Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 අසමසම බුදුපියාණන් වහන්සේ

සම්මා සම්බුදුවරයෙකුගේ පහළවීම අතිශයින්ම දුර්ලභය. ඇතැම්විට කල්ප ගණනාවකට ද සම්බුදුවරයෙකුගේ උපතක් නැත. එවන් කාලපරිච්ඡේද හඳුන්වන්නේ ‘බුද්ධ ශුන්‍ය කල්ප’ වශයෙනි. අප ගත කරන මෙම යුගය හඳුන්වන්නේ ‘මහාභද්‍ර කල්පය’ වශයෙනි. මක්නිසාද යත්, සම්බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළවන සුන්දර යුගයක් බැවිනි

ඒභාග්‍යවත් වූ අරහත් වූ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුදු තෙමඟුල සමරන මේ සුපින්බර වෙසෙ‍ෙග් උන්වහන්සේගේ පමණ නොකළ හැකි ගුණකදම්බයෙන් මදක් විමසමු.

වරින්වර අසිරිමත් මිනිස්සු ලොව පහළ වෙති. මහරහතන් වහන්සේලාගේ පහළ වීම ද අයත් වන්නේ අසිරිමත් මිනිසුන්ගේ ගණයටයි. නමුත් උන්වහන්සේලා සම්මා සම්බුදුවරයෙකුගේ ශ්‍රාවකයෝ වෙති. සම්බුදු රජෙකුගේ පහළවීමට කලින් පහළවන තවත් උතුම් පිරිසක් සිටිත්. උන්වහන්සේලා හඳුන්වන්නේ ‘පසේබුදුවරුන්’ නමිනි. සම්මා සම්බුදුවරු යනු මීට හාත්පසින්ම වෙනස් ආශ්චර්යවත් අද්භූත ගතිගුණයෙන් යුතු මුනිවරයෝ ය.

සම්මා සම්බුදුවරයෙකුගේ පහළවීම අතිශයින්ම දුර්ලභය. ඇතැම්විට කල්ප ගණනාවකට ද සම්බුදුවරයෙකුගේ උපතක් නැත. එවන් කාලපරිච්ඡේද හඳුන්වන්නේ ‘බුද්ධ ශුන්‍ය කල්ප’ වශයෙනි. අප ගත කරන මෙම යුගය හඳුන්වන්නේ ‘මහාභද්‍ර කල්පය’ වශයෙනි. මක්නිසාද යත්, සම්බුදුරජාණන් වහන්සේලා පස්නමක් පහළවන සුන්දර යුගයක් බැවිනි.

මෙම කල්පයෙහි පළමුව පහළ වූයේ කකුසඳ බුදුරදුන් ය. එකල මිනිසුන්ගේ ආයුෂ වසර හතලිස් දහසකි. දෙවනුව පහළ වූයේ කෝණාගමන බුදුරදුන් ය. එකල මිනිසුන්ගේ ආයුෂ වසර තිස්දහසකි. ඊළඟට මිනිසුන්ගේ ආයුෂ වසර විසිදහස වනවිට කාශ්‍යප බුදුරදුන් පහළ විය. ක්‍රම ක්‍රමයෙන් මිනිසුන්ගේ ආයුෂ වසර එකසිය විස්සට බැස්සේය. එවිට අපගේ ගෞතම නම් වූ භාග්‍යවත් අරහත් සම්බුදුරදුන්ගේ පහළවීම සිදුවිය.

ගෞතම බුදුරදුන්ගේ ගේ ශාසනය තුළ මිනිසුන්ගේ ආයුෂ වසර දහයක් දක්වා පිරිහී ගිය කළ ලෝක යුද්ධයක් හටගනී. ආයුධ වර්ෂාවක් වසී. දින හතක් පුරා පවතින මේ භයානක යුද්ධයෙන් දිවි ගලවා ගන්නෝ ඉතා අතලොස්සකි. ඔවුන් එකිනෙකා වෛර සිත් බැහැරකොට සිප වැළඳගෙන ප්‍රාණඝාතයෙන් වැළකී දැහැමි ජීවිතයක් අරඹනු ඇත. කෙමෙන් කෙමෙන් මිනිස් ආයුෂ ද වර්ධනය වනු ඇත. මිනිස් ආයුෂ වසර අසූදහසක් වූ කල්හි මේ මහා භද්‍ර කල්පයේ අවසාන බුදුරජුන් වන මෛත්‍රී සම්බුදු රජුන්ගේ පහළ වීම සිදුවේ. සැබැවින්ම එකම කල්පයකදී සම්මා සම්බුදුවරුන් පස්නමක් පහළවීම ඉතා අසිරිමත් නොවේ ද?

ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොවෙහි වෙන කිසි දෙවියෙකුට හෝ මාරයෙකුට හෝ බ්‍රහ්මයෙකුට හෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට හෝ මිනිසෙකුට හෝ සමාන නැත. එනිසා උන්වහන්සේලා ‘අසම’ වන සේක. සමාන වන්නේ සම්මා සම්බුදු කෙනෙකුටම බැවින් ‘සම’ වන සේක.

ඒ සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සම්බෝධියට පත්වන්නේ ගුරුපදේශ රහිතව තමන් වහන්සේ ලා විසින් උපදවා ගන්නා ලද ස්වයංභූ ඤාණයකිනි. දම්සක් පැවතුම් සුත්‍රයෙහි අප භාගවතාණන් වහන්සේ මෙසේ වදාරණ සේක.

’පින්වත් මහණෙනි, යම් කලෙක මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව මෙසේ (සත්‍ය ඤාණ, කෘත්‍ය ඤාණ, කෘත ඤාණ වශයෙන්) පරිවර්තන තුනකින් යුතුව යථාභූත ඤාණ දර්ශනය මා හට අවබෝධ වූයේ වේද.

එකල්හි පින්වත් මහණෙනි, මම දෙවියන් සහිත මරුන් සහිත, බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධියට පැමිණි බවට ප්‍රතිඥා දුන්නෙමි. මාහට ඤාණ දර්ශනය පහළ විය. මගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන්නේය. මෙය මාගේ අවසාන උපත ය. යළිත් මා හට පුනර්භවයක් නැත්තේ ය.

මෙය සියලු සම්මා සම්බුදුවරයන් වහන්සේලා ලබන පොදු අත්දැකීමකි. චතුරාර්ය සත්‍යාවබෝධය උන්වහන්සේලා තුළ ඇතිවන්නේ බාහිරෙන් ලත් ශ්‍රමණයෙකින් තොරවය.

’පෙර නො ඇසූ විරූ ධර්මයන්හි දහම් ඇස පහළ විය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය’’ වශයෙන් උදන් අනන්නේ ඒ නිසාය.

පාරමි ධර්මයන් සම්පූර්ණ කරන ලද සියලු බෝසතාණන් වහන්සේලා අවසානයට වැඩ වසන්නේ තුසිත දෙව්ලොව ය. බුද්ධ කාලය පැමිණි කල්හි දෙවි බඹුන් පැමිණ උන්වහන්සේට මනුලොව උපදින්නට ඇරයුම් කරති.

ඉන්පසු ඒ සියලු බෝසතාණන් වහන්සේලා කාලය, ද්වීපය, දේශය, කුලය, මව් යන කරුණු පහ හොඳින් විමසා බලති. එම කාලය යනු මිනිස් ආයුෂ අවුරුදු ලක්ෂයට වැඩි නොවිය යුතුය. අවුරුදු සියයට අඩු නොවිය යුතුය. අප බුදුරජාණන් වහන්සේ මිනිස් ලොව උපදින විට මිනිසුන්ගේ් පරම ආයුෂ වයස එකසිය විස්සක් ව පැවතිණ. ද්වීපය යනු ජම්බුද්වීපයයි. දඹදිවෙන් බැහැරව වෙනත් කිසි ද්වීපයක සම්මා සම්බුදුවරු පහළ නොවෙති. දේශය යනු බුදුවරු පහළ වීමට අදාළ ප්‍රදේශයයි. එනම් ජම්බුද්වීපයෙහි උතුරු දෙසට නැඹුරු වූ ඊසාන දිග ප්‍රදේශය කුලය යනු බුදුවරයෙකු පහළ වන පවුල් පසුබිමයි. සියලු සම්මා සම්බුදුවරයන් වහන්සේලා පහළ වී තිබෙන්නේ බ්‍රාහ්මණ කුලයේ හෝ ක්ෂත්‍රිය කුලයේ ය. අපගේ භාග්‍යවතුන් වහන්සේ පහළ වූයේ ගෞතම ගෝත්‍රයට අයත් ඔක්කාක රාජ වංශය වන ක්ෂත්‍රිය කුලයේය. මව් යනු එකල ලොව සිටි ඉතා සිල්වත් මාතාවය. එමෙන්ම ඕ තොමෝ දස මසක් මව්කුස දරු සම්පත දරා සිටි දරුවා බිහිකළ කල්හි සත් දිනකට ආයුෂ ඇති තැනැත්තියක් විය යුතු වන්නීය. මේ සියල්ල සම්පූර්ණ වී තිබීම පිළිබඳව සොයා බැලීම පස්මහ බැලුම් බැලීමයි.

ඒ සියලු මහබෝසත්වරු මනා සිහිනුවණින් දෙව්ලොවින් චුතවෙති. මනා සිහිනුවණින් යුතුව මව් කුසෙහි වැඩෙති. එමෙන්ම මනා සිහිනුවණින් මව් කුසින් බිහිවෙති. මෙය සියලු සම්මා සම්බුදුවරුන්ට පමණක් සිදුවන දෙයකි.

(ඉතිරි කොටස මැයි මස 12 වැනි දා වෙසක් අව අටවක පොහෝ දා පුවත් පතේ පළවේ)


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.