UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 සුළුවෙන් කළ ද නැති නොවන පින්

“උපාසකවරුනි, යම් පුද්ගලයෙක් තමන් සතු සම්පත් උපයෝගි කර ගනිමින් දන් දෙන කල්හි අන්‍යයන් ඒ සඳහා සහභාගි කර නොගෙන තනිව වැ දන් දෙන්නේ නම් ඔහුට භව භෝග සම්පත් මිස පරිවාර සම්පත් නොලැබෙන්නේය. තමන් විසින් යම් වියදමක් නොකර අනුන් සම්මාදන් කරවා ගෙනැ යමෙක් දන් දෙත් නම් ඔවුනට පරිවාර සම්පත් පමණෙක් මිස භෝග සම්පත් නොලැබේ.

දානයෙන් මෙන් මැ ශීල භාවනාවන් හි අනුසස් බොහෝ ය. ශීලයෙහි යෙදෙනවාට වඩා බොහෝ දෙනා දන් දී මෙහි යුහුසුළු වෙති. එකල වැඩි දෙනෙක් බුදුන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට දන් පූජා කළෝ කුඩා කණ්ඩායම් වශයෙන් ඒකරාශි වීමෙනි. දන් දෙන සැදැහැවතුනට එයින් වැඩි වෙහෙසක් නොවුවා සේමැ දන් පිළිගනු ලබන වහන්දෑට ද පහසුවක් මැ විය.

මෙලෙස දන් පිළිගැන් වූ එක් අවස්ථාවෙක වළඳා අවසන්හි අනුමෝදනා බණ වදාරණ බුදුරජාණන් වහන්සේ,

“උපාසකවරුනි, යම් පුද්ගලයෙක් තමන් සතු සම්පත් උපයෝගි කර ගනිමින් දන් දෙන කල්හි අන්‍යයන් ඒ සඳහා සහභාගි කර නොගෙන තනිව වැ දන් දෙන්නේ නම් ඔහුට භව භෝග සම්පත් මිස පරිවාර සම්පත් නොලැබෙන්නේය. තමන් විසින් යම් වියදමක් නොකර අනුන් සම්මාදන් කරවා ගෙනැ යමෙක් දන් දෙත් නම් ඔහුනට පරිවාර සම්පත් පමණෙක් මිස භෝග සම්පත් නොලැබේ.

යමෙක් ඒ දෙක මැ නොකරන්නේ නම් භෝග සම්පත් හෝ පරිවාර සම්පත් යන දෙක මැ නොලැබෙන්නේය. නොඑසේම අන්‍යයන් සම්මාදන් කරවා ගෙනැ තමන් ද ඊට හවුල්වැ දන් දෙත් ද, එලෙස දෙනු ලබන දානය භව භෝග සම්පත් හා පරිවාර සම්පත් යන දෙක මැ ලැබීමට හේතු වන්නේ යයි “ වදාළ සේක.

එලෙස බුදුරජාණන් වහන්සේ ගෙන් බණ ඇසූ එක්තරා කුල පුත්‍රයාණ කෙනෙක්. “බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඉතා යහපත්ය.

සම්පත් ඇති වැ පරිවාරත් ඇත්නම්, පරිවාර ඇති පමණින් යසසත්, කීර්තියත්, වැඩීමට හේතු වෙයි. එසේ නම් මම මේ දෙක මැ ලබමි.” යි සිතා ධර්ම දේශනාව නිමවූ කල්හි බුදුන් වහන්සේ වෙතැ එළඹ නමස්කාර කොට වැඳ, “ස්වාමීණි බුදුරජාණන් වහන්ස සෙට දින දහවලැ දන් පිණිස මාගේ නිවසට වඩින සේක්වා”යි කරුණා පෙරදැරිව ආරාධනා කර සිටියේය.

“පින්වත, කොතෙක් භික්ෂූන් අවශ්‍ය දැයි” බුදුන් වහන්සේ විචාළ සේක්,

“ස්වාමීනී විහාරයේ වැඩ වෙසෙන සියලු මැ භික්ෂූන් වහන්සේ ය ”යි කීහ. කුලපුත්‍රයන්ගේ ශක්තිය පමණ දැන සිටි බුදුරජාණන් වහන්සේ ආරාධනය ඉවසා වදාළ සේක. කුලපුත්‍රයා තමන් ගමට ගොස් නුවර සිසාරා යමින් තැනින් තැන හඬ නඟා කියන්නේ, සෙට දින බුදුපාමොක් මහ සඟනට දහවල දන් පුදනු පිණිස ම විසින් කරණ ආරාධනාව, යි, මේ පිනට ලැදි යම් කෙනෙක් වෙත් නම් ඊට සහභාගි වීමට කැමැත්තේ නම් කැඳට බතට, අවුළුපතට, ඇවැසි සහලින් පරිත්‍යාග කළ මැනව. තවද මුං උඳු ආදි දානෝපකරණත් සමග එලෙස සපයා ගත් දෙය එක් තැනෙක දී පිස දන් දෙමි හ යි කීය.

කුල පුත්‍රයාණන්ගේ ආරාධනය ඇසූ නගර වාසී සැදැහැවත් ඇත්තෝ දනට ඇවැසි කළමනා එක් එක් අය ගෙනුත් තමන් විසිනුත් සපයා ගෙනැ එක් ස්ථානයකට එක්කාසු කළහ. එළෙස දන් දෙන්නට කැමති එක් තැනැත්තෙක් කුල පුත්‍රයන්ගේ විධානය පරිදි දනට නිසි කළමනා සම්මාදන් කර ගන්නා අදහසින් නුවර එක් සිටාණ කෙනෙකුන් ගේ වෙළඳසල ඉදිරියට ගියේය. එසේ ගොස් තමන් ආ කාරණාව සිටාණන්ට දන්වා සිටියේය.

නගරයේ ප්‍රසිද්ධ ධනවත් වෙළඳ ව්‍යාපාරිකයෙක් වුවද මෙම සිටාණෝ බෙහෙවින් මසුරුය. කවරකුට වුවද දීමට නොකැමැත්තේ ය. නුවර පුරා ප්‍රසිද්ධියට පත් දනක් හෙයින් ඊට සහභාගි නොවී නිහඬව සිටීම සිටාණන්ට මදි පුංචි කමක් හෙයින්, යම් පමණෙකින් හෝ ඊට සැලකිල්ලක් දැක්විය යුතුයි සිතු සිටාණන් සම්මාදම් පිණිස පැමිණි .තැනැත්තා දකිමින්,

මේ තෙමේ තමන්ට හැකි තරමින් දනක් නොදී නගරය මුළුල්ලේ දනක් දෙමැයි හඬ නගා ඇවිදින්නේය. පුලන්නන් මෙන් අතනින් මෙතනින් ඉල්ලා ගෙනැ දෙන දනත් දානයක් , ද ඔහු කෙරේ නොසතුටු වුවද,

“යහලුව, තොප දනට, සහල් සොයා රැගෙන ආ පසුම්බිය මෙහිට ගෙනවයි අමතමින් ඔහු සමීපයට පැමිණ කල්හි,

සිටාණෝ අඟිලි තුනක් අගට අසුවන තරමට සහල් ඩිංගක් ගෙනැ සම්මාදම පිණිස ආ තැනැත්තාගේ පසුම්බියට හෙළී ය. මුං උඳු ආදි දනට අවශ්‍ය අනෙකුත් කළමනා ද ඒ ඒ තරමින් ස්වල්ප කොට මැ දුන්හ.

ඇඟිලි තුනක් එක් වූ කල්හි එය බළල් අතක පතුළක් තරම් වන හෙයින් දනට නමුත් දුන් දෙය මසුරු වැ දුන් සිටාණන් ගැන නුවර පුරා පැතිර ගිය අතර එවක් පටන් එම මසුරු සිටාණෝ “බිළාල පාදක සිටාණෝ” යි අන්වර්ත නාමයෙන් හඳුන්වන ලද හ.

මෙම අවස්ථාව වන විට කුලපුත්‍රයා ද සිටාණන්ගේ වෙළඳ සල ඉදිරිපිට පැමිණ සිටියේය. දානය සඳහා එක් එක් අය විසින් පරිත්‍යාග කරණ ලද කළමනා එකතුකොට වෙනමත් සිටාණන් දුන් කළමනා වෙන් වශයෙනුත් පොදිබැඳ ගෙන දන් පිළියෙල කරණ තැන් බලා ගියහ. තමන් විසින් දනට දුන් කළමනා වෙන මැ පොඳි බඳිනු ද සිටාණෝ.

සෙස්සෝ දුන් කළමනා එක් කොට වෙන් වශයෙනුත් මා දුන් දෙය වෙනමත් පොදි බැඳ ගන්ට කාරණා කිමෙක් දැයි කල්පනා කොටැ සේවකයකු කැඳවා, “කොලුව, යව ඔවුන් යන මග ගොස් මා දුන් දේට කුමක් කරන්නේද යි නිශ්චිත වැ බලා ගෙන එව” යි සේවකයා ඔවුන් පසු පස යැවීය.

සේවකයා සිටාණන්ගේ අණ පිළිපදිමින් උන් ගිය මග පසු පසින් ගොස් දන් පිළියෙල කරන තැනට වන්හ. දන් පිළියෙල කරන්නෝත් දුන් දෙය සුළු වුවද ලබන පින බොහෝයි. සිතා කලමනා ලද තරමින් කැඳ බත්, අවුළුපත් පිසින හැලි වලංවලට සහල් වුවමනා පමණින් දැමූහ. මුං උඳු දේත් ඇති තරමින් එලෙසට බඳුන්වලට දැමූහ. එහි ගිය සිටාණන්ගේ සේවකයාත් සිදුවූ සියල්ල එලෙසින් මැ දැක බලා ගෙනැ පෙරලා සල්පිලට ගොස් සිටාණන් හමුව සියලු පවත් කීවේය. එපවන් ඇසූ සිටාණෝ.

“යමෙකු මට දනට මසුරුකම කෙළේයයි බොහෝ දෙනා ඉදිරියේ කියා මට අවමානයක් නින්දාවක් කළේ නම් ඔහු කපා කොටා මරම් “යි ඊට සුදුසු ආයුධයක් ද හිණැ සඟවා ගෙනැ පසුව දා දන් වළදන තැනට ගොස් එහි රැඳී සිටියේය.

කුලපුත්‍රයා බුදුපාමොක් මහා සංඝයා වහන්සේ දන් වළඳවා ඉක්බිති බුදුන් වහන්සේ වෙතැ එළඹ නමස්කාර කොටැ වැඳ,

“ස්වාමීනි බුදුරජාණන් වහන්ස, මම සැදැහැවත් බොහෝ දෙනා සම්මාදන් කරවා ගෙනැ මහත් වූ සතුටු සිතින් දන් පිදුවෙමි. මාගේ කාරුණික ඉල්ලීම අනුව බොහෝ පිරිස් දනට සහභාගි වූහ. සහල් මුං උඳු ආදි දනට ඇවැසි කලමනා තම තමන්ට හැකි පමණින් ඔවුහු සැපයූහ. සුළුවෙන් දුන්නවුන්ටත් බොහෝ කොටැ දුන්නවුන්ටත් වෙනසක් නොකොට දන් දීමේ අනුසස් වෙනසක් නැති වැ සියල්ලනට සම සම වම ලැබේවා යි ප්‍රාර්ථනා කරමි” යි කීය.

බිළාල පාදක සිටාණන් ද එම අවස්ථාවේ එතැනය. කුලපුත්‍රයාගේ ප්‍රාර්ථනය සිටුවරයාද හොඳින් අසා ගෙනැ සිටියේය. එයින් මවිතයටත් කලබලයටත් පත් සිටාණන්ගේ ඉහෙන් කණෙන් සිහින් දාඩිය දැම්මේය. සිටි තැන සිට ගත නොහැකිව පසු වූ ඔහුගේ සිරුර ගැහෙන්නට විය. මුවහත් ආයුධයක් ඉණ ඉහ සඟවා ගෙන එහි ගිය සිටාණෝ සිද්ධ කරන්නට ගියේ මහා අපරාධයකැයි සිහි වැ සිතින් වැළපෙන්නට විය.

මම මසුරු සිතින් සුළුවෙන් දනට දුන්නා යයි මිනිසුන් අතර කියා නින්දා කළෝ නම් මොහු මරම්යි සිතා මෙතැනට ආවෙමි. එහෙත් මෙතෙමේ නම් මනුෂ්‍යයන් අතර උත්තම පුරුෂයෙක. සුළුකොට දුන්නවුන්ටත් බොහෝ සෙයින් දුන්නවුන්ටත් දන් දීමේ විපාක සමව සිතන්නේය. මෙතුමෝ මා විසින් ක්ෂමා කර නො ගන්නේ නම් මගේ හිස සෙණ පහරකින් සුණු විසුනු වන්නට බාධා නැතොත් ඉන් වන්නේ මහත් නපුරෙකැයි සිතා වහා කුල පුත්‍රයාණන් ඉදිරියට ගොස් දෙපා ළඟ වැඳ වැටී ස්වාමීනී උත්තමයන් වහන්ස, මට ක්ෂමා කළ මැනවයි බැගෑපත් වැ ආයාචනා කර සිටියේය.

ඒ කුමක් සඳහාද යි කුලපුත්‍රයා සිටාණේ විචාළ කල්හි සිටාණෝ සියලු පවත් කියා සිටියහ.

බුදුරජාණන් වහන්සේත් කුලපුත්‍රයාණන් හා සිටාණන් අතර සිදුවූ කතා බහට සවන් දී සිටි හෙයින්,

“කිමෙක්ද පින්වත”යි දන් පිළියෙල කළ කුල පුත්‍රයා අතින් විචාර කල්හි එතෙක් සිදුවූ සියල්ල බුදුන් වහන්සේ වෙතැ සැකෙවින් සැලකර සිටියහ.

එසේ දැයි සිටාණන් විචාරා එසේය ස්වාමිනියි කී කල්හි බුදුරජාණන් වහන්සේ, “සිටාණෙනි, පින්කම නම් සුළු කොටැ නො සිතිය යුතුය. යමෙක් බොහෝ කොට පින් නොකළ ද කුහුඹුවෙකුට උගේ ආයු කාලය තුළ නගින්නට උත්සාහ කළ ද මහමෙර උඩට නගින්නට නොහැකිවාසේ සුළුවෙන් කළ පින්කම විපාක දිය හැකි දැයි සැක පහළ නොකළ යුතුය. කෙසේද යත් කවර කලෙක සුළුවෙන් කළද කළ පින් නැති නොවන බැවින් ඒ හැම පිනක් මැ එකතුවැ කුසලය මහත් වන බැවින් විපාක ඉඳුරාම ලැබෙන්නේ යි” වඳාල සේක.

දේශනා කෙළවර බිළාල පාදක සිටාණෝ සෝවාන් ඵලයට පැමිණියහ. තම තමන් හැකි පමණින් දන් පිදු සැදැහැවත් පුණ්‍යවන්තයෝද දානාදි ආනිසංස හේතුකොටැ ගෙනැ අමා මහ නිවන් සුව සාක්සාත් කර ගත්හ.

 
බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 13 වැනිදා සිකුරාදා පූර්ව භාග 04.51 ට ලබයි.
14 වැනි සෙනසුරාදා පූර්වභාග 04.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 13 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: budusarana@lakehouse.lk