Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙතිස් ලකුණෙන් විසිතුරු

බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි සාමාන්‍ය මනුෂ්‍යයකුට වඩා වෙනස් වූ ලක්‍ෂණ දෙතිසකින් (32) සමන්විතය. සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව වඩාත් වැදගත් වන්නේ කෙනෙකුගේ ශරීර ලක්‍ෂණ නොව ඔහු සමාජයට කරනු ලබන ක්‍රියාදාමයන්ය. එහෙත් එබදු උතුම්, ක්‍රියාවන් කරන කෙනෙකුගේ ශරීරය තුළ පවතින රූප ස්වභාව පිළිබඳව සොයා බැලීමට බණ දහමෙන් බාධාවක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශරීර ලක්‍ෂණ නිසාම උන්වහන්සේ ළග මහණදම් පුරන්නට කැමැත්තක් පළකල අයත් සිටියා. “වක්කලී” තරුණයත් එබදු පුද්ගලයෙක්. ඔහු මහණ වෙලා බුදුහාමුදුරුවන්ගේ රූප ස්වභාවය බලමින් උන්වහන්සේ අසල වැඩ සිටියා.

බුදුරජාණන් වහන්සේගේ ශරීරය තුළ පිහිටා තිබෙන මහා පුරුෂ ලක්‍ෂණ දෙතිස (32) පිළිබඳව කරුණු සඳහන් වන්නේ ලක්ඛන සූත්‍රයේදීය. එහි දැක්වෙන මහා පුරුෂ ලක්‍ෂණ මෙසේ දැක්විය හැකිය.

ඉධ භික්ඛවේ මහාපුරිසො
සුජපතිට්ඨිත පාදො
හෝති යම්පි භික්ඛවේ මාහ
පුරිසො සුජපති ටිඨිත
පාදො හෝති ඉදම්පි භික්ඛවෙ මහා පුරිසස්ස
මහා පුරිස ලක්ඛණං භවත්‍රි

මෙහි දැක්වෙන්නේ උන්වහන්සේගේ ශරීරයෙහි දක්නට ලැබුණු පළමු මහා පුරුෂ ලක්‍ෂණය පිළිබඳව එනම්

1. මනාව පිහිටි පා ඇති බව (සුවිපතිට්ඨිත පාදෝ)

සාමාන්‍ය මිනිසා පය බිම තබන කල්හි පොළවට ගෑවෙන්නේ යටිපතුළෙහි කොටසක් පමණි. සම්පූර්ණ පාදය පොළවෙහි ගෑවෙන්නේ නැත. බුදුරජාණන් වහන්සේගේ යටිපතුල එසේ නොවේ. සම්පූර්ණ කොටසම මහා පොළවෙහි ස්පර්ශවේ. එය බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙහි පවතින මහා පුරුෂ ලක්‍ෂණයකි.

2. යටිපතුලෙහි චක්‍ර සටහන් පිහිටා ඇති බව (හෙටිඨාපාද තලේසු චක්කාති ජාතානි)

තථාගතයන් වහන්සේගේ පාදවල යටිපතුල් යුවළෙහි චක්‍ර සටහන් යුවළක් පිහිටා තිබේ. එය උන්වහන්සේගේ ශරීරයෙහි පවතින මහා පුරුෂ ලක්‍ෂණයකි. එසේම මගුල් ලකුණු කිහිපයක් පවතින බව සඳහන් වේ.

3. දික්වූ විලුඹක් ඇති බව (ආයත පණ්හි)

මෙම ලක්‍ෂණයද පාදයට සම්බන්ධ එකකි. පාදයෙහි විලුඹ පිහිටා තිබෙන්නේ අන්‍ය අයට වඩා තරමක් දිගටය. උන්වහන්සේගේ සිරුරට නව පෙනුමක් ගෙන එයි. විශේෂයෙන් බැලුවකුට විනා එය පෙනෙන්නේ නැත.

4. දික්වූද එක සමාන වූද ඇඟිලි ඇති බව (දීඝං ගුලි))

සාමාන්‍යයෙන් මිනිසුන්ගේ අත්පාවල ඇඟිලි පිහිටන්නේ ඒ ඒ ඇගිල්ලට අනන්‍යවූ දිග ප්‍රමාණයකිනි. ඒ අනුව අතක ඇඟිලි පහ පස් අයුරකට පිහිටයි. පාදයෙහිද එබදුමය. බුදුරජාණන් වහන්සේගේ අත් පාවල පිහිටා ඇති ඇඟිලි එසේ නොවේ. උන්වහන්සේගේ පිහිටා ඇත්තේ අග සිහින් සමාන එක හා සමාන දිග ඇඟිළිය.

5. මෘදු මොළොක් අත්පා ඇති බව (මුදු තලුණ හත්ථපාදෝ)

සාමාන්‍යයෙන් කෙනෙකුගේ අත්පා වයසත් සමග වෙනස් වෙයි. බුදුරජාණන් වහන්සේගේ අත්පා පිහිටා තිබෙන්නේ තරුණ කෙනෙකුගේ අත්පා පිහිටි ආකාරයටය. එයින් උන්වහන්සේගේ ශරීර ශක්තිය සහ පෙනුම ප්‍රභාමත්ය.

6. සමානව පිහිටි අත්පා (ජාල හත්ථ පාදෝ)

සාමාන්‍ය කෙනෙකුගේ ශරීරයෙහි අත්පාවලට වඩා බුදුරජාණන් වහන්සේගේ අත්පාවල අගමුල යන සන්ධි ස්ථාන එක පෙළට සමානව පිහිටා ඇති හෙයින් සිරුරට නව පෙනුමක් ගෙන දෙයි.

7. පහසු පා ඇති බව (උස්සංඛ පාදෝ)

සාමාන්‍යයෙන් කෙනෙකු ඇවිදගෙන යන විට ඉදිරියෙන් සිටින කෙනෙකුට ඇවිදින කෙනාගේ පාදයෙහි යටිපතුළ පෙනෙන්නේ නැත. පිටුපස සිටින තැනැත්තාට ඔහුගේ යටිපතුළ දැකිය හැකිය. එයට හේතුව පාදයෙහි ගොප් ඇටය පිහිටා ඇති ආකාරය අනුවය. බුදුරජාණන් වහන්සේ මඟ වඩින විට ඉදිරියෙන් සිටින කෙනෙකුටත් පසුපස සිටින කෙනෙකුටත් උන්වහන්සේගේ යටිපතුළ දැකිය හැකිය. එයට හේතුව උන්නහන්සේගේ පාදයෙහි ගොප් ඇටයේ පිහිටීමේ විලාසයයි.

8. මනාව පිහිටි කොණ්ඩය ඇති බව (ඒණි ජංඝෝ)

පාදයේ ඉහළ කොටස ආරම්භවන ස්ථානය හදුන්වන්නේ කොණ්ඩ හෙවත් ජංඝා නමිනි. සාමාන්‍ය කෙනෙකුගේ ජංඝා හෙවත් කකුළෙහි පාදයෙහි ඉහළ කොටස ආරම්භක ස්ථානය පිහිටි ස්වභාවයට වඩා සුලක්‍ෂණව තථාගතයන් වහන්සේ ගේ ජංඝා පිහිටා තිබේ.

9. නොනැමි දණහිස පිරිමැදිය හැකි බව (ඨිතතෝව අනෝනමන්තෝ උභෝහි පාණිතලෙහි චන්ත්‍රපාති පරිමසති පරිමජ්ජති)

සාමාන්‍යයෙන් හිටගෙන සිටින කෙනෙකුට තමන්ගේ අතින් දණහිස අතගෑමේදි නොනැමී එය කළ නොහැකිය. තථාගතයන් වහන්සේට නොනැමී දණහිස ස්පර්ශ කළ හැකිය. එයට හේතුව උන්වහන්සේගේ දෑත් දික්ව පිහිටා තිබීම ලෙස සැලිකිය යුතුය. තථාගත. ශරීරය සුලක්‍ෂණව පිහිටා තිබීම එයට හේතුව බව දක්වා තිබේ.

(ඉතිරි කොටස මැයි මස 12 වැනි දා වෙසක් අව අටවක පොහෝ දා පුවත් පතේ පළවේ)


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.