Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවාප සූත්‍රය ඇසුරෙන්

ත්‍රිපිටකයෙන් හෙළිවන උපමා කතා

බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල දී ගැඹුරු දහම් කොටස් උපමා මාර්ගයෙන් පැහැදිලි කළහ. මජ්ජිම නිකායේ ඕපම්ම වර්ගයේ සඳහන් වන කකචූපම, අලගද්දූපම, චම්මික, රථවිනීත, නිවාප, අරියපරියේසන ආදි සුත්‍ර මෙහි දී විශේෂයෙන් සඳහන් කළ හැකිය. එහි සඳහන් වන නිවාප සූත්‍රය මෙහි දී සාකච්ඡා කරනු ලැබේ. මෙම නිවාප සූත්‍රයෙන් තෘණ කොටුවකට ආහාර සඳහා පැමිණෙන මුව රංචු හතරක් පිළිබඳ ව කිය වේ. එම මුව රංචු හතරෙන් භික්‍ෂූන් වහන්සේලාගේ හැසිරීම් රටා හතරක් විස්තර කෙරේ.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී භික්‍ෂූන් වහන්සේ අමතා මෙම නිවාප සූත්‍රය දේශනා කළහ.

1. නිවාප යනු තණ කොටුවයි 2. නේවාපික යනු වැදි නායකයාය, 3. නේවාපික පිරිස යනු වැදි පිරිසය 4. මුව සමූහයා යනු ශ්‍රමණ බ්‍රාහ්මණයින්ය

පළමු මුව රංචුව

නේවාපිකයා (වැද්දා) වැපුරූ මෙම තණ කොටුවට පැමිණ පළමු මුව රංචුව සිහි මුලාවෙන් ගිජුව තණ වර්ග ආහාරයට ගෙන මදයට පැමිණියේය. එය ප්‍රමාදයට හේතු විය. මත්වීමෙන් සිහි නැති විය. වැද්දාගේ තණ කොටුවේ කැමති පරිදි අහාර අනුභව කළ මෙම මුව රංචුව වැද්දාගේ සහ වැදි පිරිසේ ග්‍රහණයට හසුව මරණයට පත් විය.

දෙවන මුව රංචුව

දෙවන මුව රංචුව මෙසේ සිතීය. පළමු මුව රංචුව වැද්දාගේ තණ කොටුවට ගොස් අධික ආශාවෙන් තණ ආහාරයට ගන්නා ලදී. පළමු මුව රංචුව වැද්දාගේ තණ කොටුවේ තණ අහාරයට ගැනීමෙන් මත් විය. සිහි නැති විය. එබැවින් වැද්දාට හසුවිය. එනිසා අප නිවාප තණ කෙතට නොගොස් ඒ නිවාප භෝජනයෙන් මිදිය යුතු යැයි සිතා දෙවන මුව රංචුව වනයට ගියේය.

දෙවන මුව රංචුව කලක් වන ලැහැබක වාසය කළේය. එහි සිටිනා විට ගිම්හානය උදා විය. ගිම්හානයේ අවසාන කාලයේ තණ කොළ, ගස් වැල් වියළී ගියේය. ජල උල්පත් සිදී ගියේය. මුවන් ඉතා ම කෘශ බවට පත් විය. ශක්තිය පිරිහුණු පසු වැද්දාගේ තණ කොටුවට පැමිණීමට නැවත තීරණය කොට පැමිණ එහි තණ වර්ග ආහාරයට ගෙන මත් වී සිහි නැති විය. මුලා වූ මුවන් මරා වැද්දා ආහාරයට ගන්නා ලදී.

තුන්වන මුව රංචුව

තුන්වන මුව රංචුවට අත්දැකීම් සමූහයක් ඇති බැවින් මෙසේ සිතී ය. පළමු මුව රංචුවත්, දෙවන මුව රංචුවත්, වැද්දාගේ ග්‍රහණයට හසුවිය. එබැවින් වැද්දාගේ තණ කොටුව ඇසුරු කොට ලගින්න තැනක් පිළියෙළ කරගත යුතුයැයි කථිකා කර ගත්හ. මෙම තුන්වන මුව රංචුව වැද්දාගේ කොටුවෙන් තණ වර්ග ආහාරයට ගන්නා අතර එහි නොලැග්ගේය. මුසපත් නොවීය. ඒ නිසා ම මත් නො වීය. මත් නොවූ සිහි මුලා නොවූ බැවින් වැද්දාට හෝ වැදි පිරිසට අල්ලා ගැනීමට නොහැකි විය. කැමතිසේ ආහාර ගෙන ජීවිතය ද බේරා ගත්හ.

ඊට පසු වැද්දාටත් වැදි පිරිසටත් මෙවන් අදහසක් ඇති විය.මේ තුන් වැනි මුව රංචුව නම් මහා කපටි පිරිසකි. පුහුණුවක් තිබෙන කපටි යක්ෂයින් වැනි (පරජනා) මොවුන්ගේ පැමිණීමක් හෝ පිටව යාමක් ද දැක ගත නොහැකිය. අල්ලා ගන්නට නම් උපායක් යෙදිය යුතුය. අප වැපුරූ කොටුවේ අවට බොහෝ දඬු ලී වැල් ඇත. ඒවා රැගෙන වටකරන්නට වැටක් බැඳිය යුතුය. වැදි නායකයාත් ඔහුගේ පිරිසත් එකතුව මුව රංචුව වටවෙන සේ කොටුවක ආකාරයෙන් වැටක් බැන්දේය. වැදි පිරිස මුව රංචුව ලැග සිටින ස්ථානය දැක්කේය. මේ අනුව තුන්වන මුව රංචුවත් වැද්දාගේ ග්‍රහණයට හසුවිය.

හතරවන මුව රංචුව

හතරවන මුව රංචුව මෙසේ සිතීය. පළමු මුව රංචුව වැද්දාගේ ග්‍රහණයට හසුවිය. දෙවන මුව රංචුව ද වනගත ව සිට ආපසු ඇවිත් වැද්දාට හසුවිය. තුන්වන මුව රංචුව වැද්දාගේ තණ කොටුවෙන් ඈත සිට රහසිගතව තණ වර්ග අනුභව කළ ද ඔවුනුත් වැදි පිරිසට හසුවිය. එබැවින් අප (හතරවන මුව රංචුව) වැද්දාගේ තණ කොටුවට ඈත වැදි නායකයාටත් වැදි පිරිසටත් හසු නොවන ස්ථානයක සිටිමින් වැද්දාගේ තණ කොටුවෙන් තණ වර්ග ආහාරයට ගෙන මුලා නොවී වාසය කරමු යයි කථිකා කරගත්හ. ඒ අනුව වැද්දාගේ තණ වර්ග ආහාරයට ගෙන ජීවිතය පවත්වා ගෙන ගියහ. ආහාරයෙහි ගිජු නොවී සිහි මුලා බවට පත් නොවී තණ වර්ග ආහාරයට ලත් බැවින් වැද්දාටත් වැදිපිරිසටත් හතර වන මුව රංචුව හසු නොවීය. වැදි නායකයාටත් වැදි පිරිසටත් මුව රංචුවට හානියක් කරන්නට නොහැකි විය.මෙහි දී වැදි නායකයාටත් වැදි පිරිසටත් මෙවැනි අදහසක් ඇති විය.

මෙම හතරවන මුව රංචුව මහා කපටි පිරිසකි. ඔවුන්ගේ පමිණීම හෝ තණ වර්ග ආහාරයට ගැනීමක් හෝ පිටත්ව යාමක් හෝ දක්නට නොමැත. තුන්වන රංචුව මෙන් වැටකොටු බැඳ අල්ලා ගැනීමට සිතූහ. එහෙත් ඉන්නා ස්ථානයක් සිතාගත නොහැකිය. ඉන්පසු වැදි නායකයාත් වැදි පිරිසත් මෙසේ සිතූහ. අප හතරවන මුවරංචුව සමග ගැටීමක් ඇති කර නොගත යුතුය. ගැටීම් ඇතිවන විට ඔවුන්ට මෙන් ම අපට ද හානි ඇතිවේ. එබැවින් අප ඔවුන් කෙරෙහි මැදිහත් වෙමු යැයි කථිකා කර ගත්හ. ඒ අනුව මෙම වැදි පිරිස හතරවන මුව රංචුව කෙරෙහි මධ්‍යස්ථ වූහ. එබැවින් වැදි නායකයාට හෝ ඔහුගේ පිරිසට හසු නොවීය.

මුව රංචු හතරක් පිළිබඳ ව කථා පුවත උපමාවක් බව බුදුරජාණන් වහන්සේ මෙසේ දේශනා කළහ.”මහණෙනි අර්ථය හැඟවීම පිණිස මම මේ උපමාව දේශනා කළෙමි” යනුවෙන් උන්වහන්සේ උපමාව මෙසේ පැහැදිලි කළහ.

1. මහණෙනි, නිවාප යනු පස්කම් ගුණයන්ට නමකි, 2. මහණෙනි, නේවාපික යනු පවිටු මාරයාට නමකි, 3. මහණෙනි, නේවාපික පිරිස යනු මේ මාර පිරිසට නමකි, 4. මහණෙනි, මුව සමූහයා යනු ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට කියන නමකි

පළමු වන මහණ පිරිස

මහණෙනි, පළමු මහණ බමුණන් පිරිස මාරයා වපුරන ලද තණ කොටුව නම් වූ පංචකාම වස්තුන්ට ඇලී මුසපත්ව කාමගුණ නමැති ආහාර අනුභව කළහ. මුසපත්ව පස්කම් අනුභව කර මත් විය. මත් වී සිහිනැති විය. මේ අනුව පළමු වන මුව පිරිස වැද්දාගේ ග්‍රහණයට හසුවූවාක් මෙන් පළමු වන මහණ පිරිසද මාරයාගේ වසඟයට හසුවිය.

දෙවන මහණ පිරිස

මහණෙනි, දෙවන මහණ පිරිස මෙසේ සිතීය.පළමු මහණ පිරිස මාරයා වපුරන ලද පංචකාම ගුණ නමැති තණ කෙතට වැදී පස්කම් සැප අනුභව කර විනාශ විය. ඒ අනුව දෙවන මහණ පිරිස මේ පස්කම් සැප අනුභවයෙන් ඈත් වෙමු යැයි කතිකා කළහ. එසේ කථිකා කොට වනයට ගොස් වනයේ පලවැල අනුභව කළහ. ගිම්හාන කාලය උදාවිය. දිය උල්පත් සිඳී ගියේය. වනයේ ගහකොළ වියළී ගියේය. මහණ බමුණන්ගේ ශරීර කෘශ බවට පත් විය. සිරුර වැහැරීගොස් ශරීර ශක්තිය පිරිහුණි, එබැවින් මාරයා වපුරන ලද තණ කොටුව සොයාගෙන ආපසු පැමිණියහ. එහි පැමිණ පස්කම් රස රිසිසේ අනුභව කර මසුපත් ව මදයට පත් ව සිහි නැති විය. මහණෙනි, මෙසේ දෙවන මහණ බමුණෝ මාරයාගේ ග්‍රහණයට හසුවූහ. දෙවන මුව සමූහයා වැද්දාගේ ග්‍රහණයට හසුවූයේ යම්සේද එසේම දෙවන මහණ බමුණන්ට ද මාරයාගේ ග්‍රහණයෙන් මිදිය නොහැකි විය.

තුන්වන මහණ පිරිස

තුන්වන මහණ බමුණෝ මෙසේ සිතූ®හ. පළමු මහණ පිරිස පඤ්චකාම වස්තුන්ට ඇලී මාරයාගේ වසඟයට හසු විය. දෙවන මහණ පිරිසද පඤ්චකාම වස්තුන්ගෙන් ඈත් ව සිටිති. ආපසු පැමිණ පඤ්චකාමයන්හි ඇලී මාරයාට හසුවිය. ඒ අනුව මාරයා විසින් වපුරන ලද පස්කම් සැප නමැති භෝජනය අනුභව නොකළ යුතුය. පස්කම් සැප වලදන්නෝ වුව ද මත් නොවිය යුතුය. ප්‍රමාදයට නො පැමිණිය යුතු ය. සිහිය ආරක්‍ෂා කරගත යුතුය. ඒ අනුව මුලා නොවී පස්කම් සැප අනුභව කළහ. නමුත් මත්නොවූ බැවින් සිහිමුලා බවට පත් නොවීය. එහෙත් ලෝකය ශාස්වත කියා ද අශාස්වත කියා ද ලෝකයේ කෙලෙවරක් තිබේද? ජීවිතය හා ශරීරය එකක් ද දෙකක් ආදි වශයෙන් ද එකක් වශයෙන් ද සත්වයා මරණින් මතු උපදීද නූපදී ද ආදි වශයෙන් කියමින් දෘෂ්ටි ඇති ව කටයුතු කළහ. මහණෙනි මෙසේ තුන්වන මුව රංචුව වැද්දාගේ ග්‍රහණයට හසුවී මරණයට පත් වූවාක් මෙන් තුන්වන මහණ බමුණන් ද පඤ්චකාමයන්හි ගිජුව මාරයාගේ ග්‍රහණයට හසු විය.

හතරවන මහණ පිරිස

මහණෙනි, හතරවන මහණ බමුණෝ මෙසේ සිතූහ. පළමු දෙවන හා තෙවන මහණ බමුණෝ මාර වසඟයට හසුවූහ. යම් තැනක මාරයාගේත් මාර පිරිසගේත් ගමන් නැති තැනක වාසය කරන්නෙමු යැයි හතරවන මහණ පිරිස කථිකා කර ගත්හ. එමෙන්ම වැද්දා නමැති මාරයා විසින් වපුරන ලද තණ වර්ග නමැති කාමගුණයන්ට ඇලීම් නොකර එම කාමගුණ භුක්ති නො විඳ සිහි මුලා නොවී මාරයාට කැමති පරිදි ක්‍රියා කරන්නට ඉඩ නොදුන්හ. ඒ අනුව එහි වාසස්ථානයන් පිළියෙළ කරගෙන වාසය කළහ. එහි මාරයා හෝ මාරපිරිසෙහි ගමන් කිරීමක් නොමැත. එම ස්ථානයේ සිට ඇලීමෙන් තොර ව මුලා නොවී පඤ්චකාම භෝජනය අනුභව කළහ. පංචකාමයෙහි නො ඇලුණු බැවින් මාරයාට හෝ මාර පිරිසට හසු නො වූහ. හතරවන මුවරංචුව මෙන් හතරවන මහණ බමුණෝ ද ආරක්‍ෂා වූහ.

හතර වන මහණ පිරිස කෙරෙහි පැවති ලක්ෂණ අටකි. එම ලක්‍ෂණ අට මුල් කරගෙන සසර ගමනින් එතෙර වන්නට හැකි විය. එම ලක්‍ෂණ අට මෙසේය. 1. ප්‍රථම ධ්‍යානය 2. ද්විතීය ධ්‍යානය 3. තෘතීය ධ්‍යානය 4. චතුර්ථ ධ්‍යානය 5. ආකාසානඤ්චායතනය 6. විඤ්ඤාණඤ්චායතනය 7. නේවසඤ්ඤානාසඤ්ඤායතනය 8. මාර්ග ප්‍රඥාව (චතුරාර්ය සත්‍යය) වශයෙනි. එමෙන්ම පඤ්චකාම වස්තුන් සුඛ වශයෙන් ගෙන ඉඳුරන්හි සංවර බවක් නොමැතිව කුසීතකමෙන් කටයුතු කරන පුද්ගලයාට අත්වන ඉරණම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළහ.

එනම් ගැහැනු හා පිරිමි යන මොවුන්ගේ අවයව සුබ වශයෙන් සලකමින් ඇස , කන, නාසය, දිව හා ශරීරය යන පඤ්ච ඉන්ද්‍රියයන්හි සංවර බවක් නොමැතිව කුසලයට මැලි වෙමින් වීර්යයෙන් තොරව කටයුතු කරන පුද්ගලයා දුබල ගසක් සුළඟින් උදුරා දමන්නාක් මෙන් මාරයාගේ වසඟයට හසුවන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. (වාතො රුක්ඛංව දුබ්බලං) මෙම නිවාප සූත්‍රයෙහි පළමු, දෙවන හා තෙවන භික්ෂූ පිරිසට ද පස් කම්හි ඇලීම් කිරීමෙන් මාරයාගේ වසඟයට හසු වන්නට සිදු විය.

එහෙත් පඤ්චකාම වස්තුන් අසුබ වශයෙන් ගෙන ඉන්ද්‍රියයන්හි සංවර බවත් හික්මීමත් ඇති කරගෙන, ආහාරයෙහි නො ඇලී අරඹන ලද වීර්යයෙන් යුතුව කටයුතු කරන පුද්ගලයා සුළඟට පර්වතයක් සෙලවිය නොහැක්කා සේ, මාරයාට ද ඔවුන් පරාජය කළ නොහැකිය. මෙම නිවාප සූත්‍රයෙහි සඳහන් පරිදි හතර වන භික්ෂූ පිරිස මෙන් සසර කතරින් එතෙර වීමට ශක්තිය උදා කර ගත හැකිය. එබැවින් පඤ්චකාම වස්තුන් ආස්වාද, ආදීනව හා නිස්සරණ වශයෙන් ගෙන කටයුතු කර සසර ගමනින් එතෙර වන්නට සියලු දෙනා උත්සාහ කළ යුතුය.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.