Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ආගන්තුක සත්කාරය

බු දුරජාණන් වහන්සේ අපට ආගන්තුකයන් වහන්සේ නමකි. එම නිසා මා උන්වහන්සේ වෙත යා යුතුය.’ සන්දක සූත්‍රයේ ‘සන්දක’ බුදුරජාණන් වහන්සේ හමුවට යාමට තමන් සුදුසු බවට ඉදිරිපත් කළ එක් කරුණකි ඒ. ආගන්තුක සත්කාරය ඈත අතීතයේ සිටම අප සමාජයේ මුල් බැසගෙන තිබූ බවට මෙය හොඳම උදාහරණයක් ලෙස එය දැක්වීමට පුළුවන.

ආගන්තුක සත්කාරය අප සමාජයෙන් දුරස්වන්නේ නම් ඊට හේතුවක් වී ඇත්තේ මව්පියන් දූ දරුවන්ට නිසි අයුරින් ආගන්තුක සත්කාරයන් පිළිබඳව දැනුම්වත් නොකිරීමයි. නිවසට පැමිණෙන ඥාතීන්ට ආගන්තුක සත්කාර කිරීමට දූ දරුවන් ඉදිරිපත් වනවාද? මව්පියන් දූ දරුවන්ට ඒ පුහුණුව ලබා දෙනවාද?

නිවසට පැමිණෙන ආච්චිට, සීයාට පිපාසය නිවා ගැනීමට පැන් බඳුනක් පිරි නමන්නේ කවුද? නිවසේ මව පියා හෝ නිවසේ මෙහෙකරුවා පමණයි ඒ කාර්යය ඉටුකරනු ලබන්නේ.

නිවසේ දූ දරුවන් ඒ සඳහා සහභාගි කර ගැනීමට මව්පියන් කටයුතු කරනවාද?

නිවසට පැමිණෙන තම ඥාතීන් හඳුනා ගැනීමටවත් ඇතැම් දූ දරුවන්ට වුවමනාවක් නැහැ. මව්පියන්ගේ කාර්යය වී ඇත්තේ කුමක්ද? ඥාතීන් හෝ වෙනත් හිතමිතුරන් පැමිණි විට දූ දරුවන් යන්තමින් හඳුන්වා දී ‘පුතාල යන්න පාඩම් කරන්න’ මව්පියන්ගේ ඒ අණට කීකරුවන දූ දරුවෝ කාමරයට රිංගා ගනිති.

බොහෝ විට ඔවුහු යළි එළියට එන්නේ ආගන්තුකයන් නික්ම යන විටය. ඒ එන්නේද පරිගණකයේ හිත තබාගෙනය. නැත්නම් සෙල්ලමට හිත යොදා ගෙනය. වැඩිහිටියන්ට සැලකීමක් හෝ ගරුකිරීමක් ඔවුන්ගේ සිත් තුළ නැත. බුදුදහමේ දැක්වෙන්නේ වැඩිහිටියන් නැමදීමය. වන්දනා කිරීමය.

එහෙත් ඇතැම් දරුවන් වැඩිහිටියන්ට සමුදෙන්නේ ‘ටටා’ වලිනි. නැත්නම් ‘බායි’ යනුවෙනි.

සිංහල හැදියාව, බෞද්ධ සංස්කෘතිය, වැඩිහිටියන්ට ගරු කිරීම සිදුව ඇත්තේ කුමක්ද? විශේෂයෙන්ම නාගරික පැලැන්තියට හුරු වූ සමහර දූ දරුවෝ නාගරිකත්වයෙන් බැහැර සිටින තම ඥාතීන් තමන්ට වඩා පහත් අය ලෙස ඇතැම්විට සැලකීමට පුරුදුව සිටිති.

‘එයාල ගොඩයො’
‘අපිට වඩා පහත්’

බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ කිසිවකු උපතින් බ්‍රාහ්මණයකු හෝ වසලයකු හෝ නොවන බවත් ක්‍රියාවෙන්ම බ්‍රාහ්මණයකු හෝ වසලයකු වන බවත් ය.

අන් අයට වඩා තමන් උසස් කොට සැලකීමේදී දරුවන්ගේ සිත් තුළ මානය හට ගනී. මෙහිදී අන් අයට වඩා උසස් යැයි සිතන හෙයින් ‘සෙයිය මානය’ සිත් තුළ හටගනී. දරුවන් තුළ ආගන්තුක සත්කාරය ඥාති සංග්‍රහ ගුණධර්ම වඩවාලීම මව්පියන්ගේ යුතුකමක් මෙන්ම වගකීමක්ද වන්නේය.

නිවසට පැමිණෙන තම ඥාතියකුට ආගන්තුකයකුට කෙසේ සලකන්නේද? යන්න අප දූ දරුවන්ට වැටහීමක් නොතිබීම නිසා ඥාතින් සහ අනෙකුත් හිතවතුන් අතර සබඳතා පවා දුරස්වන ලකුණු පහළව ඇත. ඇතැම් විට නිවසට පැමිණෙන ඕනෑම අයකුට දොර විවෘත කිරීම ආගන්තුක සත්කාරය යයි සිතෙන්නට පුළුවන. එය තරුණ දියණියන්ට ඉතාම අනාරක්‍ෂිතය. එමෙන්ම ඥාතීන් පැමිණි විට කිසිවකු නොමැති බව අගවමින් ඔවුන් මඟ හැරිමද අපේ බොදු සංස්කෘතිය නොවේ.

මව්පියන්ගේ වගකීම වන්නේ තම දූ දරුවන්ගේ ආරක්‍ෂාව සලසන අතර ඥාතීන්ට අමුත්තන්ට සත්කාර කරනු ලබන ආකාරය ගැන දරුවන් දැනුම්වත් කිරීමයි. නිවසට දන්නා හඳුනන අයකු පැමිණි විට මව පියා හෝ වැඩිහිටියන් නොමැති නම් ආගන්තුක පුද්ගලයාගේ සිත නොරිදෙන ලෙස පි‍්‍රය වචනයෙන් ආමන්ත්‍රණය කර ඔහුට පසුව පැමිණෙන ලෙස හෝ තමන්ට විශ්වාසදායි ඥාතියකු හෝ අසල්වැසියකු නම් පමණක් නිවසට පැමිණෙන ලෙස ආරාධනා කර අවශ්‍ය සංග්‍රහ සත්කාර කළ යුතුය. එවන් ක්‍රියාදාමයකදී මානය, ක්‍රෝධය, වෛරය, ද්වේශය වැනි දුර්ගුණ පහව ගොස් සාරධර්ම ඉස්මතු වන බව අප සිත්හි තබාගත යුතුයි.

එමෙන්ම අමුත්තාගේ සිත රිදෙන සේ කතාබහ කිරීම නොකළ යුතුය. නිවසට පැමිණෙන නොදන්නා හෝ සැක කටයුතු අය සමඟ කතාබහ කිරීම සුදුසු යැයි මෙහිදී වරදවා වටහා නොගත යුතුය. නිවසට අමුත්තකු පැමිණි විට නිවසේ දොර අඩ වශයෙන් විවෘත කර ඔහු සමඟ කතා කිරීම අප විසින් කරනු ලබන තවත් විශාල වරදක් ලෙස පෙන්වා දීමට පුළුවන්.

තවත් අවස්ථාවකදී ආගන්තුකයා, ඥාතියා පිටව මේ සාරධර්ම අපගේ සංස්කෘතියෙන් දුරස් වී ගොස් ඇති බවයි පෙනෙන්නේ.

ආගන්තුකයෙක් නිවසට පැමිණි විට පිරිසිදු ඇඳ ඇතිරිලි ආදිය ඔහුට ලබාදීම බෞද්ධ අපගේ යුතුකමක් සේම ආගන්තුකයාගේ යුතුකම වන්නේද ආපසු යන විට එම ඇඳ ඇතිරිලි කොට්ට මෙට්ට ආදිය පිළිවෙළකට තබා යාමයි.

භික්ෂූන් වහන්සේ නමක් උදෑසන පිබිදුණ විට තම ඇද ඇතිරිලි, කොට්ට, මෙට්ට ආදිය නිසි පිළිවෙලට තබා පිටව යන්නේ තමන් වහන්සේට යළිත් එම යහනේ නිදාගන්නට පැමිණීමට නොහැකි වුවත් වෙනත් භික්‍ෂූන් වහන්සේ නමකට තමන්ට දොස් නොතබා එම යහන භාවිතා කිරීමට හැකි වන බව සිතමින්.

එසේම භික්‍ෂූන් වහන්සේ නමක් වෙනත් විහාරස්ථානයකට ගියවිට ආපසු පිටවීමේදී වැඩිමහල් භික්‍ෂූන් වහන්සේට වැඳ නමස්කාර කර පැමිණෙනවා.

ගිහියන් අතර කාලාන්තරයක් තිස්සේ පැවැතුණ මේ වැදගත් චාරිත්‍රය අපෙන් දුරස් වන සේයාවක් තිබෙනවා.

පැමිණි ආගන්තුකයා, වයසින් අඩුනම් නිවැසියන්ට වැඳ නමස්කාර කරනු ලබනවා. නිවැසියන් වයසින් අඩුනම් ඔවුන් ආගන්තුකයාට වැඳ නමස්කාර කරනවා.

ක්‍රමයෙන් අපේ චාරිත්‍රවලින් ගිලිහී ගොස් ‘මං ගිහින් එන්නම්’ ආදී වචන කීපයකට එය සීමා වී තිබුණ අතර මේ වන විට එම වචන කිහිපයත් බටහිර පන්නයට ගොස් ‘බායි’ වචනයට පමණක් සීමා වී තිබේ.

යාන්ත්‍රිකරණය වූ සමාජයකට මනුෂ්‍යත්වය රැක ගැනීම අපහසු බව අප තේරුම් ගත යුතුය.

නිවසේ තිබූ විදුලි සීනුව පසුව නිවසට ඇතුළු වන ප්‍රධාන ගේට්ටුව දක්වා ගියේය. අද එතැන ඇමතුම් කට්ටලයකි. අවම වශයෙන් පැමිණි තැනැත්තාගේ හැඩරුව හෝ බලාගැන්මට නොහැකි වන සේ නිවස තාප්ප හතරකින් කොටු වී ඇත.

අපගේ පවුල් න්‍යෂ්ටික පවුල් තත්ත්වයට පත්ව ඇත.

ලෝක සම්භවය ගැන දැක්වෙන අග්ගඤ්ඤ සූත්‍රයේ ඇල්හාල් මදිවූ කල තම තමන්ගේ කෙත් වෙන් කරගත්තා සේ අපගේ යැයි බිම් කොටසක් වෙන් කරගෙන වට කරගෙන සිටීමට අප පුරුදු වී ඇත.

එහෙත් මිය ගිය විට අප රැගෙන යන්නේ කුසල් අකුසල පමණි. එහෙත් ඇතැම් අයකුට එය අමතක වී ඇත. ඔවුන්ගේ ක්‍රියාකාරිත්වය තමන් සරිකරන මුදල්ද රැගෙන යාමට මෙනි.

ආගන්තුකයන්ට, ඥාතින්ට සංග්‍රහ කිරීමෙන් කුසල් රැස් කරගත හැකි බව බොහෝ දෙනෙක් දන්නේ නැත.

තමන් පමණක් සැප විඳ අනෙක් අයට නොසලකා හැරීමෙන් සිදුවන්නේ තමන් පිරිහෙන බවත් එය වසල ගතියක් බවත් සූත්‍රවල දක්වා ඇත. එමෙන්ම තමන්ට හැකියාව තිබියදී ඥාති මිත්‍රාදීන්ට, ආගන්තුකයන්ට නොසලකා සිටීමද වසල ගතියක් බව බුද්ධ දේශනාවේ සඳහන්ය.

එසේම තමන් ආගන්තුක නිවසකට ගොස් එහිදී ආගන්තුක සත්කාර විඳ එම තැනැත්තා තම නිවසට පැමිණි විට කිසිත් නොදන්නවා සේ සිටිමින් ඔහුට ආගන්තුක සත්කාර නොදැක්වීමද වසල ගතියක් බව බුදුරජාණන් වහන්සේ දක්වා ඇත.

පොදුවේ සමානාත්මතාව වැඩීමට දරුවන් හුරු කළ යුතුය. ආගන්තුක සත්කාරය නිසි පරිදි අප දූ දරුවන් පුරුදු වන්නේ මව්පියන් විසින් කරනු ලබන ආගන්තුක සත්කාර දෙස බලමින්ය. මව්පියන් ඒ සඳහා ආදර්ශය සැපයිය යුතුය.

සාකච්ඡා කළේ
තාරක වික්‍රමසේකර


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.