Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුඩා දරුවන්ට නිසිමග පෙන්වමු

කුඩා දල්ල නැමිය හැකිය. එහෙත් එය විශාල ගසක් වූ විට නැමිය නොහැකිය. දරුවෙක් ද එසේමය. දරුවන් නියමිත මාර්ගයට යොමු කළ හැක්කේ ළපටි කාලයේදී ය. ඔවුන්ගේ පෝෂණය මෙන්ම ගුණධර්ම ද වැඩිය හැකි වන්නේ ළදරු අවධියේදීය. එහෙත් අපේ මව්පියන් අතුරින් විශේෂයෙන්ම වර්තමානයේ ඇතැම් මව්වරුන්ගෙන් තම වගකීම ඉටුවේද ?

අපේ මව්වරුන් ළදරුවන් පියාට හෝ ඥාතීන්ට බාර දී විදේශ ගතවන්නේ දරුවන්ගේ යහපත ගැන සිතමින්. එහෙත් එයින් සිදුවන්නේ කුමක්ද ?

දරුවාට අවශ්‍ය කරුණාව, දයාව මව් සෙනෙහස ලැබෙනවාද ? මෙයින් අපේ ළමා පරපුරටම සිදුවන්නේ විශාල අයහපතක්. අපේ දරුවන්ට ඉපදුණු දිනයේ පටන් මව් කිරි අහිමි කිරීම මඟින් දරුවන්ගේ වර්ධනය සිදුවෙයිද?

එළකිරි හෝ වෙනත් කිරි දරුවන්ට ලබාදිය යුතු වයසක් තිබෙනවා. අප එය වටහා ගතයුතුයි. මිනිසාට මව් කිරි ලබා දී පෝෂණය කිරීම තුළින් සියලු ගුණධර්ම වැඩීමට හැකියාව ලැබෙනවා. ලෝක න්‍යායට අනුවයි අප සැමවිටම කටයුතු කළ යුත්තේ. මව් කුසින් බිහිවූ තැනැත්තා සමාජයට අනුගතවන තෙක් මවගෙන් පෝෂණය විය යුතුමයි.

පොල් ගෙඩියක් ලෙලි ගසා පැළ කර හැකිද ? ගෙඩිය මුල් අදිනතුරු පොල් ගෙඩියේ ලෙල්ල මඟින් ඊට සහාය ලබා දෙනවා. ඒ අයුරින් සිතා බලා අප කටයුතු කළ යුත්තේ ලෝක දහමට අනුගතවයි.

බුදු දහමට අනුව මව් කිරිවල ආදරය සහ ආරමය ලක්ෂණ තිබෙනවා.

දරුවා කුඩා කාලයේදී ඇසුරු කරන අයගේ ගති පැවතුම් ඒ අයුරින්ම ඉදිරියට ගමන් කරනවා.

මෙලොවට බිහිවන තැනැත්තා පෙර අත් භවයේ කවරෙක්දැයි කියන්න අපට හැකියාවක් නැහැ. සුනඛ ආත්මයකින් පැමිණි අයෙක් නම් ඔහුගේ ගති පැවතුම් මනුලොවට සුදුසු පරිදි සකස් කළ යුතුයි. නැත්නම් එම ගති ලක්ෂණ මතුවිය හැකියි.

පුරුද්දක් ඇති වුවහොත් එය ඉවත් කිරීම ගැටලුවක්. බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙන පරිදි දායකයෙක් සමඟ දානයකට වඩින රහතන් වහන්සේ නමකට වක්කඩ දෙකක් පසු කිරීමට සිදු විය.

පළමුව හමුවූ විශාල වක්කඩ දුටු රහතන් වහන්සේ වක්කඩ මතින් පැන අනෙක් පසට වැඩියහ.

මෙය දුටු දායකයාගේ සිත වෙනස් විය. ශීලය නැති රහතන් වහන්සේ නමක් යැයි සිතූ දායකයා කැඳවාගෙන ආ නිසා දානය පමණක් දෙමි. පිරිකර කිසිවක් නොදෙමි’ යි සිතා ගමන් කළ අතර දෙවනුව හමු වූ කුඩා වක්කඩින් බැස ගමන් කළ රහතන් වහන්සේ දුටු දායකයා ඒ ගැන රහතන් වහන්සේගෙන් විමසූ විට උන් වහන්සේ ‘ කලින් වක්කඩෙන් පැනල පිරිකර නැතිව ගියා. මේ වක්කඩින් පැන්න නම් දානයත් නැතිවෙයි’ යනුවෙන් පැවසූහ.

රහත් භවයේදී වුවද පුරුදු අත් හැරීමට නොහැකි බවට එය කදිම උදාහරණයකි. දරුවා කුඩා කල සිටම රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන, උදෙසා පුරුදු කළ යුතුයි.

විශ්ව විද්‍යාලයකින් හෝ උසස්පෙළ දක්වා ගොස් දරුවකු සමාජයට හිතකර අයකු කළ නොහැකිය. සමාජ හිතකාමී පුද්ගලයකු බිහි කළ හැක්කේ ළදරු වයසේදී පමණයි.

දශක කිහිපයකට පෙර තිබූ පවුල් සංස්ථාව වෙනස්වීම නිසාද දරුවන්ගේ ගුණධර්ම වැඩීම අපහසු වී තිබෙනවා.

සීයා, ආච්චි, නැන්දා – මාමා ඇතුළු නෑදෑ පිරිසක් සහිතව තිබූ පෙර පවුල් සංස්ථාව අද සමාජයෙන් ඈත් වෙලා. තාප්පයෙන් වටවෙලා මව පියා ඇතුළු දරුවන් දෙතුන් දෙනකුගේ කුඩා සමාජයක් බිහිවෙලා. ඒ අතුරින් එකමුතුවක් සමඟියක් දක්නට අපහසු තරම්. මේ නිසා පවුල් ප්‍රශ්න වැඩිවෙලා.

තවත් පසෙක සීමාසහිත බව නිසා දරුවන් කොටු වෙලා. පවුලට සිටින්නේ එක් දරුවෙක් නම් මේ තත්ත්වය තවත් උග්‍ර වෙනවා. මව පියා නිරුතුරුවම ඇහැ ගහගෙන ඉන්නෙ දරුවාට කිසිඳු නිදහසක් නැහැ. දරුවාට ලබා දෙන කාල සටහන පියාගෙ නැතිනම් මවගෙ.

දරුවා වෛද්‍යවරයකු වන්නේ මවගේ හෝ පියාගේ ඉගැන්වීමට, ඉංජිනේරුවකු වන්නේ මවගේ, පියාගේ බල කිරීමට. අවසන් ප්‍රතිඵලය කුමක්ද ?

බුදු දහමේ දැක්වෙන මැදුම් පිළිවෙත මෙලොව ජීවත්වීමට සුදුසුම මාර්ගයයි. කුඩා දරුවාගේ සිට ඒ සඳහා හුරු කළ යුතුයි. කිසිඳු අන්තයකට නොගොස් මධ්‍යස්ථව කටයුතු කිරීමට දරුවන් පුරුදු කළ යුතුයි.

දරුවන් උදෙසා අධික ඇල්මක්, ආදරය දැක්වීමත් විශාල ගැටලුවක්. එසේම ආදරය නො දැක්වීමත් ගැටලුවක්. එසේම අධික කෝපය මෙන්ම කිසිඳු ආකාරයක කෝප ඇති නොවීමද ගැටලුවක්.

අර්හත් භාවයට පත් නොවූ කිසිඳු අයකු යම් වශයෙන් හෝ කෝප නොවන්නේ නම් ඔහු නිවටයකු ලෙසයි සැලකීමටයි හැකි වන්නේ. අප කෝප ගතයුතු බවක් මෙයින් අදහස් වන්නේ නැහැ. කෝපය මැඬලීම අප අනිවාර්යයෙන්ම කළ යුතුයි. එසේ වුවත් කෝපය හට නොගන්නේ විමුක්ති මඟට පිළිපන් අය පමණක් බව අප තේරුම් ගත යුතුය.

ආදරය, කරුණාව ඉදිරිපත්වීම මේ සියල්ලම මධ්‍යස්ථව තිබිය යුතුයි.

නිවසේ සියලු වැඩ කටයුතු කාලසටහනකට අනුව සිදු කිරීමට දරුවන් පුරුදු කළ යුතුයි. බුදුරජාණන් වහ්නසේ කාලසටහනකට අනුව කටයුතු කළ බව අප මෙහිදී මතක තබාගත යුතුයි.

සියලු කටයුතු නිසි වේලාවටම ඉටු කළයුතු බවට මෙයින් අදහස් වන්නේ නැහැ. අවම වශයෙන් රාත්‍රි ආහාර ගන්නා වේලාව හෝ නියමිත පරිදි වෙන් කර ගතයුතුයි. එමඟින් පවුලක සුහදතාව, සමඟිය, ආදරය රැකෙනවා.

ආහාර ගන්නා ආකාරය, ඇතුළු සදාචාරය වර්ධනය කරගත යුතු ධර්මතා සේඛියා ලෙසින් දක්වා තිබෙනවා.

විශේෂයෙන්ම ආහාර ගැනීම සහ වැසිකිලි යාම සම්බන්ධව පිළිවෙත් රැසක් බුදු දහමේ දැක්වෙනවා. දරුවන් මේ සදාචාරාත්මක ගුණදහම් කරා යොමු කළයුතු වෙනවා.

තිරිසන් සතුන් සහ මිනිසුන් අතර ප්‍රධාන වෙනස්කම් වටහාගෙන අප ඒ අනුව දරුවන්ට මඟ පෙන්විය යුතු වනවා. ඇඳුම් පැලැඳුම් තෝරා ගැනීමේදී පවා දරුවන් දැනුම්වත් කළ යුතුයි. ‘ගතේ ඨිතේ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ’ යනුවෙන් බුදු දහමේ දක්වා ඇත්තේ යන, එන කන බොන අඳින පලඳින ආදී වූ චර්යා ධර්මයන් හුරු වියයුතු බවයි. දරුවාට ඒ සියල්ල හුරු කළයුතුයි.

මව්පියන් අනුකරණය හා ක්‍රීඩාව නිරතුරුවම දූ දරුවන්ගේ ලක්ෂණයන් ය.

ඇසුර නිසාද දරුවන් වෙනස් වන නිසා සුදුසු පරිසරයක දරුවා හදා වඩා ගතයුතුයි. මංගල සූත්‍රයේ ‘ පතිරූප දේස වාසෝච’ යනුවෙන් සුදුසු ප්‍රදේශයක වාසය කිරීම ද උතුම් මංගල කරුණක් ලෙස දක්වා තිබෙනවා.

අනිත් අය සමඟ හොඳින් ජීවත් වීමට හැකි අයකු බිහි කිරීමට හැකි නම් අපට සමාජයට ලබාදිය හැකි මහඟු දායාදය එයයි. එසේ ජීවත්වීමට හැකි අයකු බිහි කළහොත් බස් රථවල ආසන ඉරා දැමීම නතර වේවි. බස් නැවතුමක පෝලිමේ සිටින වයෝවෘද්ධ කාන්තාවන් පෙරලාගෙන බස් රථයට ගොඩවන තරුණයන්ගේ ක්‍රියාවන් නතර වේවි.

ශීලාචාරකම් හුරු කිරීම තුළින් අපට ගුණදහම් වඩන දරු පරපුරක් බිහි කළ හැකිවේවි. කෙතරම් ශිල්ප ප්‍රගුණ කළත් ගුණ දහම් හඳුනා නොගත් දරු පරපුරක් බිහි කිරීම සමාජ පිරිහීමට මිස යහපතට හේතුවක් නොවනු ඇත.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.