UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙතිස් ඵල රුහ බෝධින් වහන්සේ

ශ්‍රී මහා බෝධින් වහන්සේ අනුරාධපුර රාජධානියේ මහමෙව්නා උයනේ රජ ගෙදර දොරටුව අසල රෝපණය කළේය. පෙර බුදුන් වහන්සේද පිටදුන් බෝධින් වහන්සේලා රෝපණය කර තිබුණේ මෙම ස්ථනයේම බව වංශ කතාවලින් කියැවේ.


බෙල්ලන්විල රජ මහා විහාරයේ බෝධීන් වහන්සේ

ශ්‍රී මහා බෝධි රෝපණ මංගල්‍යය සිදුවන්නේ බුද්ධ වර්ෂ 236 උඳුවප් මස පුරතුදුස්වක් දින සවස (උඳුවප් පුරපසළොස්වක දිනටය පෙර දිනයේදී ) ය. එතැන් සිට දින 7 ක් ඇවෑමෙන් මහා ප්‍රතිහාර්යන් මධ්‍යයේ ශ්‍රී මහා බෝධියේ නැගෙනහිර දිශා ශාඛාවෙන් තවත් ඵලයක් හට ගනියි. එම ඵලයෙන් එම දිනයේදීම තවත් ඵල 8 ක් හටගත් බව වංශ කතාවන්ට අනුව කියැවෙයි. අප එය හඳුන්වන්නේ අෂ්ඨ ඵල රුහ බෝධීන් වහනසේ නමිනි. මෙම නැගෙනහිර දිශා ශාඛාවෙන් තවත් ඵල තිස් දෙකක් හටගත් බව ඇතැම් තැනක කියවෙන අතර මහාබෝධි වංශ කතාවට අනුව එය මෙසේ සඳහන් වෙයි. ශ්‍රී මහා බෝධි රෝපණයෙන් පසු එහි පංච මහා ශාඛාවන් වූ බෝ පල පසකින් හටගත් අංකුර සතොළසක් (හතලිහක්) විය. ඉන් ප්‍රථම ඵලරුහ බෝධීන් වහන්සේ අට අෂ්ඨ ඵල රුහ බෝධින් වහන්සේ වන අතර ඉතිරි වන බෝධීන් වහන්සේ තිස් දෙක දෙතිස් ඵල රුහ බෝධින් වහන්සේලා ය.

කෙසේ හෝ වේවා මෙම දෙතිස්ඵල රුහ බෝධින් වහනසේ ද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මාතෘ උරුමයට නෑකම් කියන සුවිශේෂී වූ ද ගෞරවනීය වූ ද බෝධින් වහන්සේලාම ය.

මහා බෝධී වංශයට අනුව එම දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලා නම් කර ඇත්තේ මෙසේය.

1.මල්වැස්සා වෙහෙර 2. තන්ත්‍රිමලය 3. මුහුදුබඩ මහාජල්ලික කෙවුල්ගම 4. කොට්ටියාරම 5. පොළොන්නරුව 6.මාතලේ රුසීගම 7.රුහුණු රට මාගම 8. විල්වල 9.මහ්‍යංගනය 10. සේරුවිල සමීපයේ නයින්ගේ විල්ගම් වෙහෙර 11. ඌව බදුල්ලේ මුතියංගනය 12. එම රට බුත්හල භප්පෝරු වෙහෙර 13. රුහුණු රට සිතුල්පව්ව 14. තංගල්ලේ වනවාස වෙහෙර 15. වැලිගම වෙහෙර 16. පරගොඩ 17.මැද්දේගම 18. ගණේගම 19. කොත්මලේ පුසුල්පිටිය 20. මායාරට වතුර 21.බෙලිගල 22.බෙල්ලන්විල 23.වදුරව 24.වට්ටාරම 25.රජ මහා විහාරය 26.සුලුගල්ල 27.රැස්වේරුව 28.කටියාව 29. ගිරිබා වෙහෙර 30. යාපව්ව 31.කසාගලු වෙහෙර 32.ඇඹලව රහත් ගල් වෙහෙර වශයෙනි

අතීතයේ ලංකාවේ ග්‍රාමයන් හැඳින්වූ සමහර නාමයන් වර්තමානය වන විට වෙනස්වීම් වලට භාජනය වී ඇත. එම නිසා මෙහි සමහර ග්‍රාම නාමයන්, සමඟ බද්ධ වූ තැන් කොතැනදැයි නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි වී තිබේ.


මහියංගණයේ බෝධින් වහන්සේ

එසේම නොයෙකුත් උපද්‍රවයන්, පාරිසරික විපර්යාසයන්, සතුරු ආක්‍රමණ, මෙන්ම සමහර යුගයන්හි නොසලකා හැරීම් හමුවේ ඇතැම් පැරැණි බෝ වෘක්ෂයන් මේ වන විට විනාශ වී තිබේ. නමුත් බෝධීන් වහන්සේ හා සම්බන්ධ වූ බොහෝ ස්ථානයන්හි පූජනීයත්වය තවමත් නොකෙලෙසී පවතියි.

එම පැරැණි බෝ වෘක්ෂ රාජයන්ගේ ගෞරවනීය නාමයන් සංකේතවත් කරමින් වැඩ වසනා නව බෝ වෘක්ෂයන් එම පැරැණි මතකය අවදි කරවමින් පූජනීයත්වය එලෙසම රඳවා තබා ගැනීමට සමත් වී තිබේ.

බහුතර බෞද්ධ ජනතාව මෙම බෝධි රෝපණ පූජාවන්ට දක්වන්නේ මහත් වූ ගෞරවයක් වන අතර බෝධින් වහන්සේ නමක් නොමැති විහාරස්ථානයක් ඇත්නම් එතැන පවතින්නේ මහත් අඩුවකි. ඒ තරමට අපගේ සංස්කෘතියත් බෝධි වෘක්‍ෂයත් අතර ඇත්තේ නොගිලිහෙන අපමණ වූ ගෞරවනීය සහසම්බන්ධයකි. ඒ පිළිබඳව පෝල් ඊ.පීරිස් වියතාණන් සඳහන් කරන්නේ මෙසේය. “සිංහල ජාතියේ දීර්ඝ ඉතිහාසයෙහි වෙනත් එක ද සිද්ධියක් හෝ මහා බෝධි වෘක්‍ෂ රෝපණය තරම් තදින් සිංහලයාගේ සිත් ගත්තේ ද යනු සැක සහිතය. තනි ගල් තලයක් මතුයෙන් පෝෂ්‍යය ලබමින් ඉතාම ශක්ති සම්පන්න ගොඩනැගිල්ලක් ඇතුලට පවා පලාගෙන යන එහි මෘදු මුල් මෙන් මෙම වෘක්ෂයෙන් නිරූපණය වන බලය මිනිසුන්ගේ අභ්‍යන්තරයට විනිවිද ගොස් ඇත්තේය.” (P.E.Pieris Ceylon and the Pourtuguese)
 

මෙම ලක්දිව් තලයේ සතර දිග් භාගය පුරා මෙසේ ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛා රෝපණය කිරීමෙන් පෙර රජ දරුවන් බලාපොරොත්තු වූවේ බුද්ධ ශාසනයේ ව්‍යප්තියයි. බෝ වෘක්ෂයට පුදසත්කාර කරන බැතිබර බෞද්ධයන් බුදුන් වහන්සේට කරන පූජෝපහාර වශයෙනුත්, තම අපේක්‍ෂාවන් මුදුන්පත් කර ගැනීම උදෙසාත්, අපල උපද්‍රව දුරුකර ගැනීමේ අපේක්‍ෂාවෙනුත් බෝධි පූජාදිය පවත්වති. අර්ථශූන්‍යව ගස් ගල් වලට වැඳ වැටුණු පැරැන්නන්ට නවමු ප්‍රතිඵලදායක අර්ථකථනයක් සම්පාදනය කර දුන් බුද්ධස්පර්ෂයෙන් පූජනීයත්වයට පත්වූ මහා බෝධීන් වහන්සේ සංකේතවත් කරනා මහා බෝධි වංශයේ මේ උත්තුංග පරපුර සම්බුදු දහම පවතින තුරාවට නොනැසී අපගේ ජීවිත හා බැඳී පවතිනු ඇත.

අද දක්වාම ශ්‍රී මහා බෝ සමිඳුන් බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ ලෙස විරාජමාන වෙමින් අෂ්ඨඵල දෙතිස් ඵල රුහ බෝධීන් වහන්සේලාගෙන් පටන්ගත් මහා බෝධි වංශ කතාව තව තවත් ව්‍යාප්ත වෙමින් බෞද්ධ සංස්කෘතියට දායාද කර ඇත්තේ ගෞරවණීය වූ ද පූජනීය වූ ද සෙත ශාන්තිය උදාකර දෙන්නා වූ ද මහා බලයක යෝධ ප්‍රතිරූපයකි.

 

 
බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 13 වැනිදා සිකුරාදා පූර්ව භාග 04.51 ට ලබයි.
14 වැනි සෙනසුරාදා පූර්වභාග 04.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 13 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]