතේ හා විහාරස්ථානයට වසර විසිපහක් සපිරීම නිමිති කරගත් “ ශ්‍රී සම්බෝධි උදානය” වැනි ග්‍රන්ථ 15 ක් පමණ මුද්‍රණය වී ඇත. දකුණු පළාතේ සිට ඇතුගල්පුරය හරහා රජරට අනුරාධපුරය පොළොන්නරුව බලා ගමන් කරන බැතිමතුනි, කුරුණෑගල ශ්‍රී සම්බෝධි පින් බිමෙහි මඳකට නවතින්න. විසිපස් වසරක් තුළ ඉදිවූ වෙහෙරක අසිරිය විඳගන්න.

 

 

 

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.