Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

කුඩා දරුවන් යමක් ක්ෂණයකින් ග්‍රහණය කර ගන්නවා. මේ නිසා දරුවන් නිසි ගුණ ධර්ම කරා යොමු කළ යුත්තේ ඔහු වෙනත් යමක් ග්‍රහණය කර ගැනීමට පෙර සිටයි. එසේ නොවුවහොත් ඔවුන් පාසල තුළ දී ඔවුන්ටම ආවේණික වූ ලෝකයක පරිසරයක් ගොඩ නඟා ගන්නවා. එහිදී ඔවුන් පෙර ආත්මභවයන්හිදී රැගෙන ආ ගති ලක්‍ෂණ ද සමඟින් තම පරිහානිය සකසා ගැනීමට යොමු වනවා. සරල උදාහරණයක් සේ අප දකිනා ළපටි දල්ල නැමීමට හැකි සේ දරුවා කුඩා කලදීම නම්‍යශීලී තත්ත්වයට පත් කළ යුතු ය.

“මිනිසා හදා රට හැදීම” කළයුතු බව මඩිහේ මහ නා හිමියන් නිතරම වදාළ කරුණකි. මිනිසා හැදීමට නම් මිනිසාගේ උප්පත්තියේ සිටම ගුණ දහම් පුරුදු පුහුණු කළ යුතු ය. මේ නිසා ළදරු අධ්‍යාපනය බෙහෙවින්ම අපට වැදගත් වනවා. විශේෂයෙන්ම අවුරුදු තුනේ සිට පහ දක්වා වන දරුවන් මනසින් බුද්ධියෙන් වැඩෙන සමයයි. එම කාලයේ දී දරු දැරියන් ග්‍රහණය කර ගනු ලබන්නේ මව්පියන් විසින් සිදු කරනු ලබන කාර්යයන් බව අප තේරුම් ගත යුතුයි.

බුදු දහම අනුව සලකා බැලූ විට දරුවා පැමිණෙන්නේ වෙනත් ලෝකයකින්. ඒ පැමිණෙන ශක්තිය දහමේ විඥානය ලෙස දැක්වෙනවා.

එම විඥානයට උප්පත්තියේ දී සම්බන්ධ වන තවත් සාධක රැසක් තිබෙනවා. ඉන් ප්‍රධානම කරුණ ලෙස දැක්විය හැක්කේ, ව්‍යවහාරයේ දී අප ‘ආර’ නමින් හඳුන්වන ලක්‍ෂණයයි.

‘ආරේ ගුණ නෑරේ’ යනුවෙන් අප සමාජයේ හඳුන්වන්නේ ජන්මගත පුරුදු සමාජයේ පසුව දක්නට ලැබෙන හෙයිනි. මව පියා ඇසුරු කරමින් පවුල නමැති ඒකකයට සම්බන්ධ වන දරුවා පසුව පාසල වෙත පිවිසේ. තමන් මව්පියන්ගේ ඇසුරින් ලද හොඳ නරක ක්‍රියාවන් මෙන්ම පාසලේ දී දක්නට අසන්නට ලැබෙන ක්‍රියාවන් ද සමඟ ඔහු සමාජයට පිවිසේ. සමාජයේ කුසල්, අකුසල් වෙන් වශයෙන් හඳුනා ගැනීමට දරුවාට දැනුම තිබිය යුතු ය.

එම දැනුම ඔහු සමාජයට පිවිසියාට පසු ලබා දීමෙන් ඵලක් නොවන අතර දරුවකු කුස පිළිසිඳ ගත් අවස්ථාවේ සිටම පරිසරය හැඩ ගැස්විය යුතු ය. මව්පිය පි‍්‍රය වචන, සංවාද, අවට පරිසරය මෙන්ම, ශාරීරික පවිත්‍රතාව, දන්, සිල් භාවනා ආදී කුසල් දහමෙහි යෙදීම ඇතුළු ගුණ දහම් වැඩිය යුතු ය.

කුසට පැමිණි දරුවාට මවගෙන් එම ගුණ දහම් ශක්තිය ද ලැබෙන බව අප සිත්හි තබා ගත යුතු ය. වර්තමානයේ බොහෝ පිරිස මනෝ විද්‍යාව ලෙසින් එය හැඳින්වූවද කුස තුළ සිටින දරුවා සත් පුරුෂ ගුණාංගවලින් යුක්ත කිරීම හෝ එම ගුණාංගවලින් ඈත් කිරීමට මව්පියන්ට මෙන්ම අවට සමාජයට ද හැකියාව තිබේ.

මෙලොව පහළ වූ ශ්‍රේෂ්ඨම මනෝ විද්‍යාඥයා බුදුරජාණන් වහන්සේ බව අප අමතක කළ යුතු නැහැ. යම් අයකුගේ මනස වෙනස් කිරීමට ඔහු විද්‍යාඥයකු විය යුතු නැහැ. උදාහරණයක් ලෙස ප්‍රභාකරන්ට තරුණ තරුණියන්ගේ මනස විකෘති කිරීමට හැකිවීම ගැන සිතා බලන්න.

සිංහල ජාතිකයන් වෛරක්කාරයන් ලෙස සළකා ඔවුන්ට වෛර කළයුතු බවට ඔහු චින්තනයක් තරුණයන් තුළට යොමු කළා. තම ජීවිතය මරාගෙන මැරීමට ඔහු තරුණ සිත් සකස් කළා. එය මිනිස්කම අගයන ලක්‍ෂණයක් නොවේ.

එහි ප්‍රතිඵලය අප හොඳින් අත්දුටුවා. වසර 30 ක යුද්ධය සිදු කළ විනාශය දෙස බලන්න. ජීවිත, දේපළ, සංස්කෘතිය මේ සියල්ල වැනසුණා. කුමන ශාස්තෘවරයාද, මේ ව්‍යසනය අගයන්නේ කුමන ආගමේ ද එවන් තත්ත්වයක් සුදුසු බව දක්වා තිබෙන්නේ.

එවන් ව්‍යසනකාරී පරිසරයක් දිගින් දිගටම ඇස ගැටෙන විට බාල, තරුණ සියලු සිත් ක්‍රියාවන් ඒ සංස්කෘතියට හැඩ ගැසෙනවා.

උතුරින් පැමිණෙන බොහෝ තරුණ තරුණියන් අද පවසන්නේ කුමක්ද? අප වැරැදි ආකාරයට සිංහල අය ගැන හිතාගෙන හිටියේ.

‘අනේ අපිට ඒ අයත් එක්ක වැඩි කාලයක් ඇසුරු කරන්න ඕන.’

කොළඹ තරුණ කඳවුරු වෙත පැමිණෙන උතුරේ තරුණ තරුණියන් ආපසු යන්නේ කඳුළු සලමින්. බොහෝ දෙනා මෙය සාමාන්‍ය කරුණක් ලෙස සිතුවත් මරාගෙන මැරෙන්න ආපු පිරිසකගේ මනස එසේ වෙනස් කළ හැකි වූයේ කෙසේද?

සියල්ල ඇස, කන, නාසය, දිව ශරීරය, මනස යන ඉන්ද්‍රියන්ට ගෝචර වන අතර එමගින් ඇතිවන අරමුණු වෙත අපගේ සිත් යොමුවනවා. ඇසට දකින දේ, කනට ඇහෙන දේ, වගේම මේ ඉන්ද්‍රියන්ට ගෝචර වන සියල්ල කුඩා දරුවන් ක්ෂණිකව ග්‍රහණය කර ගන්නවා.

ප්‍රභාකරන්ට කුඩා දරුවාගේ සිට මනස වෙනස් කළ හැකි වූයේ එහෙයින් බව අපට තේරුම් ගන්නට පුළුවන්. මේ නිසා කුළුපග බව මඟින් දරුවන්ගේ මනස වෙනස් කළ හැකි ය.

විශේෂයෙන්ම වයස අවුරුදු 5 ක් දක්වා දරුවන්ගේ මනස ක්‍රමාණුකූලව වෙනස් කළ හැකියි.

මෙම වයස දරුවන්ට නිසි දැනුම ලබාදීම පරිගණකයට වෛරස ආරක්‍ෂණයක් ලබාදීමක් සේ අප සැලැකිය යුතුයි. එය නිතරම අලුත් කළ යුතු වෙනවා.

මේ නිසා සීලය, සංවරය කුඩා කල සිටම දරුවන්ට පුරුදු කර මනුස්ස ස්වරූපයට ඔවුන් සකස් කළ යුතු වෙනවා.

එකම නගරයක වුවත් පැල්පත් පේලියක දිවිගෙවන දරුවන්ගේ සහ වෙනත් උසස් යැයි සම්මත නිවාසවල දිවිගෙවන දරුවන්ගේ හැසිරීම් රටාව වෙනස් වී ඇත්තේ එහෙයින්. මේ නිසා පාසලට දරුවා යැවීමට පෙර ඔහු මනුස්ස වරිගයාට සුදුසු ලෙස සකස් කළ යුතු වෙනවා.

කුඩා දරුවන් යමක් ක්ෂණයකින් ග්‍රහණය කර ගන්නවා. මේ නිසා දරුවන් නිසි ගුණ ධර්ම කරා යොමු කළ යුත්තේ ඔහු වෙනත් යමක් ග්‍රහණය කර ගැනීමට පෙර සිටයි.

එසේ නොවුවහොත් ඔවුන් පාසල තුළ දී ඔවුන්ටම ආවේණික වූ ලෝකයක පරිසරයක් ගොඩ නඟා ගන්නවා.

එහිදී ඔවුන් පෙර ආත්මභවයන්හිදී රැගෙන ආ ගති ලක්‍ෂණ ද සමඟින් තම පරිහානිය සකසා ගැනීමට යොමු වනවා. සරල උදාහරණයක් සේ අප දකිනා ළපටි දල්ල නැමීමට හැකි සේ දරුවා කුඩා කලදීම නම්‍යශීලී තත්ත්වයට පත් කළ යුතු ය.

අද බොහෝ අය ළදරු ලෙස හඳුන්වන්නේ අකුරු ඉගැන්වීමය. අකුරක තිබෙන්නේ සංඥාවක් පමණය.

එය ලංකාවේ එක් ආකාරයක් ඉන්දියාවේ දී තවත් ආකාරයක්, සම්මුතික වශයෙන් සකස් කර ගත් දෙයට පෙර අප ගුණ ධර්ම ඉගැන්විය යුතු යි. භාෂාවක් සංස්කෘතියක් අවුරුදු දහස් ගණනක් සංවර්ධනය වී සැකසුණත් එහෙත් ගුණධර්ම භාෂාව ඇතුළු කිරීමට පෙර දරුවනට ලබා දිය යුතු යි.

කරුණාව, දයාව, මෛත්‍රිය, අනුකම්පාව කුමන රටකදී වුවත් එකසේ බලාත්මක වන ගුණධර්මයයි. මෙරටදී එක් වර්ගයක කරුණාවත් සහ ඉන්දියාවේදී තවත් කරුණාවක් ඇත්තේ නැහැ.

මේ නිසා මනෝ විද්‍යාවේ දැක්වෙන පරිදි වඩා ගැනීම, සිප ගැනීම, ආදරය, ක්‍රීඩා කිරීම, වගේ මවගේ උණුසුම ලබාදීම මඟින් දරුවන් යහ මඟට යොමුකර ගැනීම පහසු වනවා. මව් කිරි දීමෙන් ගී ගැයීමෙන් දරුවා වර්ධනය වන බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වෙනවා.

බටහිර මනෝ විද්‍යාවේ මේ කරුණු බොහොම ඉහළින් දැක්වෙනවා. ඒ පරියේෂණ කරලා ලබා ගත් දැනුමෙන් එහෙත් බුදුදහමේ බෞද්ධ සාහිත්‍යය එම කරුණු දැක්වෙන්නේ ආදරය කරුණාව සෙනෙහස ලබාදීමෙන් ගුණධර්ම වැඩිය යුතු බවයි. ගුණ නැණ පිරි දරුවෙක් සමාජයට සිහි කිරීමට නම් අප දරුවාගේ ගති පැවැතුම් හඳුනාගත යුතු ය.

දරුවාගේ අවශ්‍යතා මත අප කටයුතු කළ යුතුයි. එසේ කටයුතු කරන්නේ කෙසේද යන්න මීළඟ කලාපයෙන් විමසා බලමු.


© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.