Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී ලාංකික ථෙරවාදී භික්ෂු පරපුරේ සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වය අවුරුදු හත්සීයක ඉතිහාසයකට හිමිකම් කියයි.

මේ විහාර ඉතිහාසය අනුරාධපුර යුගයේ ආරම්භය තෙක් දිවයයි. ථූපාරාම මහා විහාර භික්ෂු පරපුරෙන් මෙය පැවත එන බව ඉතිහාස ගත සාධක මත සනාථ වේ. ඉන් අනතුරුව පොළොන්නරුව දිඹුලාගල ද යාපහුවේ වලස්ගල ආරණ්‍ය සේනාසනය ද පලාබද්දල ආරණ්‍ය සේනාසනය ද හා වත්මන් සෙංකඩගලපුර අස්ගිරි මහා විහාරය දක්වා අඛණ්ඩව ඉදිරිට ගමන් කැර ඇත.


ගෙඩිගේ විහාරයේ විහාර මන්දිරය

එම භික්ෂු පරපුර විසින් ග්‍රන්ථ ධූරයට මෙන්ම විදර්ශනා ධූරයට ද ප්‍රමුඛස්ථානය ලබාදී තිබේ. භික්‍ෂුවකගේ භික්ෂූත්වය ආරක්‍ෂා කිරීම සඳහා සිංහල පාලි සංස්කෘත භාෂාවන්ට අමතරව දෙමළ හින්දි බුද්ධාගම තර්ක ශාස්ත්‍රය දර්ශනය ආදි විවිධ විෂයන් ඔස්සේ සිදු කළ ශාස්ත්‍රි පර්යේෂණ ග්‍රන්ථ කරණය කටයුතු සඳහා ප්‍රමුඛස්ථානය ලබා දුන් අවස්ථා ගණන අපමණ ය. ඊට සමගාමීව අධ්‍යයන හා අධ්‍යාපන කටයුතු ද පිරිවෙනේ කේන්ද්‍රස්ථානය තබා ගෙන සාර්ථක අයුරින් ඉෂ්ඨ සිද්ධ කළ බව ලේඛණගතව තිබේ.

මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ වැඩ සිට අපවත් වී වදාළ භාෂා විශාරද දිඹුලාගල මහා කාශ්‍යප නාහිමියන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් ව්‍යාප්ත වූ අස්ගිරි (අච්ඡගිරි) මහා විහාර සඟ පරපුර එදා ඒ යුගයේ ආගමික සාමාජික මෙහෙවර අතිශයෙන්ම මහා වෘක්ෂයක් සේ ව්‍යාප්ත වූහ.

වරින් වර පැන නැගුණු සතුරු ආක්‍රමණ මධ්‍යයේ සෙංකඩගලපුර උඩවාල වත්ත මූලස්ථානය තබා ගෙන ඉදි කළ රාම මහා විහාරය අස්ගිරි විහාරය විය. කාලයාගේ ඇවෑමෙන් එය නටබුන් බවට පත්විය. එය පසුව සෙංකඩගලපුර ආදාහන මළුව, ගෙඩිගේ විහාරය හා අස්ගිරි විජයසුන්දරාරාම මහා විහාරය දෙක ආශි‍්‍රතව පුණ්‍ය භූමියක් සේ ස්ථාපිත විය. එකළ භික්ෂුවගේ භික්ෂූත්ව මෙන්ම සඟ පරපුරේ පරිහානිය කරා ගමන් කරන ලක්ක්‍ෂණ පහළ වූ බව පැවැසේ.

ඒ යුගයේ උපසම්පදා ලාභී භික්ෂූවක් සොයා ගැනීම දුෂ්කර කාර්යක් බවට පත්විය. එය මහනුවර යුගයේ ආරම්භයත් සමඟ සිදු වූවකි. ක්‍රිස්තු වර්ෂ 1687 සිට 1707 දක්වා සෙංකඩගල පුර රජ පැමිණි දෙවැනි විමලධර්මසූරිය රජු යැවූ ධර්මදූත පිරිස සියමේ රක්ඛංග දේශයට ගොස් උපසම්පදාලාභී භික්ෂූන් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණියහ. එම පිරිස පළමු උපසම්පදා විනය කර්මය පේරාදෙණිය ගැටඹේ මහවැලි ගංතෙර කේන්ද්‍රීය කැරගෙන සිදු කළ බව සඳහන් වේ.

එකළ ජාතියේ පිනට පහළ වූ අපවත් වී වදාළ වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිගේ ඉල්ලීම පරිදි රාජ අනුග්‍රහය ඇතිව මහනුවර පෝයමළු විහාරය (මල්වත්ත) පළමු පෝය සීමා මාලකයේදී සියම් රටේ උපාලි මහා ස්වාමින්ද්‍රයාණන්ගේ ප්‍රධානත්වයෙන් උපසම්පදා විනය කර්මය සිදු කළහ.

එකළ අස්ගිරි මහා විහාර සඟපරපුර නියෝජනය කළ නාවින්නේ නාහිමියෝ පළමු අධිශීල සංඛ්‍යාත උපසම්පදාලාභී භික්ෂුව බවට පත්වූහ.


මහනුවර යුගයේ සිතුවමක්

සියම් දේශයේ උපාලි හිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි ගෙඩිගේ විහාරස්ථ බද්ධ සීමා මාලකයේදි අස්ගිරි විහාර පාර්ශ්වයේ මහා සඟරුවනගේ උපසම්පදා විනය කර්ම පසුව සිදු කළ බව සඳහන්වේ. ඊට අමතරව අස්ගිරි විජය සුන්දරාරාමය ආශි‍්‍රත පිහිටි නව පෝය සීමාමාලකයේදී උපසම්පදා විනය කර්ම වරින්වර සිදු කැර තිබේ.

වර්තමානයේද දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරන විහාර ස්ථානයන්හි සාමණේර භික්ෂූන් ගේ උපසම්පදා විනය කටයුතු මේ පෝය සීමාමාලකයේ දී සිදුවේ.

පෞරාණික විහාරංගයන් ගෙන් පරිපූර්ණ විහාර මන්දිර දෙකක් අස්ගිරි විහාර භූ®මිය කේන්ද්‍රීය කැරගෙන පවතියි. එය ගෙඩිගේ විහාර (ආදාහනමළුව) හා අස්ගිරි විජේසුන්දරාරාම විහාරය වේ. එහි ඇති විශේෂත්වය ඉන්දීය ආභාෂය ලත් ගෘහ නිර්මාණ ශිල්පී ක්‍රම අනුගමනය කළ දැකුම්කළු විහාරය මන්දිරයක් නිමවීමය. විජේසුන්දරාමස්ථ පැරැණි විහාරයේ චිත්‍ර නිර්මාණ හා ශිලා ලේඛණ මහනුවර යුගයට හිමිකම් කියයි.

දන්ත ධාතුන් වහන්සේ සමග බැඳුණ සුවිශේෂී සම්බන්ධතා රැසක්ම අස්ගිරි මහා විහාර සඟපරපුර අතර ප්‍රචලිත ය. එදා රත්නපුර කුරුවිට දෙල්ගමුව රාජමහා විහාරස්ථානයේ වැඩ සිටි දන්තධාතුන් වහන්සේ මහනුවරට වැඩම කැරගෙන විත් ශ්‍රී දළදා මාලිගාවේ තැන්පත් කිරීමට පෙර අස්ගිරි මහා විහාර පූජා භූමියේ තැන්පත් කැර තේවා කටයුතු සිදු කළ බව සඳහන් වේ.

එම සුවිශේෂ සිදුවීම සිහි කැඳවමින් අදත් ඇසළ පෙරහැරේ වැඩම කැරුවණු ලබන දළදා කරඬුව අස්ගිරි ගෙඩිගේ විහාරය මන්දිරයේ තැන්පත් කැර ආගමික වතාවත් අස්ගිරි විහාර වාසි මහා සඟරුවන විසින් දිගු කාලයක සිටම සිදු කැරති.

ඈත අතීතයේ පරසතුරන් කන්ද උඩරට ආක්‍රමණය කළ අවස්ථාවේ ශ්‍රී දන්තු ධාතුන් වහන්සේ බේරා ගැනීම සඳහා අපවත් වී වදාළ වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමියෝ දන්තධාතුන් වහන්සේ රැගෙන වනගත වූහ.එසේම 1815 දී ඉංගී‍්‍රසි කොඩිය මහනුවර මහ මළුවේ ඔසවා තැබීමට තැත් කළ මොහොතේ ඊට එරෙහි වාරියපොළ ශ්‍රී සුමංගල නාහිමියෝ ජාතික කොඩිය ඔසවා අස්ගිරි මහා විහාර සගපරපුරේ වීරත්වය විදහා දැක්වූහ.


අස්ගිරි මහා විහාර උපෝසථාගාරය

වළගම්බා රජ දවස ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළ මාතලේ අළුවිහාරයේ සඟ පරපුර අස්ගිරි විහාරය ගනයට අයත් වේ.

පොළොන්නරු යුගයේ කථිකාවත සංස්කරණය කළ දිඹුලාගල මහ කාශ්‍යප මාහිමියෝද දඹදෙණි කථිකාවත සැකසු දිඹුලාගල මේධංකර නා හිමියෝද මේ ගනයට අයත් වූහ.

ඉතිහාස පුරා විද්‍යාත්මක වටිනාකමින් සැදුම් ලත් පෞරාණික රාජ මහා විහාරස්ථාන 4800 ක් පමණ විහාර විශාල සංඛ්‍යාවක් අස්ගිරි මහ විහාරය සතුවේ.

ඊට අමතරව රටේ සෑම ප්‍රදේශයකම මෙයට අයත් විහාර රාශියක් තිබේ.

සිංහල රජ දවස සිට මේ දක්වා අස්ගිරි මහා විහාරයට රාජ්‍ය අනුග්‍රහය අඛණ්ඩව හිමිවි තිබීම මහඟු ආශිර්වාදයකි.එදා රාජසිංහ රාජ්‍ය සමයේ ආරම්භ කළ විංශත් වර්ගික කාරක සංඝ සභාව අදත් ඒ අයුරින් ක්‍රියාත්මක වේ. රාජ්‍ය අනුග්‍රහය ඇති මහා නායක අනුනායක පදවි ප්‍රාප්තිය පත්වීමේ උත්සව සංවිධානය හා සන්තස් පත්‍ර ප්‍රදානය රාජ්‍ය නායකයාගේ සහභාගිත්වය සිදුවේ.

පළාත් බද දිස්ත්‍රික් හා ප්‍රාදේශීය නායක පදවි විංශත් වර්ගික කාරක සංඝ සභාවේ පූර්ණ අනුමැතිය ඇතිව වරින්වර ප්‍රදානය කෙරේ. විශේෂයෙන් රාජ්‍ය තන්ත්‍රයට අවවාද අනුශාසනා කිරීමට හා ආශිර්වාද කිරීමට මහා විහාර මහ නායක අනුනායක මාහිමිවරු නිරන්තරයෙන්ම කැපවී සිටිති.

අස්ගිරි මහා විහාර මහා නායක පදවියෙන් පිදුම් ලබන අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය උඩුගම ශි‍්‍ර ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිත භිධාන මහානායක හිමියෝ දෙස් විදෙස් ගිහි පැවිදි උතුමන්ගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍රවීම ජාතියේ ඉදිරිගමනට මහඟු ආශිර්වාදයක් වෙයි.

උන්වහන්සේ ප්‍රමුඛ විංශත් වර්ගික කාරක සංඝ සභාව සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා සිදුකරන ජාතික ආගමික මෙහෙවර අගය කරමින් වත්මන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජයේ විශේෂ අවධානයට යොමුවී මිලියන 100 ක පමණ විශාල මුදලක් අස්ගිරි මහා විහාර සංවර්ධන කටයුතු සඳහා ලබාදි ඇත.

උදාවෙන වෙසක් පුන්පොහෝ දිනට අස්ගිරි විහාරය සතු ඉඩම් අත්පත් කරගනිමින් දර්ශනීය පූජා භූමියක් බවට පත්

කැරලීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට අපේක්‍ෂා කෙරේ.

ඒ අනුව දැනට මහා විහාරයට පිවිසෙන ප්‍රධාන මාර්ග අතුරුමාර්ග මකර තොරණ සියලුම සංඝාරාම වල ජලපහසුකම් වෙනත් අංගෝපාංග ඇතිව කලාත්මක අයුරින් සංවර්ධනය කැර මහා සඟරුවනට පූජා කෙරේ.අවුරුදු හත්සීයක් මුළුමහත් ජාතියටම ආශිර්වාදයක් බඳු අස්ගිරි මහා විහාර පුණ්‍යභූමිය චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.