සිතෙහි රළ
දෙනගම
සිරිවර්ධන
රළ එයි. එක සිතිවිල්ලකි. රළ යයි. තවත් සිතිවිල්ලකි.
රළ එයි සිතිවිල්ල නැඟී, බිඳී යයි. ඒ සමඟ රළ යයි සිතිවිල්ල
හට ගනී. එය ද වහා බිඳී යයි. සිතිවිලි ඇතිවේ. නැති වේ.
ඇතිවේ. නැති වේ. රළ නැඟීම, බැසීම අනුව ම
සිතිවිලි ද ඇති වේ නැතිවේ
මා සිටියේ මුහුදු වෙරළේ ගල් කුළක් මත ය.
ඈත මුහුදු ජල කඳ මායිම් වන ක්ෂිතිජය රේඛාව හා බැඳුණු නිල් අහස් තලයේ එක
වලා බිඳකුදු නොවීය.
මහා රළ කඳක් ඈත කොතැනක දෝ සිට කෝපයෙන් මෙන් වේගයෙන් පැමිණ ළතෝනියක් ද
දී ගෙන වෙරළේ හැපෙයි. ගමන අවසන්ව ජල කඳ ආපසු යයි. යළි අනෙක් රළ කඳත්
එයි. වෙරළේ හැපෙයි. පෙණ පිඬු නංවා ආපසු යයි. යළි තවත් රළ කඳක් එයි යයි.
යළි තවත් රළ කඳක් එයි යයි.
අතරක් නැතිව යයි. එයි. යයි. එයි. මහ ඝෝෂාවක් ද නැගෙයි. ඝෝෂාව මැකෙයි.
යළි නැගෙයි. මැකෙයි.
මගේ දෑස එන යන රළ සමඟය.
මගේ දෙසවන නැගෙන, මැකෙන, ඝෝෂාව සමඟය.
මඳ වේලාවකට පසු දෑස පියවිණ. නඟින, බසින රළ හඬ පමණක් ඇසෙන්නට විය.
ඇසිල්ලකින් මගේ සිත, මගේ සිත ම දකින්නට විය.
රළ කඳ සමග සිතිවිලි ද නැඟෙනු බසිනු පෙනෙන්නට විය.
රළ එයි. එක සිතිවිල්ලකි. රළ යයි. තවත් සිතිවිල්ලකි. රළ එයි සිතිවිල්ල
නැඟී, බිඳී යයි. ඒ සමඟ රළ යයි සිතිවිල්ල හට ගනී. එය ද වහා බිඳී යයි.
සිතිවිලි ඇතිවේ. නැති වේ. ඇතිවේ. නැති වේ. රළ නැඟීම, බැසීම අනුව ම
සිතිවිලි ද ඇති වේ නැතිවේ.
අද උදේ සිට කොපමණ සිතිවිලි මේ සිතේ ඇති වී නැති වී යන්නට ඇද්ද? නැති වූ
පසු ඒ සිතිවිල්ල යළි ඇති නොවේ. අලුත් සිතිවිල්ලක් ඒ තැනට එයි. ඇති වී
නැති වී ගිය සිතිවිලි මෙපමණ යයි කිව නොහැකි යි.
මේ සිතිවිලි නිත්‍ය නැත. ඇති වූ වහාම නැති වන හෙයිනි. සිතිවිලි
අනිත්‍යයි.
රළ කඳත් ද අනිත්‍යයි. නැඟෙයි, බිඳෙයි. එයි. යයි. අනිත්‍යයයි. මුළු ලොවම
සැම දෙයක් ම ඇති වී නැති වී යනු අනිත්‍යයට ම පළ කැරෙනු මට පෙණින.
“මගේ” “මගේ” කියන මගේ මේ සිත නිත්‍ය නැත. අනිත්‍යය. එසේ නම් සිත ‘මගේ’
ද? ‘මගේ නම්’ ‘මගේ සිත’ මට අවශ්‍ය ලෙස පවත්වා ගැනීමට හැකි විය යුතු ය.
බිඳෙනු නොදී, නැතිවනු නොදී රඳවා ගත හැකි විය යුතු ය.
රස මුසු සිතිවිල්ලක් නැඟුණු විට ,ඒ රසමුසු බව විඳිමින්ම ජීවත් වීමටයි
මා කැමති. එහෙත් මොහොතකින් ඒ රසමුසු සිතිවිලි බිඳී දුක් මුසු, තරහක්,
ශෝකයක්, සිතට එයි. මේ සිතේ අනිත්‍යය නොවේ ද? අනිත්‍ය වූ සිත මගේ යයි
කිව හැකි ද? එය මගේ නොවේ. මගේ ආත්මය නොවේ.
සිත අනාත්මයි. සිත අනිත්‍යයි. අනාත්මයි.
මම බෙහෝ වේලාවක් ගල් කුළ මත සිටියෙමි.
මුහුදු ගෝසාව නො ඇසී යනු මට දැනින. නිශ්චල ශාන්ත බවට සිත පත් විය.
හදිසියේම ඇස් ඇරිණ. ඈත වලා රහිත නිල් අහස පෙණින. සීත ද නිල් අහස මෙන්
නිරවුල් ව මඳ වේලාවක් පැවතිණ.
යළි මුහුදු ගෝසාව ඇසෙන්නට විය. මම ගල් කුළෙන් බැස ආවෙමි.
|