Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

 ආදර්ශයෙන් දුන් අවවාදය

බුදුරජාණන් වහන්සේ ජනතාවට ලබා දුන් පළමු ආදර්ශය වූයේ ‘ කළගුණ සැලකීම’ හෙවත් කෙළෙහි ගුණ සැලකීමයි. එහෙත් ඇතැම් විට සමාජයේ කළගුණ සැලකීම ගැන කතා කිරීමත් හාස්‍යයට භාජන වී ඇති බව පෙනේ. අපට යම් උපකාරයක් කළ අයකුට පෙරළා උපකාර කිරීමම කෙළෙහි ගුණ සැලකීම යැයි බොහෝ දෙනා වරදවා වටහා ගන්නවා.

තමන්ට කළ උපකාරයකට ප්‍රති උපකාර කිරීමත් කළගුණ සැලකීමක්. එමෙන්ම එය සුහදතාව සමඟිය වඩන ගුණාංගයක්.

එසේම අපට සමාජයීය වශයෙන් ලැබෙන, සිදුවන ක්‍රියාවන් සඳහාත් අප කෘතගුණ දැක්විය යුතු වනවා. සෘජුවම අපට උපකාර නො කළද සමාජයේ බොහෝ පිරිස් අපට වක්‍රාකාරව උපකාර කර තිබෙන බව අප සිත්හි තබා ගතයුතු වෙනවා.

බස් රථයක ගමන් කරන අප මෘත දේහයක් රැගෙන යන අවමංගල්‍ය පෙරහරක් දුටු විට අසුනින් නැඟිට ඊට ගෞරව දක්වනවා. පාරේ ගමන් කළත් හිස් වැසුම් ගලවා පසෙකට වී ආචාර කරනවා.

නන්නාඳුනන අයෙකුට ඇයි මේ ගරු සත්කාර දක්වන්නේ. අවමංගල්‍ය පෙරහරක් ගමන් කරන විට අසුනින් නැඟිටිය යුතුයැයි නීතියක් ද නැහැ.

අපගේ සිතට නැඟෙන සිතිවිල්ල කුමක්ද ?

මියගොස් ඇති තැනැත්තා ගොවියෙක් නම් අප ආහාරයට ගන්නා බත සැපයීමට ඔහු දායක වන්නට ඇති. අප කන එලවළු ඔහු වගා කරන්නට ඇති.

අතීතයේ අවමංගල්‍ය නිවසකට ගොස් ජනතාව ආචාර දැක්වූයේ ඥාති මිත්‍රාදීන් නිසාම නොවේ. නොදන්නා නො හඳුනන නිවසකට හෝ ගොස් අවසන් ගෞරව දැක්වූයේ පෙර දැක්වූ පරිදි අපට ආහාර වගා කර දීමෙන් හෝ වෙනත් පහසුකම් ලබාදීමෙන් හෝ අපට දායකත්වය ලබා දෙන්නට ඇතැයි යන සිතිවිල්ලෙන්.

අද එම සිතිවිල්ල නැතත් මඟ තොටදී හමුවන අවමංගල්‍ය පෙරහරට ගෞරව දැක්වීම අපෙන් සිදුවනවා.

යම් අයකුට ගෞරව දැක්වීමට ඔහු මිය යා යුතුම නැහැ.

අපට උපකාර කරනු ලබන පෙදරේරුවා, වඩු කාර්මිකයා වැනි පිරිස මුදලක් ලබාගෙන හෝ ලබා දෙන්නේ සේවයක්. ඊට අපගේ ගෞරවයක් තිබිය යුතුයි.

සිනාවකින් හෝ උදවු උපකාර කළ අයට සැලකීමට අප පුරුදු විය යුතුයි. බොහෝ විට අප පුරුදු වී ඇත්තේ මවාගත් මාන්නය නිසා තමන්ට සේවය ලබා දෙන ඇතැම් අය නො සලකා හැරීමටයි.

වෛද්‍යවරයා සමඟ සිනාසෙන අප වඩු කාර්මිකයා නොසලකා හරින්නේ ඇයි ? ඔහු අපට වඩා තත්ත්වයෙන් පහළ නිසාය. මොකක්ද මේ තත්ත්වය එය සෙයිය මානය හෙවත් තමන් අනුන්ට වඩා උසස් යැයි සිතනා අකුසල ධර්මයක්. ඒ අකුසලය ඉවත් කර ගැනීමට අපට මුදල්, කාලය ශ්‍රමය වැය වන්නේ නැහැ. සිනහවීම පමණක් ඒ සඳහා ප්‍රමාණවත් වෙනවා.

අප කුමන තනතුරු, නිල තල දැරූවද අප සිතිය යුත්තේ එම නිලතල තනතුරු ආරක්ෂාවී ඇත්තේ කවුරුන් නිසාද යන්න බවයි. රෝගීන් නැත්නම් වෛද්‍යවරයෙකුට පැවැත්මක් තිබේද?

ශිෂ්‍යයන් නැත්නම් ගුරුවරයෙකුගේ පැවැත්මක් තිබේද?

ගුරුවරු නොමැතිව ශිෂ්‍යයන්ට පොත් පත් භාවිතයෙන් හෝ උගැනීමට පුළුවන්.

එසේම භික්ෂූන් වහන්සේ නොමැතිව දායකයාට පැවතිය හැකිද ? භික්ෂූන් වහන්සේට සිවුපසය කෙසේ හෝ සපයා ගත හැකියි. එහෙත් බෞද්ධයාට ( දායකයාට ) යහපත් මාර්ගයක ගමන් කිරීමට භික්ෂූන් වහන්සේ අත්‍යවශ්‍ය වනවා.

අප මිථ්‍යාදෘෂ්ටික අදහස් මත නොසිට කටයුතු කිරීමද මෙහිදී බෙහෙවින් වැදගත් වනවා.

මව කිරි ලබා දෙනවා. ලේ කිරි කර ලබා දුන් නිසා මවට වැඳ නමස්කාර කරනවා. එහෙත් වැඩි කාලයක් පානය කරන්නේ එළකිරි නිසා එළදෙනටත් වැඳ නමස්කාර කළයුතුදැයි ඇතැමුන් ප්‍රශ්න කරනවා. මෙවන් වැරැදි දෘෂ්ටීන්ගෙන් අප ඈත් විය යුතුයි.

මවගෙන් අපට ලැබෙන සෙනෙහස ආරක්ෂාව රැකවරණය මේ සියල්ලටම වඩා ගුණ දහම් වඩා මිනිසකු ලෙස ජීවත් විය හැකි පරිසරයකට යොමු කිරීම ලබාගත හැක්කේ කාගෙන්ද ?

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාව ලබාදීමෙන් මව්පියන් දක්වන ලද සැලකිල්ලට ප්‍රතිඋපකාර කළගුණ සලකන්නට අප හුරුවිය යුතුය.

මව්පියන් මිය ගිය පසු ඔවුන් උදෙසා පින් පැමිණවීමද දරුවන් විසින් කළයුතු කෘතගුණ දැක්වීමත්, මව්පියන් ජීවත්ව සිටියදී ඔවුන්ට කළ හැකි සියලු කාර්යයන් දරුවන් උදෙසා ඉටු කරන හෙයින් දරුවන් ඊට කෘතගුණ දැක්විය යුතුයි. මහලු වූ කල රැක බලා ගැනීම මෙන්ම මිය ගිය පසු පින් දීම කළයුතුමයි.

‘ අපේ අම්මටයි තාත්තටයි පින් දෙන්න ඕන නැහැ. මව්පියවරු ඉන්න කාලයේදී දන් පින් කරා’ මේ ඇතැම් දූ පුතුන්ගේ ප්‍රකාශයන් ය. මව්පියන් කොතෙක් පින්කම් කළද දූ දරුවන් තමන්ගේ වගකීම හා යුතුකම වටහා ගත යුතුය.

තම දරු පවුල හොඳින් ආරක්ෂා කර රැක බලා ගැනීමත් මව්පියන් ආරක්ෂා කළ ගුණධර්ම පද්ධතිය ආරක්ෂා කිරීමත් එක් ආකාරයකින් කෘතගුණ දැක්වීමක් බව සිහි තබා ගතයුතුය.

මව්පියන් පන්සලට ලබා දුන් පේරු දානය ඉදිරියටත් ලබාදීම ඔවුන් නිලතල දැරූ සමිති සමාගම් ආදියට උපරිම සහාය දැක්වීම මේ සියල්ලම කෘතගුණ දැක්වීමට අයත් වනවා. තමන් උගත් පාසලට වසරකට වරක් යන අයෙක් අද සොයා ගැනීමට නොහැකි තරම්.

මව්පියන් මිය ගිය පසු නෑදෑ පරපුර ඉවත් කර දැමීමට තරම් අපේ සමහර පුද්ගලයන් ම්ලේච්ඡ තත්ත්වයට පත් වෙලා. කළගුණ දන්නා අයෙක් කිසිදිනක එසේ කරන්නේ නැහැ. මව්පිය නෑ පරපුර ආරක්ෂා කර ගැනීම ඔවුන් සමඟ සබඳතා පැවැත්වීම උතුම් ලෙස සලකා කටයුතු කිරීමයි ඔහු විසින් කරන්නේ. තම මව් උරුමය පිය උරුමය රැක ගැනීමට නම් නෑදෑ සබඳතා රැක ගැනීම අනිවාර්ය වෙනවා.

සෙවණ දුන් ගහේ අතු කඩා දාන්න එපා කියල අපේ ව්‍යවහාරයේ දැක්වෙනවා. ශාකයකට පවා අප කෘතගුණ දැක්වීම හානි නොකිරීම උතුම් බවයි එයින් අදහස් කරන්නේ.

බුදුරජාණන් වහන්සේ ලෝකයාට ලබා දුන් ප්‍රථම ආදර්ශය වූයේද කෘතගුණ දැක්වීම බව අපි යළිත් සිහි තබා ගත යුතුවෙනවා. මුල අමතක නොකර හැදී වැඩී ඵලය හොඳින් ලබාදීමට කටයුතු කිරීමයි වැදගත්.

සතෙකුට කෑම ටිකක්, පිපාසයට දිය ටිකක් ලබාදීම පවා පිනකට වඩා පෙරළා උපකාරය ලැබෙන්නක් බව සිහි තබා ගත යුතුයි. අන්‍යයන්ට උපකාර කරන පෙරළා ඔවුන්ද උපකාර කරන කෙළෙහිගුණ සපිරි සමාජයක් අපට බිහි කළ හැක්කේ එසේ කටයුතු කළහොත් පමණයි.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.