Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉන්ද්‍රිය සංවරය ඇති කර ගනිමු

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

විශේෂයෙන් “ඉන්ද්‍රිය සංවර” සකසා ගන්න. සම්පජඤ්ඤය හොඳින් හදා ගන්න. ඒවා බාහිර කාටත් පේන්නෙ නෑ. ඒවා තමන් තනියෙන් හුරු කර ගන්න. ඒ විදියට ඉන්ද්‍රිය සංවරයත්, සම්පජඤ්ඤයත් හුරු කර ගත් කෙනාගෙ සීලයට හානි වෙන්නෙ නෑ. සීලය රකින එක එයාට පහසුයි. එයාට වාඩි වෙලා භාවනා කරනවිට පහසුවක් තියෙයි.

බණ භාවනා කිරීම ගැන බොහෝ දේ පසුගිය දා අප කියල දුන්නා. ටික කලකින් කාරණා බොහෝමයක් දැනගත්ත කියල, ටික කලකින් ඔක්කොම පුරුදු කරන්ට පුළුවන් කියල කල්පනා කරන්ට එපා. එහෙම යමක් ටික කලකින් කරන්ට පුළුවන් කියල යමෙක් කල්පනා කළොත්, එතනින්ම එයා අසාර්ථක වෙනවා.

ටික ටික යමක් පුරුදු කරන්ට කෙනෙක් කල්පනා කළොත් එයාට පුංචි හෝ යහපතක් අත්කර ගන්ට පුළුවන්. බොහෝ දෙනාට තිබෙන ගැටලුවක් තමයි, ඉඳගෙන භාවනා කරන්ට වැඩි වේලාවක් පෙළඹෙනවා. අනිත් වෙලාවේදී සිහියෙන් ඉන්න උත්සාහ කරන්නේ නෑ. එතකොට එයා කල්පනා කරන්නේ වාඩි වෙලා විතරක් භාවනා කරල සාර්ථක වෙන්ට පුළුවන් කියල, එයා හැකි තාක් වාඩිවෙලාම ඉන්ට උත්සාහ කරනවා. අනිත් වෙලාවට සිහිය පිහිටුව ගන්ට කල්පනා කරන්නේ නෑ.

බොහෝ වෙලාවක් දවසේ වාඩි වෙලා භාවනාවෙ හිටියත්, වෙනත් කටයුතු කරනකොට සිහිය පිහිටුවගන්ට හුරුවෙලා නැත්නම්, අප වෙන දෙයක් කරන්ට ගියාම සිහිය පිහිටුවගන්ට බැරිව යනවා. එතකොට, යමක් කියන කරන කොට සිහිය, සතිපට්ඨානයෙන් පිට නම් තියෙන්නේ වාඩි වුණාට පස්සෙ සිහිය පිහිටුවගන්ට බෑ. භාවනාවට වාඩි වුණාට පස්සෙ, කලින් සිතට ආපු නිමිති ඔක්කොම සිහියට එනවා. එතකොට අසාර්ථකයි. ඒ නිසා, හොඳට ඉන්ද්‍රිය සංවරය පුරුදුකර ගන්න. සම්පජඤ්ඤය හුරුකර ගන්න. ඒවත් ටික ටික තමයි හුරුකර ගන්නෙ. එයාට පහසුවෙන් ඉන්න පුළුවන්.

විශේෂයෙන් “ඉන්ද්‍රිය සංවර” සකසාගන්න. සම්පජඤ්ඤය හොඳින් හදා ගන්න. ඒවා බාහිර කාටත් පේන්නෙ නෑ. ඒවා තමන් තනියෙන් හුරුකර ගන්න.එතකොට ඒ විදියට ඉන්ද්‍රිය සංවරයත්, සම්පජඤ්ඤයත් හුරුකරගත් කෙනාගෙ සීලයට හානි වෙන්නෙ නෑ. සීලය රකින එක එයාට පහසුයි. එයාට වාඩි වෙලා භාවනා කරනකොට පහසුවක් තියෙයි. අන්න එහෙම කලක් යනකොට එයාට සුවපහසුවෙන් ඉන්ට පුළුවන් වෙයි. ඒ නිසා, පොත පත ලබාගන්න, දේශනා අහන්න, ධර්මය ඉගෙන ගන්න, වන්දනා මාන කරන්න, වත් පිළිවෙත් කරන්න. ඒ හැම දෙයක්ම කරද්දි සම්පජඤ්ඤය හුරු කර ගන්න. ඒ වෙලාවල් වලදී සිහිය දියුණු කරගන්න. ඒ කරන විදිය මහා සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ විදියට පුරුදුවෙන කොට අප සතිපට්ඨානය තුළ තමයි ඉන්නෙ.

සතිපට්ඨානය කියල කියන්නේ වාඩිවෙලා භාවනා කිරීමට පමණක් නෙමෙයි. සමහර අය සිතෙන්නේ වාඩි වෙලා පමණයි භාවනා කරන්නේ කියල. නෑ, සතිපට්ඨාන සූත්‍ර‍්‍රයේ තියෙන විදියට වැඩි ප්‍රමාණයක් තියෙන්නෙ වාඩි වෙලා පුරුදු කිරීමක් නෙමෙයි. වාඩිවෙලා පුරුදු කරන්න තියෙන්නෙ ටිකයි. වැඩි වෙලාවක් පුරුදු වෙන්ට තියෙන්නේ ඇවිදින කොට, හිටගෙන ඉන්න කොට, යන එන කොට, අනිකුත් වැඩපළ කරන කොට, කන බොන කොට,අන්න ඒ වෙලාව තමයි අප වැඩිපුර ගත කරන්නේ භාවනාවට වාඩි වෙන්නෙ ටික වෙලාවයි.

එහෙනම් අප අනිත් වෙලාවට සතිපට්ඨානය පුරුදු වෙන්නෙ නැත්නම්, භාවනාවට වාඩි වුණ වෙලාවට සතිපට්ඨානය පිහිටුවා ගන්ට බෑ. එහෙනම් අප අනිත් වැඩ කරන කොට, කෑම කනකොට, යන එන කොට, වැසිකිළි කැසිකිළි කරද්දි ඒ සෑම වෙලාවකදිම සිහිය පිහිටුවගන්න උත්සාහ කරන්න මහන්සිවෙන්න ඕන. ඒවා ටික ටික හුරු කර ගන්න. අන්න එයාට කලකදී ඉතා හොඳින් වාඩි වෙලා භාවනා කරන්ට පුරුදු වෙයි. එහෙම නැත්නම් අප මහන්සි වෙලා වෙලා වාඩි වෙලා ඉන්න හුරුවෙනව.

ඒ නිසා අප දක්‍ෂ වෙන්න ඕනැ අනිකුත් වැඩ කරන හැම වෙලාවෙම සිහිය උපදවාගෙන, සම්පජඤ්ඤය හුරු කරගන්න. කලක් එහෙමම කරගෙන යනකොට තමාටම සුව පහසුවෙක් දැනෙයි. ඉන්ද්‍රිය සංවරයත් සම්පජඤ්ඤයත් දෙක හුරු කළොත් එහෙම අපට වාඩි වෙලා පොඩි වෙලාවක් භාවනා කළත් සාර්ථකයි. සම්පජඤ්ඤයත් ඉන්ද්‍රිය සංවරයත් කියන දේ එක දිගටම පුරුදු කළ යුතු එකක්, ඒ දේවල් හොඳින් හුරුකර ගන්න බලන්න. ඒව හුරුකර ගත්තොත් අපේ සීලයත් රැකෙයි. වාඩිවෙලා කරන භාවනාවත් කරගන්න පුළුවන්කම තියෙයි. එතකොට අපට දවසෙ අනිත් කාලය කවදාවත් පාඩු වෙන්නේ නෑ. හවසට අපට කල්පනා කරල සතුට වෙන්ට පුළුවන් අද දවස මා හොඳට ගත කළා කියල, පසු තැවෙන්න දෙයක් නෑ. එතකොට පසුවදා උදේටත් එයාට සතුටෙන් අවදි වෙන්ට පුළුවන්. අද දවසත් මට යහපත් දෙයක් පුරුදුවෙන්ට පුළුවන් කියල. ඇයි එයා දන්නව නේ මොකක්ද කරන්නෙ කියල.

අප සෑම වෙලාවේදීම ඉන්ද්‍රිය සංවරය පුරුදු කරගන්ට ඕනෑ. එහෙම වුණොත් තමයි අපිට සාර්ථක වෙන්න පුළුවන්කම තියෙන්නෙ. ඒ විදියට අප පුරුදුකර ගත්තොත් මේ ලැබිච්ච ලාභය අහිමි නොවී අපට පහසුවෙන් ඉන්ට පුළුවන් කමක් තියෙයි. එහෙම නැත්නම් රේස් දුවන විදියට පුරුදු වෙන්න එපා. එහෙම කරන්න බෑ. එහෙම කරල ඉක්මනින් ධර්මය අවබෝධ කරනව කියල කරන්ට බෑ.අපට තියෙන්නේ ටික ටික ධර්මය පුරුදු කරගැනීම ඒනිසා සීලය රැකගන්න. සීලයට හානි වෙන්ට දෙන්න එපා. ඉන්ද්‍රිය සංවරයත්, සම්පජඤ්ඤයත් පුරුදුකර ගත්තොත් අපට සීලය හොඳින් ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා.

සියලු දෙනාටම ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ඒ උතුම් ධර්මය අවබෝධකර ගැනීම පිණිස වාසනාව උදාවේවා කියල අපි ආශිර්වාද කරමු!

 


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.