UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 පූජිත පින්කෙත

රත්මලානේ ශ්‍රී ධර්මාරාම නා හිමි

රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ගුරු දේවයාණන් හා රත්මලානේ ශ්‍රී ධර්මාරාම ශිෂ්‍ය රත්නයේ අභිවෘද්ධිය සඳහා ද ආරම්භ කරන ලද පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන රටට දැයට සමයට හිත ඇති මහා පරපුරක් ගොඩ නැංවිය. ඒ පමණක් නොව අපේ දේශයේ ප්‍රගතිශීලි ගමන් මඟ උදෙසා අත්‍යවශ්‍ය වූ මහා පවුරක්ද ගොඩ නැගූහ

ලෝක ශාසන ඉතිහාසයෙහි මහා ප්‍රදීපස්ථම්භයක් ලෙස හැඳින්වෙන විද්‍යාලංකාර මහා පිරිවෙන්හි දෙවන පරිවෙණාධිපති වහන්සේ වන රත්මලානේ ශ්‍රී ධර්මාරාම මා හිමිපාණන්ගේ යුග මෙහෙවර 1853 –1918 කාල පරාසයට අයත්වේ. රත්මලානේ ශ්‍රී ධර්මාරාම නා හිමිපාණන්ගේ යුග මෙහෙවර ඉටු වූ ධර්ම ශාස්තී‍්‍රය සේවාව සිංහල භාෂාවත් බෞද්ධ ධර්මයත් පවතින තාක් නොනැසී නොසදී පවතිනු නිසැකය.

අපි කොග්ගල ප්‍රාඥායාණන් විසින් ශ්‍රී ධර්මාරාම සාහිත්‍ය අංකයට 1961 දී ලියන ලද ලිපියක කොටසක් නැවත කියවමු.

ධර්මාරාම නායක හිමියන් සොයා හෙළිකළ පැරැණි අක්‍ෂර වින්‍යාසය වූ කලි සිංහල බස වහරන ජනතාවක් සිටින තාක් කල් උන්වහන්සේ සිහිකරවනු පිණිස නැඟුණු ස්ථූපයක් වැන්න. ලිපි දොස් බහුලවීම නිසා නැසුණු සැඟවුණු අරුත් ඇති ඇතැම් සිංහල ගද්‍ය පද්‍ය ග්‍රන්ථ සංස්කරණයේදී සංස්කෘත සාහිත්‍යයෙහි හසළ දැනුම නිසා උන්වහන්සේ අමුතුම ශක්තියක් ලැබූ බව සිදත, සැළලිහිණි අස්න, කාව්‍යශේඛරය ධර්මප්‍රදීපිකාව, ආදි පොත් සංස්කරණයන්ගෙන් හා එහි ගැටපද ආදියෙන්ද හෙළිවේ” . (මහාචාර්ය කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි ශ්‍රී ධර්මාරාම සාහිත්‍ය අංකය 1961 – පි.30)

ශ්‍රී ධර්මාරාම නා හිමිපාණන් විසින් සොයා හෙළි කරන ලද “න ණ ළ ල” අක්‍ෂර වින්‍යාසය ඒ නා හිමිපාණන්ගෙන් සිදුවූ විශිෂ්ඨතම සේවාවක් ලෙස සලකති. භාෂාවේ ආවේණික ලක්‍ෂණයක් වූ “න ණ ළ ල” නීතිය පාදාදීම නිසා සම්භාවනීය සිංහල පත පොත ශාස්ත්‍රිය ලෙස සංශෝධනය කරනු කැමැති විද්වතුනට ඉන් ලැබුණු සේවය අති මහත්ය. එම ශාස්ත්‍රිය ක්‍රමය නූතනයේ සෑම වියතකු විසින්ම විඳගනු ලබනු ඇත.

ශ්‍රී ධර්මාරාම මාහිමිපාණන්ගේ ජන්ම බිම වනුයේ රාජගිරිය සමීපයෙහි වූ කලපලුවාව නම් ගමයි. සිය ගුරුවරයාණන් වූ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමිපාණන්ගේ ගමන් මගට පිවිසෙමින් රත්මලානේ ධර්මාරාම නාමය ලබාගෙන ඇත.

ශ්‍රී ධර්මාරාම නා හිමිපාණන්ගේ ඇදුරු පරපුර මෙසේය. වැලිවිට අසරණ සරණ සරණංකර සඟරජ නා හිමි, ආසිදෙණියේ ධර්මකීර්ති මාහිමි, තලංගම සෝභිත මාහිමි, මරලුවාවේ සෝභිත මාහිමි, අඬුපේ සෝනුත්තර මාහිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මාහිමි, ශ්‍රී ධර්මාරාම මාහිමියන්ගේ ගුරු දේවයන් වූ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නා හිමිපාණන් තම ජීවිතාන්තය දක්වාම වැඩ සිටියේ රත්මලානේ, පුරාණ විහාරයෙහි ය. මෙම පුරාණ විහාරය සිල්වත් ගුණවත් මහා හිමිවරුන්ගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වූ ඓතිහාසික පින්බිමක් ලෙස සුප්‍රකටය. රත්මලානේ පුරාණ විහාරය කීර්ති ශ්‍රී මහරජු දවස වැලිවිට අසරණ සරණ සරණංකර සංඝ රාජ්‍යායණන්ගේ ඉල්ලීම පරිදි කොළඹ පළාතට වැඩම කර සිටි ආසිදෙණියේ ධර්මකීර්ති මාහිමියෝ පළමුවෙන්ම වස් විසූ ස්ථාන වූයේද මෙම පුරාණ විහාරය දෙවැනි පෑතිස් රජු සමයෙහි ශ්‍රී මහා බෝධි ශාඛාවක් මෙම උතුම් පින්බිමෙහි පිහිටුවීම නිසා රත්මලානේ පුරාණ විහාරය රාජකීය තත්ත්වයට හේතුවන වග ශාසනික ඉතිහාසයෙහි සඳහන් වේ.

රත්මලානේ ශ්‍රී ධර්මාලෝක ගුරු දේවයාණන් හා රත්මලානේ ශ්‍රී ධර්මාරාම ශිෂ්‍ය රත්නයේ අභිවෘද්ධිය සඳහා ද ආරම්භ කරන ලද පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන රටට දැයට සමයට හිත ඇති මහා පරපුරක් ගොඩ නැංවිය. ඒ පමණක් නොව අපේ දේශයේ ප්‍රගතිශීලි ගමන් මග උදෙසා අත්‍යවශ්‍ය වූ මහා පවුරක්ද ගොඩනැගූහ. විද්‍යාලංකාරයෙන් ගොඩ නගන ලද ශිෂ්‍යයන් අතර ගිහි පැවිදි මෙන්ම කතෝලික පූජකවරු ආදී පඩිවරුද වෙති. 1935 දී ප්‍රකාශයට පත් කරන ලද වජ්‍ර ඡයන්ති වාර්තාවෙහි අදාළ තොරතුරු සඳහන් වේ. විද්‍යාලංකාර පිරිවෙනෙන් ලබා දුන් අධ්‍යාපනය ආගමකට හෝ ජාතියකට විශේෂිත නොවීය. ඉගෙනුමට පැමිණි ගිහි පැවිදි බෞද්ධ අබෞද්ධ සෑම උදෙසා සිංහල පාලි සංස්කෘත ඡ්‍යොතිෂ ආයුර්වේදය ගණිතය ආදි විෂයයන් උගන්වා බුද්ධි වර්ධනය ගොඩ නගා නව පරපුරක් ගොඩනැගූහ.

මෙම ශාස්ත්‍ර ශාලාවෙන් අපේක්‍ෂිත අර්ථය සපුරාලීම් උදෙසා මෙහි ඇති ගොඩනැගිලගිවලට වඩා බුද්ධිමත් පඩිවරුන් තැනීම අතිශයින්ම අවශ්‍ය බැව් ධර්මාලෝක නාහිමිපාණෝ අවධාරණය කර ගත්හ. මේ හේතුව මත දයාබර ශිෂ්‍ය ශ්‍රී ධර්මාරාම ශිෂ්‍ය රත්නය වෙනුවෙන් ඉන්දියාවෙන් බමුණු පඩිවරුන්ද ගෙන්වූහ. 1869 දී පමණ ලංකාවට පැමිණි මාතෘභූනේශ්වර ධර්ම ශාස්ත්‍රි නම් තෙළිඟු බ්‍රාහ්මණ පඬිවරයා මගින් තර්ක ශාස්ත්‍රයද අත්නම් භට්ටිය නීල කරාථ භට්ටිය ආදි පඩිවරුන් ලවා තර්ක සංග්‍රහ, නිරුක්ති යන ටීකා හා අනුටීකා ද පාණිනියද පුහුණූ කරවූහ. ශ්‍රී විශ්වනාථ ශිවාචර්යාභිධාන, කුමාරස්වාමි නම් බ්‍රාහ්මණ පඩිතුමා වෙතින් සාරස්වත ආදි පොත පතද හැදෑරීමට අවස්ථාව සලසා දුන්හ. ඡ්‍යොතිර් ශාස්ත්‍රය ගණිත විද්‍යාව, පරෝපකාර චක්‍රවාද සිද්ධාන්ත, ගණිතසිංහ ආදි විද්‍යා විෂයයෙහිද දැනුම් සම්භාරයක් ධර්මාරාම නා හිමිපාණෝ වෙත ලබා දුන්හ.

රත්මලානේ ශ්‍රී ධර්මාරාම නා හිමිපාණන් වහන්සේ විසින් ඉතා සුළු කාල පරාසයක් තුළ කරන ලද ශාස්ත්‍රී සේවාවන් සමඟ ලියූ ගැඹුරු බණ දහම් පොත්පත් සංස්කරණය කළ අපේ සම්භාව්‍ය ග්‍රන්ථ සම්භාරය දෙස විමසුම් ඇස යොමුකරන කල්හි උන්වහන්සේ විවේක සුවය නොලද බව පසක් වේ.

1918 දී රත්මලානේ ශ්‍රී ධර්මාරාම නා හිමිපාණෝ අසනීපව පසුවෙමින් සිට අපවත් වී වදාළහ. අපි ශ්‍රී ධර්මාරාම නා හිමිපාණන්ගේ සංස්කරණ කීපයක් පමණක් සඳහන් කරමු. ශික්‍ෂා සංඥාව 1876 – පන්සිය පනස් ජාතක පොත කලාප කීපයක් (1883 ) ධර්ම ප්‍රදීපිකාව 1886 ජානකීහරණ ශ්ලෝක බන්ධන මහා කාව්‍යය (1891) මොග්ගල්ලාන පංචිකා ප්‍රදීපය, (1896) සිදත් සඟරා විස්තර සන්නය , 1902 හංස සන්දේශය (සයිමන් ද සිල්වා ) වාසල මුදලිතුමන්ගේ ආරාධනයෙන්) කච්චායන වුත්තිය (බැදිගම ශ්‍රී රතනපාල මාහිමියන්ගේ ආරාධනයෙන් ) මේ ආදි වශයෙන් සම්භාව්‍ය බෞද්ධ සාහිත්‍ය පොත්, සිංහල සාහිත්‍ය භාෂා පොත් 25 ක් පමණ සංස්කරණය කර ඇත.

ශ්‍රී ධර්මාරාම නා හිමිපාණන්ගේ අග්‍රගණ්‍ය ශිෂ්‍යයන් අතර මාතර මහා මන්තින්ද පරිවේණාධිපතිව වැඩ විසූ දක්‍ෂිණ ලංකාව පමණක් නොව මුළු ලංකාව පුරාම වාදිභසිංහ නමින් ප්‍රචලිතව සිටි බැදිගම ශ්‍රී රතනපාල මාහිමි. ශ්‍රී ධර්මාරාම නා හිමිපාණන්ගෙන් පසුව විද්‍යාලංකාර පරිවේණාධිපති ධූරයට පත්ව අගනා ධර්ම ශාස්ත්‍රිය ග්‍රන්ථයන් ඉතා ඉහළ මට්ටමෙන් සංශෝධනය කළ අසීමිත විදේශීය ශිෂ්‍ය පිරිසක් ගොඩනගා ථෙරවාද බුද්ධ ධර්මය ලෝ පතළ කළ ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නා හිමියෝ වැනි පැවිදි සඟරුවනද වෙති.

ශ්‍රී ධර්මාරාම නා හිමිපාණන්ගේ යුගය තුළ විද්‍යාලංකාර පිරිවෙන්හි විභාග පරීක්‍ෂණ පැවැත්වූ පඩිවරුන් අතර ගිහි පැවිදි මෙන්ම අන්‍යාගමික පූජකවරුද සුවිශාල සංඛ්‍යාවක් වෙති .ශ්‍රී ධර්මාරාම මාහිමිපාණන්ට මුහුණදීමට සිදුවු වාද විවාද අතර බුද්ධවර්ෂ ව්‍යවහාර වාදය, න ණ ළ ල වාදය, සුගත් වියත් වාදය, උක්ත වස්තු වාදය, පාරුපනාවාදය, වාඩිවාදය දුශ්ශීල වාදය, විශේෂයෙන් සඳහන් කරමු.

මේ පිළිබඳව වැඩිමනත් තොරතුරු විද්‍යාලංකාර වජ්‍ර ජයන්තිය, විද්‍යාලංකාර පිරිවෙන ශත සංවත්සරය ප්‍රකාශනයන්හි සඳහන් වේ.

 
බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 13 වැනිදා සිකුරාදා පූර්ව භාග 04.51 ට ලබයි.
14 වැනි සෙනසුරාදා පූර්වභාග 04.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 13 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]