Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

සසර කතරේ අතරමං නොවන්නට

ජීවිතය අස්ථිර බැවින් ජීවත්වන කාලය සුළුය. එම සුළු කාලය වඩාත් ප්‍රයෝජනවත් අන්දමින් ගතකළ යුතු බව බුදුරජාණන් වහන්සේ දෙසූහ. අප්‍රමාදය නිවනට හේතු වේ. අප්‍රමාදවන්නා උට්ඨාන වීර්යයෙන් යුක්තයි. කුසීතකම මැඩගෙන යහපත සඳහා වීර්යයෙන් කටයුතු කරයි. සිත කය යන දෙකෙහිම වීර්යය තිබිය යුතු ය. සියලු උසස් අදහස් මුදුන් පමුණුවා ගැනීමට උට්ඨාන වීර්යය අත්‍යවශ්‍යය. එවැනි පණ්ඩිත සත්පුරුෂයා උපක්‍රමශීලී වේ. බොහෝ දෙයෙහි දක්‍ෂයෙකි.

බුදුරජාණන් වහන්සේ විශේෂ අවධානයක් ප්‍රමාදය සහ අප්‍රමාදය පිළිබඳව යොමු කළහ. ප්‍රමාදය දුරුකළයුතු බවත් අප්‍රමාදය පුහුණු කළයුතු යහපත් ධර්මයක් බවත් දේශනා කළහ. ප්‍රමාදවීම මරණයට හේතුවන බවත් අප්‍රමාදය නිවනට හේතුවන බවත් දේශනා කළහ. නිවන සහ ප්‍රමාදය අප්‍රමාදය අතර සම්බන්ධයක් තිබෙන බව ඉන් පැහැදිලිය.

ප්‍රමාදවීම මරණයට හේතුවන්නේ ය. මෙහි මරණය යනු සත්වයෙක් ආයුෂය කර්මය අවසන්වීමෙන් හෝ ඉතිරිව තිබියදී සිදුවන මරණය පමණක්ම නොවේ. ප්‍රමාද වන තැනැත්තා අකුසල් මූලික මනසකින් යුක්තය. අකුසලය අසහනය ඇතිකරවයි. අසහනයෙන් පසුවන කල්හී දුක වැඩිය. ජීවත්වූවත් එබඳු කෙනා මැරෙමින් ජීවත්වන කෙනෙකු වැනිය. අනෙක් අතට ප්‍රමාද වන්නා අයහපතෙහිම ඇලෙන බැවින් නැවත නැවත ඉපදෙමින් මරු වසඟයට යන්නේ ය.

කුසීතකම සහ ප්‍රමාදය අතර සම්බන්ධතාවයක් ඇත. ඕනෑම දෙයකට ප්‍රමාදවන්නේ කුසීතකම නිසාය. තමන්ගේ කාලය ශ්‍රමය කළමනාකරණය නොකරගන්නේ කුසීතකම නිසාය. ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දී පැහැදිලි කරන ආකාරයට උත්සාහවන්තයා තුළ දක්‍ෂතාවය, උපක්‍රමශීලීබව, වීර්යය තිබිය යුතු ය. එවැනි ලක්‍ෂණ කුසීතයා තුළ ඇති නොවේ.

කුසීතකම ලෞකික ජීවිතය අඩාලකරවන අතර ආධ්‍යාත්මික වශයෙන් කුසලයට කම්මැලි වේ. කුසලය නිෂ්ප්‍රයෝජන ලෙස දකියි. නිෂ්ප්‍රයෝජන කථාවෙන් කාලය ගෙවයි. මහත් හඬින් හිස් වචන කතාකොට සිනාසෙන අය, අනුන්ගේ කටයුතු ගැන පමණක් කතා කරන අය අනුන්ගේ සහ තමන්ගේ කාලය විනාශ කරගනිති. නින්දෙන් කාලය ගෙවන්නේ කුසීතයෝ ය. එබඳු පුද්ගලයා වීර්යයෙන් හීනය දක්‍ෂතාවයෙන් තොරය. උපක්‍රමශීලී නොවේ. උත්සාහයෙන් පුහුණු කරගත් දක්‍ෂතාවයක් නැති අය ඇතැම් විට වීර්යයෙන් උපක්‍රමශීලීව දක්‍ෂතාවයෙන් ක්‍රියා කරන්නන් කෙරෙහි ඊර්ෂියාවෙන් ද්වේෂයෙන් පසුවෙති.

ද්වේෂයෙන් පසුවන කෙනෙක් නම් තමන්ගේ සතුරු පාර්ශ්වය කෙරෙහි ක්‍රෝධයෙන් යුක්තය. වෛරයෙන් යුක්තය. වෛරයෙන් පසුවන්නා පළිගැනීමට උපක්‍රම යොදයි. එය ගිනි පුපුරක් ගෙන අනෙක් කෙනාට පහරදෙන්නාක් වැනිය. ගිනි පුපුරකින් පහරදීමට නම් ප්‍රථමයෙන් තමන්ගේ අතින් ගිනි පුපුර ඇල්ලිය යුතු ය. තම අත ප්‍රථමයෙන් පිළිස්සෙන්නේ ය. පළිගැනීමට තැත් තරන කල්හී ද තමන් වෛරයේ ගින්නෙන් පිළිස්සෙන්නේ ය. එය ජීවත්ව සිටියත් මරණයට පත්වීමට හා සමාන දුකකි.

ප්‍රමාදයේ ලක්‍ෂණයක් වන්නේ කලහ ඇතිකරගැනීමයි. වෙනත් කෙනෙක් සමග සුළු කරුණක් අරභයා කලහ ඇති කරගනියි. ඇතැම් විට වචනයක් වැරදීම නිසාය. ඉවසිය යුතු තැන නොඉවසීමෙන් කටයුතු කරයි. කලහවලට මුල්වන බොහෝ හේතූන් ඉවසීමෙන් මඟහැරීමට පුළුවන්ය. නිරන්තරයෙන් කලහකරගැනීමෙන් වටිනා කාලය නිෂ්ප්‍රයෝජන ලෙස ගෙවාදමයි.

ප්‍රමාදයේ තවත් ලක්‍ෂණයක් වන්නේ උඩගුකමයි. ඇතැම්හු තම කුලය, ධනය, බලය, උගත්කම් ආදියෙන් උඩඟුවට පත්වෙති. තමන් ඉහත අංගයන්ගෙන් උත්කර්ෂවත්යයි වෙනත් අය පහත් කොට සලකති. එහිදී ඇතැම් විට ගැටුම් ඇතිකරගනිති. මානය අකුසල තත්ත්වයකි. මනසෙහි කුසලය අඩාලකරවයි. එහෙයින් උඩගුකම තම අයහපත පිණිසම පවතී.

ප්‍රමාදවන්නාට පර්යාය වචනයක් නම් බාලයා යන්නයි. බාලයා හෙවත් අනුවණයා කාලය නිකරුනේ ගෙවාදමයි. යහපත සහ අයහපත හඳුනාගැනීමට උත්සාහ නොකරයි. වෙනත් කෙනෙකු යහපත පෙන්නා දුන්නත් එය නොපිළිගනී. අසත්පුරුෂයා ලෙසද හඳුනාගන්නේ නපුරු සිතිවිලි නපුරු වචන නපුරු ක්‍රියාවන්ගෙන් යුක්ත නිසාය. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන දේවදත්ත හිමි, මාගන්දියා වැනි චරිත වඩාත් ප්‍රසිද්ධ අනුවණ ක්‍රියාවන්හි හෙවත් බාල ක්‍රියාවන්හි නිරතවූවන් ලෙසය. ඔවුන් වටිනා කාලය වෛරය පළිගැනීම වැනි අනුවණ කි‍්‍රයාවන්ගෙන් ගෙවාදැමූහ.

මිනිසෙක් ජීවත්වන්නේ කෙටි කාලයකි. උපරිම ආයුෂය අවුරුදු 120ක් තරම්ය. මෙපමණ කාලයක් ජීවත්වන්නේත් කලාතුරකින් කෙනෙක් ය. බුදුදහමට අනුව නම් ජීවත්වන කාලය නිශ්චිතව දැක්විය නොහැක. සෑම දෙයක්ම නිරන්තරයෙන් වෙනස් වේ. කුඩා අවදියේදී මරණයට පත්වේ. ඇතැම්විට තරුණකාලයේ දී ද මහලු කාලයේ දී මරණයට පත්වේ. මෙය පොදු ධර්මතාවයකි. ජීවිතය අස්ථිර බැවින් ජීවත්වන කාලය සුළුය. එම සුළු කාලය වඩාත් ප්‍රයෝජනවත් අන්දමින් ගතකළ යුතු බව බුදුරජාණන් වහන්සේ දෙසූහ.

අප්‍රමාදය නිවනට හේතු වේ. අප්‍රමාදවන්නා උට්ඨාන වීර්යයෙන් යුක්තයි. කුසීතකම මැඩගෙන යහපත සඳහා වීර්යයෙන් කටයුතු කරයි. සිත කය යන දෙකෙහිම වීර්යය තිබිය යුතු ය. සියලු උසස් අදහස් මුදුන් පමුණුවා ගැනීමට උට්ඨාන වීර්යය අත්‍යවශ්‍යය. එවැනි පණ්ඩිත සත්පුරුෂයා උපක්‍රමශීලී වේ. බොහෝ දෙයෙහි දක්‍ෂයෙකි.

අප්‍රමාද වන්නා මනා සිහියෙන් යුක්තය. අතීතයේ සිදු වූ සහ දැන උගත් දේ මතක තිබෙන සිහිය ඇත. අතීත අත්දැකීම් වර්තමානය යහපත් කර ගැනීමට උපයෝගී කරගනියි. සියලු දෙයෙහි එළඹි සිටි සිහියෙන් යුක්ත අයුක්ත විසඳයි. යහපත ගැන මනා සිහියෙන් යුක්තය.

කළයුතු නොකළයුතු දෙය නුවණින් විමසීම අප්‍රමාද වන්නාගේ ලක්‍ෂණයයි. වෙද ඇදුරෙකු රෝග නිදානය පිරික්සා කෙරෙන පිළියමක් මෙන් සියලු දෙය නුවණින් විමසා කිරීම යහපත පිණිස හේතු වේ.

සිත කය වචනය යන තිදොර සංවර කර ගැනීම අප්‍රමාදවන්නාගේ ලක්‍ෂණයයි. සීලයෙහි පිහිටා කටයුතු කරයි. නරක සිතිවිලිවලින් බැහැරව යහපත් සිතුවිලි ඇතිකරගනී. හිස් වචන පරුෂ වචන බොරු කේලාම් ආදියෙන් තොර සත්‍ය යහපත් වචන භාවිතා කරයි.

දැහැමි දිවි පැවැත්මෙන් යුක්තවීමද අප්‍රමාදවන්නාගේ ලක්‍ෂණයයි. අනුන්ට අයහපත ගෙන දෙන සත්ව වෙළඳාම ආයුධ වෙළඳාම වසවිෂ වෙළඳාම ආදියෙන් වැළකී යහපත් ජීවන මාර්ගයන්හි නිරතවීම දුක් සහිත සංසාරයෙන් එතෙරවීමට ඇති මාර්ගයයි.

ප්‍රමාදය නින්දාවට පත්කරවයි. අප්‍රමාදය ප්‍රසංසාවට පත්කරවයි. සාමාන්‍ය ජීවිතය වඩාත් ප්‍රයෝජනවත් එකක්වීමට නම් අප්‍රමාදය පුරුදු පුහුණු කළ යුතුය. ප්‍රමාදවන්නා කළයුතු බොහෝ දේ මඟහරියි. තමන්ගේ ප්‍රමාදය ගැන පසුතැවෙයි. අප්‍රමාද තැනැත්තා කළයුතු දේ මැනවින් හඳුනාගෙන නිරවුල්ව කරයි. අප්‍රමාදී කෙනා පර්වත මුදුනක සිට පහළ සිටින්නවුන් දක්නාක් මෙන් ප්‍රමාද වූ සෝකී ජනයා දකී. අප්‍රමාද කෙනා ප්‍රමාද කෙනාට වඩා යහපත් අංශයන්ගෙන් ඉදිරියෙන් සිටියි. දුබල අශ්වයෙකු පසුකොට යන වේගවත් අශ්වයෙකු මෙන් පමාවූවන් හැරදමා නොපමාවූවන් සසර කතරේ අතරමං නොවී නිවන් සුවයට යති.

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.