බොදු සිරිතයි
අලුත් අවුරුද්දයි
මහනුවර,
අස්ගිරි මහා සංඝ සභාවේ මහෝපාධ්‍යාය,
ශාස්ත්‍රවේදී පණ්ඩිත
අමුණුපුර පියරතන හිමි
මානව සමාජය මොහොතින් මොහොත වෙනස් වුවද
දීර්ඝකාලීනව පවත්වාගෙන එන සදාචාර සම්පන්න
ගති සිරිත් අඛණ්ඩව ආරක්‍ෂාවී පෝෂණය කරගෙන
තම ජීවන ගමන විචිත්‍ර කරගන්නේය. වසන්ත සමයේ පවත්වන උත්සව අතර ඉතා උසස්
ලෙස මෙන්ම
පොදු ප්‍රවණතාවයෙන් අලුත් අවුරුදු උත්සවය
පැවැත්වීමෙන් අප බෞද්ධ ශිෂ්ටාචාරය
පෝෂණය වන්නේය.
සකල සම්පත් සොබාදහමින් දායාද කරන ඈත ආකාශයෙන් වළා පෙළක් විත් සිරිපොද
වැසි තුරුලතා මත හෙලන මඳ මඳ පවනේ අතුපතර ලා දළු සෙලවෙන ගිරා කොවුල්
සැළලිහිණි කුරුළු රංචු මිහිරි නදින් අහසේ පියාපත් සලන, ගොඩමඩ කෙත්වත්
අස්වැන්නෙන් සරුවන දොර දොර සිරිකත කැන්දන වසත් සමයේ අලුත් අවුරුදු
මංගල්‍යය ළඟාවන්නේය.
ලංකාවේ සෑම උත්සවයක්ම ආගමික පසුබිමක් අනුව විචිත්‍ර වන අතර විශේෂයෙන්
සිංහල අලුත් අවුරුද්ද බුදුදහමෙන් ප්‍රභාමත් වන්නේය. මේ සඳහා ගෙදර
පරිසරය පවිත්‍ර කිරීමේ පටන් අවසානයේ රැකී රක්‍ෂා සඳහා ගෙදරින් පිටත්වීම
දක්වා ස්වයං චින්තනයෙන්ම බුදුදහමේ දැක්වෙන ඉගැන්වීම නොපිරිහෙලා සිද්ධ
කිරීමෙන් පන්සලත් ජන ජීවිතයත් අතර සබඳතාවය මොනවට ප්‍රකට වන්නේය.
01. සොබාදහමට ගරුකිරීම
02. පිදිය යුත්තන් පිදීම
03. ආගන්තුක සත්කාරය
04. පුන්‍ය කාලයට පන්සලට යාම
05. කිරිබත් ආහාරයට ගැනීම
06. ඉසතෙල් ගෑම
07. ජාතික ක්‍රීඩා
මිනිසා දියුණුවෙන් පෙරට පැමිණියත් මානව ධර්ම ක්‍රියාත්මක වන්නේ
සොබාදහමට ලංවන විට බව ප්‍රකට වන්නේ මෙම අවුරුදු සමයේ ගෙදරක ගමක ඤාති
මිත්‍රාදින් එකට හමුවී එකම පරමාර්ථයක් අනුව සුහදව සාමකාමීව වාසය
කිරීමෙනි. විශේෂයෙන් මානසික ශක්තිය ප්‍රබල වීමෙන් පරිසරය වඩාත් හිතකර
වන්නේ මෙම අවුරුදු සිරිත් විරිත් අවංකව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්
ගුරු දෙමව්පියාදීන් කෙරෙහි භක්තියෙන් ඉෂ්ට සිද්ධ කිරීමෙනි.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ අට තිසක් මංගල කරුණු වලින් රාශියක්
මොහොතින් ක්‍රියාත්මක කරණ අලුත් අවුරුදු සමයේ එම උතුම් සිරිත් අනුගමනය
කිරීමෙන් ප්‍රතිවිපාක වශයෙන් ලබන සතුට , සාමය, මෙන්ම භෞතික සම්පත්ද
අපමණය.
දෙමව්පියන්, ගුරුවරුන්, වැඩිහිටියන් මෙන්ම මහා සංඝරත්නය ඉදිරියේ දණ නමා
හිස නමා බුලත් හා පුද පූජා දී දොහොත් මුදුන් දී වඳින පුදන විට ලබන
ආශිර්වාදය, මතු වසර පුරාවට ආයුරාරෝග්‍යාදි සම්පත් වඩා වර්ධනය කිරීමට
මහෝපකාරී වන්නේය.
තමා උපන් ගෙදර ගම දවස් කීපයකට හෝ විවේක බුද්ධියෙන් වාසය කිරීමට දේශ
දේශාන්තර රැකීරක්‍ෂා කරණ අයට වාසනා මහිමය ලැබෙන්නේද මෙම උත්සවය නිසාම
ය.
බුදු දහමේ දැක්වෙන මව්පිය උපස්ථානය, ඤාති සංග්‍රහ ආගන්තුක සත්කාරය,
උපරිම වශයෙන් ක්‍රියාත්මක වීම නිසා අන්‍යෝන්‍ය සම්බන්ධය තහවුරුවීමෙන්
පුද්ගල හා පුද්ගලාන්තර අභිවෘද්ධිය මෙන්ම දෙලොව ශාන්තියද අනිවාර්යයෙන්
උදාවන්නේය.
පුන්‍ය කාලය ඉතා කෙටිවුවද බෞද්ධයන් වෙහෙර විහාර දේවාල කරා යන්නේ
තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධා චේතනාවෙන් මෙන්ම තම තමන් විශ්වාස කරන දෙවියන්
පිළිබඳ භක්ති පූර්වක විශ්වාසයෙනි. අප ජීවත්වන චක්‍රවාටය තුළ මහා
බලවතාවන සූර්ය මණ්ඩලය දේවත්වයෙන් සැලකීම අති පුරාණයේ පටන් පැවතෙන ආගමික
චින්තාවක් වන අතර සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට මාරුවන අවස්ථාව
සුවිශේෂයෙන් සමස්ත ග්‍රහ මණ්ඩලයම අලුත් ගමනකට සූදානම් වන බව නක්‍ෂත්‍ර
විද්‍යාවේ දැක්වේ. මෙම මොහොත අපතේ නොයවා ආගමික චාරිත්‍ර පුද පූජා
බාරහාර තම පුද්ගලික ජීවිතයට ආශිර්වාද ලබාගෙන මතු යහපත් ගමන් මගකට පියවර
තැබීම අලුත් අවුරුදු සමයේ ක්‍රියාවලිය පිළිබඳ මධ්‍ය අවස්ථාවයි.
ශුභ නැකතට කිරි ඉතිරවීමත් කිරි ආහාර පූජාවත් කිරිබත් ආහාරයට ගැනීමත්
ආර්ථික වශයෙන් ශුභවාදි වන අතර වෙහෙර විහාරවලට පූජා කිරීමත් ගෙදර සියලුම
දෙනා එකට එක්වී කිරිබත් ගන්නේ ඉතා සුහද හැඟීමෙනි. සිංහල බෞද්ධයාගේ ඇති
උතුම් ගුණාංගය නම් සැමදේම බෙදා හදාගෙන ආහාරයට ගැනීමයි.
දානංච ධම්මචරියාච
ඤාතකානංච සංගහෝ
දානය යන වචනය සෑමදාම සෑම තැනම සෑම ක්‍රියාවකදීම අසන්නට ලැබෙන අතර අලුත්
අවුරුදු සමය තුළ පූජාව, දානය, සංග්‍රහය, පරිත්‍යාගය යන වචනවලින්
ප්‍රකාශ වන දීමනා මහා සංඝරත්නය, දෙමව්පියන්, දූදරුවන්, ඤාතීන්
යාළුමිත්‍රාදින් හා අසල්වාසීන් , දුගී දුප්පතුන් උදෙසා ක්‍රියාත්මක
කෙරෙන්නේය.
සමාජයක පවත්නා සංකීර්ණතාවය සමතුලිත භාවයෙන් සමානවන්නට බාහිර මෙන්ම
අභ්‍යන්තර බලපෑම අවශ්‍යම වන්නේය. ආහාරපාන ඇඳුම් පැළඳුම් සිරිත් විරිත්,
ක්‍රීඩා හා ගමන් බිමන් ආදිය සිදුවන්නේ පෞද්ගලික මතයන්ට අනුව නොව පොදු
සිද්ධාන්තයන්ට හා චින්තනයට අනුගත වන බැවින් ලොකු කුඩා දුගී මගී දුප්පත්
පොහොසත් සියල්ලන්ම අවුරුදු සමයේ සමානවන්නේය.
සිරිලක ජාතික උත්සව මාලාවක් වශයෙන් අලුත් අවුරුදු සිරිත් විරිත්
ආධ්‍යාත්මික චින්තනයට මෙන්ම ශාරීරික පෝෂණයටද මහෝපකාරී
වන්නේය. ආයුර්වේදය, නක්‍ෂත්‍රවිද්‍යාව, බුදුදහම යන විෂය තුනේම සංකලනයෙන්
අවුරුදු සිරිත් වලින් අවසාන ක්‍රියාවලිය වන්නේ ඉසතෙල් ගෑමයි. ඖෂධීය
ගස්වැල්වල මල් කොල දලු ආදිය ගෙන තම්බා පෙරා ගන්නා සාරය හිසට ගතට සිසිල
ගෙන දෙන පරිදි ශුභ මුහුර්තිය බලා තෙරුවන් දෙවියන් සිහිකරගෙන ඉසේ ගා
ස්නානය කිරීමෙන් වසර පුරා නිරෝගි සුවය අත්කර ගන්නේය.
මානව සමාජය මොහොතින් මොහොත වෙනස් වුවද දීර්ඝකාලීනව පවත්වාගෙන එන සදාචාර
සම්පන්න ගති සිරිත් අඛණ්ඩව ආරක්‍ෂාවී පෝෂණය කරගෙන තම ජීවන ගමන විචිත්‍ර
කරගන්නේය. වසන්ත සමයේ පවත්වන උත්සව අතර ඉතා උසස් ලෙස මෙන්ම පොදු
ප්‍රවණතාවයෙන් අලුත් අවුරුදු උත්සවය පැවැත්වීමෙන් අප බෞද්ධ ශිෂ්ටාචාරය
පෝෂණය වන්නේය.
තෙරුවන් සරණින් ඔබ සැමට නව වසරක් වේවා. |